ප්‍රේමයේ අභිමන් -36

රැය පහන් වන තුරු ම වැසි වැටුණේ ය. අපරාජිතා සිටියේ නින්දත් නො නින්දත් අතරේ ය. කඩින් කඩ ඇය ට නින්ද ගියේ ය. නමුත් අවදි වූ විට දැනුණේ මුළුමනින් අවදියෙන් සිටියා සේ ය. නින්දේදීත් නො නින්දේදීත් ඇගේ කොපුල ඒ හාදුවෙන් තෙරපිණ. 

එවැන්නක් සිදු වූයේ සසංක ගේ බීමත නිසායි සිතන්නට ඇය ට ඕනෑ විය. නමුත් ඒ සිදුවීම කිසි සේත් අමතක කළ නො හැකි ය. කෙසේ වෙතත් ඒ ගැන දුරට දිගට නො සිතා ඉන්නට ඈ උත්සාහ කළා ය. සිතුවේ නැතිවාට හැම හුස්මක් ගානේ ම බරැති යමක් පපුවේ විය. එය රිදුමක් ද මිහිරක් දැයි වෙන් කොට හැඳින ගන්නට ඕ පොහොසත් නොවූ අතර හිතට වද දෙමින් ඒ නොතේරෙන දේ තේරුම්  ගන්නට නොයා ඇය ඔහේ සිටියා ය.

අපරාජිතා බිය වූයේ අනන්‍යා ගැන ය. ඇය නෝක්කාඩු ස්වරයකින් බැල්කනියට විත් ආඩපාලි කියත්දී අපරාජිතා ගේ පපුව හිර ව ගියේ ය. ඇය දෑස් අයාගෙන දියණිය දෙස බලා ගත්තේ ඈ ගෙතුළ නො සිටි එක ගැන අනන්‍යා සැක කරාවිද යන ප්‍රශ්නය හදවතින් දරා ගෙන ය.

“මං දන්නව අම්මිට පාළුයි කියල. අයිම් සොරි අම්මි. මට හොඳටම නින්ද ගියා. ඔයා මෙතන පින්න වැදි වැදි කල්පනා කර කර හිටිය නේද…”

ඊළඟ මොහොතේ අනන්‍යා විත් අපරාජිතා පා මුල බිම හිඳ ඇගේ හිස අම්මා ගේ උකුලේ තියා ගත්තා ය. 

“උදේ අම්මි කියපු දේවල් ගැන මං හුඟක් හිතුව. ඒ හැම දේම කොච්චර ඇත්තද කියල මං දන්නව. තාත්තිට මං කියන්නං මෙහෙට එන්න එපා කියල. මං එයාව මගදි මීට් වෙන්නං. හැබැයි අම්මි ඔයා තරං හොඳ වෙන්නනං මට බෑ. අර රොෂෙල් ගෑනිට මෛත්‍රී කරන්න කියලනං මට කියන්න එපා. ඒක කවදාවත් මට කරන්න බැරි වෙයි”

වෙව්ලන අපරාජිතා ගේ අතැඟිලි අනන්‍යා ගේ හිස මත තැබිණ. දියණිය අම්මා ගේ බඳ වටා දෑත් යවමින් තවත් ඒ උණුහුමට තුරුලු වූවා ය. අපරාජිතා ට එක වචනයක් හෝ කතා කර ගත හැකි වූයේ නැත. නමුත් කිසියම් සැනසිල්ලක් පපුවට දැනිණ. 

දවල් වෙන තුරු ම සසංක නිදා ගත්තේ ය. අවදි වන හැම වතාවක ම ඔහු ගේ පපුව කුමක්දෝ ගින්දරකට හසු වන බවක් දැනිණ. ඒ මොහොත සිහි වෙන වාරයක් ගානේ මහත් පසුතැවීමක් ඔහු වෙලා ගත්තේ ය. හෙටින් උදා වෙන දවසේ අපරාජිතා ගේ ප්‍රතිචාරය කෙබඳු වේ ද කියා බිය ක් ඔහු තුළ නැත්තේ ය. දැඩි ප්‍රතිචාරයක් දක්වනවා නම් ඇය එය කරන්නේ ඒ මොහොතේ ම බව දැන් ඔහු දනී. එසේ ම පෙර දා රාත්‍රියේ ඔහු විසින් සිප ගන්නා ලද්දේ හැඟීම් වලින් ගිනි වැදුණ ගැහැනියක නොවන බව ද සසංක ට ඉර හඳ සේ විශ්වාස ය. 

නො සිදු විය යුතු යමක් වී ය තැවීම අතරේ ම එහෙම වුණ එකයි හොඳයි වාගේ හිතුවක්කාර සිතිවිල්ලක් සසංක ගේ පිරිමිකාර ලවන් අතරේ මඳහසක් අඳනා ලදී. නමුත් අපරාජිතා ට මූණ දෙන්නේ කෙසේ ද යන ගැටළුව ඔහු ට විය. 

වැස්ස නිසා අම්මාත් දුවත් තරමක් දවල් වන තුරු යහනට වී සිටියහ. අපරාජිතා ට සසංක සිහි නොවූවා නොවේ. ඇය යහනෙන් පිබිද තේ හදන්නට වතුර කේතලය රත් වෙන්නට තැබුවේ ඔහු නිසාවෙන් ම ය.

“සසංකට තේ බොන්න එන්න කියන්න. ඊයෙ රෑ වෙලා වැනි වැනි ආවෙ. කන්නෙත් නැතුව නිදියන්න ඇත්තෙ. තේ එකක් බීල යන්න කියන්න”

තේ හදන ගමන් අපරාජිතා අනන්‍යා ට කීවා ය.

“ආ ඊයෙ බීලද…”

අනන්‍යා සිනහ වී අසමින් කුඩා බැල්කනිය වෙත ගියා ය. 

“අන්න යනව”

ඇය එහි සිට ම කෑ ගෑවා ය. හෘත් පේෂි වල නාය යාමක් අපරාජිතා මොහොතකට අත්වින්දා ය.

“යනව…”

“හ්ම්…මං මෙතන්ට එනකොටමයි කා එක පාරට ගිහිං ගේට් එක වැහුණෙ”

කෝප්පයකට වත් කළ තේ ටිකක් පිටතට ඉහිරිණි. අපරාජිතා සිය සිහින් දෙතොල් තද කොට සපා ගත්තා ය. සෙනසුරාදාව වීත් සසංක උදෙන් ම පිටව ගියේ ඇයි දැයි නො සිතා ඉන්න එක හිතට පහසු වූයේ ය.

එදා කාර්යාලයේ නිශ්චිත වැඩක් නොවුණත් වෙන යන්නට තැනක් නැති කමට කාලය ගෙවා ගනු වස් සසංක ගියේ එහි ය. ඇල්කොහොල් වල බලය නොවන්නට අපරාජිතා වැළඳ ගන්නටවත් ඇගේ මූණ සිප ගන්නටවත් ධෛර්යයක් උපදවා ගත නො හැකි බව ඔහු දනී. මේ විදිහට අද මග හැර ගිය ද හැමදාම එසේ කළ නො හැකි බව ද ඔහු දනී. ඇයට මුහුණ දෙන්නට ධෛර්යය උපදවා ගන්නා තුරාවට කාර්යාලයට වී ඉන්නට ඔහු තීරණය කළේ ය. 

වැස්සේ ම පැමිණි දේශිකා අපරාජිතා ගේ මූණේ සඟවන යමක් දුටුවා ය. නමුත් ඒ ගැන විමසිය හැකි වූයේ අනන්‍යා කාමරයේ ඇඳට වී ඉයර් ෆෝන් ගසා ගෙන සින්දු අහන්නට පටන් ගත් විට ය.

“මොනා හරි කියන්න තියනවද…”

නැවතත් අර හදවත් පේෂි වල පෙරළීම සිදු විය. අපරාජිතා නෑ කියන්නට හිස දෙපසට සැළුවා ය. ඇගේ ජීවිතයේ සඟවාලිය යුතු රහසක් නැති මිතුරියට වුව කියා ගන්නට බැරි, හද නිධානයෙහි සඟවා තබා ගත යුතු යමක් ඉතිරි වූයේ ඇයි දැයි ඇය කම්පිත ව සිතුවා ය.

“ඇත්ත කියනව. මොකක් හරි වුණානෙ…”

දේශිකා යළිත් ඒ පැනය යොමු කළේ ඔවුන් දෙදෙනා බඩු ටිකක් ගේන්නට සුපර් මාකට් එකට යන්න පිටත් වූ කල ය. දැන් ඉතින් මගැර යා නො හැකි බව අපරාජිතා දැන සිටියා ය.

“ඊයෙ සසංක බීල ආවෙ”

“බීල…පාටි එකක් වෙන්නැති”

“මන්දා. කා එකෙන් බහිද්දි විසි වෙන්න ගිය නිසා මං දෙහි ගෙඩියක් අරං ගිහිං ඔළුවෙ ගෑව”

ඇය වචන තෝරා බේරා ගත්තේ බෝ ප්‍රවේසමෙනි. ඇතැම් දේවල් නො කියා හිටියා ට බොරුවක් නො කියවෙන බව ඇය ට විශ්වාස ය. කෙසේ වෙතත් දේශිකා ගේ කට කොනක් ඇද විය.

“දැංවත් පිළිගන්නවද…”

“මොනාද…”

ඒ වචනය පිට වූයේ අපරාජිතා ගේ උගුර යටිනි. 

“ඕක මොන විදිහෙ හැඟීමක්ද කියල…”

“දොඩවන්නෙපා”

“මුලින්ම තමුන්ට අවංක වෙනව. තමුංගෙන් හැංගෙන්න හදන්න එපා කාගෙං හැංගුනත්. සසංක ලව් කියල මං මුලින්ම කිව්වනෙ. ඒකා බලන බැල්මක් තේරුං ගන්න බැරි තරං අපි බබාල නෙවේනෙ. මට තේරෙනවනං තවුසෙට තේරෙන්නැති වෙන්න බෑනෙ. අනික කොහොමත් ඌ නිර්ණාමික ලියන්නීට ලව් කියල එදා අසේල කිව්ව මතකනෙ…අල්ලපු ගෙදර මිනිහෙක් බිව්ව කියල  ඔළුවෙ දෙහි ගාන්න පිට ගෑනියෙක්ට හිතෙන්නෑ අපූ…ඒකට හැඟීමක් තියෙන්න ඕන. බැඳීමක් දැනෙන්න ඕන. එහෙම බැඳීමක් දැනෙනවනං හිතට බැර්යර්ස් දාන්න හදන්න එපා. ඔයාමනෙ කියන්නෙ ජීවත් වෙන්න තියන ටික සතුටෙන් ජීවත් වෙන්න ඕන කියල. අරවින්ද ඔයා එක්ක ඉද්දිම රොෂෙල් එක්ක ජීවත් වුණා. ඩිවෝස් වෙලා මාස තුනක් යන්න කලින් රොෂෙල් ව බැන්දා..ඔයා දරුවා දරුවා කිය කිය අනන්‍යා මත්තෙ නැහුණා. ඔයාගෙ තුරුල්ලෙං මිදුණා විතරයි එයා එයාගෙ ජීවිතේ සතුට එයාට ඕන විදිහට හොයා ගත්තා. ආයෙ ගියාට පස්සෙ වුණත් එයා සිල් රකී කියල හිතන්න එපා. ඔයාව සතුටෙං තියන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. සසංකට කැමතිනං ඒක දැනෙන්න අරින්න. ඒක ආනන්තරීය පාපකර්මයක් ගානට දාල හිතන්න එපා. මට කියන්න තියෙන්නෙ එච්චරයි”

අපරාජිතා හ්ම් කීවේ නැත. කෙසේ වෙතත් එදා හැන්දෑවේ සසංක පැමිණියේ ආප්ප ගොඩක් ද උස්සා ගෙන ය. දේශිකා සිටි එක ඔහු ට පහසුවක් වූයේ ය. අපරාජිතා විශ්මිත වූයේ ඔහු ගේ හැසිරීම ගැන ය. පෙර දා සිදු වූ කිසිවක් ඇත්තට ම ඔහු ට මතක නැතිවා ද? ඔහු ඇය සිප ගත්තේ ඇත්තට ම ඇල්කොහොල් වල මත් බවින් ද? ඒ බවක් දැන් ඔහු දන්නේවත් නැත්ද?

ඒ සියල්ල අමතකයි වාගේ ඉන්නා එක පහසුවක් වනු ඇති බව සසංක තීන්දු කර ගෙන සිටියේ ය. එක අතකට එහෙම වුණ එක හොඳ යයි අපරාජිතා සිතා ගත්තා ය. 

ආප්ප කමින් ද කෝපි බොමින් ද ඔවුහු සන්ධ්‍යාව ගත කළහ. එතැන විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතා ඇදී ආවේ ය. නමුත් අපරාජිතා වැඩිපුර හිටියේ මුණිවතිනි. ඇගේ ඇස් වෙනදාට වඩා සසංක දෙස බැලුවා ද කියා ඇය ම විටෙක තැති ගත්තා ය. ඊයේ මත් පැනින් පදම් වී හිටියා ද කියා අද ඔහු දෙස බලත්දී සිතන්නටවත් නො හැක. නමුත් ඇස් වල බොර පාටක සේයා නොවූවා ද නොවේ. දින කිහිපයකින් රැවුල නොබෑ බවට සලකුණු කොපුල් වලත් නිකටේත් විය. අපරාජිතා ගේ අතක් ඇගේ වම් කොපුලට ගියේ නිරායාසයෙනි. එහි තවමත් පිරිමි දෙතොලක සීතල ද රැවුල් කොට වල කටු ඇනෙනා සංවේදනය ද ඉතිරි වී තිබුණේ ය. 

පිරිමින් ට කිසිවක් නො සිදු වූ ලෙස පෙනී සිටීමේ මනා හැකියාවක් තිබෙතැයි අපරාජිතා වෙනදාට වැඩිය වද වෙන හිතකින් සිතුවා ය. ලෝකය බිහි වූ දා සිට ම පුංචි දේවල් වල එල්ලී ගෙන ආදරය කියා ලොකු බරක් පපුවේ එල්ලා ගෙන සිටිනුයේ ගැහැනුන් ය.

ඇගේ ඇස් මගහැරීමේ යම් උත්සාහයක් ගත්ත ද සසංක ගේ තොල් අතරේ වෙනදාට වඩා වැඩියෙන් තෘප්තිමත් සිනහවක් රැඳී තිබුණේ ය. ඔහු වෙනදාට වඩා දොඩමළු වූයේ ය. අනන්‍යා ට ඔහු ට සමීප වීමේ කිසිදු ඉඩක් නොවන බව වැඩි වැඩියෙන් තහවුරු වන සේ පුතේ කියා ඈ ඇමතුවේ ය. දේශිකා ඒ සියල්ල නිරීක්ෂණය කළා ය. කෙසේ වතුදු ඒ සියල්ල අතරේ ඔහු ට කිවිසුම් කිහිපයක් ගිය බව ද නහය උඩට අදිනා බව ද දුටුවේ අපරාජිතා පමණකි. මේ වැස්සේ නිසැක වශයෙන් ම ඔහු සෙම්ප්‍රතිශ්‍යාවක් බෝ කරගෙන යයි ඇය හිතින් තරවටු කළා ය. කිසිවෙකුට නො දැනෙන සේ ඉඟුරු හොඳින් තලා දමා කොත්තමල්ලි හැළියක් ද තැම්බුවා ය.

“ඇයි අප්ප මේව…”

අනන්‍යා මූණ ඇද කර ගත්තා ය.

“බොන්න. වැස්ස නිසා ඉඟුරු කොත්තමල්ලි එකක් බොන එක හොඳයි. ඉමියුනිටි වැඩි වෙන්න”

සසංක ට කළ යුතු තරවටුව ඈ කළේ අනන්‍යා ට ය. පසු දා අවදි වන විට සසංක සෙම්ප්‍රතිශ්‍යාව ට ගොදුරු ව සිටියේ ය. ශ්වසන පද්ධතිය මුළුමනින් අවහිර වී පැවති අතර දැරිය නො හැකි හිස රදයක් ඔහු ට හිස එසවීමට ඉඩ නො දුන්නේ ය. 

“මට දැන්නෙ තේරෙන්නෙ කොත්තමල්ලි තැම්බුවෙ මොකෝ කියල”

දේශිකා කට කොනක සිනහවක් ඇතිව කීවා ය.

“අනේ මේ. මං කොත්තමල්ලි තැම්බුවෙ දවල් මගෙ උගුර කසන ගතියක් තිබුණ නිසා”

“එහෙනං ඊයෙ බෝ වුණාද කියන්න බෑ”

“පිස්සු”

අපරාජිතා බිම බලා ගෙන එසේ කීවා මිස යෙහෙළිය දෙස බැලුවේ නැත. ඇගේ දෙකොපුල් ද නාසය ද රතු වී ආවේ ය. 

ඇඳට ම වී සිටි සසංකට අපරාජිතා බත් පිඟානක් බෙදුවා ය.

“මං ගෙනියන්නං”

කියමින් අනන්‍යා ඉදිරිපත් වූව ද දේශිකා තරවටු බැල්මක් හෙළුවා ය.

“උඹ කොහෙ යන්නද…මං ගෙනියන්නං”

“ඉතිං අනේ..”

“ඉතිං බිතිං ඕන නෑ. බඩගිනිනං බත් බෙදං කාපං”

“බලන්නකො අම්මි. මෙයා මං ගැන සැකෙංමයි හිතන්නෙ”

“සැකයක් නෑ. හැබැයි බයයි. මං මේක දීල එන්නං”

කෑම පිඟාන ගෙන දේශිකා පහළට යන විට අරවින්ද ගේට්ටුවට අත තබමින් සිටියේ ය. දේශිකා ඔහු වෙතට ද අරවින්ද ඇය වෙතට ද පය ඉක්මන් කළහ. ඔහු ගේ ඇස්, වසා ඇති පිඟාන වෙතට යොමු වී දේශිකා වෙත යොමු වූයේ සමච්චල් සිනහවක් එක්ක ය. ඔහු ට නො පැරදෙනු වස් ඇය ද අවඥාවෙන් කට ඇද කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles