හිමගිරි අරණ – 68

මුහුදු රළ සරැළි නඟමින් වෙරළට ඇදී ඒ.නැවතුමක් සොයන කුඩා සිප්පි කටුවක් වැලි මත තබා නැවත සයුරට ඇදී යයි.”ඉරිසියාකාර කේලමුන්” නැති තැනකට මුහුදු වෙරළ තෝරා ගන්නට සිත් වූ කාරණාව කුමක්දැයි හිමාෂාගෙන් ඇසීම රවිඳු කල් දැමී ය.නමුත් ඔහුගේ හදවත කියවා ගන්නට ඇයට එතරම් වෙලාවක් ගත නොවී ය.

“දෝනි ලැබෙන්න ඉන්න කාලේ මට නිතරම බීච් එන්න ආස හිතුණා.ඇත්තටම මම දන්නේ නෑ එහෙම දොළදුක් හැදෙන්න පුළුවන්ද කියලා.ඒ උනාට මට එහෙම හිතුණා.”

ඇය කතා කරද්දී බලා හිඳින්නට සිතෙනා සෞන්දර්යට දිය හැකි නමක් රවිඳුට කල්පනා නොවී ය.නමුත් ඔහු අසා සිටියේ ය.

“මම සහන්ගෙන් ඉල්ලලා තියෙනවා මාව බීච් එකට එක්ක යන්න කියලා.ඒත් ඒ හැම වෙලාවකම එයාට වැඩ තිබුණ.”

තමන් මේ ලොව වඩාත්ම ආදරය කරන මිනිසායැයි ගැහැනියක විශ්වාස කරන්නා අතින් ප්‍රතික්ෂේප වීම තරම් වේදනාවක් ගැහැනියකට නොමැත.ඇය ඒ වේදනාව කෙසේ විඳ දරා ගත්තාදැයි රවිඳු සිතී ය.

“මං ඊටපස්සෙ නංගිත් එක්ක ඇවිල්ල තියෙනව.ගිනි ගහන මද්දහනේ ඔහේ තනියමත් ඇවිල්ල තියනව.ඒත් මට ආසාව තිබ්බේ සහන් එක්ක එන්න.”

ලෝකයේ කෙළවර මෙතැන බව හැඟෙන මුහුදු තීරයකට වී ඔහේ බලා හිඳීම සතුටකි.නොදන්නා මිනිසුන්ගේ මුහුණේ ඇඳෙන ප්‍රීතිය කියවමින් බලා හිඳීම සැනසීමකි.ඒ සැනසීම විඳ ගැනීම මෙතරම් ඉමිහිරි අත්දැකීමක් බව හිමාෂාට දැනෙන්නේ මේ මොහොතේ ය.

“අපේ රට මුහුදින් වට වෙච්ච රටක්.ඒ නිසා මට කියන්න පුලුවන්ද දිනාරාගෙ මල්ලියි නංගියි ලැබෙන කාලෙකට ඔයාට යන්න හිතෙන්නේ මොන බීච් එකටද කියලා?”

ඔහු අසන්නේ කුමක්දැයි තේරුම් නොගැනීමට හිමාෂා ළාබාල යුවතියක වූයේ නැත.ඇය හිනැහුණේ පයේ හැපී මුහුදට දිව යන රළ පෙළ සමඟ ය.

“ඔයාට වෙලාව දෙන්න බැරි වුණු මිනිස්සු ගැන දැන් හිතලා වැඩක් නැහැ.ඒ නිසා මෙන්න මේක මතක තියා ගන්නකො.ආයෙත් ඔයාට එහෙම හිතෙන හැම වාරෙකදිම ඔයා එක්ක මේ රට පුරා මුහුදු වෙරලවල් ගාණෙ ඇවිදින්න මටයි දූටයි පුළුවන්.”

සහන් ආදරය ප්‍රකාශ කර ඇත්තේ වාර දෙකකදී ය.පළමුවැන්න විවාහ වූ දිනයේ ය.දෙවැන්න දිනාරාගේ මුහුණ දුටු මුල්ම මොහොතේදී ය.ඒ අවස්ථා දෙකම චාරිත්‍රානුකූලව සිදු වූ බව හිමාෂාට සිතේ.නමුත් රවිඳුගේ ආදරය ප්‍රකාශ කිරීම බොහෝ වෙනස් ය.ආදරය පළ කිරීම “මම ඔයාට ආදරෙයි” ලෙස වචන විය යුතු නැති බව ඇයට සිතෙන්නට පටන් ගෙන තිබිණ.

“මං ඇත්තටම බයයි.”

ඔහුගේ දෑසේ ඇඳෙන හැඟීම් කියවා නොගන්නට ප්‍රවේසම් වෙමින් හිමාෂා පැවසුවා ය.දික්කසාද වූ තරුණ මවකට තමන්ගේ පුතු පවරා දෙන තරම් රවිඳුගේ මව බෝසත් වන්නේ නැති බව ඇයට විශ්වාස ය.පැහැදිලි සත්‍යය පිළි නොගෙන මේ ගමන ඇවිද යන්නට අසීරු බව ඇය සිතුවා ය.එනිසා මේ දැනෙන බියපත් වීම ගැන ඇයට කම්පා වීමට දෙයක් තිබුණේ නැත.

“මේක ප්‍රශ්න නැති ගමනක් නෙමෙයි.මං ඔයාටවත් ඔයා මටවත් කිසිම දෙයක් කියන්න කලින් අපි පාරමීගේ ප්‍රශ්න දරා ගත්තා.හැබැයි ඒ ප්‍රශ්න දරා ගන්නකොට අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් අනිත් කෙනාට කිව්වේ නෑ හැම ප්‍රශ්නෙකදි ම ළඟ ඉන්නවා කියලා.එහෙම නොකියත් දරා ගත්තානම් අපිට දැන් මේවට මූණ දෙන එක හරිම ලේසි දෙයක්.”

අධිෂ්ඨානයෙන් බබළන දෑසක් දෙස බලා හිඳීම අසීරු නොවන බව හිමාෂා දන්නී ය.රවිඳුගේ දෑසේ රැඳී ඇත්තේ ප්‍රේමය ද අධිෂ්ඨානය ද යැයි කියවා ගන්නට ඇය මොහොතක් මිඩංගු කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles