(අ)හිමි සිහින 207

ලැබෙන දුරකථන ඇමතුම් වැල නොකැඩී ගලා එමින් තබූ අතරම මේ සංවේගදායී පුවත සැලවූ පමාවෙන් අසල්වැසි ,ඥාති හිතමිතුරන්ගෙන් නිවස පිරෙන්නට පටන්ගත්තා.අවමංගල්‍ය කටයුතු අපේ නිවසේ සිදු කරනවාද යන්න ඒ හැම කෙනෙකුගේ ප්‍රශ්නය වුණා.

“මරණය මෙහේ තියන්නෙපැයි දෙයියනේ. මේක එයා හදාගත්තු එයාගෙ ගෙදරනෙ.”

මම නැවතත් සුධාරක ගේ ප්‍රධානියා ඇමතුවා.

“සර් අවසන් කටයුතු සම්බන්ධයෙන් ඔබතුමා කරන්නේ මොකක්ද?”

මම ඔහුගෙන් සෘජුව විමසුවා.

“අපි පූර්ණ හමුදා ආචාර පෙළපාලියක් තබනවා.සුධාරකට එය හිමිවිය යුතුමයි.නමුත් බොඩු එක අර රට ගිය ගෑනු කෙනාගේ මහගෙදර තියන්න කියලා අපිට එයා ලියුමක් එවල තියෙනවා.එහෙම වුණොත් ගැටලුවක්.”

ඔහු ගැටලුකාරී හඬකින් එසේ පැවසුවා.

“එයාගේ මහගෙදර?”

මහගෙදර කිව්වාම ඕනෑම කෙනෙකුගේ ඔලුවට එන්නේ ඉඩකඩ ඇති කිහිපදෙනෙකුගෙන් සමන්විත වූ පවුලක් ජීවත් වූ නිවසක්. ඒත් දිල්හානිගේ “මහගෙදර”ඒ වනවිටත් ගරාවැටෙමින් තිබූ ජරාවාසවී ගිය කුඩා නිවසක්.

“දෙවියනේ!!මේ ගෑණි ඇයි මේ මිනියෙනුත් පලිගන්නේ”මට ඇති වුණේ මහා වේදනාවක්.මම එය වචනයට නැඟුවා.

“අයියෝ සර්. ඒ ගෙදර මේ මනුස්සයාගේ මරණය තියලා මේ අහිංසකයාට අපහාස කරන්න දෙන්න එපා.ඒක පදිංචියෙන් තොර ගරා වැටුණු ගෙයක් නෙ”

මම එහෙම කිව්වේ මහා කලකිරීමකින්.

“ආ! එහෙමද?ඒක අපි දැනගෙන හිටියෙ නෑනෙ.මහගෙදර කිව්වම අපි හිතුවේ කවුරුහරි ඉන්නවා ඇති කියලා.”

ප්‍රධානියා ඔය කිසිවක්ම නොදන්නා බව මම දන්නවා.

“අනේ සර් ඒකෙ කවුරුවත් පදිංචි නෑ.ඒ ගෑනු කෙනා රට පැන්නට පස්සෙ එයාගෙ අම්මත් හිටියේ නෑදෑ ගෙදරක.මේ ගෙදර සුධාරකගේ මරණය තියන්නවත් ඉඩ නැහැ.අනික ඒකෙ ජනෙල් දොරවල් ගැලවිලා ජරාවාස වෙලා තියෙන්නේ”

මම එවෙලේ කතා කළේ ඉවසීමෙන් වුණත් මගේ වෙව්ලන ස්වරයේ තියෙන්න ඇත්තේ අප්‍රමාණ කෝපයක්.මේවා ප්‍රධානියා දැනගත්තේ ද මා පැවසූ පසුවයි.ඔහු විශ්මයෙන් කතා කරන බව මට වැටහුණා.

“ආ..එහෙමද.අපි ඒක දන්නෙ නැහැ.ඒ ගෑනුකෙනා කියල තිබුනා මරණය එයාගෙ ගෙදරම තියන්න ඕනෑය කියලා.එයා ලීගල් වයිෆ් නෙ. ඒ නිසා එයා කියන දේ කරන්න අපිට සිද්ධ වෙනවා.අන්න එතනදී අපිත් අසරණයි.ඒක මම ඔයාට මීට කලිනුත් කියල තියෙනවා මිසිස් අනුරාධා.ඔයා දන්නවනෙ සුධාරක ජීවත්වෙලා ඉද්දිත් අපිට තිබූණ කරදරය.මරණයක් තියන්න සුදුසුද කියල බලන්න මම අදාල කට්ටියක් යවන්නම්. පවුලේ අයට ඇයි මේක තේරෙන්නෙ නැත්තෙ කියල මම දන්නෙ නෑ.කණගාටුයි ඒත් මෙහෙම මිනිස්සු මම දැක්කමයි”

ඔහු ඔහුගේ සීමාවේ නතර වන්නට තීරණය කර තිබුණා.

“අනේ සර් මේ අපරාධය කරන්න දෙන්න එපා.මේ අහිංසකයට බෙහෙතක් කරගන්න ඉඩදුන්නෙ නෑ. දැන් මිනියටත් කරන්න යන්නේ අපහාසයක්. මේකට සාධාරණයක් කරන්න.සුධාරකගේ ගෙදර එයාගේ අවසන් කටයුතු කරන්න සර්”

මම නැවත වතාවක් එසේ ඉල්ලා සිටියා.

දිල්හානිගේ නිවසේ අවමංගල්‍යයක් පැවැත්වීමට සුදුසුදැයි බලා වාර්තා කරන ලෙස ඔහු රෙජිමේන්තු ප්‍රධානියාට පවරා තිබුණා.රෙජිමේන්තු අධිපතිවරයා සුධාරකගේ කන්ඩායම් සගයෙක්. දෛවෝපගත විදියට සුධාරක ඉඳගන්නට තිබුණ ඒ පුටුව සුධාරකගේ රෝගී තත්වයත් එක්කම ඔහුට නිරායාසයෙන් හිමිවී තිබුණා.නමුත් මා ඔහු හොඳින් හඳුනනවා.ඒ නිසාම මා කෝපය වේදනාව හා දැඩි කලකිරීමෙන් යුතුව ඔහු ඇමතුවා.

“අයියා, අනේ මම සර්ටත් කිව්වා සුධාරකගේ මරණය එයාගේ මේ ගෙදර ගන්න කියලා. දිල්හානිගේ ගෙදර ගරා වැටුණු ගෙදරක්. ඒකෙ පෙට්ටිය වත් තියන්න ඉඩ නැහැ. මේ මනුස්සයා ජෙනරාල් කෙනෙක් ඇරත් එයාට එයාගෙ නිවසක් තියෙද්දී මෙහෙම අපහාසයක් කරන්න එපා.”

ඔහු සාවධානව මට සවන් දුන්නා.

“මට තේරෙනවා නංගී.සර් මට කතාකරලා කිව්වා ගිහින් තත්වය බලාගෙන එන්න කියලා.අපි සුධාරකගේ ආචාර පෙලපාලිය බොරැල්ල කනත්තේ දී කරන්න තමයි හදන්නේ. මොකද පූර්ණ ගෞරව ඇතුව කරන්න පහසු එතනදී තමයි.මම දැන් මේ අර ගෑනු කෙනාගේ ගෙදර යන ගමන්.මම එතනට ගිහින් බලලා සර්ව දැනුවත් කරන්නම්”

ඔහු මා සනසවන ස්වරයකින් එසේ පැවසුවා.

ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්දැයි මා ඇසුවොත් ඔබ මට කුමක් පවසාවිදැයි මා කල්පනා කරනවා.මේ කතාව ඔබට කියන මම ගැහැනියක්. මෙය කියවන ඔබ බොහෝ දෙනා ද ගැහැණුන්.ඒත් ඔබ මේ දිල්හානි කියන ගැහැනිය කරන කියන දේ අනුමත කරනවාද කියා මා ඇසුවොත් ඔබ මට දෙන උත්තරය කුමක්ද? ඇත්තටම ඔබේ අදහස කමෙන්ට්ස් තීරුවේ කියවන්නට මම කැමතියි.

සුධාරක මරාගන්නට පාර කැපූ පසු හෝ ඇගේ උද්දච්චකම මාන්නය හා පලිගැනීම නතර වී තිබුණේ නැහැ.ඇය මේ ගන්නේ කුමන පලියක් ද කියා මට තේරෙන්නෙත් නැහැ. ඇගේ පවුල් ජීවිතය අවුල් ජාලයක් වූ නුල් බෝලයක් කරගෙන තිබුණේ ඇයමයි.ඉවසා ඉවසා බැරිම තැන සුධාරක ඇගෙන් වෙන් වූ බව සිතමු. ඒත් ඇය දරුවන්ගේ ද අධ්‍යාපනය බිල්ලට තබා එතැන් පටන් තම වංචාකාරී ජීවිතයේ ගත් සියලු මෝඩ තීරණ නිසා ජීවිත කාලයටම වරද්දාගත් පසු මේ මිනිසාගෙන් ගන්න පලිගැනීමට පදනමක් නැතැයි මම සිතුවා.

විවාහයක නොගැලපීම් මත වෙන්වෙනවානම් එකිනෙකාගෙන් පලිගෙන එකිනෙකාට නින්දා අපහාස කරගෙන රටේ තියෙන තරම් කුණු කතා කියමින් නඩු කිය කියා ජීවත්වෙන මිනිසුන් මේ ලෝකයේ වෙන රටක නම් නැහැ. වෙන්වූවා නම් එකිනෙකාට ගෞරව කරගෙන තම තමන්ගේ පාරවල්වල යමින් දරුවන් ද හදාගෙන ජීවත්වන මට්ටමට පැමිණීමයි ඇත්තටම සුදුසු වන්නේ.

දිල්හානි සුපුරුදු විදියට ඇගේ අවුල් වූ ජීවිතය තවත් අවුල් කරගනිමින් අත්තනෝමතික තීරණ ගනිමින් ඉන්නවා විය හැකියි.නැතිනම් ඇයට මෙසේ කරන්නැයි උපදෙස් දෙන හිතක් පපුවක් නැති අදූරදර්ශී යහලු යෙහෙළියන්ගේ උපදෙස් ඇය පිලිපදිනවාදැයි මට වටහාගන්නට අපහසු වුණා. ඒත් මෙතෙක් අතිශය හිතුවක්කාර ලෙස ජීවත්ව ඇති දිල්හානි අනුරාධා රිදවන්නට සුධාරකගේ මරණය පාවිච්චි කරනවා වෙන්නට පුලුවන්.
සුධාරක ගෙන් පලිගන්නවා වගේම අනුරාධා රිදවන්නට ඇය වට්ටන්නට මෙය හොඳම අවස්ථාවක් ලෙස දිල්හානි ට පෙනෙන්නට ඇති.රෝහල තුල ඇය නැටූ නාඩගම නිසා සුධාරකට රෝද පුටුවක හෝ ජීවත් වන්නට තිබූ අවකාශය ඇය නැති කළා. අනුරාධා රිදවන්නට ඇය කරන සියලු දෙයින්ම තවදුරටත් අගතියට පත් වන්නේ ඇයත් දරුවනුත් බව සිතන්නට ඒ අදූරදර්ශී ගැහැනියට බුද්ධියක් තිබුණේ නැහැ.

අනුරාධා ඈත්කර හෝ සුධාරකට වෙදකමක් කළා නම් ඇය එතෙක් කර තිබූ පවු සමා කරගන්නට හෝ ඇය කෙරෙහි අප්‍රසාදයෙන් සිටි මිනිස්සුන්ගේ හිත යම් මට්ටමකට හෝ දිනාගන්නට තිබුණා ඒත් සුධාරක ගිලන්වී මිය යනතුරු මාස අටක් ගත වුවත් ඇය ලියුම් දිදී ඇගේ අයිතිය පෙන්නන්නට උත්සාහ කළා මිස සුධාරක බැලීමට වත් පැමිණියේ නැහැ. ඇයට හෝ දරුවන්ට ලංකාවට කිසිදා එන්නට හැකියාවක් ද නැහැ.ඇයගේ ඒ මෝඩ තීරණ වලට සුධාරක හෝ අනුරාධා හෝ වෙන කෙනෙක් පලිත් නැහැ.මෙතෙක් වරද්දා ගත් ජීවිතය ඉදිරියට හෝ නිවැරදි කරගන්නට බැරි ලෙස ඇය තවදුරටත් මෝඩ මෙන්ම අමානුෂික තීරණ ගනිමින් සිටියා.

මෙවෙලේ ඇගේ අදහස වන්නට ඇත්තේ ඇගේ නිවසේ සුධාරක ගේ මරණය තැබුවහොත් අනුරාධාට සුධාරකගේ මිනිය වත් බලන්නට නැති කිරීම හෝ අනුරාධා සුධාරකගේ මිනිය බලන්නට හෝ ඇයගේ කකුල්දෙක ළඟටවිත් බැගෑපත් වෙනවා බලන්නට විය යුතුයි. ඔබ හිතන්නේ අනුරාධා කුමක් කරන්නට ඇති කියාද?ඒ ගැන මම හෙට ඔබට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles