සසංක ගේ ඇඟේ දැවටී ගෙන සමින්දි ඔහු ගේ හිස අතගෑවා ය. දෑත් පිරිමැද්දා ය. ඒ ඇඟෑළුම් වලට රිසි නොවන බව ඇඟෙව්වාට ඇයට ඒ ගැන කිසිදු වගක් නො තිබිණ. පිළිගැනීමක් නැති තැනක, ප්‍රතික්ෂේප වන බව දැන දැන හිතක නවතින්නට තැත් කිරීම කෙතරම් අසාර්ථක දැයි සසංක අසීරුවෙන් දෑස් විවර කරගෙන සිටින අතරේ සිතුවේ ය.
“ගත්ත බෙහෙත් හරි නැතුව ඇති. ඒකනෙ අඩුවක් නැත්තෙ. අපි ගිහිං වෙන ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගමු”
සමින්දි කිහිප වරක් මතක් කළේ සසංක නෑසුණා සේ සිටියදී ය. අවසන ඔහු තරමක් තදින් කතා කළේ ඈඉසිය ගෙදරට අමුත්තියක බව හෝ අමතක කොට ය.
“සමින්දි තේරුං ගන්න මං අසනීපෙං ඉන්නෙ. මෙහෙම ඇවිත් ලෙඩෙක්ට කරදර කරන එක වැරදියි. ප්ලීස් දැන් ඔයා යන්න”
සමින්දි මූණ නරක් කර ගත්තා ය.සසංක කාර්යාලයට නො එන්නේ අසනීපයෙන් සිටින නිසා බව ඇය දැන ගත්තේ අසේලගෙනි. සසංක ගේ ගෙදරට එන මං සලකුණු අසා ගත්තේ ද අසේලගෙනි. සසංක ඇයට කතා කොට කිසිත් නොකී එක මදි කමක් වාගේ සමින්දි ට දැනිණ. සසංක ට හමු වෙන විටත් සබඳතා ගණනක් ද පිරිමින් ගණනක් ද පසු කොට පැමිණ තිබි ඇය සිතා සිටියේ ඔහු ජීවිතයේ එක නවාතැනක් වනු ඇත කියා ය. සසංක වන් තරුණයෙකු සමග විවාපත් වීම මගින් අතීතයේ අඳුරු පැල්ලම් සියල්ල අහෝසි කර ගන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටියා ය. නමුත් ඔහු ට ඇය නවාතැනක සුවය කවදාවත් දැනවූවා නොවේ. විවාපත් වීමේ බලාපොරොත්තුවක් කිසි දාක සසංක විසින් සමින්දි ට නො දෙන ලදී. නමුත් දැන්වීම් ප්රචාරක ආයතනය තුළ ඇය හැසිරුණේ සහෝදර සේවකයන්ට එවැන්නක් දැනෙන්නට සලස්වමිනි.
ඇය නික්ම යන්නට මිදුලට බසිත්දී අපරාජිතා ත් අනන්‍යා ත් බැල්කනියෙ බැම්මට බර වී ගෙන පාර දෙස බලා සිටියහ. වැස්ස මඳක් තුරල් කොට අව් රැල්ලක් වැටී ඇති නිසාවෙන් ප්‍රබෝධවත් බවක් පරිසරයේ වේ. අහරක් සොයා පිටතට කුරුලු කිරිල්ලන් ගේ කූජන උස්ව නැගේ. අටපෙතියා මල් ගාල වැස්ස නිසා බිමට නැවී සිටිනායුරු අපරාජිතා නිරීක්ෂණය කළා ය.
“අනේ තෑන්ක්ස් ඕගොල්ලො සසන්කට කෑම ටික දුන්නට. මං ටිකක් බිසී වෙලා හිටියෙ. ඒකයි එන්න බැරි වුණේ. සසංක මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්”
ඇය බැල්කනියේ උන් අම්මා හා දුව දෙස බලා ගෙන කියවූවා ය. අපරාජිතා මුව මඳහසක් නගා ගත්තා ය. තරුණියට විශේෂයෙන් කිව යුතු වූ කාරණය ඒ අවසාන වශයෙන් පැවසූව බව අපරාජිතා ට වහා වැටහිණ.
“අනේ චුට්ටක් එයාව බලන්න හොඳේ”
ඇය නික්ම ගියේ ඒ ඉල්ලීම කොට ය.
“ගර්ල් ෆ්‍රෙන්ඩ්!”
අනන්‍යා පුනරුච්චාරණය කළේ කවර හැඟීමක් ඇතිව දැයි අපරාජිතා ට දැනුණේ නැත. නමුත් මේ මොහොතේත් ඇගේ දෙතොල් අතරේ පෙර කී මඳහස තිබේ.
සසංක ගේ දෙතොල් තද වූ සිය කොපුල මත අපරාජිතා ට මේ දැනුත් ඒ උණුහුම් සිහිලැති චුම්බනය එල්ලී ගෙන තිබෙනු දැනේ. සිහිනයෙන් ගෑ සුවඳක් වැනි යමක් ඒත් එක්ක ම හිතේ එහෙ මෙහෙ වෙයි. ‘ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනං මේ වයසෙදිත් එයා බඳින්නැතුව ඉන්නෙ ඇයි…’ යන ප්රශ්නය ඇගේ හිත විචාලයි. නමුත් අනන්‍යා ඉන්නා තැන ඒ සිතිවිල්ල වචන බවට පත් කරන්නට ඇය උත්සුක වූයේ නැත. හිතේ යම් කැළඹීමක් නොවෙනවා ම ද නොවේ. නමුත් දෙතොල් අතරේ අර සිනහව තවමත් රැඳී තිබේ.
මුකුත් හිතන්නේ නැතිව ඉන්නට අපරාජිතා ට අවැසි වී තිබිණ. චමත්කාරයේ හැඩතල කිසිදු හේතුවක් මත වෙනස් කර නො ගෙන, එය පවතින තත්වයෙන් තිබෙන්නට හළ යුතු ය. නාඳුනන තරුණිය හා ඔහු අතරේ යමක් වනවා ඇත.නමුත් අර හාදුව තුළ වූයේ වෙන කාටවත් ඔහු දුන් හැඟීමක් නොවේ යයි අපරාජිතා ගේ යටි හිතට දැනේ. ඇය ඒ හැඟීම හදවත ඇතුළේ ම හිර කර තියා ගත්තා ය.
කෙසේ වෙතත් කිසිවක්, සිත එක අරමුණකට නතු කොට කළ යුතු කිසිවක් කරන්නට ඇය ට හැකි නොවිණ. ඇය ඔහු ගේ පෙම්වතිය වන්නේ ලු. එතකොට තමන් කවුරුන් ද? අපරාජිතා ගේ මුවගට සිනහවක් ගෙන ආවේ මිහිරි රිදුමකි. එසේ රේඛාවන් ඇඳ සීමා සලකුණු කළ හැකි සබඳතා තිබේ. නෑ කම් තිබේ. නමුත් එහෙම නොවෙන ඒවා ද තිබේ. ඔහු ඇගේ කොපුලක් සිප ගත්තේ ඉතා සීරුවට යම් හැඟීමක් ඇගේ හද නිධානයෙහි තැන්පත් කරමිනි. ඒ වූ කලී කාමාතුරයෙකු ගේ නො සන්සුන් හා රාගාධික සිප ගැනීමක් නොවන බව අපරාජිතා ට සහතික ය. ප්‍රේමයට ළඟ හැඟීමකින් තොර ව පිරිමියෙකුට ගැහැනියක එසේ සිප ගත නො හැකි ය.
අපරාජිතා පින්ටරෙස්ට් සමාජ ජාලයෙහි උද්‍යාන හා විසිතුරු පැලෑටි අංශයට පිවිස එහි ඉහළ පහල යන්නට වූවා ය. අයිතියක් පෙන්වා දිය නො හැකි බැඳීම් ඕනෑ තරම් විශ්වයෙහි තිබිය හැක. ඒවා නමක් දිය නො හැකි සම්බන්ධතා ය. නමුත් අයිති කර ගත් හෝ එසේ කළ හැකි දේ තුළ එවන් බැඳීමක් හෝ චමත්කාරයක් අත්විඳිය නො හැකි වන්නට පුළුවන. යම් කිසි හැඟීමක් තුළ ජීවත් වෙමින් එම මොහොත ප්‍රීතිමත් ව ගත කරන්නට යම් සබඳකමකට නමක් තිබිය යුතු ම නැතැයි අවසන ඇය තීරණය කළා ය.
අනන්‍යා සිටියේ ද කල්පනාවක ගැඹුරේ ය. සසංක මුල සිට ම ඇය ව දුරින් තබා ගන්නට කටයුතු කළයුරු ඇය ට සිහි කර ගත හැක. ඇය ලං වෙන්නට හැදු බොහෝ අවස්ථා වල ඔහු කදිමට ඇගේ සීමාව පෙන්වා දුන්නේ ය. සසංක ගේ ඇස් අම්මා මත නතර වෙත්දී ඒවායෙහි වන ශාන්තිදායක දීප්තිය ඇය නිරීක්ෂණය කොට තිබේ. සසංක අපරාජිතා ගැන උනන්දු වන්නේ යයි සිතන්නට සාධක හා සාක්ෂි ඕනෑ තරම් ඇයට සිහි කර ගත හැක. නමුත් අම්මා ගේ හුස්මක හෝ වෙනසක් හැඳින ගන්නට ඈ සමත් වූයේ නැත. වචනයෙන් නො කීවාට අනන්‍යා ට තිබූ ලොකු ම සැනසීම ඒ ය. නමුත් යම් කිසි දිනෙක ඔවුන් දෙදෙනා අතරේ වඩා සමීප බැඳීමක් ඇති වන්නට පුළුවන් යයි අඩමාන සිතිවිල්ලක් ද ඇගේ හදට වද දෙමින් හා පිළිගන්නා සූදානමකින් තොර ව සිත්හි කරක් ගසමින් තිබිණ. සසංක ට පෙම්වතියක ඉන්නවා කියන ආරංචිය අනන්‍යා තුළ නො තේරෙන සතුටක් ඇති කරවන ලදී. අම්මා සුරක්ෂිත ය වාගේ හැඟීමකි එය.
පවුලේ තනි දරුවා වශයෙන් අනන්‍යා ඇති දැඩි වූයේ අනවශ්‍ය තරම් ආදරයක් හා අවධානයක් ඇතිව ය. ඇය කුඩා කල සිට ම අම්මා හෝ තාත්තා වෙනත් දරුවෙකුට ආදරය කරනු දකින්නට කැමති වූයේ නැත. වැඩි විය පැමිණියාට පසු වුව අපරාජිතා ට වෙනත් දරුවෙකු වඩා ගැනීමේ ඉඩක් අනන්‍යා විසින් නො දෙන ලදී. අම්මා හා තාත්තා යනු වෙන කිසිවෙකුට අයිති නැති තමන්ට විතරක් හිමි වස්තූන් සේ ය ඈ කටයුතු කළේ. අඩු තරමින් ගෙදර සුරතලයට ඇති කළ බලු පැටවා වුව අනවශ්‍ය ලෙස අපරාජිතා ට සෙනෙහස පාත්දී අනන්‍යා ඌව පසෙකට කළා ය. නැත්නම් ඇය බලු පැටවා සමග සෙල්ලම් කරන්නට ගත්තා ය. අරවින්ද වෙනත් කාන්තාවකට සමීප වීම උහුලා ගන්නට ඇයට හැකි නො වූවා සේ ම අපරාජිතා වෙනත් පුරුෂයෙකු වෙත බැඳෙනු ඇතැයි සිතන්නට ද ඇය ට හැකි වූයේ නැත.
සමින්දි විසින් අපරාජිතා ට කියූ දේ සසංක ට හොඳට ම ඇසුණේ ය. ඔහු ගේ හිතේ නැගුණේ බලවත් කේන්තියකි. ඇය කියූ පරිදි කිසි දා ඔහු ඇය ට සිය පෙම්වතිය ගේ තනතුර පිරිනමා නොමැත්තේ ය. සසංක සමින්දි ට පෙම් නො කළා සේ ම පෙම් කරනා බවක් ඇය ට හඟවා හෝ වාචික ව ප්‍රකාශ කොට තිබුණේ හෝ නැත. එතැන වූයේ අවස්ථා කිහිපයකදී ඇති වූ කායික ගනු දෙනුවක් පමණකි. එවැනි තත්වයක් යටතේ ඈ සිය පෙම්වතිය සේ අපරාජිතා ට හඳුන්වා දෙන්නට සමින්දි ට කිසිදු අයිතියක් නොවන බව සසංක අසහනකාරී ලෙස සිතුවේ ය. සැබවින් ඒ සිදුවීම ඔහු ට සිය රෝග ලක්ෂණ පවා අමතක කරවන්නට හේතුවක් විය.
