මගේ උසස් පෙළ ප්‍රතිඵල වෙනුවෙන් සඳනි මට සුබ පැතුම් ගෙන ආ දිනයේ අප බෝ වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් දවස ගත කළ බව මම ඔබට කීවෙමි. එදාත් ඇය ට වැඩිපුර කතා කරන්නට තිබුණේ සිය පෙම්වතා වන ඉසුරු ගැන නොව ඒක පාර්ශ්වික ප්‍රේමය වූ ලෝචන ගැන ය. ලෝචන මදුරාපුර මා වැළඳ මට ආදරෙයි කියා තිබියදී මගේ සමීපතම යෙහෙළිය ඔහු ගැන තවමත් ප්‍රේමයෙන් පසු වීම පිළිබඳව මට දැනුණා වූ හැඟීම් වචන වලට හරවනා එක පහසු නැත. එය දැවීමක් වාගේ දෙයක් කියා සරලව කිව හැක. සඳනි වාගේ රුවැත්තියක සමග සටන් කොට ලෝචන ව දිනා ගත්තා යි කිසි විටෙක මට සිතී නැති බව දිව්රා පැවසිය හැක. මට තිබුණේ දුකකි. කුළුඳුළේ ම මගෙන් ප්‍රේමය විමසූ යෞවනයා ගැන, මා ගැන ළමා වියේ පටන් සියල්ල දැන උන් මගේ යෙහෙළිය සමග කියන්නට බැරි සන්තාපය පමණකි.
“ලෝචන අයිය කැමති වුණොත්…ඔයාට ඉසුරුව අතාරින්න පුළුවන්ද දැන්…”
මා ඇගෙන් එවන් විකාර ප්‍රශ්නයක් ඇසුවේ මන්ද කියා මම නො දනිමි. සඳනි ගේ ඇස් හිරු මඬල සේ ප්‍රභාමත් වූයේ ය.
“ඔව්. ලෝචන වෙනුවෙන් මුළු ලෝකෙම වුණත් අතාරින්න පුළුවන් මට”
මගේ හද බිත්ති වල ඇති වූ දෙදරීම මෙසේ යයි ලියා පැහැදිලි කළ නො හැකි ය. එවන් උමතු ප්‍රේමයක් තුළ දී, ලෝචන මට පෙම් කරනවායි දැන ගත හොත් ඇය මා අතැර දමනා බව රහසක් නොවේ. කාලයක් තිස්සේ මගේ හිත තේරුම් ගනිමින් මා අස සිටි යෙහෙළිය ඇය ය. මධාරා අක්කා බෙහෙවින් මට ආදරය කළා වී ද ඈ ගැන කිසි දාක සම වයස් යෙහෙළියක ගැන දැනෙනාකාරයේ සමීප බවක් දැනී නැති බව කිව යුතු ය. එය වඩාත් සමීප වූයේ ගෞරවාදරයකට ය. ස්කූල් බස් වල යන කොල්ලන් ගැන කියමින් ද පාසල් මිතුරියන් ගේ පෙම් සබඳතා ගැන ඕපාදූප කතා කරමින් ද මාත් එක් එකට වැඩුණ යෙහෙළිය සඳනි ය. මගේ අන්ත දිළිඳුකම් දරා ගනිමින් ද ඒ මැදින් ජීවිතය ඉදිරියට ඇද ගෙන යන්නට ඇයට හැකි මට්ටමෙන් සහායක් දෙමින් ද ඇයට වඩා පෙනුමෙන් අඩු මා යෙහෙළියක ලෙස ඉවසමින් ද ගත කළ වසර ගණනාව වෙනුවෙන් හද පිරි ආදරයක් මට සඳනි වෙනුවෙන් වේ. ඒ ආදරය නමැති විසල් බැලූනය එක අල්පෙනිති තුඩකින් බිඳී යන්නට දෙන්නේ කෙසේ ද? වසර ගණනාවක් තිස්සේ දොවා රැස් කළ කිරි කල්දේරමකට එක ගොම බිඳක් හෙළන්නේ කෙසේ ද?
පසු දා මහ ගෙදර රෑ කෑමට එන ලෙස නීලිකා නැන්දා ඇවිත් අම්මා ට ඇරයුම් කළා ය. විශේෂ අවස්ථාවක දී අම්මා ගිහින් වැටීගෙන වැඩ පල කර දෙන වෙලාවක මිස ඔවුන් අපට බත් කටක් කන්නට දීම යනු ඉතා විරල සිදුවීමකි.
“මොකක් හරි අංචියක් අදින්න තමයි”
මල්ලී කට ඇද කොට සමච්චල් සිනහවකින් කීවේ ය. අම්මා ඔහු දෙසට හෙළුවේ “උඹ ඉතින් හැම එකම දන්නවනෙ” වැනි බැල්මකි. ඇය ට සිදු වන වෙනස්කම් හා නො කටයුතුකම් ගැන දැන ද නො දැන ද මන්දා අප මහ ගෙදර ඇත්තන්ට දොස් කියත්දී අම්මා ගන්නේ ඔවුන් ගේ පැත්ත ය. එක බඩ වැල කඩා ගෙන නාවත් එක පියෙකුට දාව උපන් සහෝදර හැඟීම ඇගේ සිත්හි සිය සහෝදර දෙපළ ගැන තිබෙන්නට ඇත. නමුත් ඔවුන් දෙදෙනා ම අම්මා ගැන එබඳු සහෝදර ප්‍රේමයකින් කටයුතු නොකළ බව සහතික ය.
“අම්ම කතා කරන්න යන්නෙපා මොනා කිව්වත්. මං උත්තර දෙන්නං”
මල්ලී ගේ ලොකු කමට මට සිනහ නැගුණ ද අම්මා ඒ ගැන උදහස් වූවා ය.
“අනේ මේ උඹ ලොකු මිනිහ වෙන්නැතුව හිටාං”
“උං දන්නව අම්මව අන්දන්න පුළුවන් කියල ගානට. මාත් එක්කනං දැං සෙල්ලං කරන්න වෙන්නෑ උන්දැලට. ශුවර් එකට ඔය සුදූව රස්සාවකට යවන්න සෙට් කරන්න වෙන්නැති. සුදූ මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන. එච්චරයි හරිද…”
“හරි බං. උඩ පනින්නැතුව හිටහංකො. ගිහිං බලන්නෙපැයි ඉස්සෙල්ලම…මොකාටද අඳින්න හදන්නෙ කියල”
“අඳින්න නෙවෙයි උන් අපිව අන්දන්නයි බලන්නෙ. ඒ ගැන මටනං කිසි සැකයක් නෑ”
අප එහි යන විට මහ ගෙදර බවලැත්තියන් අපව පිළි ගත්තේ වෙන කිසි දාක නොවූ ළෙංගතු බවකිනි. විශේෂයෙන් ම නීලිකා නැන්දා කට පුරා අක්කා කියමින් අම්මා ගේ අතින් ද අල්ලා ඇය ගෙතුලට කැඳවත්දී මල්ලී ගේ අනුමානය නිවැරදි බව මට ද හැඟිණි. මදෙස බැලූ මල්ලී ගේ ඇස් වල වූයේ “බලමුකො මුං මොකටද එන්න හදන්නෙ කියල” වැනි බැල්මකි.
“අනේ අක්කෙ මටනං අක්ක ගැන පුදුම තරං ආඩම්බරයි. මොන දුක විඳගෙන හරි අක්ක කොහොමහරි කෙල්ලව දොස්තර නෝනා කෙනෙක් වෙන තැනට ඉගැන්නුවනෙ”
ඇය මගේ ද උරහිසත් දෑතත් පිරිමැද්දේ කවදාවත් නොවූ ආදරයකිනි. කෙසේ වෙතත් වසන්ති පුංචි ගේ මූණේ ඒ තරම් හොඳක් වන බව පෙනුණේ නැත.
“අක්කල වගේ ගෑනු තමයි වීරවරියො කරල සම්මාන දෙන්න ඕන. තාත්ත කෙනෙකුත් නැතුව මොන ක්‍රමේකිං හරි දුවෙක් මෙහෙම තැනකට ගෙනාව කියන්නෙ ඉතිං…”
“අනේ මන්නං කරපු දෙයක් නෑ නීලිකෝ…උන් දෙන්නගෙ හිතේ දහිරිය නිසා තමයි උන් ඉගෙන ගත්තෙ. මට උන්ට කන්න දෙන්න වුණත් පුළුවන් වුණේ වේල් දෙක තුනකට එකයි. උන්ගෙ මහ එකත් නැති එකේ මට මගෙයි කියල කෙනෙක් හිටියෙත් නෑනෙ පොඩි උන් දෙන්නට කන්න දීපං කියල බත් කටක් දෙන්න. උන් තැනකට ආවොත් ඒ උන් දෙන්න නිසාමයි”
සිය ඥාති සමූහය ඉදිරියේ ඇය ඔවුන් ගේ කම්මුල් වලට එල්ල කළ පහරක් සේ මට ඒ ප්‍රකාශය දැනිණ.පිරිස නෑහුණා සේ අහක බලා ගත්තා මිස ඒ ගැන හාවක් හ්ම්වක් කීවේ නැත. අම්මා ගැන පපුව පැලෙන්නට එන රිදුමක් මට දැනුණේ ය. එසේ ම අවශ්‍ය ම මොහොතේ මේ විදිහට කතා කිරීමට ඇය ට වූ ශක්තිය ගැන මට ආඩම්බරයක් ද දැනිණ.
