(අ)හිමි සිහින -178

සුධාරක දකින්නට දියණියත් සමඟ ගොස් පැමිණීම මගේ සිතට විශාල සහනයක් ගෙන ආ මොහොතක්.සෑම මොහොතකම යමක් සිදු වෙමින් පැවති ඒ කාලයේ ඊළඟ තත්පරයේ කුමක් සිදු වේදැයි කියන්නට මම දැනගෙන හිටියේ නෑ.එහෙත් මා අතහැර දැමූ සුධාරකගේ ඥාතීන් අතරින් ඔහුගේ එක නංගි කෙනෙක් මට නැවත ළං වෙමින් සිටියා.

“රෑ වැටුණු වලේ ආයේ ආයේ වැටෙන්න හදන අනුරාධාගේ  කතාව මෙතනින් එහා කියෝලා වැඩකුත් නෑ.”

ඔබ දැන් මට එහෙම කියන බව මම දන්නවා.නමුත් මට ඔබට කියන්නට දෙයක් තිබෙනවා.මේ මම පිදුරු ගසක හෝ එල්ලෙන මොහොතක්.මට මේ මොහොතේ සුධාරකට නීත්‍යානුකූල අයිතියක් ඇති අයෙකුට සමීප වන්නට උවමනා වුණා.යම් යම් කාරණාවලදී ඔහුගේ නැගණිය මට අවශ්‍ය තැනකදී ඔහු වෙනුවෙන් පෙනී හිඳිනු ඇති බවට මට විශ්වාසයක් තිබුණා.

“මේ තීරණ ගත්තේ අම්මා,දිල්හානි අක්කා.”

එවැනි සාක්ෂියක් අවශ්‍ය මොහොතක ඇගෙන් ගන්නට හැකි වුවහොත් මේ ප්‍රශ්නය විසඳා ගන්නට හැකි බව මම සිතූ අවස්ථා අනන්තයි.ඒ නිසාම මට ඇය සමඟ කතාවක් නැතැයි කියා සුධාරකගේ නැගණිය බැහැර කරන්නට නුවුමනා බව මම සිතුවා.

පවුලේ කෙනෙකු මා සමඟ සිටීම යන කාරණාවෙන් උපරිම ප්‍රයෝජන ගත් නමුත් මම ඇය අපේ නිවසට ගෙන්වා ගත්තේ නෑ.

ඔහුට රෝහලේ වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකුගෙන් හැරුණු විට නිසිලෙස ප්‍රතිකාර නොලැබෙන බවක් පෙනුණු නිසා අපි පිටතින් විශේෂ අවසරයක් මත වෛද්‍යවරුන් ගෙන්වා ගත්තා.
කොහොමටත් ලංකාවේ සිටින හොඳම වෛද්‍යවරුන් ලවා සුධාරක පරීක්ෂා කරවන්නටත් මට දැඩි උවමනාවක් තිබුණා.අනිත් කාරණාව සුධාරක හිටියේ සුවවීමේ සීමාවේ නොවේ.අනිත් සීමාවේ.ඒ නිසා මට සෑම තත්පරයක්ම ඉතා වැදගත් වුණා.ඒ වෛද්‍යවරු හමුවීමට යන සෑම අවස්ථාවකමත් මම නංගි රැගෙන ගියා.ඔහුව ගොඩ ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මොහොතක් මම පසු කරමින් සිටියා.

සුධාරක සුව කර ගැනීම! එය මට අවශ්‍ය වූ එකම දේ වුණා.

නමුත් දිල්හානි ඒවා වළක්වමින් සිටියා.තමන්ට කසාද සහතිකයේ උරුමය ඇති බව ඇය දිගින් දිගටම කියා සිටියා.මට ඒ මොහොතේ නැඟුණේ එක් ප්‍රශ්නයක්.

අයිතිය ඇති බව ඇත්ත.එසේ නම් ඇය මව් රටට පැමිණිය යුතුම මොහොත මෙය නොවේද? රටකට වෙලා ඉදගෙන ඇයට අයිතිය වෙනුවෙන් සටන් කළ හැකි ද?

මරණය ඉතා කෙටි මොහොතකින් රෝගියෙකු සොයා එන්නක්.මට මේ තත්පරයක් පවා බරට දැනෙන මොහොතක්.මට එසේ නම් ඇයට ද එසේ විය යුතුයි.ඇය ඉතාම බරට නීතිමය අවසරය ගැන කියමින් සිටිනවා.දේපල ගැන සිතමින් සිටිනවා.නමුත් සුධාරකගේ ජීවිතය වෙනුවෙන් ලංකාවට පැමිණියේ නැහැ.

සුධාරක සහ ඔහුගේ රෝගය ගැන මුළු රටක් විමසිලිමත් වුණා.එය් බොහෝ දේ සිදු වූ කාලයක්.සංක්‍රාන්ති සමයක්.මගේ දූගේ තාත්තා හැරෙන්නට අනිත් සෑම කෙනෙකුම නිකමට හෝ ඒ ගැන සොයා බැලුවා.දිල්හානි එසේ වියරුවෙන් හැසිරෙද්දී එහි අනිත් අන්තය වූ චමල් ලෝකය පෙරළුණද කිසිවක්ම දැන සිටියේ නෑ.ඔහු එකත් එකටම අලුත් මත්පැනක රස බලමින් කොහේ හෝ වෙරිමරගාතේ වැටී හිඳින්නට ඇති.

අප ජීවිතයේ සමහර අවස්ථාවලදී අඩියක් පසුපසට ගන්නට අවශ්‍ය අවස්ථා පැමිණෙනවා.මට එවැනි මොහොතක් පැමිණියා.අපට සමහර අවස්ථාවලදී අපේ ආත්ම ගෞරවය පසෙකට දමා ආදරණීයයන් වෙනුවෙන් පෙනී සිටින්නට වන බව දන්නා නිසා මම සුධාරක වෙනුවෙන් දිල්හානි අමතන්නට තීරණය කළා.මම ඇයට මුලින්ම පණිවිඩයක් යවන්නට තීරණය කළා.මීට පෙරදී මගේ අංකයට නොනවත්වාම මඟ හැරුණු ඇමතුම් තැබූ ඇය මගේ අංකය දන්නවා.මම එහෙත් මා හඳුන්වා දෙමින් ඇයට ඉංග්‍රිසී බසින් කෙටි පණිවිඩයක් යැව්වා.

“මම දන්නවා මේ මගේ අංකය බව ඔයා දන්න වග.මේ ඔයාට කතා කළ යුතුම මොහොතක් බව මම විශ්වාස කරනවා දිල්හානි.මෙය අපි දෙන්නා අතර පමණක් පැවතීම ප්‍රමාණවත්.ඔයාටත් දරුවන්ටත් පසු කාලයේ පසුතැවීමක් වෙන දේවල් පිරිසක් කරමින් ඉන්නේ.ඒ නිසා මේ වෙලාවේ මොලය පාවිච්ච් කරන්න.මේ වෙලාවේ සුධාරකගේ ජීවිතය මිස කිසිම දෙයක් වටින්නේ නැහැ.ඒ නිසා මගේ කෝල් එක ආන්සර් කරන්න.”

ඒ පණිවිඩය යවා මම ඇයට ඇමතුමක් ලබා ගත්තා.කිහිපවතාවක් හෙලෝ කියූ දිල්හානි ඉන්පසු දුන්නේ වචන හය හතක පිළිතුරක්.

“මට ඔයාට කතා කරන්න දෙයක් නෑ.බායි.”

මම කියන්නට සැරසෙන දෙය අසන්නට ඇයට ඕනෑ වුණේ නැහැ.මා සමාව අයදිමින් ඇයට මව් රටට පැමිණ සුදාරකට නිවැරදි ප්‍රතිකාර කරන ලෙස ඉල්ලනවාදැයි දැන ගන්නටවත් ඇයට ඕනෑ වූයේ නෑ.ඒ වෙනුවට ඇය ඇමතුම විසන්ධි කලා.

“මං ඔයා එක්ක සාද කතාවට නෙවෙයි කෝල් කරේ.අතිශය වැදගත් උවමනාවකට.ඔයා සුධාරකට ජීවිතේ කවදාවත් ආදරය නොකළ බව මම දන්නවා දිල්හානි.ඔයා අද ඒක මට ඔප්පු කළා.”

මම වෙන මොනවා කියන්නද? දැනෙන දැඩි අප්‍රසන්න හැඟීමෙන්ම මම ඇයට එසේ ලියා යැව්වා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles