අපේ ගමේ මට හිටියේ එක ම එක මිතුරියක් පමණකි. ඇය මට වැඩිය එක පන්තියක් ඉහළින් සිටි මුත් මා කිසි දා ක ‘අක්කා’ කියා ඇය අමතා නැත. ඇය මා ‘නිබ්බු’ හෝ ‘නිබා’ ලෙසත්, මා ඇය සඳ, සඳා, සඳී හෝ සඳූ වැනි කටට එන නමකිනුත් අමතන්නට අපි පුරුදු වී සිටියෙමු. ඇගේ නම සඳිනි ගාල්ලගේ ය. ඇය ගියේ මා උගත් බාලිකාවට නොව වෙනත් එකකට ය. නමුත් පාසල් දෙකෙහි බස් රථ එන තුරු අප බලා සිටියේ එක නැවතුමක ය. උදේ ට පාසල් බසය එන තෙක් බස් නැවතුමේත් හැන්දෑ කාල වල පාරේ හෝ අපේ ගෙවල් දෙකෙන් එකකත් හමු වී තොරතෝංචියක් නැති ව කියවීම අපේ පුරුද්ද වී තිබිණ. සඳනි ලා අප වාගේ දුප්පත්කමේ අඩියේ සිටි මිනිසුන් නොව සාමාන්‍ය මධ්‍යම පාන්තික දිවියක් ගත කළ, ඒ කාලේ හැටියට ඉන්නට හොඳ ගෙයක් දොරක් තිබුණ දෙමාපියන් වැදගත් යයි සම්මත රැකියා කළ පවුලක ගෑනු ළමයෙකි ඇය. ඇයට අයියා කෙනෙකු හා මල්ලී කෙනෙකු සිටි අතර ඔවුන් දෙදෙනාම කොළඹ පිරිමි පාසල් වල ඉගෙන ගත්හ. මගේ හා සඳනි ගේ හිතවත්කම් වලට අපේ සමාජ ආර්ථික තත්වය කිසිදු බලපෑමක් නො කළ අතර, මා වාගේ අන්ත දුප්පත් පවුලක ළමයෙකු ඇසුරු කිරීම ගැන ඇගේ උගත් මව් පියවරු ඇයට බලපෑමක් නොකළා කියා සිතමි.
ළමා වියේ සිට නව යොවුන් විය දක්වා වයසින් ද සිරුරෙන් ද මනසින් ද වර්ධනය වන යුගයක් අප ගත කළේ එකට ය. ඒ නිසා අපේ කායික මානසික වෙනස්කම් අපට ඒ හැටි දැනුණේ නැත. කෙසේ වෙතත් ඇය මට වඩා උසින් මහතින් හා ස්ත්‍රී අඟ පසඟ ආදියෙන් වැඩුණ දැරියක වූවා ය. දිනකට දෙකකට වරක් යන්තම් එක ආහාර වේලක් කුසයට දමා ගත්, එහි ද කිසිදු පෝෂණ ගුණයක් නොවුණු තත්වයකදී මගේ කෙසඟ බව ගැන පුදුම නොවිය යුතු ය. වරක් ගුරුවරියක් ආහාර හා පෝෂණය ගැන පාඩමකදී පන්තිය සිසාරා දෙනෙත් යවමින් “අන්න අරයටනං මන්ද පෝෂණ ගතියක් තියනව වගේ” කියමින් සිය දෑසින් මාව ඉලක්ක කළා ය. ඒ වෙලාවේ මට හිතුණේ පොළොවේ වළක් හාරා ගෙන හැංගෙන්නට ය. පන්තියේ හැම ළමයෙකු ගේ ම ඇස් ඒ මොහොතේ මා වෙත ඉලක්ක ගත ව තියෙන්නට ඇත.
මා මේ ශරීරයේ වර්ධනය ගැන කතාව කීවේ, සමීපතම මිතුරියන් දෙදෙනා වශයෙන් මුළු ගම ම හැඳින සිටි අප දෙදෙනා ගේ පෙනුමේ වූ වෙනස ගැන කියන්නට ය. ඇය පිරිපුන් නව යෞවනියක වත්දී මම ඒ වයසේ හැටියට ශාරීරික වර්ධනයක් නො පෙන්වූයෙමි. ඒ නිසා ම අප දෙදෙනා එක් ව සිටියදී, මග ඇවිද යත්දී වැඩිපුර පිරිමි ළමුන් ගේ අවධානයට ලක් වූයේ සඳනි ය. ඇගේ මුහුණ ද දෑස ද දීප්තිමත් වූයේ ය. කොපුල් වලට ලේ පුරා රතුවට පෙනුණේ ය. නමුත් කවදාවක් ඇගේ හැඩ රුව ගැන මා තුළ ඊර්ෂ්‍යාවක් ඇති වී නැත්තේ ය.
මට තිබුණ ලොකු ම වස්තුව මගේ වරලස ය. මම එය තනි කරලට හෝ දෙකරලට ගොතා ගෙන පිට දිගේ හෝ කැපී පෙනෙන ලෙස නො පිරුණු ළැම මතින් හෝ දමා ගෙන සිටිමි. සඳනි දෙවැනි වූයේ මගේ කොණ්ඩයට පමණකි. ඇයට තිබුණේ කොයි තරම් තැඹිලි තෙල් ගෑව ද වැවෙන්නේ නැති බොකුටු කොණ්ඩයකි.
මගේ පවුල් පසුබිම ගැන දැන සිටි ඇය යම් යම් අවස්ථා වල පත පොත හා ඇය ටික කලක් පාවිච්චි කරන ලද බෑග් සපත්තු හා ඇඳුම් ආදිය මවෙත ලබා දෙමින් මට විශාල සහයෝගයක් දැක්වූවා ය. මුළු නව යොවුන් වියෙහි ම මා ඇන්දේ සඳනි ගේ පරණ ගවුම් ය. ඒ නිසා ම වසන්ති පුංචි ගේ හා සුනිමල් මාමා ගේ ළමයින් ‘පරණ කෝට්’ යන අන්වර්ථ නමක් මවෙත පටබැඳ තිබිණ. වතාවක් ඒ ගැන උරණ වූ මල්ලී අවන්ත අයියාට පහර දීම නිසා ඔහු බිම වැටී අත්ලට මැහුම් දෙකක් දමන්නට වූයේ ය.
“නැහැදිච්ච එවුං එක්ක එකතු වෙන්න යන්න එපා කියන්නෙ ඕක තමයි. ජාතියක් ජම්මයක් නැති එවුං”
ලේ ගලන අත සහිත අවන්ත ව තුරුලු කර ගෙන නීලිකා නැන්දා එසේ බැණ වැදුණේ ගිනි පිට වෙන ඇස් දෙකකින් අප දෙස බලා ගෙන ය. ඈ කී ඒ ‘ජාතියක් ජන්මයක් නැති’ කතාව ගැන මම ඔබට පසුව කියන්නට තබමි.
“අනුංගෙ පරණ කඩමාළු අඳින එවුන්ට එහෙම නමක් කිව්වහම මොකද…උඹල එච්චර නම්බුකාරයොද…ආදෙංකො අද මහ එකී”
යනුවෙන් ආච්චි මමී ද අපට දෙස් තැබුවා මට මතක ය.
නැවතත් අපේ කතාවට එනවා නම්, මා කියන්නට ගියේ සඳනි ගේ ප්‍රථම ප්‍රේමය ගැන ය. “වෙන කාටවත් කියන්න එපා නිබ්බු. මං ඔයාට විතරයි කියන්නෙ” කියමින් මා පොරොන්දු කරවා ගෙන ඇය සිය කුළුඳුල් ප්‍රේමයේ චමත්කාරය ගැන මට කියත්දී සඳිනි හිටියේ එකොළහ වසරේ ය. එතකොට මා දහයේ ය. එකොළහ වසරේ සිටි සඳිනි පිරිපුන් යෞවනියක වූවා ය. ඇගේ මිතුරිය වූ කෙසඟ මම පිරිමි නෙතක ආකර්ෂණයට ලක් නොවූ කුඩා දැරියක සේ වීමි.
“විභාගෙ කරල ඕව ගැන හිතන්න”
මම පොඩි කමට ඇයට උපදෙසක් දුන්නෙමි. සඳනි ගේ මුහුණේ ඇඳුණේ මා වන් පුංචි කෙල්ලක ප්‍රේමය ගැන මොනවා දන්නවාද වාගේ මඳහසකි. නමුත් ඇය දිගට ම සිය හද බැඳි යෞවනයා ගැන මා හා කියවූවා ය. හැම දවසක ම පාසල් බස් රිය පැමිණෙන තුරු උදයේ දීත්, හවස් කල හමු වූ විටත් ඉන් පසු ඇගේ මුවේ වූ එක ම මාතෘකාව ඔහු ය.
ඒ වෙත්දී ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූයේ ය. සඳනි ගේ අසල් වාසියෙකු වූ හෙතෙම ලෝචන මදුරාපුර නම් විය.
මා ලෝචන ව දන්නේ මගේ පැටි වියෙහි සිට ම ය. සිංහල අවුරුද්ද වැනි වැඩ වැඩි කාලයට ‘වැඩ කරන ගෙදර’ ට යත්දී අම්මා මාව ද කැටිව ගියේ ඇගේ අත් උදව්වට ය. පුංචි ම කාලේ නම් මම ලූණු පොතු යැවීම, අල සුද්ද කිරීම, පොල් ගෑම වැනි කටයුත්තකින් අම්මා ට උදව් වෙමි. තරමක් වයසින් වැඩෙත්දී හා ගෙදර දොර වැඩට හුරුබුහුටි වත්දී පුංචි නිබ්බුතා ට ඊට වැඩිය වැඩ පැවරුණේ ය. මිදුලේ මල් පාත්ති හා මල් පෝච්චි අස් කිරීම, ගේ අස් කොට අතු ගෑම වැනි කටයුතු ඒ අතරින් ප්‍රධාන වූ අතර මම ඒ වැඩ වලට ඉතා ආශා ද වීමි. ඊට සාධාරණ හේතු තිබුණේ ය. පළමු වැන්න එය ගෙයක් නොව මාළිගයක් වූයේ ය. ඒ වගේ ලස්සන මැදුරක කවදා හෝ ජීවත් වෙන පැතුමක් කෙසේ වීද තෙරාසෝ මැද ඔප දැමූ ඒ වගේ දිළිසෙන බිමක් සහිත ගෙදරක් අතුගෑම ද මට සතුට සැදුවේ ය. කටු සිමෙන්ති දැමූ කපරාදු නොකළ, ඔළුවේ වදින නො වදින තරම් නො උස් ටකරන් වහලක් සහිත ගෙදරක එතෙක් මුළු දිවිය ම ගත කළ ළමයෙකු ගේ සිත තුළ එවන් චමත්කාර හැඟීමක් ඇති වීම ගැන ඔබ පුදුම නො විය යුතු ය. අම්මා කී ලෙසට ඒ ගෙදර මිනිසුන් දෙවිවරුන් බව ද වැඩි කල් නොයා ම මට පසක් වූයේ ය. ආඩම්බරකාරියකට සිටියේ ගෙදර ලොකු නෝනා පමණකි. මා එසේ කියන්නේ ඇගේ මුහුණේ සිනහවක් කිසිම වෙලාවක නොවූ බැවිනි. නමුත් අම්මා කීවේ ඇය එක දිනයකින් හෝ සිය වැටුප ප්‍රමාද නොකරන, අවංක තැනැත්තියක බවයි. විශ්ව විද්‍යාලය ආචාර්යවරියක වූ ඇය කිසිදු අවධානයක් යොමු විය යුතු නැති කෙසඟ කෙල්ලක හා සිනහ නොවීම යනු නො සලකා හැරිය යුතු තරම් දෙයකියි පසුව මම වටහා ගතිමි.
ඇගේ ස්වාමි පුරුෂයා බැංකු නිලධාරියෙකි. ඔවුන් දෙදෙනා ගේ වැඩිමහල් දියණිය මධාරා පසු කලෙක පෞද්ගලික බැංකුවක සේවය කළ අතර මා දැක ඇති සුන්දරතම ස්ත්‍රිය ඇයයි. කෙතරම් ධනවත් හා උගත් පවුලක දියණියක වී ද කිසිදු අහංකාරයක් නැති සුපිරිසිඳු සිනහවක් මා දකිනා හැම වතාවක ම ඇගේ මුහුණේ වූයේ ය.
“කොහොමද නිබ්බුතා…කාලද ඉන්නෙ ඔයා…”
කියා කරුණාවන්ත සුරංගනාවක සේ අසන්නට ද කවදාවත් ඈ අමතක කළේ නැත. වේල් කිහිපයක් නොකා සිටිය ද මා කළේ ‘ඔව්’ යි හඟවන්නට හිස සලනා එක ය. වේල් කිහිපයක් නිරාහාර ව සිටිය ද ඒ නිර්මල සිනහවත් කතාවත් මගේ කුස පිරවූ බව ඇයට කියා ගන්නට තරම් ධෛර්යයක් කවදාවත් මට වූයේ නැත.
මා වැඩි විය පැමිණි දිනයේ ඇය අම්මා අත සබන්, පවුඩර්, ඕඩිකොලෝන්, ලේන්සු, කොණ්ඩා බඳින රිබන් ආදිය සහිත පාර්සලයක් එවා තිබුණා ය. එතකොට ඇය පාසලේ ඉහළ පන්ති වල සිසුවියක විය යුතු ය. ඒ අවස්ථාව වෙනුවෙන් වැඩ කරන ගෙදර නෝනා අම්මා ට කුඩා කරාබු යුගලයක් දී තිබුණා ය. බෝ කලක් යන තුරු මගේ කනේ පාළු මැකුවේ ඒ මල් කරාබු යුගලයි. ඒ වන තුරු කවදාවත් මා කරාබු පළඳා නොතිබූ අතර හැමදාමත් කන් පෙති වල කරපිංචා නැටි දෙකක් වූ බව තවමත් මට මතක තියේ.
මධාරා අක්කා ගේ මල්ලී ලෝචන මදුරාපුර ය. ඔහු මධාරා අක්කා වගේ සිනහ කටක් පුරවා ගත් තැනැත්තෙකු නොවී, කුඩා කල පටන් ම මට මතක ඇත්තේ ‘ලොකු නෝනා’ බඳු ආඩම්බරකාරයෙකු ලෙසට ය. තද පැහැති සමකට හිමිකම් කියූ ඔහු පාසල් සිසුවෙකුව සිටියදී නම් මගේ මුහුණක් හෝ බලා නැති බව ඉඳුරා පැවසිය හැක. ලෝචන මට මතක ඇති දා පටන් උපැස් පැළඳුවේ ය. පසු කලෙක බාලිකාවේ කෙල්ලන් “ස්පෙක්ස් දාන කොල්ලො ස්මාට්. බ්‍රයිට් ලුකිං” කියා කියන නිසා ඒ ගෙදරදී මම ඉතා හොඳින් ඔහු දෙස බලා ඇත්තෙමි. නමුත් මට වඩා හොඳ නිගමනයකට එන්නට තරම් කාලයක් කවදාවත් ඔහු දෙස බලා ඉන්නට ලැබී නම් නැත. මග තොටක හමු වී ද ලෝචන මා හඳුනන බවක් හෝ හඟවා නැත්තේ ය.
“එයා හරි ආඩම්බරයි නේ…”
සඳනි ඔහු ට ඒක පාර්ශ්වික ව පෙම් කරනා බව දැන ගත් පසු මා ඇයට එසේ කීවේ පරණ මතක සිහිපත් කොට ය. ඇය හඬ නගා සිනහ වූවා ය.
“ඇයි…ඔයාට ආඩම්බර පෙන්නල තියනවද…”
“ඉඳ හිට ඒ ගෙදරට ගිය දවසකවත් හිනා වෙලානං නෑ”
“මාත් එක්කනං එහෙම නෑ. කතා කරනවත්. අපේ අයියගෙ යාළුවෙක්නෙ. ඒත් මේක කියන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ”
ඔවුන් ගේ පවුල් අතරේ ගැලපීම් තිබුණේ ය. ඒ නිසා ඒ ළමයි උනුන් ඇසුරු කළෝ ය. ඔවුන් අතරේ දී අප අන්ත අසරණයන් ය. සමහර විට ඒ අසරණ කම වෙනුවෙන් ඔවුන් අපට අනුකම්පා කරන්නට ද ඇත.
වයසින් වැඩෙත්දී අම්මා වැඩ කරන මන්දිරයට යන එක මම ටිකක් අඩු කළෙමි. ඒ, අපේ ගෙදරදී නො දැනෙන හීන මානයක් මට එහිදී දැනෙන්නට ගන්නා නිසා ය. ලෝකය මොන තරම් විශාල දැයි මට දැනෙන්නේ එහි ගිය කල ය. ඒ ගෙදර නිදන කාමර ම හත අටකට වඩා තිබේ. නවීන යන්ත්‍රෝපකරණ හා ගෘහ භාණ්ඩ වලින් ඒ නිවස පිරී තිබුණේ ය. මගේ හිත අහලකවත් ඊර්ෂ්‍යාවට ළඟ හැඟීමක් නොමැති වී ද ඒ අපට නො අයිති හා පෑහිය නො හැකි තැනක් ය යන හීන මානයෙන් මිදෙන්නට මට නො හැකි වන්නට ඇත. මධාරා අක්කා හැරෙන්නට වෙන කිසිවෙකු මසිතින් ඒ හීන මානය පලවා හරිනා සිනහවක් හෝ දෙන්නට ඉදිරිපත් වූයේ නැත. නො ගැලපෙන තැන් වලින් දුරස් වී හිඳිත මනා බව යමක් කමක් තේරෙන්නට ගත්දී මට අවබෝධ වන්නට ඇත. නමුත් සිංහල අවුරුද්දට ගෙවල් දොරවල් අස් පස් කරන්නට ඇති විට අම්මා මට එහි යන්නට කතා කරයි.
“සුදූ වැඩකාරකං කරන්න යන්න ඕන නෑනෙ. එයා පාඩං කරන්න ඕන”
මේ ගැන මුලින් ම සිය විරෝධය පෑවේ මල්ලී ය. ඒ, සඳනි ලෝචන ගැන පෙමින් ආතුර වන්නට ටික දිනකට පෙර ය. එතකොට මල්ලීගේ වයස දොළහක් දහ තුනක් පමණ විය හැකි වී ද ඔහු ට වයස ඉක්මවූ සමාජ අවබෝධයක් වූයේ ය. ඇතැම් විට එය වයස් බේධයකින් තොර ව ගමේ ළමයින් ඇසුරු කළ නිසා ඔහු ලද පරිචයක් වන්නට පුළුවන. ඔහු ගේ මෙවැනි පණ්ඩිත කතා නිසා මහ ගෙදර ඇත්තන් ‘කිසි ළමා ගතියක් නැති එකෙක්. මහ මිනිහෙක් වගෙයි කතාව’ යනුවෙන් මල්ලී ව හැඳින්වූ බව ද මම දනිමි.
“අනේ බං සුදූව වැඩකාරකමට අරින්නනං මං මෙහෙම නැහෙනවද කොල්ලො. මටත් ඕනෙ උඹල දෙන්නා අකුරක් ඉගෙනගෙන මේ නරකාදියෙං ගොඩ යනව බලන්න තමයි. ඒත් කුස්සියෙ වැඩ මිසක්කා සුදූ තරමට මට ඔය විච්චූර්ණ වැඩ තේරෙන්නෙ නැති නිසයි කතා කළේ”
මගේ උද්දච්ච කම ගැන මා තුළ මහත් කේන්තියක් ඇති විය. අම්මා වේලක් ඇර වේලක් හෝ අපේ කුස් පුරවන්නේ ද අප ව පාසල් යවන්නේ ද ඒ ගෙදර වැඩ කිරීමෙන් ලැබෙනා මුදලකිනි. ඉතින් අපට කවර ලොකු කම් ද? හැකි අයුරකින් අම්මා ට සහයෝගයක් වනු මිස ඒ මැදුර වර්ජනය කිරීමෙන් මට කවරක් ලැබෙනු ඇත්ද? සියලු මාන්නයන් පලවා හැර මා යළිත් ඒ ගෙදරට ගොස් වැඩක් පලක් කර දෙන්නට තීරණය කළේ එදා ය.