“ඈ බං අක්කෙ…දැං උඹට පුළුවන්ද ඔය දොස්තර විභාග වලට උගන්නන්න…මන්නං කියන්නෙ නිබ්බුතාව රස්සාවකට යවන එකයි කරන්න ඕන. මදෑ ඔය දුක් වින්ද තරං. ළමයි ලොකු වුණාම කරන්න ඕන ලැබෙන පළවෙනි අවස්තාවෙන්ම දෙමව්පියන්ව බරෙන් නිදහස් කරන එක. නැතුව මේ හරක් වගේ තවත් උන් ලවා බර අද්දෝන එක නෙවෙයි”
ඒ වසන්ති පුංචී ය. මම මල්ලී දෙස බැලුවෙමි. ඔහු අඩ සිනහවකින් ඉවත බැලුවේ ය. දවාලේ ඔහු ගෙන් අසා ගත් දේවල් මදිවාට ඇය අම්මා ඉදිරියේ ද ඒ අදහස ස්ථිර කරවන්නට හදයි. එතකොට ඔවුන් මේ අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් කරන්නේ වෛද්‍ය පීඨයට යාමේ මගේ හීනය හකුළුවාලනු වස් ද?
“ඒකතාවෙනං ඉතිං ඇත්තක් නැත්තෙත් නෑ”
ආච්චි මමී ඇඟට පතට නො දැනී කීවා ය. සීයා සිය වැඩිමල් දියණිය බලා කියා හදා වඩා ගැනීම මූලික අරමුණ කර ගෙන කැඳවා ගෙන ආ ඕ තොමෝ ඒ යුතුකම වුව ඉටු කළේ නැති බව අම්මා හැඬූ කඳුළින් අප හා කියා තිබේ. ඒ ගැන වැඩි දුර පැවසීම මම පසුවට කල් තබමි. මල්ලී වැඩිපුර ම ආච්චි මමී ට වෛර කරන්නේ ඒ අතීත කතා නිසා බව ඇය දන්නේ නැත.
“ඒ වුණාට වසන්ති අපේ කොල්ලා අවන්ත ඉගෙන ගත්තද…ඔයාගෙ දුව චංචලා බයෝනෙ කළේ…එයාට පුළුවන් වුණාද අඩු ගානෙ එස් හතරක් ගන්න….ඒක නිසා නිබ්බුතා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන. නේද ඒයි…”
නීලිකා නැන්දා එසේ කියමින් සිය කතාවට, පසෙක හිඳ රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් වලට මූණ ඔබාගෙන සිටි සුනිමල් මාමාව ද ඈඳා ගන්නට හැදුවා ය. පසෙක වූ කාන්තා පුවත් පතක් අතට ගන්නා ගමන් මා කල්පනා කළේ මේ සිදු වන්නේ කුමක් ද කියා ය. වසන්ති පුංචි හා නීලිකා නැන්දා ඉන්නේ දෙපැත්තක ය.
“අපේ පවුලට ඩොක්ටර් කෙනෙක් ඉන්න එක අපිටත් ආඩම්බරයක්නෙ. මන්නං කියන්නෙ…අපිත් උදව් කරන්නං. ඒක අපේ යුතුකමනෙ…නිබ්බුතා ඔය විභාගෙත් කරන්න”
අපට උදව් කිරීම සිය යුතුකමක් සේ මින් පෙර කිසි දාක ඔවුන් ට හැඟුණු බවක් මට නම් දැනී නැත. එසේ නම් මේ හදිසියේ ඇති වූ සත්ව කරුණාව කුමක්ද?
“බත් ටිකක් කමු අක්කෙ. රෑත් වෙලානෙ දැං..කන ගමං කතා කරමුකො අපි”
කියමින් නීලිකා නැන්දා අපව කෑම මේසයට ගෙන ගියා ය. මහ ගෙදර කවර විශේෂ අවස්ථාවක් තිබිණි ද අප ව ඔවුන් කෑම මේසයට කැඳවා නැත. අම්මා යනු ඔවුන් ගේ වැඩිමල් සහෝදරිය වී ද මාමා හා පුංචි පවා ඇය ට සැලකුවේ මෙහෙකාරියකට සේ ය. ඔවුන් ගේ දරුවන්ට මෙන් අපට හොඳ ඇඳුම් තිබුණේ නැත. පරණ වෙන ඇඳුම් අත පිස දැමීමට හෝ වළං ඇල්ලීමට ගනු විනා ඔවුන් ඒවා අපට දුන්නේ ද නැත. ඒ සියල්ල සිහි කරත්දී ඔවුන්ගේ මේ හදිසි වෙනස වටහා ගත නො හැකි ය.
“අපි මේක ටික කලක ඉඳන් කියන්න කියලමයි හිටියෙ. ඒත් ඉතින් නිබ්බුතා ඉස්කෝලෙ ගිහිං ඉවර වෙනකල් තමයි බල බල හිටියෙ. නේද ඒයි..”
නැවතත් නීලිකා නැන්දා මාමාව කතාවට ඇද ගන්නට බැලුවා ය. නමුත් ඔහු රූපවාහිනියේ ඇහැ තියාගෙන නෑහුණා සේ කෑම කයි. අඩු තරමින් කන්නේ මොනවාද කියා හෝ ඔහු දන්නේ නැතිව ඇතැයි මට සිතුණි.
“ඔන්න අක්කෙ අපිනං කැමතියි නිබ්බුතායි අපේ අවන්තයි එකතු වෙනවට. කොහොමත් ඉතින් නෑනව අයිති මස්සිනාටයි කියනවනෙ…නේද…”
නැන්දා එසේ කියා ඇය ම සිනහ වූවා ය. මහා ගැඹුරු හා බියකරු වූ අනන්ත අගාධයක අන්තිම ම දාරයෙහි සිටිනවා වන් භීතියකින් මගේ යටි පතුල් හිරි වැටී ගියේ ය. සුළඟකින් වුව ඒ අගාධයට වැටෙන්නට පුළුවන් ය කියන හැඟීම මා තදබල හා ක්ෂණික විජලනයකට ලක් කළ අතර, එසැනෙන් මට ඉක්කා වැටෙන්නට පටන් ගත්තේ ය. මල්ලී වතුර වීදුරුවක් මා ළඟට කළෙන් මම එය බී ගෙන බීගෙන යන්නට වූයෙමි. ඉන්පසු කෑමක් ගැන කිසිදු අවශ්‍යතාවයක් මට නො දැනිණි. යන්තම් බත් කටක් දෙකක් කමින් ද බත් පත අත පත ගාමින් ද උන් මම කන්නට බෑ කියා අත සෝදා ගතිමි. අවන්ත මා ඉදිරියෙන් පුටුවේ හිඳ උන් අතර ඔහු ගේ ඇස් මට පෙනුණේ අතිශය ගිජු හිවල් දෑසක් සේ ය. ඒ සිනා කතා හඬවල් මා තුළ ඔක්කාරය දනවනා ආකාරයේ ඒවා ය. නීලිකා නැන්දා අය්ස්ක්‍රීම් කන්නයි බල කළ ද මා ප්‍රතික්ෂේප කළේ කෑවා නම් වමනය කරන්නට සිදු වනු ඇතැයි සිතුණ බැවිනි.
“මන්දන්නෑ නංගියෙ ඉතිං ඕවා. කෙල්ල කැමතිනං මට මොකෝ”
අම්මා ඇයට පහසු ම උත්තරය ලබා දුන්නාට පසු අපි ගෙදර එන්නට පිටත් වීමු. අඩි පාර කළුවරෙන් වැසී තිබිණ. මල්ලී ඉස්සර වූයේ ය.
“නිබ්බුතාට කරදරයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන් ඉක්මනට කසාදෙ ලියාපදිංචි කරල දැම්මනං. උපාදිය ගන්නකං කැන්දං එන්නනං හදිස්සි කරන්න එපා අවන්ත ඔන්න. ඒ ළමයට නිදහසේ ඉගෙන ගන්න දෙන්න ඕන”
නීලිකා නැන්දා ගේ එම වචන ද ඇගේ කපටි සිනහවේ දෝංකාරය ද ඒ කැලේ වැවුණ අඩි පාර දිගේ ගෙදරට එන තුරු ම මා හඹා ආවේ ය. අඩවන් කර ගිය දොර හැරුණු ගමන් ම දිව ගෙන ආවා බඳු හතියකින් මම බිම හිඳ ගතිමි.
“දැන්නෙ තේරුණෙ. සුදූව දොස්තර ලේලි කර ගන්න කට්ටිය දැං පෝලිමට එයි වගේ ආ”
මල්ලී මගේ ඇඟේ ගෑවෙන නො ගෑවෙන තරම් ලං ව හිඳ ගත්තේ ය. මම තවමත් කෝපයෙන් ඉක්මන් හුස්ම ගනිමින් සිටියෙමි.
“අවන්තගෙ මූණෙ තිබ්බ පෙරේත හිවල් පාට. ඊයා”
අන්තිමට මට කියා ගත හැකි විය. මල්ලී හඬ නගා සිනහ වූයේ ය.
“හැබැයි සුදූ මේක උඹේ වාසනාවට ආපු යෝජනාවක්. අකමැති වෙන්න මොන හේතුවක්ද තියෙන්නෙ…උඹට දෙයියනේ කියල සුර සැප විඳගෙන ඉන්න පුළුවන්”
සිය දැනුමේ අවබෝධයේ හැටියට අම්මා එහෙම කියන්නට ඇත. නමුත් මල්ලී අම්මාට එක හෙළා විරුද්ධ වූයේ ය.
“අම්ම එහෙම ඔය ගැන කට හොලවන්න එපා ඕකුං එක්ක. ඊට පස්සෙ ඒ කට වචනෙ නිසා සුදූට ගැලවීමක් නැති වෙයි. සුර සැප නෙවෙයි සුදූට ඕනෙ. සතුටෙන් ඉන්න. අවන්තය මොකෙද්ද අම්මෙ”
කියමින් ඔහු පැදුරු කෑල්ල එලා ගෙන මේසය යටට වූයේ ය.
ලෝචන මදුරාපුර මහ ගෙදරින් මට පැමිණි යෝජනාව ගැන දැන ගන්නට ඇත්තේ මල්ලී ගෙන් විය යුතු ය. දෙදිනකට පසු දිවා කාලයේ ඔහු මල්ලී විමසමින් අපේ ගෙදර පැත්තට ආවේ ඒ වෙලාවට මල්ලී පාසල් ගොස් ඇති බව හොඳට ම දැන ගෙන ය. මා නවකතා පොතක් කියවමින් උන් බංකුවෙහි අනාරාධිතව ම අසුන් ගත් ලෝචන, පළල් කර ගත් සිය දෙපා වල දණහිස් මතට බර වී ගෙන හිස හරවා මදෙස බැලුවේ ය. ඒ මොහොතේ මට මාව දැනුණේ දිය වී ගෙන අයිස් කැටයක් වාගේ ය.
“මාවද අවන්තවද තෝර ගන්නෙ…”
ඔහු කෙළින් ම ඇසුවේ ය. මගේ උගුරේ හුස්ම පොද ද හිර විය.
“ආ…කාවද තෝර ගන්නෙ…”
ඔහු බලයෙන් වාගේ උත්තරයක් ඉල්ලා සිටියේ ය. මම තැති ගත් බැල්මක් හෙළා විගස ඉවත බැලුවෙමි.
“මොනාද අයියෙ මේ කියන්නෙ…”
“මට කෙළින් උත්තරයක් ඕන. මෙච්චර දවසුත් මාව මගඇර ඇර හිටියෙ අවන්ත නිසාද…”
“අනේ…මං පොඩි කාලෙදිවත් අවන්ත අයියට කැමති නෑ..අයිය කෙනෙක් නිසාවත්”
බිම බලා ගෙන එසේ කියත්දී ඇස් වල දැවිල්ලක් ඇති වී ඒවාට කඳුළු පුරා ගෙන එන බවක් දැනිණ. මම වඩාත් හිස පහළට හරවා ගතිමි. උකුලෙහි වූ පොත තදින් අල්ලා ගෙන උන් මගේ වමත, ඔහු සිය සුරතින් ඉතා සැහැල්ලු ලෙස අල්ලා ගෙන සිය කකුල මතට ගත්තේ ය. දෙවියනි එහෙව් ස්පර්ශයක්! මට ඔහු දෙස නො බලා සිටිය නො හැකි විය. මගේ පපුව දුම්රිය එංජිමක් සේ ගැහෙමින් තිබුණේ ය. ඇස් කෙවෙනි දවමින් තිබි කඳුළ එසැනෙන් ඉහිරිණි. ඔහු “ඔය ඉතිං” කීවේත් මා පුළුල් උරයට මුවහ වී ඔහු ගේ අත් බාහුවේ මගේ නළල තද කර ගත්තේත් සිතිවිල්ලක් උපදින්නට හෝ කාල වෙලාවක් නොදී ය.