සසංක අවදි වූයේ අපරාජිතා තේ කෝප්ප දෙක ද ගෙන ගොස් යහන කොනක හිඳ ඔහු පුබුදුවා ලූ විට ය. අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන නැගිට ගත් සසංක අපරාජිතා දෙස බැලුවේ තරවටු බැල්මකිනි.
“තනියම නැගිටල තේත් හැදුවද…පණ්ඩිත වැඩිනෙ ඔයා…කතා කරන්න එපැයි මට…”
“මොනා වෙන්නද ඉතිං මට…මේක දැං එච්චර අමාරුවක් නෑ”
උදේ පාන්දර යහනෙන් පිබිදෙන්නටත් පෙර ම ඇගේ කෝපි මල් සිනහව දකින්නට ලැබීම සුබ නිමිත්තක් සේ සසංක ට දැනිණ. මේ සුවිශේෂී දිනයකි. අම්මා මිය ගියාට ම පස්සේ තේ එකක් ඔහු ගේ ඇඳ ළඟට ම පැමිණි මුල් ම දිනය මේ ය. ජීවත් වෙන්නට ඕනෑ තරම් මාර්ග තිබේ. ගමනාන්නතය එකක් ම වුව අපට ඒ ගමන අප කැමති මාර්ග තෝරා ගෙන ඒ ඔස්සේ ගමන් කරන්නට පුළුවන. තනිකම කියන පාර හොඳ යයි කියමින් මිතුරන් සමග තර්ක කරමින් ඔහු මෙතුවක් කල් මේ ගමන පැමිණියේ ය. අද හදිසියේ ම එහි වෙනසක් වී තියේ. යහන බෙදා ගන්නට පමණකුදු නොව ජීවිතය ද බෙදා හදා ගන්නට ගමන් සහායිකාවක සිටිනවා කියන්නේ කෙබඳු දෙයක් දැයි හදවත අමුතු මිහිරකින් දැනුම් දී සිටියි.
“ඔයා ඔෆිස් යන්න. මට ඉන්න පුළුවන්. ඊට කලින් මට ඔයාට පෙන්නන්න දෙයක් තියනව”
“පෙන්නන්න…”
අපරාජිතා සිය ලැප් ටොප් පරිගණකය විවර කොට නිර්ණාමික ලියන්නී පිටුව ඔහු වෙත පෑවා ය. සසංක ගේ ඇස් වල දීප්තිමත් විශ්මයක් ජනිත විය.
“ඒ කියන්නෙ…”
“ඒ මම…”
ඉරණමෙහි සැලසුම් ඇතැම් විට මිනිස් හදවත් වලට විශ්වාස කර ගත නො හැකි තරම් පුදුම සහගත ය. ඒ වගේ දේවල් සිදු විය හැක්කේ සිනමා පට වල හෝ නවකතා වල යයි අපට සිතෙන්නේ එබැවිනි. නමුත් සාමාන්‍ය ජිවිතය තුළ ද නාට්‍යානුසාරී සිදුවීම් වීමේ යම් සම්භාවිතාවයක් තිබේ.
කාලයක් තිස්සේ හදවතින් ඔහු නිර්ණාමික ලියන්නී ට පෙම් කළේ ය. නමුත් එය කිසියම් පුද්ගල සිතක ස්වභාවයෙන් ඇති විය හැකි ආකර්ෂණයක් පමණක් බව ඔහු විශ්වාස කළේ ය. අන්වර්ථ නාමයකින් ලියනා එම පුද්ගලයා හමු වන්නට හෝ හැබැහින් ඇයට පෙම් කරමින් ලං වන්නට කිසි දා ක ඔහු සිතුවේ නැත. නමුත් බලාපොරොත්තු නොවූ ලෙස ඔහු හැබෑ ලෝකයේ හැබැහින් පෙම් කළා වූ ඇය ම ඔහු ගේ සිහිනමය ප්‍රේමිය ද වී තිබේ.
“ඔයාටත් පෙන්නන්න දෙයක් තියනව එහෙනං මට”
සසංක සිය ජංගම දුරකතනය අතට ගෙන එහි ඡායාරූප ගැලරිය වෙත ගියේ ය. අපරාජිතා ගේ මුල් ම ටෙරාරියම් නිර්මාණය ඔහු ගේ කැබින් එක තුළ තිබියදී ගත් ඡායාරූප කිහිපයක් ඔහු ඉන් සොයා ගත්තේ ය.
“ඔයා ළඟද මේක තියෙන්නෙ…”
අපරාජිතා ගේ ඇස් විශ්මයෙන් ලොකු විය. සසංක දෑතින් ඇය වැළඳ ගෙන සිය නිකට ඇගේ හිස මත්තෙහි රැඳවී ය.
“ඔයාගෙ ටෙරාරියම් එකක පෝස්ට් එකක් සංජය එෆ් බී එකේ ශෙයා කරල තියෙද්දියි මං මුලින් ම දැක්කෙ. අපූ රත්මල්ගොඩ කියන්නෙ ඔයා කියල මං දැනං හිටියෙ නෑ. සංජය ලවා ඔයාට ඕඩර් එක දෙද්දිත් ඒ ඔයා කියල දැනං හිටියෙ නෑ. ඒත් ඔයා මේ ටෙරාරියම් එක හදල තියෙද්දි මං දැක්කා. එතකොට මං දන්නව ඒ ඔයා කියල”
“ඒත් මට කිව්වෙ නෑ”
“නිර්ණාමික ලියන්නී ඔයා කියල ඔයත් මට කිව්වෙ නෑනෙ”
අපරාජිතා ටික වෙලාවක් සසංක ගේ උර මඬලේ හිස තියා ගෙන සිටියා ය. වචන කෝටි ගණනකින්වත් පහදා කිව නො හැකි, හැඟීම් දස දහස් ගණනක මුසුවක් මේ මොහොතේ ඇය තුළ වේ. ඉන් වඩා වැදගත් වන්නේ නතර වූ බවට හැඟීම ය. එය පා වීමක සුවය දනවයි. ලස්සන පුංචි ජීවිතයක් යනු ඇය කාලයක් මහත් ලෝභ කමින් අල්ලා ගන්නට ගිය හා හති වැටුණ ඉක්බිති අතැර දැමූ බලාපොරොත්තුවකි. ඒ වෙනුවෙන් ආදේශක සොයා යාම ඉන් පසු සිදු විය. නමුත් අපරාජිතා ආදේශකයක් ලෙස මනුශ්‍ය ප්‍රාණියෙකු තෝරා ගන්නට කිසි සේත් නො සිතුවා ය.
ජීවිතය ඔවුන් ඉදිරියේ බලා සිටිනවා සේ දෙදෙනාට ම දැනෙමින් තිබිණ. නමුත් ඒ ද ජීවිතය ය. වැරදීම් හා අතපසු වීම් ද රණ්ඩු වීම් හා බැණ ගැනීම් ද එහිදී නැති වෙන්නට විදිහක් නැත. වඩා වැදගත් දෙය නම් ඒ සියල්ල අතරේ ප්‍රේමය නොනැසී පැවතීම හා උනුන් ට අවංක වීම ය. සියලු දබර අවසානයේ දී ද ඔවුන් ට ඔවුන් අනවශ්‍යයි කියා නො සිතී තිබීමයි. ආදරය කල් ඉකුත් වන්නේ නැතිව හා කාලයත් සමග මෝරා වැඩෙමින් පැවතීමයි.
“සති දෙකක් විතර ඔයාගෙ රිකවරි පීරියඩ් එක ඇරල…අපි රෙජිස්ට්‍රේශන් එක ගමු..ම්..ළඟම කීප දෙනෙක්ට විතරක් එන්න කියල..හරිම චාම් විදිහට…”
අපරාජිතා ට අනන්‍යා සිහි විය. සසංක වගේ තාත්තා කෙනෙකුට කැමති කතාවක් කියා තිබිණි ද මේ දේවල් මෙයාකාරයෙන් සිදු වෙත්දී නැවත ද ඇය කැළඹෙන්නට බැරි නැත. ඇයත් එක්ක මේ ගැන කතා කළ යුත්තේ කොහොම දැයි අපරාජිතා ට තේරුණේ නැත.
“අපිට ආයෙ දරුවො නැති වුණාට කමක් නෑ. අනන්‍යා ඇති. එයයි තව බබෙකුයි අතරෙ ගැප් එකත් වැඩියි. අලුත් කෙනෙක් එන එක එයාට හිතේ අමාරුවක් වෙන්නත් පුළුවන්. පවුලක් විදිහට මේ තියන දේවල් අපිට හොඳටම ඇති”
අපරාජිතා ගේ ඇස් වලට කඳුළක් උනා ආවේ ය. අනාගතය විචිත්‍රවත් ලෙස දෑස් ඉදිරියේ සිතුවම් වෙමින් තිබිණ. කිසිත් අවසාන නැත. ඉටු නොවූ බලාපොරොත්තු කන්දක් ඔවුන් ඉදිරියේ බලා සිටී. සසංක ගේ සිහින චිත්‍රපටය, ටෙරාරියම් ගැලරිය, සියලු කලාවන්ට අදාල නිෂ්පාදන ආයතනයක් ද සසංක ගේ සිහින අතරේ වේ. ඒ සියල්ල වෙනුවෙන් ඉදිරි කාලය කැප කරන්නට ඔවුන් දෙදෙනාට පුළුවන.
ඔහු වෙනුවෙන් බද්ධ කළ වකුගඩුව අපරාජිතා ගේ එකක් බව අරවින්ද දැන ගත්තේ රෝහලේ කටකාර හෙදියකගෙනි. ඒ බව සවන් වැකුණ වහා ඔහු විශාල චිත්ත පීඩනයකට ලක් වුව ද තමන් විසින් ම සන්සුන් වන්නට අරවින්ද ට හැකි විය. අපරාජිතා එහෙව් ගැහැනියක බව ඔහු දනී. සමාව යදිනු වස් හෝ ඇයට දුරකතන ඇමතුමක් දෙන්නට තරම් දිරියක් ඔහු වෙත නො විණ. අනන්‍යා ද පියා වෙතින් ඒ බව දැන ගත් වහා ම හඬා ගෙන අපරාජිතා ඇමතුවා ය.
“ඇයි මටවත් නොකිව්වෙ එහෙම කරනව කියල…ඔයාට මොනා හරි වුණානං එහෙම…දෙයියනේ එහෙනං මට කවුද ඉන්නෙ…”
“කලබල වෙන්න දෙයක් නෑ පුතේ”
අපරාජිතා ඇය ට පුරුදු සන්සුන් ස්වරයෙන් දෙඩුවා ය.
“දැන් හැම දේම හරි. තාත්තිට ටික දවසක් හොස්පිට්ල් ඉන්න වෙයි. හැබැයි කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ටේශන් එක සක්සස් කියල ඩොක්ටර් කිව්ව. තාත්තිගෙ ඇඟ ඒක රිජෙක්ට් කරන පාටකුත් නෑ කියල තමයි කිව්වෙ. දැන් අම්මියි තාත්තියි දෙන්නම ජීවත් වෙනවනෙ පුතේ”
“හැමදාම ඔයාට සතුටෙන් ඉන්න පුළුවන් වෙන්න ඕන අම්මි. දෙයියනේ සසංක අංකල්…එයත් පුදුම කෙනෙක්. එයත් අම්මි වගේම තමයි. නැත්තං මෙහෙම දෙයක් කරන්න ඇරල බලං ඉන්න සාමාන්‍ය පිරිමියෙක්ට පුළුවන් කියල මං හිතන්නෑ”
අනන්‍යා සමගින් සිය විවාහය ගැන විවෘත ව කතා කළ යුතු යයි අපරාජිතා සිතුවා ය. නමුත් අම්මා කෙනෙකුට සිය දියණිය සමගින් එහෙව් යමක් කියන එක පහසු නැත.
“ඔයා කොහොමද තනියම වැඩ ටිකවත් කර ගන්නෙ…මං මේ ඩිග්‍රි එක දමල ගහල එන්නද අම්මි…”
“එහෙම අමාරුවක් නෑ දරුවො. සසංක අංකල් උදේට හැම දේම හොයල බලලයි යන්නෙ. උදේට එයා මාවත් උදව් කරං උයනව. ආවට පස්සෙ රෑටත් එහෙමයි. සසංක අංකල් අහනව පුතේ…මැරේජ් එක රෙජිස්ටර් කරමුද කියල…ඔයා මොකද කියන්නෙ…”
ඉතා අසීරුවෙන් වචන හොයා ගෙන ඇය අමාරු ම කාරිය කර ගත්තා ය. අනන්‍යා මුදු ලෙස සිනහ වූවා ය.
“මං කියලනෙ තියෙන්නෙ මං කැමතියි කියල. ඔය දෙන්නා සතුටෙන් ඉඳියි. මටත් ඔය දෙන්නා එක්ක සතුටෙන් ඉන්න පුළුවන් වෙයි. අම්මි සතුටෙන් ඉන්න ජීවිතේක මට මං ගැන බයක් නෑ”
සමහර කාල ජීවිත වලට ඉතා දුෂ්කර හා අසීරු වන්නේ ය. ඉතා බරපතල වූ දෛවයේ පරීක්ෂණ වලට ලක් වන්නට එම කාල වලදී සිදු වේ. අපරාජිතා ට ද එවන් සමයක් පහු කරන්නට සිදු විය. ඇය දැඩි ඉවසීමකින් ද අවබෝධයකින් ද කාල තරණය කළා ය. ඇතැම් විට ඉරණම ට ඕන වී තිබුණේ ඇය මෙතැනට කැටිව එන්නට විය හැක.
අරවින්ද හෙමිහිට සුව වෙමින් සිටියේ ය. ඔහු ගේ ජීවිත අවදානම පහ ව ගොස් තිබිණ. මුදල් වලට වඩා ජීවිතයකට වටිනාකමක් වන බව රොෂෙල් ට අවබෝධ කොට දෙන්නට ඒ ටික දවසට හැකි වී තිබිණ. ඔහු අරවින්දට ඇය ට හැකි උපරිමයෙන් උවටැන් කළා ය. සිය ප්‍රේමවන්තයා සමග විත් ඇගේ වකගඩුව හිටපු සැමියා ට පරිත්‍යාග කරන්නට අපරාජිතා ට හැකි වී නම් ලබා ගත් ජීවිතය සැනසීමෙන් පිළිගන්නට ඔවුන්ට බැරි ඇයි දැයි ඇය සේ ම අරවින්ද ද වෙන වෙනම සිතන්නට ඇත. අපරාජිතා අලුත් ජීවිතයක් තෝරා ගෙන තිබේ. ඒ ගැන අරවින්ද ගේ සිත් තුළ ඊර්ෂ්‍යාකාර හැඟීමක් නොවෙනවා ම නොවේ. නමුත් දැන් කළ යුත්තේ ඇය විසින් ඔහු ට ලබා දෙන ලද අලුත් ජීවිතයෙහි වන වටිනාකම ගැන අවබෝධයෙන් කටයුතු කිරීම බව වටහා ගන්නට බැරි කමක් අරවින්ද ට නැත.
සසංක ගේ හා අපරාජිතා ගේ විවාහ ලියාපදිංචිය යෙදී තිබුණේ සිකුරාදාවකට ය. දේශිකා කල් ඇතිව ම එදා ට නිවාඩු අනුමත කරවා ගත්තා ය. බ්‍රහස්පතින්දා දහවල අරවින්ද සසංක හමු වන්නට දුරකතන ඇමතුමක් දී දැන්වීම් ප්‍රචාරක ආයතනය වෙත ගියේ ය. සිය හිටපු බිරිඳ ගේ අලුත් සැමියා වෙන්නට යන සසංක වෙත පිරිනමන්නට ඔහු වෙත වූයේ දෙසතියක් සඳහා එක්සත් රාජධානියෙහි සංචාරයක් වෙනුවෙන් ගුවන් ටිකට් පත් දෙකක් ය.
සසංක ගේ මුහුණෙහි අඩ සිනහවක් නැගිණ.
“පස්සෙ හෙමිහිට එයාව කොහෙ හරි එක්කං යන්න මට පුළුවන් අරවින්ද. තෑන්ක්ස්”
“සසංක…මේක මං හිතේ කිසිම කහටක් නැතුව කරන දෙයක්. ඔය දෙන්නට මගෙනුයි අනන්‍යාගෙනුයි වෙඩින් ගිෆ්ට් එක කියල හිතන්න. ඇත්තටම මෙහෙම දෙයක් දෙන්න ඕන වුණේ මට නෙවෙයි අනන්‍යාට. මේ සති දෙක ඔය දෙන්නත් එක්ක ගත කරන්න එයා කැමතියි කියලයි මං හිතන්නෙ. මගෙ දුව වෙනුවෙන් මට මේක කරන්න දෙන්න. ප්ලීස්…”
සසංක ලොකු හුස්මකින් පපුව පිරෙන්නට හැරියේ ය. අරවින්ද කියන්නේ මරණයේ දොරකඩට ගොස් පැමිණි මිනිසෙකි. හෙට ඒ ගමන තමන් වෙනුවෙන් විය හැකි යයි සසංක ට සිතිණ. අපරාජිතා නිසා ආපසු හැරී එන්නට අරවින්ද ට හැකි විය. නමුත් ආපසු හැරීමක් හැමදාමත් බලාපොරොත්තු විය නො හැකි ය. දවසක අපට යන්න ම වන්නේ ය. එහෙව් අස්ථිර ජීවිතයක වැදගත් ම දේ වන්නේ සතුටෙන් ජීවත් වීම මිස උනුන් ට වෛර කරමින් කාලය කා දැමීම නොවේ.
“මං හිතන්නෙ මගෙ දුව මට වැඩිය.. ඉස්සරහට සසංකට ලං වෙයි. මට දුකක් නෑ කියන්න බෑ. ඒත් එක අතකට එහෙම වෙන එක හොඳයි. ඒක මට සැනසීමක් වෙයි. සසංක දන්නවනෙ…හැම ගෑනිම අපූ වගේ නෑ. ඒ අතිං බලනකොට…සසංකට ලැබුණෙ ලෝකයක් වටින ගෑනියෙක්”
ඒ වචන ටික සසංක ගේ සවන් වල පිළිරැව් දෙමින් තිබිණ. හැන්දෑවේ ඔහු එන විට අපරාජිතා සිමෙන්ති බංකුවෙහි වාඩි වී පොතක් කියවමින් සිටියා ය. විවර වූ රෝලර් දොරටුව යටින් දම් පාට කුරුමිණියා රිංගා එත්දී ඇගේ දෙතොලතරේ පුරුදු සන්සුන් මන්දස්මිතය ඉපදිණ. රියෙන් බට සසංක එහි ආවේ අරවින්ද ඔහු අත පත් කොට ගිය ගුවන් ටිකට් පත් දෙක ද සමග ය. බංකුවේ ඇය ට ලං ව හිඳ ගන්නා ගමන් ඔහු එය අපරාජිතා වෙත පෑවේ ය.
“සති දෙකක ලන්ඩන් ටුවර් එකක ෆුල් පැකේජ් එකක්. අනන්‍යා ගෙයි අරවින්දගෙයි වෙඩින් ගිෆ්ට් එක”
අපරාජිතා ගේ ඇස් වල ක්ෂණික දීප්තියක් ඇති විය.
“ඒ කියන්නෙ සති දෙකක් අනන්‍යා එක්ක ඉඳල එන්න පුළුවන්…”
අරවින්දට හඳුනා ගත නො හැකි ව ඔහු ගෙන් මගහැරී ගිය ජීවිතයේ අපරිමිත සරල බව ද නිවීම ද ඒ වෙලාවේ ඔහු ඇගේ ඇස් වල දුටුවේ ය. අපරාජිතා ගේ සුරත සිය කකුල මතට ගත් සසංක, ඇගේ අතැඟිලි අතරේ සිය ඇඟිලි පටලවා අල්ලා ගත්තේ ය. මේ ගමන පරිස්සමෙන් යා යුතු ව තියේ.
“අරවින්දට හොඳටම හොඳයිද සසංක…”
ඔහු එකඟ වෙන්නට හිස සැළුවේ ය. අපරාජිතා ගේ මුව සිනහවෙන් පිරිණි.
“තේකක් හදන්නං. වොශ් දාං එන්න”
ඈ සිය නිදහස් අතින් ඔහු ගේ සුරත් බාහුව අල්ලා ගන්නා ගමන් සසංක ගේ මූණ බැලුවා ය. ඔහු ගේ තුරුණු ඇස්, ජීවිතය ගැන දැල්වෙනා අපේක්ෂාවන් ගෙන් දිළෙමින් තිබිණ.
-සමාප්තයි.