පාරමී කාර්යාලයෙන් ස්ථාන මාරුවක් ලබාගෙන තිබිණි.ඒ කටයුත්ත අවසන් වනතුරුම කිසිවෙකුට කිසිවක් නොකියන්නට ද ඇය ප්‍රවේසම් වී තිබූ බව හිමාෂා දැන ගත්තේ පසුව ය.ඉතා සමීපතම මිතුරියක බවට පත්කරගෙන සිටි පාරමී මෙසේ යන්නට යාම හිමාෂා ඉවසා සිටියේ අසීරුවෙනි.
“පාරමී ගියේ රවිඳු හින්දා.”
ඒ චෝදනාව තටු සලා ඉගිලෙන්නට වූයේ වේගයෙනි.ආදරය ගැන නාමමාත්‍රික හැඟීමක් පාරමීට නොදෙන්නට ප්‍රවේසම් වූ රවිඳුට මේ ඒසා විසල් චෝදනාවක් නැගීම මොනතරම් අකටයුත්තක් දැයි තර්ක කරන්නට හිමාෂා වෙහෙසුණා ය.ඇය කියන කාරණාව පිළිගන්නට යන්තම් හෝ කැමැත්තක් දැක්වූයේ ඔවුන්ට ආසන්න වයසක වූ චතුර පමණි.
“පාරමී රවිඳුට පිස්සුවෙන් වගේ ආදරේ කළා කියලා මාත් දන්නවා.හිමා නංගිත් වැරදියි.ඒ ගැන රවිඳුට කියලා රවිඳුගේ හිතේ එහෙම එකක් ඇති කරන්න හිමත් ලොකුවට මහන්සි වුණානෙ.”
ඔහු නැඟූ ඒ චෝදනාව පිළිගන්නට හිමාෂා පසුබට නොවී ය.පාරමී ගැන කිසිම හැඟීමක් නැති දැයි රවිඳුගෙන් නොනවත්වා විමසූ අතීතය ගැන දැන් ඇයට ඇත්තේ පසුතැවීමකි.එය ඔහුට මොන තරමේ මානසික වදයක් වන්නට ඇත්දැයි දෙන්නට නො සිතෙනවා නොවේ.ඒ ගැන දැන් හිමාෂාට දැනෙන්නේ ඉතාම වේදනාත්මක හැඟීමකි.
එහෙත් කාර්යාලීය සගයන් ඒ කතාව ද දුටුවේ වැරදි ආකාරයට ය. පාරමීට ප්‍රේමයක් ඇතිවන්නට රවිඳුගෙන් කිනම් හෝ පිටුබලයක් ලැබෙන්නට ඇති බවට ඔවුන්ට සහතික විය.
“ඒ කතාවේ වුණු දේ හරියටම දන්නේ ඒ දෙන්න.අපි මෙහෙම එයාල ගැන කතා කරන එක හරිම වැරදියි.”
හිමාෂා අවසානයේදී පවසා ගත්තා ය.නික්ම ගිය පාරමීට මෙන්ම මෙතැන රැකියාව කරන රවිඳුට ද මනස නිදහස තබාගන්නට මේ මාතෘකාව මෙතැනින් අවසන් කළ යුතු බව චතුර සහ හිමාෂා ඇරෙන්නට කිසිවෙකුත් වටහා ගත්තේ නැත.
“ඒ දෙන්න අතර කිසිම සම්බන්ධයක් ඇති වුණෙත් නෑ.අපි මෙතන ඉඳගෙන හත් අතේ විවේචනය කරනවා.අපේ කවුරු හරි ඩිවෝස් වෙනවා කියලා හිතන්නකෝ.එතකොට අපි කිසිම වැඩක් කරන එකක් නෑනේ.දවස පුරා මේ ගැන කතා කරයි.”
