අකල් වැහි – 01

ගාලු මුවදොර අතුරු සිදුරු නැතිව පිරී ගොස් ය.හිරුදි රත් පැහැගත් ආකාසය දෙස නෙතු නොපියා බලා හුන්නේ හදවතේ සිතුවිලි පිටාර ගලන්නට ඉඩ දෙමිනි.සියල්ල වෙනස් වන්නට පටන් ගෙන තවම දින විස්සක්වත් ගෙවී නොමැත.නමුත් බොහෝ දේ වෙනස් වන්නට පටන් ගෙන අවසන් ය.

“අව්ව සැර වැඩි හිරූ.හවස එන්න තිබ්බේ ඔයාට”

නිපුනි මිතුරියගේ ඇත අල්ලා ගත්තේ එහෙම කියමිනි.නිරන්තර රූපලාවන්‍ය ප්‍රතිකාර වලට ලක් වන සඳක් බඳු උවනක් අව් රශ්මිය හන්දා රත් පැහැයට හැරීම ගැන නිපුනිට දැඩි දුකක් දැනේ.මේ හිරුදි පැමිණිය යුතු ගමනක් නොවන බව ඇයට සිතෙයි.වැඩි තිගැස්ම එනිසා ය.කළු පැහැයෙන් සැරසුණු මිනිසුන් සටන් පාඨ කියමින් හඬ නගද්දී ඒවා හිරුදිට කෙසේ දැනෙනවා ද සිතන්නටවත් නිපුනිට නොසිතෙයි.ඇයට මේ සමහර දෑ පෞද්ගලිකව දැනෙන්නට ඇති ඉඩ වැඩි ය.නමුත් මේ ගමන ආ යුතුම බව පැවසුවේ ද හිරුදී ය.ඇය මෙවැනි හිතුවක්කාරියක වීමට හේතුව නිපුනිට තවම පැහැදිලි නොවේ.

“ඔයා විහින් ලෙඩක් දාගන්න හදන්නේ බබා. ඔතනට හිරුදි එක්කන් ගියා කියලා චේතන දැනගත්තම ඔයා නෙවෙයි මාත් ඉවරයි.අනිත් එක ඔයාගේ අත අල්ලන් ගෝල්ෆේස් එක පුරා ඇවිදින්නේ හිරුදි සමරවික්‍රම කියලා ඔතන ඉන්න මිනිස්සු දැනගත්තම?”නිපුනිගේ සැමියා වූ අකිල එසේ පැවසුවේ අරගල භූමියට යාමට අවැසි බව කියමින් හිරුදි වෙනම අරගලයක් කළ මොහොතේ ය.මිතුරියට අවනත වන්නට නිපුනි හිත හදාගද්දී පවා අකිල මේ ගමන ගැන අප්‍රමාණ අකමැත්තක් දැක්වූවේ ය.

මේ හින්දි චිත්‍රපටයක් නොවේ.ජන අරගලයක් ඇති මොහොතකි.ආ ගමන ගැන තිගැස්මෙන් නිපුනි මිතුරිය දෙස බැලුවා ය.

“අපි යං හිරූ”

නමුත් හිරුදිට යන්නට හිත නොවේ.වෙනදාට මෙතැනින් ඔබ්බෙහි පෙනෙන තරු පන්තියේ හෝටල් කරා පැමිණි කිසිම දවසක මෙවැනි හැඟීමක් ඇතිව නැති බව ඇය දනියි.මේ හැඟීම හිත පුරා විඳින්නට ඇයට ඕනෑ ය.

“අපි මොනවා හරි වැඩක් කරමු?”

කිසිම දැන හඳුනා ගැනීමක් නැතිවම එකිනෙකාට උදව් වෙන,වැඩකටයුතු බෙදා ගන්නා තරුණ ප්‍රජාව අතර කුහුඹු කෙල්ලක වීමට හිරුදිට උවමනා ය.ඇය කුහුඹු දැරියකව හිඳ නැත.එනිසා ම එය මිහිරි හැඟීමක් දැයි දැන ගන්නට ඇය කැමති ය.

“තේ බොන්න..තේ බොන්න.”

සටන් පාඨ ලියමින් හුන් තරුණයන් අතරට තේ කෝප්ප බන්දේසියක් උස්සා ගත “ඔහු” කඩාපාත් වෙන අන්දම ඇය දුටුවේ ඒ මොහොතේ ය.හිරුදි නිපුනි දෙස බැලුවේ දඟකාර සිනාවක් තොල් අතරට ගනිමිනි.

“මට තේ ඕන.”

නිපුනි මිතුරිය දෙස බැලුවේ කියන්නට දේ සිතමිනි.මේ ඇගේ තාත්තා අපනයනය කරන අන්දමේ ඉහළ සන්නාමයකින් සැකසු තේ නොවේ.දැරිය හැකි මිලකට මිනිසුන් එදිනෙදා පරිභෝජනය කරන තේ කෝප්පයකි.මාළු බනිස් සහ තවත් කෙටි කෑම කිහිපයක් තරුණයන් ඇත බෙදී යයි.ඒවා ඉස්තරම් අමුද්‍රව්‍යයෙන් සැකසුණු ඒවා නොවේ.කොහේ හෝ කුඩා බේකරියක පිසින ලද ඒවා ය.

හිරුදි සත් මහලින් බසින්නට තීරණය කරන්නට ඇත.නමුත් ඇයට මේ බිමේ පැළ වීම තබා මඳක් රැඳීම පවා අපහසු බව හොඳින් දන්නී නිපුනි ය.

“අපිටත් වැඩක් ඕන.”

තේ කෝප්පය රැගෙන හරිබරි ගැසුණු හිරුදි කියද්දී හැරී බැලුවේ “ඔහු” ය.හිරුදි කොහොමටත් තරුණ ඇස් ආකර්ෂණය කර ගන්නට සමත් ය.නමුත් අරමුණක රැඳුණු දෑස් ඇගේ රූ සපුව දෙස බලන බව නිපුනිට නොසිතේ.ඇයට ඇති එකම බිය ඔවුන් සියල්ලන්ම හිරුදි හඳුනා ගනීදැයි යන්න ය. එය සිදු වන්නට පෙර මිතුරිය ද රැගෙන මෙතනින් පලා යන්නට නිපුනි සිතුවා ය.

“පෝස්ටර්ස් ලියන්න.”

නොදන්නා තරුණයා කඩදාසි සහ පින්සල් දෙමිතුරියන් අත තැබී ය.මේ වගක් චේතනා දන්නවා නම් තරුණයාට කුමක් වේදැයි නිපුනි සිතද්දී ඇය වතේ හිරිගඩු පිපි ආයේ ය.නමුත් හිරුදි වෙනස් ප්‍රශ්නයක් නැගුවා ය.

“මොනවද ලියන්න ඕනෑ?

තරුණයා හිනැහිණ.එය චේතනගේ සිනාව මෙන් කෑදර සිනාවක් නොවේ.පැහැදුල් සිනාවකි.

“ඔයාලට මේ වෙලාවේ තියන ප්‍රශ්න තමයි ලියන්න ඕන”

ඔහු කීවේ එපමණකි.ඕනෑතරම් වෙලාවක් ඇස අලවා බලා සිටිය හැකි අන්දමේ සිනාවක් සමඟ එපමණකි.ඒ සිනාවට මොහොතක් වශී වී හුන් හිරුදි ඊළඟ තත්පරය තුළ පින්සල අතට ගත්තා ය.

“වික්ටර් ඇමතිතුමා!අලුතෙන් පටන් ගත්තු බිස්නස් එකට සල්ලි කොහෙන්ද?”

ඇය එසේ ලියද්දි තරුණයාගේ මුහුණ පිපි එන අන්දම පෙනුණේ නිපුනිට ය.නමුත් නිපුනි ඇතුලාන්තයෙන් දැවෙන්නට වුවා ය.වහා මෙතනින් පිටව යාමට ඇයට අවශ්‍ය ය.හිරුදි තවත් කඩදාසියක් අතට ගත්තේ තව මොනවා ලියන්නට දැයි සිතෙද්දී ඒ බිය දෙගුණ තෙගුණ වේ.

“වික්ටර් කාරයා කියන්නේ ලොකු පුතා සමරවික්‍රමගේ දුව බැන්දට පස්සේ හම්බුණු දෑවැද්දෙන් දියුණු වුණා කියලනේ.”

ඔහු එසේ කියා හිරුදිගේ සටන් පාඨය අතට ගත්තේ ය.නිපුනි මිතුරියගේ අතට ඇන්නේ යන්නට සන් කරන්නට ය.සුසුමක් හෙළූ හිරුදි ඔහු සමඟ හිනැහුණා ය.

“එහෙනම් සමරවික්‍රම කියන්නේ වික්ටර් ට වඩා හොරෙක්.”

තරුණයා කනගාටුදායක සිනාවක් නැගී ය.

“තමන්ගේ අරමුණු වෙනුවෙන් දුවලා දේශපාලකයන්ගේ ගෙවල්වලට විකුනලා දාන තාත්තලා කියන්නෙත් එක ජාතියක හොරු තමා නංගි”

ඒ වාක්‍යයේ මොතරමට සත්‍යයක් වේදැයි හිරුදි සිතන්නට වූවා ය.තමන් මෙතැන බව දන්නේනම් චේතනටත් වික්ටර්ටත් වඩා ප්‍රකෝප වන්නේ තාත්තා ය.ඔහුව කුප්පවන්නිය අම්මා ය.

“අනේ ඔය ගෑනු බබාලාද බං.ප්‍රසිද්දියයි සල්ලියි වෙනුවෙන් ඔය බඳින ඔය ගෑනුන්ට ඉස්සරලා ගහන්න ඕන.”

කොහෙන්දෝ හඬක් මතුව ආයේ හිරුදිට පිපාසාව ඇති කරමිනි.ඇය නිපුනිගේ මුහුණ දෙස බැලුවේ අසරණව ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...