අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ මම වැඩිහරියක් ම කතා කළේ එක් චරිතයක් ගැන.ඒ තමයි මගේ ජීවිතය පුරාම එක්වෙවී වෙන්වෙවී අනේක දුක් දොම්නස් නින්දා අපහාස මැද නොසැලී මා හදවතින් දරාගෙන ආ මගේ සුධාරක.
ඒ ජීවිතය අකාලයේ ගිලිහී ගිහින් හරියටම අදට වසර දෙකක්!
කුමන තරාතිරමක කුමන තත්වයක වේවා ජීවිතයක් කියන්නේ අසිරිමත් දෙයක්.එය මනුෂ්‍යයෙකුගේ වුව සතෙකුගේ වුව වටිනාකම ගිනිය නොහැකි දෙයක්.අප මේ ලෝකයට කුමන අයුරකින් බිහිවූවත් ජීවත්වීමට කෙනෙකුගේ ඇති පරම අයිතිය උදුරාගන්නට කිසිවෙකුටත් අයිතියක් නැහැ.නමුත් අවාසනාවකට සුධාරකට එසේ තිබූ අයිතිය වෙනත් අයවලුන්ගේ හස්තයට නතුවීමෙන් ඔහු අකාලයේ ඉතා දුක්බර ලෙස ජීවිතයට සමු දුන්නා.
කුඩා කල පටන් බොහෝ දුකසේ අනේක බාධා නෝසැලකීම් හිත්රිදවීම් අහිමිවීම් මැද ගෙවා ආ ඒ මිනිසා තම ජීවිතයම මේ රට ජාතියේ උන්නතිය වෙනුවෙන් කැප කළා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අභීත සිංහයෙකු සේ ඉදිරියටම ගිය සුධාරක පෞද්ගලික ජීවිතයේ ලද හිත් වේදනා සියල්ල නිහඬව විඳ දරාගෙන ජීවත් වන්නට ඇත්තේම රණවිරුවෙකුට නිරායාසයෙන් ලැබෙන ඒ අසීමිත දරාගැනීම නිසාම වන්නට පුලුවන්.
යුධ පිටිය ක්‍රීඩාපිටියක් සේ සලකා ඒ තුල ඉතා දක්ෂ ලෙස තම කෞෂල්‍යය විදහා පෑ විශිෂ්ඨ යුධ ඥානයකින් හෙබි සුධාරකට වැරදුණේ යුධ පිටියේ දී නොවෙයි.දක්ෂ සැඟවුණු වෙඩික්කරුවෙකු වූ ඔහුට දුර තියා තම සතුරා හඳුනා ගැනීමට විශේෂ හැකියාවක් තිබුණත් ලඟ සිටි සතුරා හඳුනාගන්නට ඔහුට නොහැකි වුණා.ඒ වෙන කිසිවක් නිසා නොව.ඔහුට අනර්ථයක් කලේ වින කැටියේ දුර සිටි සතුරා නොව ඉතාම ලඟ සිට ඔහුවඩාත් විශ්වාසකල “තමන්ගේ” කියා මහා මුලාවක් කල මිනිසුන් නිසාවෙන්.සුධාරකට වැරදුනේ එතනයි.එහෙත් එය තමාගේ මරණයෙන් කෙලවර වේ යැයි ඔහු කිසිදා සිතන්නට නැහැ.
ජීවිතය පුරාම ආදරයක් සෙනෙහසක් අහිමිව ජීවත්වන්නට ඔබ කැමතිද?සතෙකු වුණත් රැඳෙන්නේ තමන්ට ආදරය ලැබෙන තැන.එක් අතකට එය මානව හිමිකමක් කියා මට සිතෙනවා. කුඩාකල සිට මාපිය උණුසුම සෙනෙහස අහිමිව පිටස්තරව හැදුණු ඒ කුඩා දරුවා තරුණයෙකු වූ විට ඔහුට මගෙන් ලද ආදරය ගලකෙටුවා සේ හදවතට දැනෙන්නට ඇත්තේ ඒ නිසා.සසර පුරුදු වලට මුණගැසෙන මිනිසුන් නවත්තන්නට බැහැ.
දෛවෝපගත ලෙස මගෙන් වෙන්වන්නට සිදුවූ සුධාරක යෝජිත විවාහයකට කැමති කරවාගෙන තිබුණේ බලෙන්.ඒ විවාහය තුල ඔහු ඒ ගැහැණිය සහ දරුවන් වෙනුවෙන් අපමණ කැපකිරීම් කල යුතුකම් ඉටුකල සැමියෙක් වගේම පියෙක්.ඒත් ඔහුට ඔවුන්ගෙන් පෙරලා ඒ මිලක් වැය නොකර දෙන්නට පුලුවන් ආදරය සෙනෙහස හෝ ලැබී තිබුණේ නැහැ.වසර තිස් හතර හමාරක් දරුණූ යුද්ධයටම ජීවිතය දියකර හැරි ඔහු යුධභූමිය ජයගෙන විජයග්‍රාහීව එනවිට ඔහු ජීවන යුද්ධය පරාද වී තිබුණා.ඒ වේදනාව ඔහුට කෙසේ දැනෙන්නට ඇත්ද කියා විමසන්නට කිසිවෙකු සිටියේ නැහැ.ඒ පිරිමි පපුවේ තිබුණ වේදනාව දුක්ඛ දෝමනස්සයන් ඔහු ලොවට කෑගසා කීවේ නැති නිසා.ඔහු තම කුටුම්භයේ වැරදි අඩුපාඩු ලෝකයාට කීවේ නැහැ.සිය දරුවන් තමන්ගේ වැරදි අඩුපාඩු වසාගන්නට පලිහක් කරගත්තේ නැහැ.ඒ නිසාම ඒ නිහඬබව තුල ඔහු මහා අසාධාරණයකට ලක්වූ අහිංසක මිනිසෙක්.
මා ගැන ඔබට ඕනෑ දෙයක් කිව හැකියි.ඒ ඕනෑම දෙයකට පිලිතුරක් දෙන්නට හෝ මා ජීවත්වෙනවා.නමුත් සුධාරකට ඔහුගේ නිර්දෝශීබව වෙනුවෙන් කතාකරන්නට නොහැකියි.ඒ නිසා මියගිය පුද්ගලයෙකු විවේචනය කිරීමේදී දෙවරක් සිතන්න.එය කාරුණික ඉල්ලීමක්.
කවුරු මට මොනතරම් අභූත දේ කීවත් මට ඇඟිල්ල දිගු කරත්.මා සුධාරක වෙනුවෙන් කල ජීවිත පරිත්‍යාගය ගැන මට ඇත්තේ අප්‍රමාණ සතුටක් ආඩම්බරයක් සහ සැනසීමක්.මම ඔහුගේ ජීවිතයේ අවසානකාලය හෝ ඔහුට අහිමිවී ගොස් තිබූ සියල්ල ලබාදුන්නා.අද ඔහුවෙනුවෙන් කරන පින්කම් වලටත් වඩා මට හදවතට සහනය ගෙනෙන්නේ ඒ හැඟීමයි.
ඔහුට සැබවින්ම ආදරය කළ මා ලඟ ඔහු සිටියානම් අදටත් ඔහු රෝදපුටුවක හෝ ජීවත්වෙනවා.එසේනම් ඔබට මේ කතාව කියවන්නට වන්නේ මීට වෙනස් විදියකටයි.නමුත් ඒ ජීවිතය බේරාගන්නට මා කල සියලු දේ ගඟට කැපූ ඉනි සේ ගසාගෙන ගියා.
ජීවිතය බේරාගන්නට නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ ලබාගන්නට ඔහුට තිබූ පරම අයිතිය උදුරාගත් මිනිස්සුන්ට අඩුතරමේ ඔහුට සුගතිගාමී චුති සිතක් පහලවන්නට දෙන්නට තරම් වත් මානුෂික බවක් තිබුණේ නැහැ.නමුත් දැන් ඔහු දැවී හලුවී දුම්රොටුවක් වී මේ වාතලයට එක්වී හමාරයි.
නමුත් ආදරය කියන්නේම හදවතින් දරාගෙන යන ගමනක්. ඔහු මියගියත් මගේ හුස්ම තුල ඔහු ජීවත්වෙනවා.මා හුස්මගන්න තාක් මම ඔහුව කෙසේ හෝ ජීවත් කරවනවා.කොහොම උනත් කියමනක් තියෙනවා
“වීරයෝ කිසිදා නොමැරෙත්” කියලා
ඉතින් අද සුධාකගේ දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාවක් ඉෂ්ඨ සිද්ධ කල මා පැතුවේ වෙන කිසිවක් නොවෙයි.මේ භවයේ මෙන් නොවී.දාරක ප්‍රේමය හොඳින් හඳුනන වාසනාවන්ත මවුකුසක ඉපදී.සහෝදර ක්‍රම මිස දේපොල තන්හාවෙන් අන්ධ නොවූ පින්වත් සහෝදර සහෝදරියන් ලැබ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබෙන්නටයි. එසේම මේ භවයේ මෙන් ඔබේ ජීවිතයට අගතියක් කල ඔබට නිකරුනේ නින්දා අපහාස කල කිසිවෙකුගේ අයුරු සෙවනැල්ල හෝ ඔබ ලඟට නොවැටේවා කියායි.
ඉතින් සුපුරුදු ලෙස හෙට සිට නැවත මේ කතාවේ ඉතිරි ටිකත් ඔබට මා පවසන්නම්.එතෙක් ඔබටත් ඔබේ දරුවන්ටත් නිදහසේ හුස්මගන්නට නිදහස් නිවහල් රටක් ලබාදෙන්නට සිය ජීවිත කාලයම කැපකල අපේකාලයේ වීරයෙකුට එක පැතුමක් තියා යන්න.ඒ හැම පැතුමක් වෙනුවෙන්ම ඔබ සියලුදෙනාටම බොහොමත් පින්.
(කතා නායිකාවගේ විශේෂ ඉල්ලීමක් මත පළ වන්නකි.නම් ගම් මනඃකල්පිත ව ලියවෙන බැවින් ඔබ දන්නා නම් සඳහන් කිරීමෙන් වළකින්න)