“අම්ම කෙනෙක්ගෙ හිතක් රිද්දලා දිනාගන්න කිසිම දේක වටිනාකමක් නෑ රවිඳු”
රවිඳු අසත්‍යය පවසා තිබුණේ නැත.අම්මා මේ සම්බන්ධය තරයේ ප්‍රතික්ෂේප කිරීමේ පැහැදිලි සත්‍යය ඔහු හිමාෂාට පවසනවිට ඇය එසේ කිව්වේ එබැවිනි.එහෙත් රවිඳු එය අසා හුන්නේ මඳ සිනාවකිනි.සමහර දේ දරා ගන්නටම වෙන මොහොතකදී ඔහුගෙන් නැඟෙන්නේ මෙහෙම සිනාවක් බව ඇය දැන සිටියා ය.
“මං කලින් අෆෙයා එක පටන් ගත්තම අම්මා එයාට හරියට කැමති වුණා.ඔයා සහන්ව බැන්දේ අම්මගෙ ආශිර්වාදෙන් නෙවෙයිද? දෙමව්පියන්ගෙ ප්‍රාර්තනාවකට ලොකු දේවල් කරන්න පුලුවන්.ඔව් ඒක ඇත්ත තමයි.ඒත් අපි ගන්න තීරණයක් වැරදි නෑ කියලා පේන වෙලාවකට පවා එයාලා අපි කරන්නේ නරකම දේ කියලා ඉමෝෂනලි බ්ලැක් මේල් කරන එක නරකයි.”
වැඩිහිටි පුද්ගලයෙකුට තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් වගකියන්නට හැකි විය යුතු වේ.එක් මිනිසෙකු අතින් ප්‍රතික්ෂේප වූ ගැහැනියක් දරා ගැනීමේ තීරණය තමන්ගේ ය.ඈ ඔහු අතින් ප්‍රතික්ෂේප වූයේ හිමාෂා සහන්ගේ ආකාරයට ගැළපෙන්නියක නොවන නිසා මිසක ඇගේ වෙනත් ගැටලුවක් නොවන නිසා බව ඔහු අවබෝධ කරගෙන හිඳියි.අවාසනාව කියන්නේ නිර්මාණය කර ගන්නා කතන්දරයකි.මෙලොව වසන කිසිම ජීවියෙකු අවාසනාව මිටින් ගෙන පැමිණෙන්නේ නැත.
“මාව පෝරුවකට නග්ගන්නත් අම්මා අකමැති ඇති.ඉතින් ඒවා සාදාරණයි.”
රවිඳු ඒ කතාවට හිනැහුණේ ලෝබ නැතිව ය.
“තව කෙනෙක් එක්ක ජීවත් වුණු කෙල්ලක් පෝරුවෙ කලන්තෙ දානව.ඒත් හිතේ කිසිම කැමැත්තක් නැතුව රොබෝලා වගේ පෝරුවට නගින කෙල්ලො ඒ විනාඩි ගාණම අගේට ඉන්නව කියන එකම බොරුවක්නෙ හිමා.ඇත්තටම තමන් අකමැති කසාදයක් වෙනකොට පෝරුවෙන් බැහැල දුවන්න කෙල්ලන්ට පුලුවන් වෙන්න ඕන.ඒ නැතුව තමන් කැමති කොල්ලෙක් එක්ක එකට ජීවත් වෙලා ඒ සම්බන්දෙ හරි කසාදෙ හරි කැඩෙන කෙල්ලො පෝරුවක කලන්තෙ දාලා හරි යන් නෑ.කාටත් වඩා ලස්සනට හිනා වෙන්න ඕන එයාලා.කුණාටුවක් පහු කරලා වසන්ත කාලෙට යන මිනිස්සු තමයි වැඩියෙන්ම හිනා වෙන්න ඕන”
රවිඳුගේ සරදම් වලට ඇති වන තුරු පහසුවෙන් සිනා වූ දවස් අතීතයේ ඕනෑතරම් තිබේ.එහෙත් ඒ සරල කාර්යාලීය සගයාට වඩා මේ සුන්දර ජීවන සහකාරයා මොනතරම් අපූරු මිනිසෙක්දැයි හිමාෂා සිතුවා ය.දැන් සිනාවෙන්නට හේතු ඇත්තේ ඔහු පවසන සරදම් වලට නොවේ.ඔහු පවසන ජීවිතය සම්බන්ධ කාරණාවලට ය.බොහෝ සංකීර්ණ බව සිතූ කාරණා ඔහු සරලව පහදා දෙද්දී සැනසීමෙන් හිනැහීම ම ජීවිතය වඩා පහසු කරන්නට හේතු වන බව ඇයට සිතේ.
“අම්මයි නංගියි දාලා එන්න හිත හදා ගන්න ඔයාට කොච්චර කල් ඕනෑද?”
ඒ කඩයිම් ප්‍රශ්නයක්දැයි හිමාෂා සිතුවා ය.නමුත් අම්මා හෝ නංගි මේ විවාහය වන තුරු ඇඟිලි ගනිනවා මිසක එයට විරෝධය පළ නොකරයි
“මං අම්මට කවදාවත් නරක පුතෙක් වුණේ නෑ.එකම එක වතාවක් ජීවිතේ නැති කර ගන්න ගිය වෙලාවේ මිසක් අනිත් කිසිම වෙලාවක මං එයාගෙ හිත රිද්දලා නෑ.ඒත් මං වෙනුවෙන් මං එයාගෙ වචනෙට පිටුපාන්න හිතුවා.මං මේක කරන්නේ ඔයා ගැන හිතලත් නෙවේ.මං ගැන හිතලා.ආත්මාර්ථකාමී වෙලා.”
සමහර තීරණ ගත යුතුම මොහොතක් එළඹේ.එවැනි මොහොතක පසුපසට අඩි තබමින් කල් මැරීම නොකළ යුතු යැයි රවිඳු සිතී ය.ඔහු ජීවිතය ගැන මේ මොහොතේ ගත යුතු ප්‍රබලම තීරණය ගැන කියන්නට සිතුවේ එනිසා ය.
“අපි මැරි කරමු!!”
ඒ කතාව කියන්නට රවිඳු මේ තරම් හදිසි වේයැයි හිමාෂා සිහිනයකින්වත් සිතා නොතිබිණ.