චමරි ගෙදර ආවේ හරිම මහන්සියෙන්.ඇත්තටම ඇඟට දැනෙන මහන්සිය අද හරිම කාර්ය බහුල දවසක් වුණු නිසාද එහෙමත් නැත්නම් මේ කාලයේ දැනෙන අපහසුතා ද කියලා විශ්වාස නැතත් ඇයට තිබ්බේ හරිම වෙහෙසක්.
“අපි එළියට ගිහින් මොනවා හරි කමුද?”
අද දවල් ඔෆිස් එකේදී කම්මැලි වෙලාවක ෆේස්බුක් යනකොට තෝසේ සහ ඉන්දියන් කෑම වර්ග කිහිපයක ඡායාරූප දුටුව හැටි චමරිට මතක් වුණා.කොහොමටත් දොළදුක එන කාලේ නිසා තෝසෙ කන්න ඇයට ඇති වුණේ හදිසි ආශාවක්.
“හා යං”
චමරිගේ සැමියා වුණු අසිතට කලින් පිළිතුරු දුන්නේ ඔහුගේ නංගි වුණු අමාලි.චමරි සූදානම් වෙලා එනකොට අමාලි ගිහින් කාර් එකේ ඉදිරි අසුනේ ඉඳගෙනත් ඉවරයි.හැමදාම අසිතත් එක්ක ගමනක් යනකොට ගමනට නංගි සහභාගි වුනොත් ඇගේ හැසිරීම මේ වගේ කියලා චමරිට මතක් වුණා.නමුත් ඇයට මොකුත් කියන්න හිතුණේ නැහැ.
“චමී,ඔයාට මොනවද කන්න ඕනේ?”
නගරයට ආසන්න වෙනකොට අසිත එහෙම විමසුවා.ඉන්දියන් කෑම කන දොලදුක ගැන කියන්න කලින් අමාලි මැදට පැන ගත්තා.
“කොත්තු හට් යං අයියා.මට පෝක් කොත්තු එකක් ඕන.”
වචනයක්වත් කතා නොකර අසිත කොත්තු රොටි කන්න සූදානම් වෙනකොට දොලදුක් හටගන්න තමන්ටද නංගිට ද කියලා කෑගහලා අහන තරම් ආවේගයක් චමරිට ආවත් ඇය නිහඬවම දරා ගන්න තීරණය කළා.රණ්ඩු කරන්නේ කොහොමද? නංගි තාම පොඩි එකා වගේ කියලා අසිත නිතරම කියන්නේ.
කොත්තු කන්න කිසිම ආසාවක් නැති වුණු නිසා ආහාර ඇණවුම මේසයට ඇවිල්ල තත්පර කිහිපයක් යනකොට චමරිට ලෝකේ කැරකෙන බව තේරෙන්න ගත්තා.අපහසුවෙන් පිටතට ආපු ඇය වමනය කරලා සීතල වතුර බෝතලයකුත් අරගෙන වාහනයට ගිහින් අයියත් නංගිත් එනකන් බලන් ඉන්න තීරණය කළා.
“අපෝ අක්කට පින නෑ ඒක මාර රසයි.”
අමාලි ආපහු ආවේ එහෙම කියාගෙන.මේ කාලය වෙන පහසුතා ගැන කිසිවක් ම නොදන්න ඇය එක්ක තර්ක නොකරන්න හිතපු චමරි ඇස් පියාගත්තේ කේන්තිය පාලනය කරගන්න හිතමින්.
“ඔයාට කන්න පුළුවන් මුකුත් නැද්ද?”
අසිත එහෙම අහනකොට ඉන්දියන් කෑම ආසාව ගැන නොකියා ඉන්න චමරිට බැරි වුණා.ඉන්දියන් අවන්හල අසල නැවතුණු වාහනයෙන් මුලින්ම බැස්සේ අමාලි.තෝසේ උවමනා බව අසිතට කියලා චමරි වාහනය ඇතුළෙම ඉන්න තීරණය කළා.අසිත තෝසෙ පාර්සලයක් අරගෙන ආපු එනකොට අමාලිගේ අතේ තව පාර්සල් කිහිපයක් තිබෙන බව චමරි නොදැක්කා නෙවෙයි.
“දැන් අයියලත් එක්ක එළියට ගියේ රෑට උයපු බත් කන්නේ කවුද?”
ගෙට ගොඩ වෙනකොටම අසිතගෙ එහෙම කෑ ගැහුවේ අමාලිට.ඇය මේ තමන්ට දොස් නඟන්න බැරිකමට අමාලිට දොස් කියනවා නෙවෙයි කියලා චමරි දන්නවා.
“දොළදුක කියන්නේ දුවේ දාහක් ආසාවල් එනවා.දූට කියන්න එකපාරක් මට හිතුණා අපේ නෑදෑ අක්කා කෙනෙක් උයන බත් කන්න.මහ රෑක හිතුණේ.අනේ අසිතලගෙ අප්පච්චි එවෙලෙම ගියා. ඒ ගෙනාපු බත් මුලෙන් කෑවෙ කටවල් දෙකයි කිව්වොත් දුව විශ්වාස කරනවද? ඔහොම තමයි ඕවා.”
අම්මා එහෙම කියලා හිනා උනේ චමරිට දොළදුක පටන් ගත්තු කාලයේමයි.ඊට පස්සේ චමරිට යන්තම් හරි ආස හිතෙන දේවල් ගැන කන වැකුණු වහාම ඒවා හදන්න කොහෙන් හරි හොයලා දෙන්න අසිතටත් වඩා මහන්සි වෙන්නේ අසිතගේ අම්මා.
“අක්කට ඕනනම් කන්න කියන්නේ අම්මේ.අපි කොත්තු කාලා ඉන්දියන් අරගෙනම ආවා.”
අමාලි එහෙම කියාගෙන ගෙට යනකොට චමරි පියවි සිහියට ආවා.
“දුවට තෝසෙ කන්න හිතුණද? උණුවෙන්ම කමු.”
අම්මා ඉක්මනින්ම පාර්සලය අතට ගත්තා.ඊටත් පස්සේ චමරිට ඉක්මනින්ම කෑම මේසේ සූදානම් කරලා දෙන්න ඇය වග බලාගත්තා.අමාලි තුරුලු කරගෙන ආපු පාර්සල්වල තිබුණු වඩේ කිහිපයක් සහ සාම්බාරුවක් අම්මා පිඟානක තියලා දෙන කොට ඒවත් බොහොම රස බව චමරිට හිතෙන්න පටන් ගත්තා.
“අයියෝ වඩේ කෑවේ කවුද?”
චමරි කෑම කාලා සාලයට යනකොට අමාලිගේ ඒ කටහඬ ඇහුණේ කේන්තියෙන්
“අක්කා කෑවේ ඇයි?”
අම්මා අහන්නේ සැරෙන්.නැන්දම්මා කෙනෙක් තමන්ගේ දුවගේ පැත්ත ගන්නේ නැතුව ලේලියගේ පැත්තට කතා කිරීමත් ටිකක් පුදුම සහගත බව චමරිට නොහිතෙන්නේ ඇය අසිතගේ අම්මා ගැන හොඳින්ම දන්න නිසා.
“මම කන්න කියල ගෙනාවේ.”
චමරිට පිටතින් ආහාර ගන්න උවමනා වුණාම එල්ලිලා ගිය එක වැරදි බවත් ඇගේ ආශාවන්ට මුල් තැන දෙනවා වෙනුවට තමන්ට අවශ්‍ය දේවල් පොදිබැදන් ආපු එක ඉතාම වැරදි බවත් අම්මා අමාලිට කියන්නේ කේන්තියෙන්.
“ඒ දරුවට කෑම ඔතාගෙන ඇවිල්ල ගෙදරදි කන්න නෙමෙයි ඕනේ වෙන්න ඇත්තෙත්.ඔයා පොඩි ළමයෙක් වගේ එයාලා යන යන තැන යන්නයි අක්කගෙ ආසාවල් ගැන කියන්න කලින් ඔයාගෙ පෙරේතකම් ගැන අයියට කියන්නයි ලෑස්ති වෙන්න එපා චූටි.”
අම්මා කියනකොට අමාලි ගස්සාගෙන කාමරයට යන හැටි චමරි දැක්කා.නමුත් ඇය නොදැක්කා වගේ ඉන්න උත්සාහ කළා.
“දුවට කිරි එකක් ඕනද?”
අම්මාගේ කටහඬ ඇහෙනතුරුම චමරි හිටියෙ කල්පනාවක. ඇත්තටම අමාලි විසි තුන් හැවිරිදි ගෑනු ළමයෙක්.ඇයට දේවල් ගැන මීට වඩා තේරුම් යා යුතු බව චමරි අනන්ත වාරයක් හිතලා තියනවා.පෝෂණය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් චමරි තමන්ට මිලදී ගන්නා සමහර ආහාර අමාලි ඉවර කරන්නේ දවසට දෙකට.අම්මාට ඒවා ඇහැ ගැටුණම ඇය වහාම ඒ දේවල් නැවත ගෙනත් තියන්න වග බලා ගත්තත් එහෙම විය යුතු නැහැ කියලා චමරිට හිතෙනවා.
“අයියට එක බබෙකුට බබාලා දහ දෙනෙක් ලැබුණත් එයා වැඩියෙන් ආදරේ මට.”
අමාලි කතාවක් කියපු දවසකත් අම්මා ඇයට බනින හඬ චමරිට නෑහුණා නෙමෙයි.නමුත් අමාලිගේ ඒ වගේ දේවල් ලේසියෙන් මර්දනය කරන්න අපහසු බවත් චමරි දන්නවා.
“මං කසාද බැඳලා ආව අලුත අසිතගෙ සුදු නැන්දයි චූටි නැන්දයි හැසිරුණේ දැන් අමාලි හැසිරෙන විදියටමයි.මගෙ මහත්තයා මට අයිති කෙනෙක් නෙමෙයි මම එයාලගේ දෙයක් බලෙන් උදුරා ගත්තා වගේ පෙන්නන්න එයාලා හරියට උත්සාහ කළා.සමහර වෙලාවට මගෙ හිත නොසෑහෙන්න රිදුණා.අසිත ඉපදුණාට පස්සෙ මම ඉන්නේ කිරි දෙන්නයි කැත කුණු කරන්නයි විතරයි බබාගෙ හුරතල් වැඩ සේරම අයිති එයාලට වගේ පෙන්නන්න උත්සාහ කරද්දි තමයි මගේ ඇස් ඇරුණේ.ඒත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන මට්ටමෙන් ගෙනාව නිසා ඒ දේවල් ලේසි වුණේ නෑ දුවේ.”
අම්මා එහෙම කියලා චමරිගේ හිස අත ගෑවා.
“මං අමාලිගෙ විකාර වැඩට නිතරම තරවටු කරන්නේ ඒකයි.මං ඉන්නේ හරි පැත්තෙ.ඔය කාලෙට කොහොමත් හිත රිදෙනවා.අසාධාරණකම් වෙනකොට වැඩිපුර රිදෙනව.අමාලිට ඔය වගේ හැසිරෙන්න හිතිලා තියෙන්නෙ ඇයි කියලා මට හරියට තේරුනේ නැතත් එයා කරන දේ වැරදියි.දුව ඒකට සමා වෙන්න.”
චමරි අම්මාගේ අතින් අල්ලා ගත්තේ ආදරයෙන්.නපුරු නැන්දම්මලා ගැන කතා අහල අහලා බයෙන් හිටියට මේ අම්මා කවදාවත්ම තමන්ට හිත රිදෙන වචනයක් වත් කියන නැති බව ඇය කල්පනා කළා.
“ඒ මොනවා උනත් ඔයාගේ ආසාවල් යටපත් කරගෙන එයාගේ කෝලංවලට ඉඩ දෙන්න එපා.ඔයා අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ දුව.අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් පෙනී ඉන්න ඕනි.ඒක ඔයාට දැන්ම තියා ඉගෙන ගන්න පුළුවන් නම් තමයි හොඳ.නංගි හුරතල් කරන එක කොහොම වුණත් මේ වෙලාවේ මුල්තැන දෙන්නේ කාටද කියන එක මම ලොකු පුතාටත් කියලා දෙන්නම්කෝ”
චමරි මොකුත්ම නොකියා කිරි වීදුරුවේ පිරිසුදු පාට දිහා බලාගෙන හිටියා.සමහර ප්‍රශ්න වවාගන්නේ නැතුව විසඳා ගන්න එක තරම් සැනසීමක් නැහැ.ඇය හිතුවේ අසිතගේ අම්මාගේ කරුණාවන්ත මුහුණ දිහා බලාගෙන.