රවිඳු විශ්වාසය තැබිය නොහැකි අන්දමේ යෞවනයකු බවට මැදිවියේ සිටි ලලිතා පවසද්දී චතුර එයට එරෙහි වූයේ එසේ කියමිනි.නමුත් තමන්ගේ අදහස් වලට එරෙහි අදහස් දරා ගන්නට රවිඳුගේ දොස් දකිමින් සිටි කිසිම කාන්තාවක කැමති වූයේ නැත.
“වෙලා තියන දේ කොච්චර නරක උනත් දැන් රවිඳුට ඕක දරා ගන්නම වෙනවා.යාලුවෝ හැටියට අපට කරන්න තියෙන්නේ එයාට උදව් කරන එක විතරයි”
චතුරගේ හඬ ළං වූයේ කලකිරීමට ය.මිතුරා අත නොහැර දරාගෙන මේ කමකට නැති චෝදනා නෑසෙන අයුරින් හිඳින්නට ඔහුට උදව් වෙන්නට ඔහු සිතා ගත්තේ ය.
හිමාෂාට මේ සිදුවීමේ අවසානය සම්බන්ධයෙන් පාරමි සමඟ කතා කිරීමට දැඩි උවමනාවක් තිබිණ.නමුත් ප්‍රශ්න නිර්මාණය කරන සමහරුන්ට ඒ ප්‍රශ්න අවසන් කිරීමට කිසිසේත්ම උවමනා වන්නේ නැත.රවිඳු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නිර්මාණය කර කාර්යාලය අතහැර යන බවට පිලිණ දුන් පාරමී නික්ම ගොස් තිබුණේ දුරකථන අංකය පවා වෙනස් කිරීමෙන් අනතුරුව ය.ඇගේ නව සේවා ස්ථානය ගැන දැන සිටින නිසා එතැනට ගොස් ඇය හමු වන තරමේ ආවේගයක් හිමාෂාට බොහෝ අවස්ථාවල ඇති විණ.
“පස්සෙන් පන්නගෙන ගිහින් සාධාරණේ හොයල වැඩක් නෑ.මේක මට දරා ගන්නම වෙනව.ගෑනු ළමයෙක්ට මොකක් හරි අභූත චෝදනාවක් නැගෙන වෙලාවට එයා වෙනුවෙන් කතා කරන්න දාහක් අය හිටියත් කොල්ලෙක්ට කොහෙවත් නැති බාල්දියක් පෙරලෙනකොට ඌ වෙනුවෙන් ඉන්නෙ ළඟම මිනිස්සු විතරයි.මං ඒක දන්නවා හිමා.ඒ හින්දා ඔයාලා ඕක ගැන තර්ක කරන එක නවත්තලා දාන්න.ඔයාලා කොච්චර තර්ක කරත් පාරමීගේ හිත තලපු පව්කාරයා කියලා කියන හංවඩුව මට දරා ගන්නම වෙනවා.ඒක මෙයාලට අමතක වෙන්නනම් මාත් මෙතනින් යන්න වෙනවා.මාරුවක් ගන්න එක ලේසි නැතත් මාත් හිතුවා එහෙම දේකට ට්‍රයි කරන්න.ඒක කෝකටත් හොඳයි කියලා මට හිතෙනවා.”
අනාගත අරමුණු වෙනුවෙන් මෙතනින් පිටවී යනවා මිස ලැජ්ජාවෙන් හෝ බියෙන් පලා නොයන බව හිමාෂාට නොකියන්නට රවිඳු ප්‍රවේසම් විය.ඈ සමඟ අලුත් ජීවිතයක් ඇරඹිය යුත්තේ අතීත සෙවණැලි සියල්ලෙන් මිදී ය.
“ඔයත් ගියාම මට තමයි පාලු.”
හිතා බලා වචන පිට කරන්නට හිමාෂාගේ හැඟීම් වචන බවට පත් විය.
(හිමගිරි අරණ හෙට සිට උදෑසන 10.30 ට බලාපොරොත්තු වෙන්න)