පැටි වියෙහි පටන් ම මා අම්මා වැඩ කරන ගෙදරට ආව ගිය ද, ගැටවර ලෝචන මදුරාපුර ගැන පවා මතකයක් මගේ ළමා මනසේ තැන්පත් වී තිබිණි ද, ඔහු ගේ අවධානයට ඒ ළමා වියේ කිසි කලෙක මා ලක් වී නැති බව විශ්වාස ය. ඔහු නපුරු හෝ ආඩම්බර ළමයෙකු කියා මුලින් මම සිතුවෙමි. නමුත් ඔහු ගේ මුහුණේ කිසිදු නපුරක් නොවන බව ටික ටික මට අවබෝධ විය. නපුරුකම් යනු අවන්තලා චංචලාලා ළඟ තියෙනවා වාගේ දෙයකි. ඔවුන් ගේ මුහුණු වලින් ම ඒ නපුර හැඳින ගන්නට පිළිවන. මදෙස නො බැලුවාට, මා හා නො දෙඩුවාට ලෝචන ගේ මුහුණේ හෝ ඉරියව් වල ඒ වාගේ හැඟීමක් ගෑවී හෝ නො තිබිණි. ඔහු ට මා විශේෂ නොවන්නෙකු ය කියා අන්තිමට මම තීරණය කළෙමි. එය එසේ නොවුණොත් පුදුමයකි. මට වඩා උසින් මහතින් වැඩි සඳනි ගේ පාවිච්චි කොට ඉවත් කළ ඇඳුම් එල්ලා වැටෙමින් හැඳ සිටින, අවධානය යොමු කළ යුතු වෙනත් කිසිදු හුරුබුහුටි කමක් නොවන මා කෙරේ ලෝචන ගේ අවධානය යොමු වන්නේ ඇයි?
ඔහු ට ලස්සන කාමරයක් තිබුණේ ය. එහි බිත්ති මුහුදු නිල් පැහැති ය. සුව පහසු යහනාවකට අමතරව පොත් රාක්කයක් හා පොත් මේසයක් ද ඒ අසල කරකැවෙන පුටුවක් ද විය. කාමරයේ තැන් තැන් වල ගිටාර්, ඕගන් වැනි සංගීත භාණ්ඩ තබා තිබුණේ ය. බිත්ති වල මා නො දන්නා පෝස්ටර කිහිපයක් ගසා තිබුණේ ය. ගේ අතුගාන ගමන්, දොර හැර දමා තිබි වෙලාවක නම් මම ආශාවෙන් ඒ කාමරය දෙස බලා හිඳ ඇත්තෙමි.
“නිබ්බුතා එන්න”
මා ඇගේ කාමරය ළඟ එබිකම් පාමින් ඉන්නවා දුටු කිහිප වතාවක ම මධාරා අක්කා මට එසේ ඇමතුවා ය. මා එහි ඇතුලු වූයේ ලැජ්ජාවෙන් හෝ කුළෑටි කමෙන් ඇඹරෙමින් වී ද අති විශාල ප්‍රහර්ෂයක් මගෙන් බැහැර වෙමින් තිබූ බව දැනෙන්නේ දැන් ය.
ඒ කාමරය තනිකර ම සුරංගනා ලෝකයකට අයිති වූවකි. ලා රෝස පැහැයෙන් බිත්ති වර්ණ ගන්වා තිබි අතර සියලු ම ගෘහ භාණ්ඩ සුදු පැහැයෙන් යුතු වූයේ ය. එතුළ වූ සුරංගනා ලොවට අයත් සියල්ල අතරින් වඩාත් මා සිත් ගත්තේ ජනේලයෙහි එල්ලා තිබූ සිහින පෙරණයයි.
“ඔයා ඒකට ආසද…”
ඒ කාමරයට ගිය මුල් ම දිනයේ මා ඒ සිහින පෙරණය දෙස ම බලා සිටියදී මධාරා අක්කා ඇසුවා ය. මම අවිහිංසක සිනහවකින් හිස සැළුවෙමි.
“ඒ මොකද්ද බබා…”
“ඔය ඉතිං…මං ඔයාට කියලනෙ තියෙන්නෙ මට බබා කියන්නෙපා අක්ක කියන්න කියල. වයසින් බැලුවොත් මට වඩා ඔයා බබෙක්නෙ”
බෝනික්කියක සේ ඇස් තටු ගසමින් ඇය මගේ උරහිසක් මත අත තබා කීවා ය. මට වඩා උසින් මහතින් වැඩි මධාරා අක්කා ව ඒ වෙලාවේ මට පෙනුණේ කෙතරම් දැවැන්තව ද යත්, මා කුරු කුහුඹු ආත්මයක් සේ විය. මා ඇය ට බබා කීවේ අපේ අම්මා එහෙම කියනා නිසා ය. මධාරා අක්කා අම්මා ට එසේ අමතන්න එපා කියන්නේ නැත්තේත්, මට එසේ අමතන්න එපා කියන්නේත් ඇයි කියා මට වැටහුණේ ම නැත.
“ඒක ඩ්‍රීම් කැචර් එකක්. ඒ කියන්නෙ සිහින පෙරණයක්. මේක කාමරේ එල්ලල තිබ්බහම නපුරු බය හිතෙන හීන පේන්නෙ නෑලු”
“එහෙනං අපේ ගෙදරත් එකක් එල්ලන්න ඕන. අපේ අම්ම කියන්නෙ අපි ඇහැරල හිටියත් බය හිතෙන නපුරු හීන ම පේන මිනිස්සු කියල”
ඇස් දෙක පුංචි කර ගෙන සුරංගනා කරුණාවකින් මදෙස බලා සිටි ඕ මහිස පිරිමැද ගොස් පුටුවකට නැග ඒ සිහින පෙරණය ගැලවූවා ය. අනතුරුව එය ගෙනවිත් මවෙත පෑවා ය.
“ආ…මේක නිබ්බුතා ගෙනියන්න”
“අනේ මට ඕක එපා බබා. මං කිව්වෙ අපිත් එකක් ගන්න ඕන කියල”
අම්මා වැඩ කරන මන්දිරයේ යමක් ගෙදර ගෙනියන්නට වීම ගැන අතිශය බියට පත් මම තැතිගැන්මෙන් පැවසීමි.
“හරි කමක් නෑ. මන්නෙ ඔයාට දෙන්නෙ”
ඇය මගේ අත සිය නිදහස් අතින් ගෙන එහි සිහින පෙරණය තැබුවා ය. මා ආශා වූ යමක් ඒ මොහොතේ ම අතට ලැබුණ ප්‍රථම හා එක ම අවස්ථාව ලෙස බෝ කල් යන තුරු ම එය මගේ මතක අතරේ තිබිණ.
“නිබ්බුතාට ඕනනං මේ පොත් අරං කියවන්න”
මධාරා අක්කා සිය පුස්තකාලයක් වන් පොත් රාක්කය ද මවෙත විවර කළ මුත්, එහි වන බොහොමයක් පත පොත ඉංග්‍රීසියෙන් ලියැවී තිබි හින්දා මට ඒවායින් පල ලැබිය නො හැකි විය.
“නිබ්බුතා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. මට ෆ්‍රී වෙලාවක් මං කියන්නංකො. ඔයා එන්න මං කියල දෙන්නං”
ශිෂ්‍යත්වය සමත් වී මා බාලිකාවට ඇතුළු වූවාට පස්සේ දවසක් ඇය එසේ කීවද ඇයට නිදහස් වෙලාවක් ගැන මට කියනා එක මධාරා අක්කා අතින් අතපසු විය. මටත් යළි එය සිහි වන්නේ අම්මා එක්ක එහි ගිය දා ක පමණි. දහයේ පන්තියට එන තෙක් ටික කලක් මා ඒ ගෙදරින් ඈත් වී ද සිටි නිසා මධාරා අක්කා ව සිහි වූයේ අපේ ටකරන් වහලයේ එල්ලෙන සිහින පෙරනය දකිනා විට ය. එය එල්ලුවා කියා අපට සුව සිහින පෙනුණේ නැත. නමුත් මධාරා අක්කා ගේ කරුණාව එය දකින හැම විට ම මා තුළ යළි යළිත් තහවුරු විය.
මා යළිත් මධාරා අක්කලා ගේ ගෙදර යන බව දැන ගෙන බෙහෙවින් ම සතුටු වූයේ සඳනි ය.
“අනේ නිබ්බු එහෙනං මට උදව් කරන්න ඔයාට පුළුවන්නෙ”
ඇය වෙනුවෙන් මට කළ හැකි උදව්ව කුමක්ද කියා මට නම් තේරුණේ ම නැත.
“ඔයා ලෝචන අයියට කියන්න මං එයාට කැමතියි කියල”
මගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ම සීතල අයිස් කන්දක ගිලී ගියා සේ විය. තිගැස්සී ගිය නෙතකින් මම මගේ මිතුරිය දෙස බැලුවෙමි.
“අනේ..ඇයි ඔයා මට කරන්න බැරි උදව්වක් ඉල්ලන්නෙ…”
මම මහත් අසරණ භාවයකින් පිළිවිසීමි.
“ඇයි කරන්න බැරි…”
“එයා කවදාවත් මාත් එක්ක කතා කරල නෑ. මගෙ දිහා බලලවත් නෑ. ඉතිං මං කොහොමද…”
“අයියෝ…ඕවත් ප්‍රශ්නද අනේ…යාළුවෙක් වෙනුවෙන් මෙහෙම වෙලාවක බෙල්ල කඩාගෙන හරි උදව් කරන්න ඕන. මෙහෙම වෙලාවට නැති යාළුවො මොකටද…”
ඇය මඳක් නෝක්කාඩු වූවා ය. මිතුරියක ලෙස ඈ මට අහිමි වෙතැයි ක්ෂණික බියක් මා තුළ ඇති විය. මා තවමත් ළමා වියේ හැව හැර යොවුන් දැරියක සේ පෙනී නො සිටින බව ඇත්ත ය. නමුත් බාලිකාව තුළ ද සම වයස් දැරියන්ගෙන් කිහිප දෙනෙක් ම පෙම්වතියන් වී සිටියහ. එසේ නොවූ අය ද පිරිමි පාසල් වල යෞවනයන් ගැන දැඩි උනන්දුවකින් හා කුතුහලයකින් යුතුව පසු වූහ. ඔවුන් උපකාරක පන්ති වලට ගිය අතර බොහෝ විට පිරිමි ළමුන් හමු වූයේ ඒ තැන් වලදී ය. උපකාරක පන්ති යනු තබා මා පාසල් යන්නට සීසන් එක ගත්තේ ද ඉතා අසීරුවෙනි. මාසයේ මුල දවසක් දෙකක් සීසන් නැති කම මත පාසල් නොයා ඉන්නට සිදු වේ. ඉතින් පිරිමි ළමයින් හා මුහු වන අවස්ථා මට විරල වූයේ ය. එසේ නැත ද මග තොටේ දී හෝ පිරිමි ළමයෙකු ගේ අවධානයට ලක් වන වැඩුණු තුරුණු ලක්ෂණ මගෙන් විද්‍යමාන වූයේ නැත. මේ ගැන මඳ කනස්සල්ලක් මා තුළ නො වූවා ම නොවේ. නමුත් නිහඬ ව කර බා ගෙන සිටිනු විනා බලෙන් කිසිවෙකු ගේ අවධානය දිනා ගත නො හැකි ය. ඉතින් මා සඳනි ට උදව් කරන්නට ඉදිරිපත් නොවන්නේ ඇය කෙරේ මා ඊර්ෂ්‍යා සහගත වන නිසා යයි ඇය සිතනු ඇතැයි මම බිය වීමි.
“කොහොමද ඉතිං මං කියන්නෙ…”
“කොහොම හරි කමක් නෑ. අනේ මට මේක කරල දෙන්න නිබා..ප්ලීස්…ලෝචන අයිය නැති වුණොත්නං මට පිස්සු හැදෙයි. ඔයා කිව්වෙ නැත්තං වෙන දෙයක් වෙන්න කියල මං කෙළින්ම ගිහින් එයාට කියනව”
“එපා…එහෙම හරි නෑනෙ”
“එහෙනං ඔයා මේක කරන්න”
මම එකඟ ව හිස සැළුවෙමි. නමුත් කෙල්ලක ගේ සිතක කොල්ලෙකු ගැන ඇති ව තිබෙන්නා වූ හැඟීමක් ඒ කොල්ලාට දැනුම් දිය හැකි භාෂාවක් ගැන මම නො දැන සිටියෙමි.
මධාරා අක්කා යළිත් ඉංග්‍රීසි පාඩම ගැන මතක් කළේ එ් වතාවේ අම්මා එක්ක මා එහි ගිය ප්‍රථම ශනිදාවේ ය. ඒ වෙත්දී ඉංග්‍රීසි වල අවශ්‍යතාවය මට ද ලොකුවට දැනෙමින් තිබිණ. ඊටත් වඩා මගේ ඔළුවේ තිබුණේ මෙහි යන එන ගමන් ලෝචන මදුරාපුරට සඳනි ගැන යෝජනාව කරන්නට අවස්ථාවක් පාදා ගැනීම ගැන ය. මධාරා අක්කා පෞද්ගලික බැංකුවක රැකියාව කරන්නට පටන් ගෙන සිටි නිසා සති අන්තයේ හැන්දෑ කාලයේ දී අපි පන්තිය යොදා ගතිමු.
මධාරා අක්කා කිසි දා ක මා සිය නිවසේ මෙහෙකාරිය ගේ දියණිය සේ සලකා අඩු තක්සේරුවකින් සලකා නැත. පෙරදී ට වඩා උසින් හා වයසින් වැඩී සිටි මා කෙරේ ඇගේ හිතෛෂී බව වෙනදාටත් වඩා වැඩි වී ඇති සෙයක් මට හැඟිණ. ඈ මා කෙරේ හැසිරුණේ මා ඇගේ නැගණියක සේ හෝ මිතුරියක සේ ආදරණීය ව ය. විටෙක ඒ ආදරය මට දරා ගත නො හැකි තරම් වූයේ ය.
පාසල් විය අවසන් කොට රැකියාවට යන්නට ගත්තාට පස්සේ මධාරා අක්කා නිළියකටත් වැඩි සුන්දරත්වයක් දරා ගෙන සිටියා ය. අසීමිත නිරහංකාර බව ඇගේ සුන්දරත්වය දහස් ගුණයකින් තීව්‍ර කරන්නට ඇත. විටෙක මම වශී වී ගෙන වාගේ ඇගේ පියකරු මුහුණ දෙස බලා සිටියෙමි. ගෑනු ළමයෙකුට ඒ වාගේ රුවක් කියන්නේ දෙවියන් ගෙන් ලැබුණ තිලිණයකි.
“අක්ක ගොඩාක් ලස්සන වෙලා. මං දැක්ක ලස්සනම ගෑනු ළමය අක්ක. අපේ ඉස්කෝලෙ ඉන්න ලස්සනම ගෑනු ළමයව තෝර ගත්තත් එයා අක්ක තරං ලස්සන වෙන එකක් නෑ. අක්කගෙ මේ කරුණාව ඒ ලස්සනට පුදුම වටිනාකමක් එකතු කරන්නෙ”
එදා පාඩමෙන් පස්සේ මම ඇය ට අවංකව මගේ හිතේ වූ අදහස ප්‍රකාශ කළෙමි. මධාරා අක්කා මධාරා මලක් සේ ම සිනහ වූවා ය.
“අනේ පැටියො…ඉතිං ඔයත් කොච්චර ලස්සනද…හරිම චාම් සේපාලිකා මලක් වගේ. ඒ ලස්සන ශාප් කර ගන්න හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. සෑහෙන කාලයක් තිස්සෙ දුක් විඳින ඔයාගෙ අම්මට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන්. ඒක හිතේ තියා ගෙන ඉගෙන ගන්න. අඩුපාඩුවක් තියනවනං මට කියන්න. දැන් මං ජොබ් එකක් කරන නිසා උදව්වක් කරන්න පුළුවන්. ඔයාට තේරෙනව නේද…ඕනම දෙයක් මට කියන්න. මැත්ස් සයන්ස් වගේ සබ්ජෙක්ට් එකකට ක්ලාසස් යන්න ඕනනං යන්න. මං ෆී එක ගෙවන්නං”
මගේ ඇස් වලින් හෝ ගා කඳුළු ගලා යන්නට පටන් ගත්තේ ය. මුළු පපුව ම අව පීඩන කලාපයක් බවට පත් ව කොහේදෝ සිට පැමිණි වායු ධාරාවකින් එය පිරී තෙරපී ගියේ ය. ඉකියක් උගුරේ හිර විය. මිනිසුන්ට ඒ තරම් කාරුණික විය හැකි බව මා වටහා ගත් මුල් ම අවස්ථාව එය ය. යම් දිනයෙක මටත් එහෙම වෙන්නට පුළුවන් වෙනවා නම් යයි පැතුමක් හදවත කොනකින් පැන නැංගේ ය.
“අනේ ඉතිං මං අඬන්න දෙයක් නෙවේනෙ කිව්වෙ”
කියමින් ඇය මාව සිය ළමැදෙහි තුරුලු කොට ගත්තා ය.
මට වසන්ති පුංචී සිහි විය. නීලිකා නැන්දා සිහි විය. ආච්චි මමී සිහි විය. සුනිමල් මාමා ද පාප්පා ද ඇතුළු මහ ගෙදර අනිත් ඇත්තෝ ද සිතේ ඇඳී මැකී ගියෝ ය. අපට නෑයින් කියන්නට අප දන්නා තරමට අත පොවන මානයේ ඉන්නේ ඒ අය ය. නමුත් මතක සන්දියේ පටන් අප පිළිකුල් කරනු, කොන් කරනු, දොස් කියනු මිස දුවේ කියා ආදරයෙන් කතා කරන්නට තරම් හෝ ඔවුහු කාරුණික වී නැත්තාහ. ඒ තරම් ආදරයේ අගහිඟයක් ඇතිව වැඩුණු ගෑනු ළමයෙකු වූ මට මධාරා අක්කා ගේ මේ අපරිමිත දයාව දරා ගත නො හැකි තරම් වීම ගැන පුදුම නො විය යුතු ය.
එදා ඇය මට ඇඳුම් කිහිපයක් ම දුන්නා ය. මගේ සිරුරට තරමක් ලොකුයි සේ දැනුණ ඒවා ඔවුන් ගේ මහන මැෂිමෙන් දෙපැත්ත මසා මගේ ගාණට සකසා දෙන්නට තරම් ඇය කාරුණික වූවා ය. ඉරිදා ඉංග්‍රීසි පන්ති යන්නට මා සූදානම් වූයේ ඒ ඇඳුමකිනි.
“ඒක ඇන්දහම සුදූ ලොකු ගෙදරක ළමයෙක් වගේ”
මදෙස බලා ගෙන උන් මල්ලී කීවේ ය. ඔහු හැඳ සිටියේ කඩමාළු වූ කලිසම් කොටයකි. උඩු කය ආවරණය වී තිබුණේ නැත. සැබවින් උඩු කය වසන්නට ඔහු ට තිබුණේ කහට බැඳුණ පාසල් කමිසය පමණකි. එද වසර දෙකක් පමණ තිස්සේ හෝද හෝදා අඳින්නකි. හැට්ට කැබැල්ලක් සේ දැන් එය ඔහු ට කොට වී තිබුණේ මල්ලී ඉක්මනින් උස යමින් සිටි නිසා ය.
“ඇඳුම් වලින් මිනිස්සුන්ගෙ තත්වෙ තරාතිරම මනින්න බෑ මල්ලි”
ඔහු ගේ හිත හැදෙන්න ද මන්දා මා ඒ කෙඳිරුවේ මධාරා අක්කා විසින් පෙර දා පවසන්නට යෙදුණ කතාවකින් අහුලා ගත් පේළියකි.
පන්තිය පටන් ගන්නට පෙර මම කොස්ස ගෙන ගේ අතු ගාන්නට පටන් ගතිමි. නෝනා වගේ ගොස් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාට වඩා, ඒ ගෙදරට වැඩක් කොට යමක් ඉගෙනීම කළ යුතු යයි සිතන්නට තරම් මේ වෙත්දී මම ජීවිතය හා ජීවත් වීම ගැන අවබෝධයකට පත් ව සිටියෙමි. වඩා වැදගත් වන්නේ එසේ අතු ගාමින් සිටියදී සිදු වූ මෙම සිදුවීම ය.
මා ලෝචන මදුරාපුර ගේ කාමරය ඉදිරියෙන් අතුගාගෙන ගියේ ඉක්මනිනි. ඊට හේතුව විවර කොට තිබි දොරෙන්, ඔහු ඇතුළත ඉන්නා බව පෙනීම ය. සඳනි වෙනුවෙන් කළ යුතු මෙහෙවර මගේ මතකයේ වී ද, ලෝචන දුටු විට මගේ පපුව පවා ගැහෙන්නට ගත්තේ ය. ඉතින් මා කෙසේ ඔහු ට සඳනි ගේ සිත හෙළිදරව් කරන්න ද?
“අනේ නංගි මෙන්න මේ ටිකත් ඔහොමම අතුගාල ගන්නකො ප්ලීස්”
යනුවෙන් හඬක් කාමරයෙන් ඇසිණ. මා එදෙස බැලුවේ නිකමට ය. ඔහු මට එසේ පවසන්නට ඇතැයි සිහිනයෙන් හෝ මා සිතුවේ නැත. නමුත් ඒ බැල්ම යොමු වී තිබුණේ මා වෙතට යයි මම අනුමාන කරමි. ඇස් කණ්ණාඩි නිසා ඇස් දෙක පැහැදිලිව නොපෙනුණ නිසාවෙන් මම කැළඹුණෙමි. ඔහු කතා කළේ මට ද නැත්නම් වෙන කෙනෙකුට ද? ඔහු මට නංගී කියන්නට පුළුවන්ද? වැඩක් කර ගන්නට මා වෙනුවෙන් ඒ තරම් බැගෑපත්, විනීත හා අචාරශීලී බවක් යොදා ගන්නට ඔහු ට අවශ්‍යයයි කියා සිතන්නට පුළුවන් ද? මම විපිළිසර වීමි.