සකීගේ සතුටින් රතුව ගිය මුහුණ දෙස නිම්නා පුදුමාකාර ආදරයකින් බලා සිටියා ය.ඇය ජීවිතය තුළ විවිධ සිහින සැබෑ වීම ගැන පුදුමාකාර සතුටකිනි.ඇයගේ සතුට ට ඉඩ දී ඇයව අසා සිටි නිම්නා ඉන් අනතුරුව මාතෘකාවට පිවිසුණා ය.
“ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නදීර සර් කියලා රන්මිණි හැමතැනම කිය කියා ගිහින්.”
මාස කිහිපයකට පෙර පැමිණි කඩවසම් ආචාර්යවරයා පළමු විවාහයෙන් වෙන් වී සිටින බව රහසක් වූයේ නැත.ඔහු ධනවතෙකි.ඕනෑම කෙනෙකු ඉතා ඉක්මනින් හිතවත් වන්නෙකි. මේ කාරණා හන්දා සකීගේ ධනවත් පෙම්වතා ඔහු බවට රන්මිණි සෑම තැනකම ප්‍රචාරය කර ඇති බව නිම්නා පැවසුවේ කෝපයෙනි.
“කතා හදන්න ඕනේ මනුස්සයෙක්ට පුළුවන්.ඒවා ඇත්තක් වුණත් නැතත් කරන දේකින් අපිට හානියක් නෑ කියලා අපි බය වෙන්නේ නැත්තං කිසිම දේකට බයවෙන්න ඕනේ නෑ.”
නිම්නා පළමුව සකී සන්සුන් කළා ය.
“මට කැම්පස් එක තුළ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වත් කවදාවත් ඉඳලා නෑ.එහෙම එකේ සර් කෙනෙක් ගැන පදයක් අහගන්න මම කැමති නෑ.”
සකීට හැඬෙන තරම් ය.
“මම කැමතිත් නෑ.අනික සර්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇත්තටම ඉන්න පුලුවන්නෙ.”
එහෙත් එක නවාතැනේ එකට සිටින රන්මිණි කියන කතාව අසත්‍යයක් නොවන බවට ඕනෑම කෙනෙකු විස්වාස කරන්නට පැකිලෙන්නේ නැති බව සහතික ය.ඒ හන්දා ම සකීට රන්මිණිට හොඳ පහරක් දෙන තරමේ තරහක් දැනේ.
“මේ වගේ කතා ආරංචි වුණා කියලා ඔයාට අහස් ව නැති වෙන්නේ නෑ තමයි.ඒ වුනාට අපි රන්මිණිට තවදුරටත් මේක හංගන්න ඕනෙත් නෑ.එහෙම හංගන එකෙන් වෙන්නේ එයා එයාට හිතෙන හිතෙන මලවිකාර හැමතැනම කියන එක විතරයි.”
අහස්ගේ සම්බන්ධය ගැන සකීට දැන් ඇති එකම කඩඉම ඇගේ අම්මා ය.විවාහය ඉක්මනින් කරන්නට අහස්ගේ අම්මා ආශාවෙනි. කණ්ඩායම් සගයාගේ සිඟිති දියණියට සකීට ද වැඩි ආදරයක් පුදන අහස්ට අනාගතය ගැන අප්‍රමාණ සිහින තිබේ.අනෙක් අතට මලිත් සමඟ ඉතා ඉහළ මට්ටමේ විවාහ උත්සවයකට සැරසෙන සාරන්‍යා දැන් අහස් ඉලංගසිංහ කෙනෙකු හඳුනන්නේ වත් නැත.ඇය පවසන අන්දමට ඒ ඇයට අතීතයේ සිදු වූ වැරදීමකි.වැරදි සහගත ප්‍රේම සම්බන්ධයේ අනෙක් පාර්ශවයෙන් නම පවා කියන්නට අකමැත්තෙන් දැන් ඇය හැසිරේ.
“මේක මෙයාට කියලා අපි දෙන්නා දේවාලෙකට ගිහින් පොලයක් ගහමු ඇස්වහ කටවහ යන්න.නැත්තං මම මේ රූම් එක මැද්දෙ තියාගෙන මිරිස් පුච්චන්නම්.ඔය කතාව කිව්වම පොඩ්ඩක් හූල්ලලා අහස් ගැන රටෙත් නැති නරක කතා ටිකක් කියයි.වෙන මොනවත් වෙන්නේ නෑ.”
නිම්නා සටනට සැරසුණේ එහෙම ය.අනවශ්‍ය ඕපාදූපයක් පැතිරී යනවාට වඩා සත්‍ය කතාවට තටු ලැබීම ගැටලුවක් නැති වග සකී ද තීරණය කළා ය.
“සකීගේ බෝයි ෆ්‍රෙන්ඩ් අපි දෙන්නට පාටි එකක් දෙන්න තීරණය කරලා.දැනට එයා ලංකාවෙ නම් නෑ,හෙට අනිද්දට එනවා.ඒ ආවහම පාටි එක හම්බෙනවා කියලා ඔයාට කියන්න අපිට ඕනේ වුණා.”
නිම්නා එසේ කියද්දී රන්මිණි තොල නොපිට පෙරළුවා ය.ඉන් අනතුරුව ඇය සියල්ලම දන්නා බව හඟවන්නට රන්මිණි ට වුවමනා විය.
“කොහෙද කැන්ටින් එකේ දි ද?”
ඇය ඇගේ ඕපාදූපය පිටතට දමන්නට සැරසෙන බව දැනගත් නිම්නා සකීට ඇසක් සන් කළා ය.තමන් සිතන දේ නිවැරදි බව සිතමින් අනෙක් අයට කතන්දර නිර්මාණය කරන මිනිසුන් ගැන වචන නාස්ති කළ යුතු ද නොවේ.
“ඒ ඔයාගේ ඕපදූප හරි ගිහිල්ලා සකීගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නදීර සර් වුනානම් තමයි.ඒ උනාට මට ඔයාට කියන්න දෙයක් තියනවා.ළඟදිම දවසක දීපිකායි රන්වීරුයි දික්කසාද වෙනවා කියලා ඔයා හරියටම කියනවා වගේ කතන්දර අපි දන්න මිනිස්සුන්ට නම් කියන්න එපා.මොකද දන්නවද? කෝ අපි දික්කසාද වුණාද කියල අහන්න දීපිකා ඔයා හොයාගෙන ආවේ නැති වුණාට දන්න කියන මිනිස්සුන්ට කතන්දර කිව්වාම ඒ මිනිස්සු ඒවා ආපහු අහන්න පුළුවන්.”
නදීර සම්බන්ධයෙන් කතාව ගැන නිම්නා එසේ අභියෝග කරද්දී රන්මිණි තිගැස්සුණා ය.එය තමන් නිර්මාණය කළ කතාවක් නොවන බවත් කොහෙන්දෝ ආරංචි වූ එකක් බවත් මෙය අසත්‍යයක් බව කවුරු කරන්නට තමන් ද සෑහෙන වෙහෙසක් ගත් බවත් කියන්නට රන්මිණි ලොකු කාලයක් වැය කළා ය.නිම්නා එයට ඉතා සමච්චල් සිනාවක් නගා ගත්තා ය.
“සමහර කතන්දර කිව්වෙ කවුද කියලා ඔප්පු කරන්න දේකුත් නෑ රන්මි.ඒවා කියන්නේ කවුද කියලා අනිත් අය හොඳටෝම දන්නවා.කොහොමටත් ඉතින් අපිට කියන්න ඕන වුණේ ඔයා හිතන කෙනා සකීගේ බෝයි නෙවෙයි.ඒක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්.”
නිම්නා එසේ කියා සකීගේ පෙම්වතා ගැන තමන්ට ප්‍රකාශ කළ හැකි බව හිස කෙලින් තබාගෙන පැවසුවා ය.අනතුරුව ඇය සකී ගේ ජංගම දුරකථනය අතට ගත්තා ය.එක් ඡායාරූපයක් රන්මිණි ට පෙන්වූ ඇය ඒ සකීගේ පෙම්වතා බව ප්‍රකාශ කළේ උද්දාමයෙන් ය.එවර සිනාසෙන්නට වාරය ආවේ රන්මිණි ට ය.
“මෙයා? ඒක හරි ෂෝක් විහිලුව.ඔයාලා මගෙන් ඇත්ත ගන්න ඒ ගමන මේ මනුස්සය පාවිච්චි කරන්න පටන් ගත්තද? මේ ෆොටෝ එක ගන්න ඇත්තෙ සකි චිත්‍ර ඇඳ ඇඳ පස්සෙන් ගිය කාලේනෙ.මේවා අහස් දන්නවා නම් නඩුවක් දාගන්න තිබුණා ලේසියෙන්ම.ඔයා මෙයා කරන වැඩ හංගන්න කොහෙටවත් නැති මිනිස්සු මෙවට පටලවන් නැතුව ඉන්න හලෝ.”
රන්මිණිගෙන් පැහැදිලි අභියෝගයකි.නිම්නා ඡායාරූප කිහිපයක් එක පෙළට පෙන්වූවා ය.ඒ රසිකාවියක සමඟ ගන්නා ඡායාරූප වලින් ඔබ්බට ගිය ඒවා ය.ආදරය පිරුණු ඒවා ය.රන්මිණිගේ දෑස විසල් විය.පසුගිය දිනවලදී අහස්ට බැන වැදුණු දවස් ඇය සිහි කළා ය.
“ඇයි ඔයාලා ඕක මගෙන් හැංගුවෙ?”
ඇය අසන්නේ ශෝකයෙනි.නිම්නා තද බැල්මක් නඟා මෘදුව හිනැහුණා ය.නිම්නා තදබල ලෙස හිත රිදෙන කතා කියන්නට කලින් ඒ සිනාව නගා ගන්නා බව සකී දැන සිටියා ය.
“එකට කාලා බීලා හිටියට බොක්ක වෙනස් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕන හින්ද.සකීගේ හිත කවුරු නැතත් ඔයා රිද්දනව කියලා මං හොඳටම දැනගෙන හිටියෙ.අහස්ට සකී ගැන කියන්න පුළුවන් දවසක් එනකන් ඉවසන්න අපි තීරණය කළා.මොකද අහස්ම සකී හැමෝටම කියනවා මිසක් මේක ඔයාගේ ඕපදූප වලින් මිනිස්සු දැන ගත්තාම ලස්සන නෑනේ.”
නිම්නාගේ කතාන්දර අසා සිටින්නට නොහැකිව රන්මිණි කාමරයෙන් පිට වූයේ සකීට බරපතල බෝම්බයක් හෙළමිනි.
“ඔය වගේ කොල්ලෙක් ඔයා වගේ මෙලෝ වටිනාකමක් නැති කෙල්ලෙක්ට ඇත්තට ආදරේ කරයි කියලා හිතනවද? එහෙම කරත් ඔයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද?”
ඒ ප්රශ්නය බරපතළ මට්ටමේ එකකි.සකී කරදර බැල්මකින් නිම්නාගේ මුහුණ දෙස බැලුවා ය.