සුහදිනි – 08

“මට රස්තියාදුවෙ යන්න කාලයක් නෑ බබා.මම හෙට මගේ වැඩ ගොඩක හිරවෙලා.”

පුහුණුවීම් ගැන නොකියා ඔහු එපමණක් පැවසී ය.සාරණ්‍යා එය බැහැර කරන වර්ගයේ ඉමෝජියක් එවන්නට වග බලාගෙන තිබිණ.අනතුරුව ඇය ඔහුව වඩාත් කුපිත කරන්නට සිතුවා ය. අහස්ට අවලාද නැඟෙන සේ ලියැවුණු ෆේස්බුක් සටහනක් ඔහුට එවන්නට ඇයට ගත වූයේ තත්පර කිහිපයකි.

“මේ වගේ ඒවා මට එවන්න එපා සාරණ්‍යා,මමත් සාමාන්‍ය මනුස්සයෙක්.ඔයා සෙලිබ්‍රිටි ජීවිතේ අතෑරල අඩියක් බිම නොතිබ්බට ග්‍රවුන්ඩ් එකේ නොඉන්න හැම වෙලාවකම මම සාමාන්‍ය මිනිහෙක්.මෙහෙම වට කරගෙන ගහනකොට මට රිදෙනව.”

අහස් එසේ කියද්දී සාරණ්‍යා ඇයට කියන්නට ඇති කතාව පැවසුවේ සිනා මුහුණු තොගයක් අතරිනි.

“රිදෙන්න තමයි ඕන.ෆේල් කියලා ඔයා තේරුම් ගන්න ඕන.”

තවදුරටත් කෙටි පණිවිඩ ලියා යැවීමේ තේරුමක් නැතැයි අහස් සිතී ය.ඔහු හඬ පටයක් පටිගත කළේ ය.ඇය රිදවීම ම තෝරාගෙන තිබේ.ඒ මාවතේ ම ඇවිද යාම මිසක වෙනත් විකල්පයක් නැතැයි අහස් සිතී ය.

“මගේ සීනියර්ස්ලා දිහා බලලා මට තව කොච්චර හැදෙන්න පුලුවන්ද කියල මං හිතනව.මං ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.මට මේ වතාව බැරි වුණා තමයි.ඒත් ඉස්සරහට පුලුවන් වෙයි කියලා මම හිතනවා.ඒත් මට ඔයාගෙන් අහන්න තියෙන්නෙ පොඩි දෙයක්.ඇත්තටම ඉතින් ඔයා මම වගේවත් මහන්සි වෙනවද? ඔයාගේ පාර හදාගන්න ඔයාට උවමනාවක් තියනවද?”

අහස්ගේ ඒ වේගවත් හඬ සරණ්‍යාට යම් ගැස්මක් ඇති කරන්නට සමත් විණ.නමුත් ඇය පැහැදිලි කාරණාවක් ලියා එව්වා ය.ඇය ඕනෑවටත් වඩා රූමත් ය.නිළියක ලෙස ඉහළට යන්නට ඒ සාධකය ඕනෑවටත් වැඩි ය.

“ඔයාලා රඟපාන මෙගා ඩ්‍රාමාස්වලින් එහා ගිය ලෝකයක් තියනවා සාරණ්‍යා.ඒවගෙ ඉන්න ගර්ල්ස්ලා ලස්සනම නෑ.ඒත් එයාලා දක්ෂයි.අද බලනවට වඩා සෑහෙන්න දක්ෂයි තව මාසෙකින් බලනකොට.මිනිස්සු පොලිෂ් වෙන්න ඕන.ඒ නැතුව තේරුමක් නෑ.”

මේ කතාවට සාරණ්‍යා අප්‍රමාණ දේ කියන බව අහස් හොඳාකාරවම දැන සිටියේ ය.නමුත් එය පැහැදිලිව පැවසිය යුතු වේ.ඇයට ඈ සිටිනා තැන පෙන්වා නොදෙන්නට ඇය හිඳින්නේ ද අන්ධ වීමකිනි.

“මටනම් තැනක් නැති වෙන්නේ නෑ.ඒත් ඔයාටනම් ඒක ගැන කියන්න බෑ.”

සාරණ්‍යා තහවුරු කර පැවසුවා ය.අහස් ඇයගේ කතාබහ අවසන් කර කණ්ඩායම් සගයන් කිහිප දෙනෙකුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් මත ඔබමොබ යන්නට තීරණය කළේ ය.ආදරය උතුරා යයි.බොහෝ ආදරයෙන් දරා ගන්නා තරුණ ගැහැනුන් තමන්ගේ කණ්ඩායම් සගයන් වැළඳගෙන හිඳින අන්දම ඔහු නැරඹී ය.සමාජ ජාලා වලින් සියල්ලම තීරණය කරන්නට නොහැකි වුව ද මේ සමහර ඡායාරූප පසුපස ඇති කතාන්දර ඡායාරූප වලටත් වඩා ආදරණීය බව අහස් හොඳින් දැන සිටියේ ය.

“ඔලුව කන් නැති කෙල්ලො නෑ.තමන්ගේ කොල්ලගෙ ඔලුව දවසට පාරක් හරි කන්න ඕන.”

මේ ඡායාරූපවල හිඳින ආදරණීය ගැහැනු ආත්ම ඒ කතාව අසත්‍යයක් කළ බව අහස් යළිත් සිහි කළේ ය.ප්‍රේමය ගැන බොරු ආටෝප සහිත මෙවැනි විෂ සහිත කතා සමාජ ජාලා වල පැතිර යද්දී ඒවා විශ්වාස කරන්නේ සාරණ්‍යා වැනි ස්වල්පයක් ගැහැනුන් ය. තමන්ගේ කණ්ඩායමේ සගයන්ගේ සමහර බිරින්දෑවරු ප්‍රසූතිකාගාරයට පවා තනිව ගිය ගැහැනු බව ඔහු සිහි කළේ ය.කුඩා සමනල තටුවක් බඳු බිළිඳුන් අත දරා ඔවුහු ජයග්‍රහණය සහ පරාජයේ ද සැමියන් සමඟ එක්ව පැමිණියහ.ප්‍රේමය එබන්දකි.නමුත් අනුෂ්කා ෂර්මාගේ ශ්‍රී ලාංකීය සලකුණ වන්නට නම් සුළු කාරණා කිහිපයක් ළඟා කර ගැනීම ප්‍රමාණවත් බව සිතන සාරණ්‍යාට එවැනි ගැඹුරු ප්‍රේමයක් නුවුමනා ය.අනුෂ්කා පවා විරාට් කෝලිගේ අතිශය අසාර්ථක කාලයන්හි ළඟ සිටි අන්දම ගැන අහස් විස්තර කළ දිනෙක සාරණ්‍යා කළේ තොල පෙරලා හිනැහීම ය.මේ කමකට නැති යුවතියක බව අහස්ට සිතෙන්නට වූයේ එක්වරම ය.ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්නට පැකිළිය යුතු නොවේ.

අහස් කියන්නේ දඩිබිඩි තීරණ ගන්නා කලබලකාරයෙකු බව දන්නා කණ්ඩායම් නායකයා අහස්ගේ දුරකථන ඇමතුම පිළිගත්තේ දෙගිඩියාවෙන් ය.ඇතැම්විට මේ ක්‍රීඩාවෙන් සදහටම සමු ගන්නා නිවේදනය ද විය හැකි ය.ඕනෑවටත් වඩා හිත පාරාගත්විට අහස් එවැනි කටයුතුවලට රුසියෙකු බව නායකයා දනියි.ඔහු ඉවසීමෙන් කණිෂ්ටයාට ඇහුම්කන් දුන්නේ ය.

“මගෙ අෆෙයා එක ගැන ගොසිප් සයිටුයි ෆේස්බුක් එකෙයි වෛරල් වෙලානම් තමයි තියෙන්නෙ අයියෙ.ඒ හින්දා මං මේ වෙලාවෙ මේක නැවැත්තුවොත් මට නැගිටගන්නම බැරි වෙන්න මඩ වදියි ද?”

නායකයා හදවත පවසන දේ කරන්නට ප්‍රමාද නොවන්නැයි අහස්ට පැවසී ය.සහෝදරයෙකු ලෙස අහස්ව නිරීක්ෂණය කරන මොහොතක අහස්ට වඩා ජීවිතය ගැන අත්දැකීම් ඇත්තෙකු ලෙස ඔහු වටහා ගත් එක් කාරණාවක් වේ.ඒ සමහර විෂ සහිත සබඳතා මනුෂ්‍ය ජීවිත විනාශයට ඇද දමන බවකි.අවාසනාවට අහස්ට ඇත්තේ විෂ පිරුණු ප්‍රේමයක් බව ඔහු හොඳින් දනියි.

“වැටෙන්නම බැරුව වැදෙනකොට පවා උඹ නැගිටිනව මල්ලි.උඹව නැගිට්ටවන්න අපිත් ඉන්නව.බය වෙන්න එපා.”

නායකයා නොකියා කියන දෙය ගැන අහස්ට ඇති වූයේ සැනසීමකි. නමුත් ඔහුට සියුම් සමඟ ද සාකච්ඡා කරන්නට සිත් විය.සියුම් මේ සම්බන්ධයට එරෙහි වූ තරම සිහි වෙද්දී සාරණ්‍යාගේ සැබෑ ස්වරූපය ගැන ඔහු හා කතා කරන්නට අහස්ට ලැජ්ජාවක්ද දැනේ.

“අනේ ඔන්න ඔය හත් ඉලව්ව අතෑරපං බං.අඩුම තරමේ නින්දා නොකර ඉන්න ඒකිට මොලයක් තියෙන්න එපැයි.ඒකවත් නැති එකියක් එක්ක උඹට මොන ජීවිතයක්ද?”

සියුම් තරයේම පැවසුවේ ය.සාරණ්‍යා සම්පූර්ණයෙන් ම සමුගැනීමක් ගැන මොන වර්ගයේ කතාන්දර ප්‍රචාරය කරන්නට ඉඩ ඇතිදැයි ඔහු අනතුරුව සිතී ය.ඕනෑ එකක් වීමට ඉඩ හරින්නට අහස් ඊළඟට සිතුවේ ය.

“මට ලොකු බ්‍රේක් එකක් ඕන.අපි ටික කාලෙකට ඈත් වුණොත් හොඳයි කියල මම හිතනව.අපි ඊටපස්සෙ තීරණය කරමු අපි ආයේ එකට ගමනක් යනවද නැද්ද කියලා.මං සෑහෙන්නම අවුල්.මට ඒ අවුල් නැති කරගෙන මගේ වැඩවලට අවධානේ දෙන්න සම්පූර්ණ කාලය ඕන සාරණ්‍යා.ඒක ඔයා තේරුම් ගනී කියල මම හිතනව.”

සාරණ්‍යා ඒ පණිවිඩය කියවා කිසිවක්ම නොඑවා තිබිණ.අහස් තවත් පැහැදිලි කිරීමක් ලියා යැව්වේ එබැවිනි.ඔහුගේ ව්‍යක්ත ඉංග්‍රිසී භාෂාව සාරණ්‍යා තේරුම් ගැනීමේ සීමාවට ඔබ්බේ පවතින බවට සියුම් කළ සරදමක් සිහිව අහස් මේ වතාවේ සිංහල භාෂාවෙන් හැඟීම් ලියා යවන්නට සිතුවේ ය.එහෙත් එය ඇය වෙත නොගිය බව තහවුරු විණ.

ඇය ඔහුට ඈ ඇමතිය හැකි සෑම මාර්ගයක්ම අවහිර කර තිබේ! මිනිත්තු කිහිපයක් ඇතුළත එය එසේ වී තිබේ.

කර්මයක ස්වරූපයෙන් පැමිණෙන සම්බන්ධතා සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වූ ලිපියක් අහස්ට සිහි විය.විදෙස් වෙබ් අඩවියක ඒ ලිපිය ලියූ කෙනා තබා පළ වූ වෙබ් අඩවිය වත් ඔහුට දැන් මතකයේ නැත.නමුත් ඔහුට එක් කාරණාවක් මතකයේ තිබේ. Karmic Relationship නම් වේදනාත්මක සම්බන්ධතා අහවර කරන බොහොමයක් දෙනෙකුට ඉන් අනතුරුව මුණ ගැසෙන්නේ තමන්ගේ ආත්මීය ප්‍රේමය ය.වේදනාත්මක විඳවීම් බොහෝ සුන්දර අවසානයන් කරා මිනිසුන් රැගෙන යන බව සිතන්නට අහස් කැමති ය.එය ඔහුගේ වෘත්තිය සම්බන්ධයෙන් පමණක් නොවේ.පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ද විස්වාස කරන්නට ඔහු කැමැති විය.හේතු රහිතව රිදුම් ලැබූ ආදරය අවසන් කළ රාත්‍රියේ ඔහු නින්දට ගියේ සැනසීමෙනි.

නමුත් අර බියකරු සිහිනය දකින්නට ඉඩ තිබේදැයි ඔහු තුළ සැකයක් විය.

(ඔබේ අදහස කමෙන්ට් එකකින් තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles