“ඒ වුණාට සියුම් අයියා කිව්වනම් යන්නෙ කොහෙද කියලා මීට වඩා ලස්සනට අඳින්න තිබ්බනෙ”
කහ පැහැති ගවොමකින් හැඩවී සිටි සකීව ඒ මේ අත හරවමින් හැඩ බලන අතර නිම්නා පැවසුවා ය.
“ඔයත් දන්නෙ නැද්ද කොහෙද මාව එක්ක යන්නෙ කියලා.”
සකීට තවමත් නිම්නා ගැන විශ්වාසයක් නැත.නිම්නා හිස සලන්නේ සැබෑවටම වග ඇයට ඉන් අනතුරුව සිතිණ.
“නෑ අනේ ඇත්තටම නෑ.හීනයක් වගෙ සර්ප්‍රයිස් ප්‍රපෝසල් එකක් මං නැති තැනක එහෙම කරොත් මාත් අර කුණු මීඩියා වලට එකතු වෙලා මඩ ගහනව.ඇයි අනේ.”
නිම්නාගේ කටහඬ සකීට සිනා උපදවයි.ඇය සූරියකාන්ත මලක හැඩය ඇති තෝඩු දෙකක් පැළඳ ගත්තා ය.සියුම් ඇය රැගෙන යන්නේ කොහේටදැයි අනුමාන කරන්නට කිසිසේත්ම නොහැක්කේ අහස් මව්බිමේ නැති හන්දා ය.
“ආ නෑ..එහෙම වෙන්න විදිහක් නෑ.මෙන්න මෙයා බෝල් කරන්න යන්නේ.”
නිම්නා කියන්නේ ඒ මොහොතේ ඇරඹුණු ක්‍රිකට් තරගය දෙස බලමිනි.හැම දෙයක්ම අතපසු කරමින් ක්‍රිකට් තරග නැරඹූ අතීතයෙන් තමන් ක්‍රමයෙන් මිදෙමින් හිඳිනවාදැයි සකීට සිතේ.දැන් ඇයට නපුරු සිහින නොපෙනේ.එවැනි දින බියෙන් ගත කරන්නට නොලැබේ.සුබ සිහින ද නැති නමුත් අහස්ට කියන්නට ඕනෑතරම් දේ ඇයට වේ.
“ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක්.ඔයා ඔයාට උපරිම දේ කරනවා.ඒක අපි දෙන්නම දන්නවා.මොකුත්ම කරගන්න බැරුව ඔයා අද ෆේල් වුණත් තව දවස් ගොඩක් ඉස්සරහට එන බව මම අනිවාර්යයෙන් දන්නව.”
සකී ඔහු තරගයට පෙර දුරකථනය අත තබා ගන්නා අවසන් මොහොතේ එසේ ලියා යවන්නී ය.තරග සැලසුම් ගැන මිස එතැනින් එහා කිසිවක්ම හිසේ නොතබා ගන්නා බව අහස් පවසයි.ඒ හන්දා ම ඔහු දැන් සාර්ථක ය.
“අපි කොහෙද අයියේ යන්නේ?”
සකී එසේ ඇසුවේ සියුම් මුණ ගැසුණු මොහොතේ ය.මඳ සිනාවක් හෙළා දුරකථනය දෙස බලමින් ක්‍රිකට් තරගය නරඹන්නට වූ සියුම් කිසිවක් මනොපවසන්නට ප්‍රවේසම් වූයේ ය.
“මම නරකක් කරන් නෑනෙ.වරෙංකො.”
ඔහු එය පැවසුවේ ද ගමනින් සෑහෙන දුරක් පැමිණි පසුව ය.සියුම් ගැන පූර්ණ විශ්වාසය තබා ගත් සකී අහස් කඩුල්ලක් දවා ගන්නා තුරු ඇස දල්වා බලා සිටින්නට විය.
“බහිමු.අපි ආවා.”
සියුම් එසේ පැවසුවේ නිවසක් ඉදිරිපිට රථය නැවතෙද්දී ය.සකී විස්මයෙන් එදෙස බැලුවා ය.මෙය ඇයට හුරුපුරුදු බව දැනෙන තැනකි.අහා! ඇගේ හිත පතුලක තිබූ අනුමානය නිවැරදි ය.නමුත් එක්වරම හදවතට දැනුණු බිය හන්දා පාද ගල් වී යන බවක් සකීට දැනිණ.
“මේ කොහෙද කියලා දන්නවනෙ”
සකී අහස් ගැන ඕනෑවටත් වඩා දැන හිඳින්නේ ඔහු හඳුනා ගන්නටත් පෙර කාලයේ පටන් වග සියුම් දනියි.ඇය ප්‍රදේශයෙන් පමණක් නොවේ,නිවසේ පෙනුමෙන් පවා මේ නිවස හඳුනා ගත යුතු ය.
“අහස් අයියලගෙ ගෙදර?”
සකී අසන්නේ කැළඹීමෙනි.අහස් මව් බිමෙහි නැති මොහොතක ඔහුගේ නිවසින් ඇයට ආරාධනා ලැබෙන්නට හේතුව ගැන අනුමාන කරන්නට ඇයට ඇත්තේ බියකි.
“ඔව්.ලස්ස දහයක් අරන් පුතාව අතාරිනවද අහන්න යන්නෙ අහස්ලගෙ අම්මා.පුතා ලස්ස විස්සක් වටිනව කියලා විස්සක් ඉල්ලගෙන මට දහයක් දීපං.”
ආලින්දයට යන අතරමඟ සියුම් කියවයි.හදවත වේගයෙන් ගැහෙන හන්දා ඔහුගේ සරදම් දරා ගන්නට හදවතක් සකීට නොතිබිණ.ඇය කෙසේ හෝ පෙරට යන්නට ධෛර්යය ගත්තා ය.විවාහයට පෙර ගැහැනු දරුවන් පෙම්වතාගේ නිවසට යාම අසුබ බවට අත්තම්මා දිනක් පැවසූ කතාවක් ඒ අතරේ ඇගේ සිහියට නැගේ.යකාගේ කම්මල යැයි මනසට කියන්නට හේතු වූ පිරුළ ගැන දැන් ඇයට ඕනෑවටත් වඩා වැටහේ.එහෙත් ඒ වියවුලට ආයුෂ නොතිබිණ.ඈ පිළිගන්නට අහස්ගේ අම්මා බලා සිටියේ ලස්සනම සිනාවක් පැළඳගෙන ය.ඇගේ අවසර නොවිමසාම අහස්ව සොයා නිවසට ආ ගැහැනු දරුවන් සිහි වෙද්දී ඉලංගසිංහ මහත්මිය සකී ආදරයෙන් වැළඳ ගත්තා ය.
“ඔන්න අම්මගෙ සූරියකාන්ත මල.මූව මෙහෙට එක්කන් ආවට සලකලා මට කන්න දෙයක් දෙනවද? බඩගිනී.”
සියුම්ට අම්මාත් දුවත් අතර රැඳෙන්නට ඕනෑ වූයේ නැත.ඔහු නිවසේ අත් උදව් කාරියකට හඬ ගසමින් නිවස තුළට පිවිසිණ.
“අහස්ට වඩා මේ ගෙදර ඉන්නේ සියුම්නෙ පුතේ.අහස් ලංකාවෙ නැති හැමදාම ඔහොම ඇවිල්ලා කෑගහලා බෙරිහන් දීලා තියන කෑම සේරමත් කාලා යන්න යනවා.මම කොහොමත් හරි පාළුවෙන් ඉන්න අම්මානෙ.”
කතාබහ මුලින්ම ඇරඹුණේ සකීට හුරුපුරුදු තැනකිනි.ඇය හිනැහී අහස්ගේ අම්මා දෙස බැලුවා ය.පාළුවෙන් සිටින අම්මා කෙනෙකුට පාළුව නැති කරන දියණියක ඕනෑ වන්නට ඇත.සකී ඇගේ මුහුණ දෙස නොබලා ආලින්දය හාත්පස නෙත් යැව්වා ය.ඇගේ ජීවිතයේ හොඳම කොටස ඔහු පසුකරගෙන ආ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට වී හිනැහෙමින් ඈ දෙස බලා හිඳියි.
“අර අහස්ගෙ පළවෙනි ඉන්ටර්නැෂනල් මැච් එක දවසෙ.ඔයා නම් ඉස්කෝලෙ යනවත් ඇති පුතේ.අහස්ටත් එතකොට දහනවයයිනෙ.එදා විකට් තුනක්ම ගත්තා.”
සිහිනයෙන් දකින කොලුවා ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව දැන ගත්තේ එදින බව අම්මාට නොකියා සකී හිනැහුණා ය.
“මට අහස්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා මුණ ගැහිලා තියනව පුතේ.සමහරුන්ට මම අකමැති වෙලත් තියනව.අහස් තනියම තීරණ ගන්නව කියලා තේරුම් ගත්තට පස්සෙ මං හිත හදාගෙනත් තියනවා.ඒ නිසා එයාගෙ ගෑනු ළමයා මට මුණගැහුණු ඉස්සරලම දවස අද කියලා බොරු කියන්න මට බෑ.ඒත් එයා කසාද බඳිනවමයි කියලා මට විශ්වාස මගේ දුව මට මුණ ගැහුණෙ දැන් කියලා මං දන්නව.”
ඉලංගසිංහ මහත්මිය සකීගේ අත අල්ලා ගත්තේ එසේ කියමිනි. ඔහු ඕනෑවට වඩා සෙල්ලක්කාර ජීවිතයකට හුරු වී ඇතැයි බියෙන් සැකෙන් සිටි කාලයත් සියුම් සමඟ සරසවියට ගොස් අධ්‍යාපනය හැදෑරුවානම් ප්‍රමාණවත් බව සිතමින් විස්සෝප වූ කාලයත් අවසන් ය.
අවසානයේ ඔහු හොඳම තෝරා ගැනීමකට පිවිස තිබේ!
“කැම්පස් අවුට් වෙන්න තව අවුරුදු දෙකක් විතර තියනවද පුතේ?”
අම්මා තවත් ප්‍රශ්නයක් නැඟුවා ය.රටේ සමහර තීරණ හන්දා ඒ වසර දෙකකට කෙටි වුවහොත් විශාල සැනසීමක් බව සකි පිළිවදන් දුන්නා ය.දැන් නිදහසේ කතා කරන තරමට ඇගෙන් බිය තුරන් වෙමින් පවතී.
“ඒකට කමක් නෑ.අපි දූගේ ගෙදර අයත් එක්ක කතා කරගෙන වෙඩින් එක ප්ලෑන් කරමුකො.”
එක් බැල්මකින් ඈ තමන් පිළිගැනීම ගැන සකීට තෝරා ගන්නට නොහැකි තරම් සිතිවිලි දාමයක් ඇති විය.ප්‍රේමවන්තයකු සොයා ගන්නට පවා කල් මැරූ ඇයට ඉතා හදිසියේ විවාහ වන්නට පවා සිදු වෙමින් පවතී.ජීවිතය මොන තරමට පුදුමදැයි සකී සිතුවා ය.
විවාහයකට තමන් පරිණත වී ඇත්තේ ඇයට සිතුණේ ඒ මොහොතේදී ය.
(සකී වෙනුවෙන් ඔබේ අදහස් තබා යන්න.)