අපරාජිතා කෙසේ ඔහු ගැන සිතන්නට ඇත් ද? බීමත් ව, දකිනා ඕනෑ ම ගැහැනියක සිප ගන්නට පෙළඹෙනා සෙල්ලක්කාර සල්ලලාලයෙකු සේ සිතන්නට ඇත. නමුත්, ඇල්කොහොල් මත නිසා කිසිත් අමතක සෙයක් ඇයට හැඟවූවාට ඔහු ට ඒ තත්පරයකින් දහසකින් එකක් තරම් හෝ අමතක නැත. දේවතා රූපයක් සේ ගෞරවනීය බවක් දනවන ඈ සිප ගන්නට තරම් දිරියක් දුන්නේ ඇලකොහොල් බව ඇත්ත ය. නමුත් ඒ හැඟීම කිළිටෙන් තොර බව ඕනෑ ම දෙවොලක ඔහු ට දිව්රා කිව හැක. විශ්වයෙහි පවත්නා චමත්කාරජනක ම නිමේශයන් අතරින් එය අග්‍රස්ථානයක් ගනු ඇත. නමුත් කෙසේ අපරාජිතා ට ඒ බවක් පහදා කියන්න ද?
හැන්දෑවේ තේ එකත් ගෙන අපරාජිතා ඔහු ගේ ගෙට ගොඩ වූයේ වාෂ්ප අල්ලන්නට වතුර මුට්ටියක් ද උණු කොට දී එන්නට ය. තේ එක ගන්නා ගමන් ඔහු මූණ බැලුවත් අපරාජිතා දැනෙන නො දැනෙන ගාණකට මගහැරියා ය. නමුත් ඇගේ මුහුණේ සියුම් වූ රේඛාවක වුව අමනාපයක හෝ පිළිකුලක හෝ නො සතුටක සේයාවක් නොවිණ.
අපරාජිතා වතුර මුට්ටිය ලිප තබා පිටුපස මිදුලෙන් දෙහි කොළ ටිකක් කඩා ගෙනවිත් මුට්ටියට දමන විට සසංක උළුවස්ස උඩ ය. ඔහු තේ එක එකතකින් ගෙන එක කකුලක් දණහිස ළඟින් නවා උළුවස්සට ගසා ගෙන සිටියේ ය. අපරාජිතා කිසිත් හොඳින් නො බැලී ද ඇය සියල්ල දකිමින් සිටියා ය.
“සමින්දි අපේ ෆර්ම් එකේ ග්‍රැෆික් ආටිස්ට් කෙනෙක්”
ඔහු අඳුරේ අත පත ගාමින් සිට ඇරඹුමකට කොනක් අල්ලා ගත්තේ ය. අපරාජිතා සසංක ගේ මූණ දෙස කෙළින් බලා මනබඳනා මඳහසක් පෑවා ය. එය ක්ෂණික ය. ඊළඟ නිමේෂයේ ඇය වතුර මුට්ටිය දෙස බලා ගත්තා ය.
“එයා මං ගැන මොනා හිතං ඉන්නවද මන්දන්නෑ. හැබැයි එයා මගෙ ගර්ල් ෆ්රෙන්ඩ්නං නෙවෙයි. මට ඇහුණා ඔයාල එක්ක එහෙම කියනව. පිස්සු…”
අපරාජිතා වතුර මුට්ටි තබනා මේසය මතින් සර්වියට් එකක් එළුවා ය. තුනී මන්දස්මිතය නො වියැකී ඇගේ රතදරතර වේ. ලා කහ පැහැති කුඩා ඒ වත ඉන්ද්‍ර ඛීලයක් සේ ය. කිසිදු වෙනසක් ඉන් සොයා ගැනීම, ඉරියව් පිළිබඳ දක්ෂ හා පළපුරුදු විද්වතෙකුට හෝ නො හැකි වනු ඇත. සිය පන්ති භාර ගුරුතුමියගේ රුවින් ද ඉරියව් වලින් ද වසඟයට හා විශ්මයට පත් ප්‍රාථමික පන්තියක කොලු ගැටයෙකු සේ සසංක විපිළිසර ව සිටියේ ය. ඇය ට ඒ ගැන කියන්නට යමක් ඇත්තේ ම නැද්ද? අඩු තරමින් ගෑනු ගතියට ඇනුම් පදයක් කියන්නට හෝ ඔහු ගැන පුංචිවත් හැඟීමක් ඇය ට නැති ද? නො එසේ නම් ඇය ඔහු කියනා වචනයක් හෝ විශ්වාස නොකරන අම්මා ගේ භූමිකාව රඟ දක්වන්නී ද?
“මං කියන්නෙ බොරු නෙවෙයි”
අවසන ඔහු සිය මතය ඈ තුළ අවධාරණය කරනු වස් කීවේ ය. නමුත් ඔහු ගේ ස්වරය ඔහු ට දැනුණේ ඉතාමත් දුර්වල හඬක් සේ ය. බරපතල ම වරදක් කොට වැරදි නොකළ බව අම්මා ට කියනා අසරණ කොලු පැංචෙකු ගේ සේ ය.
අපරාජිතා මඳහස් වතින් ම ඔහු දෙස යන්තම් බැලුවා ය.
“රෑට මං එළියෙන් කෑම මොනා හරි ගේන්නං”
ඔහු ට සිතුණේ පොළොවේ වළක් හාරා ගෙන හැංගෙන්නට ය. මෙතෙක් ඈ ඉදිරියේ නිදහසට කී සියල්ල නිෂ්ප්රභා වී තියේ. තමන් කුරු කුහුඹුවෙකු වී ඇය දැවැන්ත ආත්මයක් බවට පත් ව ඇතිවා සේ ය. සසංක බිම බලා ගත්තේ ය.
“බත් කන්නෙම නෑනෙ. ඔයා කන්න ආස දෙයක් තියනවද…”
“මං කිව්වෙ එච්චරටම වැඩක් නැති දෙයක්ද…”
අවසන ඔහු පුරුෂ ධෛර්යය උපදවා ගෙන ඇය වෙතට වචන වලින් දමා ගැසුවේ ය.
“සසංක….”
අපරාජිතා නිවුණු හඬකින් ඔහු අමතමින්, වතුර මුට්ටිය අල්ලන්නට අත්පිස්නා දෙකක් දෑතට ගත්තා ය.
“ශෝ රූම් එකක තියෙද්දි වගේ කිසිම බඩුවක් ලස්සනට පේන්නෙ නෑ අපි අතට ගත්තට පස්සෙ…ගෙදර ගෙනාවට පස්සෙ…එක අතකට ඒක අක්ෂි මායාවක්. ශෝ රූම් එකක තියෙද්දි ඒ බඩුව කැපිල පේන විදිහට ලයිට් ගහල…අපිව රවට්ටන දේවල් ගොඩක් කරලයි තියෙන්නෙ. ලස්සන විතරක් බල බල ඉන්නනං ශෝ රූම් එකේ තියෙන්න ඇරල බලල විතරක් සතුටු වෙන්න ඕන. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නෙ වෙන කෙනෙක් ඒක අයිති කර ගන්න හිතනකල් විතරයි. මිනිස්සු තමන්ගෙ හිත යන දේවල් පැනපු ගමං අයිති කර ගන්න හිතන්නෙ ඒකයි. වෙන කෙනෙක් අතට යනවට ලෝබ කමේ. හැබැයි අයිති කර ගත්තු ඕන කෙනෙක්ට ඊට පස්සෙ ඒකෙ ඒ තරං ලස්සනක් පේන්නෙ නෑ. ඒකෙ වරදක් නෙවෙයි…අපි ඒක ලස්සනට පේන විදිහට තියා ගන්න දන්නෙ නැති නිසා”
වතුර මුට්ටිය උතුරා ගෙන ආවේ ය. මේස පුටුව මත වනා තිබූ ඇඳ ඇතිරිල්ල අපරාජිතා සසංක වෙත පෑවා ය. ඔහු එය අතට ගත්තේ තේ කෝප්පය මේසය මතින් තබනා ගමන් දෑස් ඇයගෙන් ඉවතට නො ගනිමිනි.
“මං කවදාවත් සමින්දිව බඳින්න පොරොන්දු වෙලාවත් එයා එක්ක අෆෙයා එකක් තිබිලවත් නෑ”
ස්ථිරසාර ලෙස එසේ කියන්නට පටන් ගත්තා ට අන්තිම වෙත්දී ඔහු ගේ හඬ දුර්වල ව ගියේ ය. අපරාජිතා උතුරන වතුර මුට්ටිය මේසය මතින් තැබුවා ය. ඔහු හිසේ සිට රෙද්ද පොරවා ගෙනත් බැලුවේ ඇදෙස ය. අපරාජිතා සිනහ වෙමින් වාෂ්පය ආවරණය වන සේ ඇතිරිල්ල සැකසුවා ය.
සසංක ට ඔහු සමීපයේ හිඳින්නේ මිනිස් දුවක් ද දෙව් දුවක් ද කියා වෙන් කොට හැඳින ගත නො හැකි පැටළුම් ස්වභාවයක් දැනිණ. ඇයත් ප්‍රදර්ශනාගාරයක බෝනික්කියක් සේ ඔහු ට පෙනෙනවා වත් ද?