සුහදිනි -60

“කුඩුකේඩුකමක් නැති ගෑනු ළමේකුට ඔහොම නෙවේ මොන වගේ කෙනෙක් ලැබුණත් සතුටින් ජීවත් වෙන්න පුලුවන්.”

ඉතා සෙමින් නිම්නා එසේ කියද්දී කළ යුත්තේ කුමක්දැයි රන්මිණිට අදහසක් නොවී ය.මේ දැනෙන්නේ ඊර්ෂ්‍යාව බව ඇය නොදන්නවාද නොවේ.

“ඔයා එයාට ක්‍රෂ් කියල කොහෙන් හරි දැනගන්න ලැබෙන්න ඇති.ඒ හින්දා එයා ඒක මිස්‍ යූස් කරනව.සල්ලි පොඩ්ඩක් විසි කරලා තෑග්ගක් දෙකක් දෙන එක ඒගොල්ලන්ට හරි ලේසි වැඩක්.අහස්ගේ පළවෙනි ප්‍රේමවන්ති ඔයා නෙමෙයි කියන එක ඔයා විතරක් නෙමෙයි මුළු රටම දන්නවා නේ.අවුරුදු කීපයක් ඔයත් එක්ක හිටපු හොඳම යාළුවෙක් විදියටයි මම මේක කියන්නේ.ඇත්තටම යූස් වෙන්න එපා.”

රන්මිණිගේ ඒ උපදෙස සැබෑ මිත්‍රත්ව ප්‍රේමයකින් පැවසූ දෙයක් බව නිම්නාට පවා සිතිණ.සකීගේ හදවත හදවතද හෙල්ලී යන තරමට ඒ වචන ක්‍රියාත්මක වී තිබිණි.නමුත් තමාගේ සැබෑ වර්ණයන් පෙන්වීමට රන්මිණි මොහොතක්වත් ප්‍රමාද වන්නේ නැත.එවැන්නක් පවසා ඉන් අනතුරුව පැවසූ දෙයින්  ඇයට කියන්නට උවමනා වූ සැබෑ කතාව පැහැදිලි විය.

“ඇත්තටම ඇත්ත කිව්වොත් ඔයා වගේ මෙලෝ වටිනාකමක් නැති ගෑනු ළමයෙක් අහස්ට ගැළපෙන්නේ නෑනෙ.ඇත්තටම එයා අහසක් ඔයා පොළොවක් කියන්නත් බෑ.ඊටත් වඩා දුරයි.ඒ නිසා ඔය කතාව ඉවර වෙන්නෙ ඔයා ඩිප්‍රෙෂන් හදාගෙන ලෙඩවෙලා සූසයිඩ් කරගෙනත් වෙන්න පුළුවන්.ලැබෙන්නේ නැති හීනයක් පස්සෙන් යන ගමන් අපිට ලොකුකම් පෙන්නන්න නැතුව ඇත්ත තේරුම් ගන්න.”

රන්මිණි කතා කරන්නේ නොපැරදෙන හඬකිනි.තවදුරටත් තමන් වෙනුවෙන් ඉදිරිපත්වීමට නිම්නාට ඉඩ හැරිය යුතු නොවේ.තමා තමා වෙනුවෙන් පෙනී නොසිටින තාක් ගැලවීමක් නැති බව සකි සිතන්නට වූවා ය.ඇය කතා කරන්නට සිතුවේ ඒ නිසා ය.

“මම කවදාවත් හිතන්නේ නෑ මම වටිනාකමක් නැති ගෑනු ළමයෙක් කියලා.මම හොඳට ඉගෙන ගන්න කෙනෙක්.ලොකු වත්කම් නැති වුණාට හොඳ පවුලක ගෑනු ළමයෙක්.මගේ ගතිගුණ ගැනත් මම දන්නවා.මට පුළුවන් මොනවද බැරි මොනවද කියලත් මම දන්නවා.අහස් කරන්නේ ජනප්‍රිය වෙන රස්සාවක්.එයා එයාගෙ පාර ඒ  විදියට හදා ගනිද්දි මම මගේ පාර මගේ විදියට හදාගන්නව.ඒ නිසා අපි නොගැළපෙනවා යි කියලා මම කීයටවත් ම හිතන්නේ නෑ.”

සකී එසේ කියා මඳ මුදු සිනාවක් නැඟුවා ය.කලබල වෙන තැනක කෝපය ද ඉස්සර කරගත යුතු නැති බව  ඇය අහස්ට නිතරෝම උගන්වන පාඩමකි.මේ මොහොතේ ඇයට ද එය සියයට සියයක් අදාළ වේ.

“මුළු ජීවිත කාලයක්ම එකට යනවයි කියලා පොරොන්දු දීගන්න ඕනෙම දෙන්නෙකුට වෙන්වෙන්න දවසකුත් එන්න පුළුවන්.අපි ආදරේ කරන්න ඕනේ කසාද බඳින්න ඕනේ අන්න ඒකටත් ලෑස්ති වෙලා.ඒ වගේ දෙයක් සිද්ධ වුණත් ඒක සිද්ධවෙන්නෙ මගේ වටිනාකම් මදිවෙලා අහස් ගෙ වටිනාකම් වැඩි වෙලා කියලා මම හිතන්නේ නෑ.එහෙම වෙන්නේ අපිට අපිව දරාගන්න බැරි වෙන දවසක් ආවාම.එහෙම දවසක් ආවොත් මම ඒකටත් ලෑස්ති.”

වඩාත්ම හිත රිදවන කාරණාව ඇය පසුවට තබා ගත්තා ය.

“අපි එක වහලක් යට සහෝදරියො වගේ එකට එක කාලයක් හිටියා කියලා බොරු කියන්න බෑ රන්මිණි මට.ඇත්තටම ඔයා අපිට හොඳ යාළුවෙක් වුණේ නෑ කියලා මම නම් දන්නව.මේ වගේ දේවල් වෙන්න කලින් ඉඳලම ඔයා අපිව පල්ලෙහට දාපු තැන ඕන තරමටත් වඩා තිබුණා.ඒ නිසා මට මේක පුදුමයක් වත් දුකක් වත් නෙමේ.කවදහරි මම හිනා වුණත් ඇඬුවත් ඒ හිනාව ළඟවත් කඳුල ළඟවත් ඔයා ඉන්න ඕනෙ නෑ කියලා මට ඇත්තටම හිතෙනව.”

සකී ඒ තරමට තමන් වෙනුවෙන් කතා කරන්නියක බව නිම්නා පවා තේරුම් ගත්තේ ඒ මොහොතේ ය.රන්මිණි කාමරයෙන් නික්ම ගිය පසු දැඩි නිහඬතාවයක් ඇති විය.

“ඔයා එහෙම කියපු එක හොඳයි.තමන් කතා කරන හැම වචනයක්ම අනිත් මනුස්සයෙක්ව පීඩාවට පත් කරන්න පාවිච්චි කරන කෙනෙකුට කවදම හරි ඔහොම අහ ගන්න සිද්ධ වෙනවා.කටහඬ ඇහුණත් අනිත් අයට කේන්ති යන වර්ගේ උන්ට ඔහොම දේවල් අත්විඳින්න වෙනවා කියන එක ඇත්තක්.ඔයා චුට්ටක්වත් වැරදි නෑ.”

නිම්නා මිතුරියගේ උරහිස පිරිමැද්දේ එසේ කියන අතර ය.සකී සුසුමක් හෙළුවා ය.

“රන්මිණි සමහරවිට අපිත් එක්ක තවදුරටත් ඉන්න එකක් නෑ.”

එය එසේ වීම ගැන නිම්නා ට නම් දුකක් තිබුණේ නැත.හිස රුදා ඇති කරන වර්ගයේ මිතුරන්ගෙන් ඈත් වන්නට ලැබීම ම සැනසීමකි.

“එයාට අපි එක්ක ඉන්න බෑ. ඉන්න ඕනෙත් නෑ.”

නිම්නා එසේ කියද්දී සකීට වෙනත් ගැටලුවක් තිබිණි.සියල්ල යහපත් ලෙස සිදුවී හෙට අහස් සමඟ ඉක්මනින්ම විවාහ වන්නට සිදු වුණහොත් නිම්නා තනි වන බව සිතීම සකීට දුකකි.

“අපේ නංගි කොහොමත් මෙහෙට තමයි සිලෙක්ට් වෙන්නේ.පේරා යන්න ලැබෙයි කියල හිතන් හිටියට කට් ඔෆ් එක තියෙන්නෙ මෙහෙට.ඌ මෙහෙ ආවම මට තනියක් නෑ අනේ.අනික අහස් ඉතිං ලංකාවේ ඉන්න එකක්යැ.අන්න ඒ වෙලාවට මම රෙදි මල්ලකුත් උස්සගෙන ඇවිල්ල උඹලගෙ ගෙදර පදිංචි වෙන්නං.ඕවානම් ප්‍රශ්නද?”

එහෙත් නිම්නාට ඇයටම අනන්‍ය වූ ප්‍රශ්න ඕනෑ තරමට තිබේ.සකි ඉක්මනින් විවාහ වන්නේ නම් තවදුරටත් කපුටියක මෙන් කිසිම පිළිවෙළකට නැතිව සිටීමට නොහැකි බව නිම්නාට ඒ මොහොතේ කල්පනාවට ආයේ ය.සකීගේ දෙවැනි මනාලිය ඇය ය.අහස්ගේ මිතුරන්ගෙන් දෙවැනි මනාලයා වන්නට ඕනෑ අය තෝරන්නට නිම්නාට සැලකිය යුතු වෙලාවක් ගත විය.

“ඔය එක්කෙනෙක්වත් ගන්නෙ නෑ.සියුම් අයියව විතරයි ගන්නෙ.මේක පුදුම නාට්‍යයක් වුණානෙ.”

සකී බැන වදිද්දී පවා නිම්නා කළේ උස් හඬින් හිනැහීම ය.තාරකා අතර සැරිසරමින් හිඳින්නට ඉඩ ලැබීම නිම්නා කියන තරමට සරල වේවිදැයි සකීට නොසිතුණාම නොවේ.

එහෙත් වසන්තය පැමිණෙමින් තිබේ.ශීත සෘතුවක් ගැන බියට පත් වීම නොකළ යුතු දෙයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles