ඉස්තෝප්පුවේ වටේ ම පේනා තැනකට ප්ලාස්ටික් පුටුවක් ඇද ගත් මදුරාපුර මැකිණිය, වටේටම සිය දෑස් යොමු කළා ය. මිදුලට සිරියාවක් ව ඇති තාරකා මල් බෝඩරය ද, මල්ලි ගේ එළවළු පාත්ති ද, පොල් අතු රටාව හිටින්නට මා උදයට අමදින මිදුල ද, කුණු බිඳක් හෝ නැති ගෙබිම ද ඇයට දර්ශනය වන්නට ඇත. ආලින්දයෙහි ගෘහ භාණ්ඩ පිරී නැති බව ඇත්ත ය. ඇත්තේ මධාරා අක්කා ගෙනැවිත් දුන් ප්ලාස්ටික් පුටු හතර පමණක් බව ඇත්ත ය. කාමර දෙකේ ඇඳවල් ද කුස්සියේ ඇති වෙනත් බඩු මුට්ටු ද මදුරාපුර මැදුරේ භාවිතයෙන් ඉවත් කරන ලදුව අම්මා විසින් ගෙන එනු ලැබූ ඒවා ය. නමුත් මම අපට ඇති සියල්ල පිළිවෙලට හා පිරිසිඳුව තබා ගෙන සිටියෙමි. දැන් පමණක් නොව පාසල් යන පොඩි කෙල්ලක කාලේ ද ගෙදර පැමිණි ගමන් මා අතට ගන්නේ කොස්ස ය. බඩේ බත් ඇටයක් නැති වීද මම අපේ ගේ කියනා දර මඩුව ඉතා පිරිසිඳුව තබා ගෙන සිටියෙමි. මන්දිරයක් වූ මදුරාපුර නිවසට ගිය ද මා මුලින් ම අතට ගත්තේ කොස්ස ය.
“මැඩම්ට මං…තේ එකක් හදන්නද…”
එකත්පස් ව හිඳ මම ඉතා ම ගරු සරු ඇතිව ඇය විමසීමි. ඒ මට වෙන කතා කරන්නට දෙයක් සිහි නොවූ නිසා ය. ඕ තොමෝ සිය ගුප්ත දෑසින් මදෙස බලා “හ්ම්” කීවා ය. ඒ අවසරයෙන් මම ඉක්මනින් කුස්සියට වැදුණෙමි.
කුඩා කල පටන් මා වඩාත් බිය වූ තැනැත්තිය ඇය බව මට මතක ය. බාලිකාවේ විදුහල්පති තුමිය උස මහත දේහධාරී සිරුරක් ඇති තැනැත්තියක වූවා ය. ඇය ට තිබුණේ තරමක් බැරැඬි හඬකි. ඒ බැල්ම ඍජු ය. ඒ සියල්ල එක් තැන් වූ විට මැවෙන්නේ කදිම පෞරුෂයකි. නමුත් ඇය වුව මදුරාපුර මැතිණිය තරම් බියක් මහදෙහි දනවා නැත. ඊට හේතුව විදුහල්පති තුමියට තිබුණ කරුණාවන්ත සිනහව මදුරාපුර මැතිණියට නොමැති වීම ය කියා මම සිතමි. සැබවින් ඇය සිනහ වීමට දැන සිටියේ ම නැත.
ඕනේ නම් කේතලය ලිප තබා මට ඇය වෙත එන්නට තිබිණ. නමුත් මම අත පත ගාමින් කුස්සියේ ම පමා වීමි. සැබවින් මදුරාපුර මැතිණිය ට මූණ දෙන්නට හිතේ වූයේ දෙගිඩියාවකි. මධාරා අක්කා කල් තියා මේ බව අනතුරු අඟවා තිබුණා ය. සිය මෑණියන් ගේ ප්‍රශ්න කිරීම් වලට මුහුණ දිය යුතු වෙලාවක් මවෙත උදා වෙන්නට නියමිත බව ඇය දැන සිටියා ය. නමුත් ලෝචන සේ ම මා ද එය සැහැල්ලුවෙන් මගහැරියා නොවේ ද? දැන් මේ හදිසියේ ඇයට මුහුණ දිය යුත්තේ කෙසේ දැයි මා දන්නේ නැත. මා ඕනෑ ම දේකට මූණ දිය යුතුව ඇත්තේ තනිව ය. මා වෙනුවෙන් කතා කරන්නට මෙහි ලෝචන හෝ මධාරා අක්කා ඇත්තේ නැත.
කුස්සිය මිදුලේ සිටුවා ගත් ඉඟුරු පඳුරෙන් අලයක් ගලවා දමා මම තේ එකක් පිළියෙල කළෙමි. යළි එතුමියට මූණ දෙන්නට ගියේ ඒ තේ එකත් ගෙන ය. ඉක්මනින් අක්‍රිය වේ යයි හිතෙනා තරමට හදවත ගැහෙමින් තිබිණ.
ඇය සිටියේ මිදුල මැදට වී වට පිට බලමිනි. මම ‘මැඩම්’ කියා කතා කළෙමි. මදුරාපුර මැතිණිය ඉක්මන් ගමනෙන් විත් මගේ අතින් තේ එක ගෙන නැවත අසුන් ගත වූවා ය. තේ කෝප්පයෙන් උගුරක් දෙකක් ඇය සන්සුන් ව රස විඳිනා හැටි මම බලා ගෙන සිටියෙමි.
“ලෝචන එක්ක සම්බන්දයක් තියනවද…”
බලාපොරොත්තුවෙන් සිටි පැනය වුණත් ඇය එය විමසා සිටියේ බලාපොරොත්තු නොවූ මොහොතක ය. මට කෙළ බිඳක් පිටි උගුරේ ගොස් කැස්ස හැදිණ. මම දෝතින් මුහුණ වසාගෙන කැස්සෙමි. මා සන්සුන් වන තෙක් එතුමිය නිසොල්මනේ තේ එක තොල ගෑවා ය.
“මං මේ අපේ හාදය එක්ක කතා කරන්න කලින් නිබ්බුතා එක්ක කතා කරන්න හිතුවෙ”
මුළු පපුවම බය කියනා හැඟීමෙන් පිරී මගේ හුස්ම පවා අවහිර කොට තිබුණේ ය. කකුල් වෙව්ලා මා බිම ඇද වැටේවී කියා සිතුණෙන් මම බිත්තියකට වාරු වීමි.
“මැ..ඩ..ම්…”
ඒ ගොළු බව වරදක් සේ දැනුණ තැන මා මුව විවර කළේ වුණ දෙයක් වුණාවේ කියන හැඟීමෙනි.
“ඔව් මැඩම්. මං දන්නව ඒක කීයටවත් වෙන දෙයක් නෙවේ කියල. මැඩම්ල කව්ද අපි කව්ද…මේක දැනගත්ත වෙලාවෙ අම්ම අඬල කිව්ව නතර කරන්න කියල. මැඩම්ල එක්ක එකට කෑම ටිකක්වත් කන්න අම්මට පුළුවන්ද ඇහුව…මැඩම්ලට නෑකං කියන්න අපිට පුළුවන්ද ඇහුව. එදා අම්ම පොළොවෙ පස් කෑවෙ නැතුව විතරයි මැඩම්. මේ වෙලාවෙත් අම්ම හිතං ඉන්නෙ දැන් එහෙම දෙයක් නෑ කියල. අනේ මේකට අම්ම ගැනනං කිසි අහිතක් හිතන්න එපා මැඩම්…මං දන්නව මේක අපිට තරම් නොවෙන දෙයක් කියල. ලෝචන අයියගෙ ආදරේට තියන ලෝබ කම නිසා මේ හැඟීම බදා ගෙන හිටියට…මං දන්නව මැඩම් දවසක මට එයාගෙන් ඈතටම යන්න වෙනව කියල”
ඇස් දෙක පලා ගෙන කඳුළු පිට වෙන්නට හැදුවේ ය. නමුත් මම හිතුවක්කාර ලෙස ඒ කඳුළු හිර කර ගෙන හිටියෙමි. යන්තම් තෙතමනයක් ඇස් කෙවෙනි වලට දැනිණ. හුස්ම ගන්නට බැරි වියෝවකින් මම දුක් වින්දෙමි.
හිස් කළ තේ කෝප්පය මදුරාපුර මැතිණිය ගේ උකුළ මත විය. මම දෝත පා එය රැගෙන ගොස් කුස්සියේ මේසය මත තබා ආවෙමි. ඒ එන අතරේ ගවුම් උරහිසෙන් ඇස් වල තෙත මාත්තු කර ගත හැකි විය. ආපසු විත් බිත්තියට හේත්තු වූයේ හිස් ව ගිය කෙල්ලකි. ඇය හෑල්ලු වී හිටියා ය. දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කරනු ලැබූ පව්කාරියක සේ සන්සුන් වී සිටියා ය.
මදුරාපුර මැතිණිය ඍජු හා හැඟීම් විරහිත බැල්මකින් ඇසට හසු වන මානයක බැල්ම රඳවා ගෙන සිටියා ය.මම ඇදෙස හොඳින් බැලීමි. සුදු කඩදාසියක් සේ ඇගේ මුහුණ හැඟීම් වලින් හිස් ය. ඇය සිටින්නේ තරහෙන් ද දුකෙන් ද සතුටෙන් ද කියා අඩමානයෙන් හෝ සිතා ගත නො හැක. ඇගේ හිතේ තියෙන්නේ මොනවාදැයි කිසි දාක දැන ගත නො හැකි බව වරක් මධාරා අක්කා ද කීවා ය.
“මගෙ දරුවො දෙන්නවත් දන්නෙ නැති කතාවක් මං ඔයාට කියන්නං නිබ්බුතා. අතීතෙ වළදාල ආපු…ඒ වුණාට කවදාවත් මිහිදන් වුණේ නැති අතීතයක් ගැන කතාවක්”
මා තිගැස්සී යන්නට ඇත. ඇය මේ කියන්නට යන්නේ කවරක් ද? සිය දියණියට හෝ පුතාට වුව නොකී කතාවක් කියන්නට ඇය මාව ම තෝරා ගත්තේ ඇයි? ඒ කතාවේ මට වන සම්බන්ධය කුමක් ද? ඒ තත්පර කිහිපය තුළ මගේ සිත සිතිවිලි කෝටි ගණනක ලැගුම් හලක් වූයේ ය.
“මං අම්මගෙ ඇස් අන්දලු. මං ඉපදිලා තියෙන්නෙ තාත්ත කෙනෙක්ගෙ හිමි කමක් නැති දරුවෙක් විදිහට නිසා…අම්ම මාව අනාත නිවාසෙකට බාර දීල තියෙනව. මාස හතරක පහක අත දරුවෙක් කාලෙ ඉඳලම මං හැදිල තියෙන්නෙ බාලිකා නිවාසෙක…අනාත දරුවෙක් විදිහට..”
හිස මත අකුණක් පතිත වූ සෙයක් මට දැනිණ. දෙවියනි මට ඒ ඇසුණේ කවරක් ද? ටික වෙලාවක් යන තුරු ඒ කම්පන තරංග ජාලය තුළ මම මග හසරක් නොදැන අවතැන් ව සිටියෙමි.
“මට අවුරුදු දෙකක් විතර වෙද්දි අම්ම නැති වුණාලු. මං ඒක දැන ගත්තෙ බාලිකා නිවාසෙ මේට්‍රන්ගෙන්. ඊට පස්සෙ මේ පොළොව උඩ මං තනිකරම අනාතයෙක්…තමංගෙ කියල කවුරුවත්ම නැති…”
මම ඇගේ මුහුණ වඩාත් හොඳින් නිරීක්ෂණය කළෙමි. එය තවමත් සුදු කඩදාසියක් ම ය. ඇය මේ පවසන්නේ ඇත්ත ම ඇත්ත ද? මුසාවක් – මේ වගේ මුසාවක් පවසන්නට ඇයට වන සාධාරණ හේතුව කුමක් ද? නමුත් තව දුරටත් මා සිටියේ සැබෑවත් මායාවත් අතරේ දෝලනය වෙමිනි.
“කැම්පස් එකේදි පිරිමි ළමයෙක් එක්ක සම්බන්දයක් ඇති කර ගත්ත වෙලාවෙ මං මුළු ලෝකෙම හදා ගත්තෙ එයා වටේ. එයා හරියට මට ආදරේ කළා. ඒ තමයි මේ ජීවිතේ පළවෙනි වතාවට මං මනුස්සයෙක්ගෙ ආදරේ විඳපු අවස්තාව. ඒත් එයාගෙ ගෙදරින් ඒකට ඉඩ දුන්නෙ නෑ. මං අනාත නිවාසෙකින් ආපු කෙල්ලෙක්. මට නෑ පරපුරක් නෑ. මට දෙමව්පියො නෑ. මට තිබුණෙ ඉගෙන ගන්න පුළුවන් කම විතරයි. ඉතින් මට ඒ ආදරේ බිලි දෙන්න වුණා. එයාව අත් ඇරල…එයාව අමතක කළා කියල හිතාගෙන වෙන පාරකින් හැරිල යන්න වුණා. හොඳටම රත් වුණාට පස්සෙ යකඩයක් ඕන හැඩේකට නවන්න පුළුවන් වගේ….ඒ දුක මගෙ හිත හදල දුන්නා. හැබැයි වෙනම හැඩේකට”
ඇය පිළිමයක් සේ නො සෙල්වී සිටියා ය. ඇස් වල කඳුළක තෙතමනයක් හෝ වූයේ නැත. දුකක සේයාවක් වුව මුහුණ මත පා වූයේ නැත. නමුත් මගේ ඇස් හඬමින් සිටියේ ය. කොපුල් නිම්න දිග කඳුළු ගලා ගියේ ය. ශ්ලේශ්මල විසින් ශ්වසන මාර්ගය අවහිර කරන ලදුව තිබුණෙන් මා හුස්ම ගත්තේ මුව මඳක් විවර කොට ය.
“එදායින් පස්සෙ මං හිනා වුණේ නෑ. මට හිනා වෙන්න මතක් වුණෙත් නෑ. අර වෙන හැඩේකට වෙනස් වුණ යකඩ ගෑනි හැම දේම අමතක වෙන්න කියල කළේ ඉගෙන ගන්න එක…වැඩි වැඩියෙන් පොත් කියවන එක. ඒ පාරෙ මං සෑහෙන දුරක් ගියා. ලෝචනගෙ තාත්තව කසාද බැන්දෙ එයා ගෙනාපු යෝජනාවක් නිසා. ඒත් මං හිතෙන් මැරිච්ච ගෑනියෙක්. කසාද බැන්දා…දරුවො හැදුවා…ඒ යුතුකම් ඉෂ්ට කළා. ඒත් මං මැරිච්ච ගෑනියෙක් නිබ්බුතා”
යමක් කියා ගන්නට මට ඕන වුණේ ය. නමුත් කිසිත් කියා ගන්නට මට නො හැකි වූයේ ය. මදුරාපුර මැතිණියව බාහිරයෙන් දකිනා කිසිවෙකු ඇය ට එහෙම යටගියාවක් ඇතැයි විශ්වාස නොකරන බව මට විශ්වාස ය. මිනිසෙකු දෙස පිටතින් බලා ඔහු ගැන නිගමනයකට එළඹෙන එක මොන තරම් අසාධාරණ ද?
“ඔයාට අම්ම කෙනෙක් හරි ඉන්නව. ඔයාට මල්ලි කෙනෙක් ඉන්නව. නරක වුණත් නෑදෑයො ටිකකුත් ඉන්නව. ඒ අතින් මං නිබ්බුතාට වඩා ගොඩක් දුප්පත්. ඒක නිසා මගෙ ආදරේ මට නැති වුණා. ඊට පස්සෙ හැම දේම ලබා ගන්න මට පුළුවන් වුණා. මහත්තයෙක්…ගෙවල් දොරවල්…වාහන…බඩු මුට්ටු…හිතෙන වෙලාවක ඕන රටකට ගිහිං එන්න පුළුවන් තත්වයක්…උපාධි…ඒත් හැම වෙලේම හිතේ කොතනක හරි කියා ගන්න නොතේරෙන හිස් කමක් තියනව නිබ්බුතා. මේ අදටත්…මේ දැනුත් තියනව. මැරෙනකල්ම තියේවි”
එවර ඇය ඇස් දෙක තද කොට පියා ගනු මට පෙනුණි. තත්පර කිහිපයක් එසේ උන් ඕ ඉන්පසු යළි පෙර බැල්මෙන් ම මදෙස බැලුවා ය. ඇගේ පෞරුෂය ඉදිරියේ මම හැඟීම්බර කදෝපැණියෙකු පමණක් වීමි.
“මං ලෝකෙ දියුණුම රටවල් වලට ගියා මගෙ උපාධි වලට. ඒ රටවල උගත් කමටවත් රස්සාවටවත් වෙනස් මට්ටම් වලින් සලකනව මං දැකල නෑ. ඩොක්ටර් කෙනෙක් වුණත් ක්ලීනර් කෙනෙක් වුණත් ඇක්ටර් කෙනෙක් වුණත් එක සමානයි. මහාචාර්ය කෙනෙක් වුණයි කියල මට හැම දේම කර ගන්න බෑ. ඔයාගෙ අම්ම නොහිටියනං මගෙ පවුලෙ අයට බඩගින්නෙ ඉන්න වෙන්නෙ. අපි දෙන්නම කරන්නෙ රස්සාවල්. මං කැම්පස් එකේ උගන්නනව. ඔයාගෙ අම්ම අපේ ගෙදර උයනව.දෙන්නම පඩියට වැඩ කරනව. අපි එක එක්කෙනා එක එක්කෙනා මත යැපෙනව. එච්චරයි”
කවදාවත් සිනහ නොවුණු ඇගේ මුහුණ මිස කවදාවත් සිනහ නොවන්නට ඇය ට වූ හේතුව එතෙක් මා දැන සිටියේ නැත. කෙළින් බලා ගෙන ඇවිදින පෞරුෂවත් ගැහැනිය ගේ හදවත තුළ වන සමානාත්මතාවයේ දහම මා කිසි දාක දැක තිබුණේ නැත. ඒ සියල්ල මා ඉදිරියේ නිරාවරණය වත්දී අයිස් කැටයක් දිය වී යනවා වන් හැඟීමක් මා තුළ මට දැනෙන්නට විය.
“එයා සෑහෙන කාලයක් තනිකඩව ඉඳල පස්සෙ බැඳල තිබුණා. මං තදින් හිතේ තියං හිටපු දෙයක් තමයි අපිට වෙච්ච දේ දරුවන්ට වෙන්න දෙන්නෙ නෑ කියන එක. මට නැති වෙච්ච හිනාව…මට නැති වෙච්ච සතුට මගෙ දරුවන්ට අහිමි කරන්නෙ නෑ කියන එක. මට කිසි ලැජ්ජාවක් නෑ අපේ ගෙදර වැඩ කරන කෙනාගෙ දුවව මගෙ පුතා බඳින එක ගැන. ඉස්සර නිබ්බුතාව කෙනෙක් ඇඳින්නුවෙ ගෙවල් වල වැඩ කරන නන්දනීගෙ දුව කියලනං…ඉස්සරහට නන්දනීව මිනිස්සු අඳුන්නයි ඩොක්ටර් නිබ්බුතාගෙ අම්මා කියල. හිටපු තැන නෙවෙයි නිබ්බුතා වැදගත් වෙන්නෙ. දැන් ඉන්න තැන. ඒක තමයි මේ ලෝකෙ ධර්මතාව”
සුළි සුළඟකට වැදී නැවී ගිය පුංචි ගසක් සේ මම ඇගේ දෙපා අල්ලා ගතිමි. නොසෙල්වෙන මහ වෘක්ෂයක් සේ ඇය මා දෑතින් නැගී සිටවූවා ය.
“මගෙ කොල්ලා සතුටෙන් ඉන්නයි ඕනෙ. හැමදාම. ඒක ඔයාට කරන්න පුළුවන්නං එච්චරයි”
ඒ නම් මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ අහඹුවකි. ඇය ඊළඟ නිමේෂයේ නැගිට රිය වෙත නික්ම ගියා ය. මම ගේට්ටු පියනේ එල්ලී ගෙන අදහා ගත නො හැකි ප්‍රාතිහාර්යයන් පානා විශ්වයේ අභිරහස් ඉරණම ගැන සිතුවෙමි.