මේ වන විටත් අප ළඟින් ඉවත් කළ රියදුරන් ඔවුන්ගේ පෞද්ගලික නිවාඩුවෙන් පැමිණ මගේ මෝටර් රථයේ වැඩකරමින් සිටියා.කිසිදු අයිතියක් නැතුවත් ඔවුන් තම ජේෂ්ඨ නිලධාරියාට ඇති ලැදියාවට ඔහුගේ ජීවිතය බේරාගන්නට මා ගෙනයමින් තිබූණු සටනට ඔවුන්ගේ දායකත්වය හැකි අයුරින් ලබාදෙමින් සිටියා.ඒ නිසාම මේ පොලිසියට යන ගමනටත් මගේ රථය පැදවූයේ අප ළඟ සිටි රියදුරෙක්.
මේ කාලය කොරෝනා උවදුර තදින් පැතිර යමින් තිබූ නිසා මුඛ ආවරණය පැලඳ සිටීමත් එක්තරා ආකාරයක ආරක්ෂාවක් ලබාදුන් තැන් නැතුවාම නෙවෙයි.ඒ වුණත් මා රියදුරාට කිසිවිටෙක මුඛ ආවරණය ඉවත් නොකරන ලෙස උපදෙස් දී තිබුණා.ඒ වෙන කිසිවක් නිසා නොවෙයි.ඔවුන්ගේ රැකියාවෙන් ඔවුන්ට අසාධාරණයක් වීම වැළකීමටයි.
ඒ වනවිටත් අනුරාධපුරයෙන් පිටවූ තැන් පටන් සුධාරකගේ අසල සිටි නිලධාරීන් බොහෝ අසාධාරණකම්වලට ලක්ව තිබුණා.ඒ සුධාරකගේ මස්සිනා නිසා.ඔහු විශ්‍රාමික නිලධාරියෙකු වූ නිසාම ඔහුගේ දැනහැඳුනුම්කම් මත ඒ දරුවන්ට යම් යම් අපහසුතාවලට ලක්වන සේ කටයුතු කර තිබුණා.ඒ බව ඔවුන් කිසිදා මට නොකියන්නට වග බලාගෙන තිබුණේ සුධාරක වෙනුවෙන් වෙහෙසෙන මට තවත් වෙහෙසක් නොදිය යුතු යැයි හැදුණු නිසා බව මට පසුව දැනගන්නට ලැබුණා.
පොලිසියේ සිට ඉවතට ආ මට රියදුරා පැවසුවේ අමුතුම කතාවක්.
“මැඩම්,අර සර්ගේ පවුලේ කට්ටිය එළියට ඇවිල්ලා වාහනයට නැගලා ගියා.ඒත් ටිකකින් ආපහු හරවාගෙන ඇවිත් මේ වාහනය දිහාම බලාගෙන හිටියා. ඔය වගේ දෙපාරක් විතර එහෙට මෙහෙට ගිහින් මටත් රවලා මොනවද ලියාගත්තා.මං හිතන්නේ වාහනේ නම්බර් එක තමයි ලියාගන්න ඇත්තේ”
නමුත් මම එයට සසැළුණේ නැහැ.
“ඒ ගැන බයවෙන්න ඕන නෑ.මේක මගේ මුදලින් ගත් මගේ වාහනේ.ඒ මිනිස්සුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.ඔයාව අඳුරගත්තේ නැත්නම් එච්චරයි”
මම පොලිසිය පසු කර මඳ දුරක් එන විට ඔවුන් වාහනය පාර අයිනෙන් නවතා තිබෙන අන්දම මා දුටුවා.එය පසු කරද්දීම එහි සිටි සියලු දෙනා වාහනයේ ජනේලවලින් එබෙමින් මගේ රථය ඇතුළත බලනවා මා දුටුවත් එය නොදැක්කා සේ මා එන්නට ආවා.ඔවුන් එසේ බලා සිටීමේ සැඟවුණු කතන්දරය මට දැනගන්නට ලැබුණේ ඊට දවස් ගාණකට පසුව.
“අර ගෑනි ඔය ඇවිත් හිටියේ හොර මිනිහා එක්ක.ඒකි පොලිසියෙත් කාවහරි අල්ලගෙන ඇති.ඒකයි ඒකිට විරුද්ධව පොලිස්කාරයා මොකුත් කිව්වේ නැත්තෙ.ඕකි ඇස් කරකවල ඕන එකෙක් දැලේ දාගන්න දන්නවා”
මිනිසුන් මේ තරම් නිවට හා නින්දිත සේ හැසිරිය යුතුයැයි මම සිතන්නේ නෑ. ස්වාධීන ගැහැනියකට මේ තරම් නින්දා අපහාස පද හදන රටක් ලොවේ කොතැනකවත් නැහැ. එහෙත් කට ඇරියත් මේ තරම් දැහැමි ආගමානුකූලව සදාචාර සම්පන්න සංස්කෘතියෙන් අගතැන්පත් ධර්මද්වීපයක් ද මේ විශ්වයේම නැහැ. නිවහල් යන ලේබලය ගසාගෙන සිටියාට වහල් මානසිකත්වයක ජීවත් වෙන දූපත් වාසීන් සිටිනතුරු මේ රටේ අනාගතය ද මෙයම වනු ඇතැයි මට සිතෙනවා.
කාන්තා නායකත්වය,කාන්තා සවිය කාන්තා දිරිය ගැන කතාකරන සංවිධාන හෝ පුද්ගලයන් මෙසේ කාන්තාවන්ට ගරහන විට පෙනී සිටිනවාද යන්න ගැන ගැටලුවක් මට තිබෙනවා.නමට සංවිධාන බොහොමයක් පැවතුණත් සැබවින්ම කාන්තා නියෝජනයක් ඇති තැනක් මට නම් මෙතෙක් හමුවී නැහැ.
මම සුධාරක සුව කරගන්නට හා ඔහුට වන අසාධාරණයට සහනයක් ඉල්ලා ක්‍රියාකාරී කාන්තා සමිති හා නායකත්ව ගැන කියාගෙන සිටින අය සිටි ආයතන හමුවට ගියා. හැමදේම අසාගෙන සිටින ඔවුන් අවසානයට කියන දේ ඇසූ මට සිතුණේ ඒ මොන සංවිධානයටත් වඩා තනි ගැහැනියක් ලෙස මම ඊට වඩා ශක්තිමත් බවයි.කළ යුතු දේ කරගන්නට නොහැකි නම් කරන්නේ ද නැත්නම් සංවිධාන වලින් ඇති ඵලය කිමදැයි මා අදටත් දන්නේ නෑ.
මහා ඉහළින් කතා කරන මානව හිමිකම් වුණත් අප හිතන තරම්
සුන්දර නැති බව මම ඉගෙන ගත්තේ මගේ කතාවෙන්.
.මිනිසෙක් හරිහැටි සිහිසන් නොමැතිව තමා ගැන තීරණයක් තමාට ගන්නට නොහැකි තැනට වැටුණු විට සාමාන්‍යයෙන් නම් වන්නේ ඔහු ළඟම සිටින සමීපතමයන් එක්වී ඔහු සම්බන්ධව ගතහැකි හොඳම තීරණ ගැනීමයි. එහෙත් සුධාරකට සිදුවූයේ එහි විරුද්ධ දෙයයි.එවිට එම රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ගෙන සුවවීමට ඇති මානව හිමිකමට කුමක් සිදුවේද?ඔහුට නිසි ප්‍රතිකාර කරන්නට ඉදිරිපත් වන්නවුන් පවා අවහිර කරමින් සිදු කාල ඒ සාපරාධී අපරාධයට ඔහු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද? වැ
මා මානව හිමිකම් ආයතනවල පිළිගත් නීතිඥවරු සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින නිලධාරීන් සියලුම දෙනාගෙන් මේ ගැන විමසා සිටියා.මේ සම්බන්ධයෙන් ඇති සමහර දේවල් ගැන ඔවුන් මට පැවසුවේ කිසිසේත්ම අපේක්ෂා නොකළ දේවල් බව නොකියාම බැහැ.
මට සුධාරකගේ ආයතනය හා ගැටලුවක් තිබුණේ නෑ. ඔවුන්ටද කරකියාගන්නට දෙයක් නොමැතිව සිටි මම උසස් නිලයන්ගෙන්ම දැන ගත්තා.මෙහි රෝගියාගේ සියලු අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටියේ ඔහුගේම මිනිසුන්.ඉතින් මේ අවනඩුව කාට විසඳිය හැකිද?
Facebook සහ ටෙලිනාට්‍ය රසබලන අතරම මේ රටේ නීති පද්ධතිය ගැනත් ඔබ විමසා දැනගෙන ඉන්නවා නම් වටින්නේයැයි මම විශ්වාස කරනවා.මට හා සුධාරකට වූ දෙයම නොවුණත් හෙට ලිහාගත නොහැකි ගැටලුවකට ඔබත් මුහුණ දෙන්නට පුලුවන්. එය විවාහ ගැටලුවක්, ඉඩම් හෝ අයිතිවාසිකම් ගැන ගැටලුවක් වෙන්නට පුලුවන්.ඔබ මේ දේවල් දැනගත යුතු නිසා ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ඇති කරගන්න.
මේ වනවිට සුධාරක හමුදා රෝහලට ගෙනවිත් මාස එකහමාරක් පමණ ගතවී තිබුණා ඒ මුළු කාලය පුරාම මට ඔහු බලන්නට හැකි වූයේ එක්වරක් පමණයි.එයත් ඔහුගේ පවුලේ කිසිවකුට හොරෙන් කළ හමු වීමක්
මේ අතර මගේ උපන්දිනය පැමිණෙමින් තිබුණා.වෙනදා මා බදා සිප වැලඳගෙන සුධාරකත් දියණියත් සැමරූ මගේ උපන්දිනය අද කැඩී බිඳී විසිරී ගිය පැතුම් හා හැඟුම් සමුදායක් මා අභියස තිබියදී උදාවෙමින් තිබුණා
මගේ උපන්දිනයට මම මොකද කළේ? ඒ ගැන මම හෙට කියන්නම්