මල් තුහින – 01

අනෝරා වැස්ස ඇද හැලේ.නොකඩවා ඇද හැලෙන වැස්ස දැන් ඕනෑවට වැඩි බව සිතුණු රුවිනි ජනේලය වසා දැම්මා ය. ඉල්ලීමකින් තොරව වසා දැමුණු ජනේලයෙන් මෑත් වූ මලිති, මිතුරිය දෙස බැලුවේ නොපහන් දෑසකිනි.

“වැස්ස දිහා බලාගෙන හිටියෙ මං.”

රොබින්සන් අන්දරය හඬ කැවූ ආකාරයේ වචන මාරු කරමින් පැවසූ වාක්‍යයට රුවිනිට සිනා පහළ නොවී ය. මලිතිගේ මඟ බැලීම ද කල්පනාවට වැටීම ද රුවිනිට නුරුස්සයි. ඕනෑවට වඩා සිතන්නට යාම කිසිවක්ම යහපත් නොකරන බව රුවිනි දන්නේ අත්දැකීමෙනි.

“අපි වගේ තමයි අහසත්. දරාගෙන ඉඳල ඉඳලා කොයි වෙලාවක හරි කඩාගෙන වැටෙනවා. ඊටපස්සෙ අඬන්නෙ නතර කරන්න බැරි වෙන්න.”

මලිතිගේ කාව්‍යාත්මක කතාවලට වෙනදා මෙන් එකඟ වන්නට රුවිනි නොකැමති ය. කුමක් හෝ කවියක් පටලා ගත් විට එතැනින් ගීයක් ද එතැනින් චිත්‍රපටියක් ද දක්වා සාහිත්‍යමය කතිකා ගෙන ගිය දවස් තිබූ බව ඇත්ත ය. නමුත් මේ එවැනි කතාන්දරවලට දවස් නොවේ.

“අහසට වඩා ඔයා අඬල කියල පේනව.”

රුවිනි එසේ කියන්නේ මලිතිට ය. නමුත් මලිති නෑසුකන්ව සිටියා ය. නොපෙනෙන සහ නොදැනෙන ලෙස ජීවත් වීම බොහෝ පහසු බව සිතෙන්නට පටන් ගෙන ටික කාලයකි. ඒ හැඟෙන පෙනෙන දේ බිඳී යන්නේ රුවිනි අසල විතරම ය.

“අඩුම තරමේ,අඩුම තරමේ නවීන්ට වෙන ගෑනියෙක් ඉන්නවද කියලවත්.”

රුවිනි එසේ කියද්දී මලිතිට සිනාවක් නැඟිණ. “මහ හීතල පාට කොල්ලෙක් ඕයි. තමුසෙට මොලේ නරක් වෙලාද? ” එසේ ඇසූ තාරකා දැන් රටේවත් නැත. එහෙත් හිස්තැන් පුරවා ගැනීම ඉතා ප්‍රවේසම් සහගතව සිදුවිය යුතු බව කියන්නට තාරකා දැරූ උත්සාහය මෙතකැයි කියන්නට නොහැකි තරම් ය.

“මං මෝඩ වුණාට අනිත් ගෑනු මෝඩ වෙන් නෑ.”

මලිතිට හඬන්නටවත් නුවුමනා වීම ගැන රුවිනිට වේදනා ඉපිදේ. ඇය මලිතිගේ උරහිසට උඩින් රංගනී කොහේදැයි බැලුවා ය. රංගනී කොරහේ කිඹුලන් සොයමින් සෑම කටයුත්තකම ඇද පලුදු සොයද්දී ඕනෑවට වඩා වැළපුණු දවස්වත් දැන් මලිතිට නොවේ.

කියන කරන දෙයක් යන්ත්‍රයක් වී දරා ගැනීමේ කාලයක් කිසිම ගැහැනියකට එන්නට නුවුමනා බව රුවිනි සිතුවා ය.

“නවීන් වෙනස් වුණේ නෑ.”

මිනිත්තු විසි ගණනකට පසු නිහඬතාවය බිඳී ගිය අතර රුවිනි මිතුරිය දෙස බැලුවේ අමනාපයෙනි. “කට වහං හිටපංකො.මේක පුදුම කියවිල්ලක්නෙ.” යැයි මලිතිට දෙස් තැබූ දවස් සිහි වේ. එහෙත් ඒ දවස් පවා අතීතයකි. දැන් මලිති උදේ දහයට කියන කතාවක ඊළඟ කොටස කියන්නේ හවස දෙකට ය.

“මං රඟපාන එක නවත්තලා දැම්ම.”

ඒ බොහෝ කෙටි වාක්‍යයකි. එහෙත් සංසාරය තරම් දිගු කතාවක් බව රුවිනි දන්නී ය. ඇය ඒ සංසාරයෙන් එතෙර වී හමාර ය. මලිති තවමත් ඉවුරකට වී ළතැවේ.

“මේ මහ වැස්සෙත් රස්සා කරන්න වෙන අපි නම් මහ පව්කාරයො අප්පා.”

අංජලී වැස්සේ හඬ පරයා යන තරමට කෑගසයි. හිම වැටෙන සහ දැඩි ශීත කාලවල පවා රැකියා කරන මිනිසුන් ලෝකයේ අනිත් රටවල ඇති බව අංජලීට කවුරුන් හෝ කියන හඬ ඇසේ. අඩුම තරමේ ඒ ඕපාදුපය විමසා දැන ගන්නටවත් මලිතිට කැමැත්තක් නැත.

” නවීන් අයිය කියන් නැද්ද අනේ ඔයාටනම් ගෙදර නවතින්න කියල.”

අංජලී අසද්දී මලිති තිගැස්සී ගියා ය. එහෙත් අංජලී කරුණු පැහැදිලි කරමින් සිටියා ය.

“අපි නම් අම්මලාට කන්න බොන්න දෙන්න, නංගිලා මල්ලිලාට ඉගෙන ගන්න වියදම් කරන්න කීයක් දේවල් හින්දද රස්සා කරන්නෙ. මෙයානම් මේ දුක් විඳගෙන රංගනීගෙ මල සාප විඳ විඳ පරණ ණය ගෙවනවද කොහෙද?”

පරණ ණය ඇත්තේ කොතැනදැයි මලිති සිතුවා ය. මෙතැන හිඳින්නේ රුවිනි පමණක් ම නම් එය නොකියා සිටින්නටම නොහැකි මොහොතක් පැමිණ තිබේ. නමුත් බිත්තිවලටත් කන් ඇති කතාව ඇයට කීවේ ද ඔහු ය.

“ගෑනියෙක්ට රස්සාවක් තියෙන්න ඕන.උඹත් ඔය ලහිරු ගැන ඕනවට වඩා විස්වාසෙ තිබ්බට කමක් නෑ. රස්සාවක් නැති කරගන්න එපා. ඊටවඩා ගොන්කමක් නෑ.”

රුවිනිගේ දාර්ශනික කියමන් වලින් අංජලීට පලක් නොවේ. ඇය මලිතිගේ ෆේස්බුක් ගිණුම මත එහෙමෙහෙ ගියා ය. නවීන්ගේ දෑත අතරට මැදි වී සිටින මලිතිගේ ඇස් බබළයි. ලෝකයේ ඇති සුන්දරම ආදර කතාවක හිමිකාරියක වූ මිතුරිය ගැන අංජලීට නම් දැනෙන්නේ ඊර්ෂ්‍යාවකි. දකින ඕනෑම මොහොතක මලිති වෙත ආදරයෙන් නැවෙන දෑසක් ඇති නවීන්ට තමන් ප්‍රිය කරන වර්ගයේ රූපයක් වූවානම් කුඩා උත්සාහයක් පවා දරන්නට හිතෙන තරමට අංජලීට ඒ ආදර කතාව ගැන ඊර්ෂ්‍යාවක් දැනේ.

” දකින දකින ටෙලි ඩ්‍රාමා එකේ මීනා කුමාරි දුක් විඳඟෙන දරුවෝ හින්ද ඉවසන ජාතියේ අම්මාගෙ කැරැක්ටර් එකම කරන්නේ ඇයි? වැරදිලාවත් නපුරු නැන්දම්මෙක් හරි වෙන කිසිම චරිතයක් නොකරන්න හේතුව දන්නවද?”

රුවිනි අංජලී එහෙමෙහෙ වන්නට ඉඩ හැර ඇසූ තුන් තේරවිල්ල මලිති තේරුම් ගත්තා ය. නමුත් මලිති ඉතා අනුවණ බව විශ්වාස කරන්නට කැමති රුවිනි එය තෝරා දෙන්නට ද ඉදිරිපත් වූවා ය.

“උඹ රඟපාලා තියන රඟපෑම තමයි ඉතිං. දැන් ඉතින් ඕක වෙනස් කරන්න බෑ. දිගටම රඟපාන්න තමයි වෙන්නෙ.”

කරන්නට වැඩ අප්‍රමාණ ය. කිසිවක්ම කරන්නට සිතක් නැති වෙද්දී මලිති ෆේස්බුක් මත ඉහළ පහළ යන්නට පටන් ගත්තාය. රස්සාවට ගිය හැම කෙනෙකුම වාගේ එතැනය. කාලයකට පසු මීදුමක් ද සමඟ ඇති වූ වර්ෂා කාලය සමරන්නට කෝපි කෝප්ප ද වැහි කබා  සහ උණුසුම් කබා ඇඳගත් ඡායාරූප ද පිරී තිබේ. වෙනදානම් රුවිනි ද ඇදගෙන ඡායාරූප අසූ කෝටියක් වත් ගත් දවස් තිබිණ. අන්තිමට ඡායාරූපයක් ගත්තේ කවදාදැයි මලිති සිතුවා ය. මතකයක් නොවේ. 

“එයාට සීතලයි කිව්ව. ලිපට පැනපං කිව්ව”

කොළපැහැ රෙදි ගෙම්බෙකු කට ඇද කරගත් ෆේස්බුක් සරදම රුවිනිට පෙන්වා උස් හඬින් හිනැහෙන්නට මලිතිට සිතුණේ නැත. දැන් සරදමක පවා ඇයට වේදනාත්මක තැන් පෙනේ.

“පුදුම වැස්සක්නෙ.”

පාන්දර වැහි බීරම වැඩි වන්නට පටන් ගත්තේ ය. මලිති නින්දෙන්ම නවීන්ගේ තුරුලට ඇදුණේ එසේ කියමිනි. හීතල පාට කොල්ලෙක් බව තාරකා දිවුරමින් පැවසූ දවස්වල ඔහු ළඟ මොකක්දෝ උණුසුමක් ඇතැයි මලිතිට සිතිණ. ඒ උණුසුම නොදෙන්නට ප්‍රවේසම් වුණත් තවම එය ඔහු අසල බව මලිතිට සිතේ. ඇය පොරෝනාව ඔහුද වැසෙන සේ පොරවා හැකිතාක් තුරුළු වූවා ය.

නවීන් අවදි වූයේ තිගැස්සී ය. ශක්තිමත් අතකින් ඉවතට තල්ලු වීමේ වේදනාව සිතට ද ගතට ද යන්න මලිතිට තවමත් අපැහැදිලි ය.

එහෙත් ඇය වේදනාවෙනි. ඒ හිමිදිරි පාන්දර එතරම් නරක යමක් නොවූවානම් රුවිනිටවත් කියාගත නොහැකි හේතුවකට දෑස් මඟ බැලීම සිදු වන්නේ නැති බව ඇය දනියි. එහෙත් නවීන් ඒ මඟ බැලීම වෙනුවෙන් නොකඩවාම හේතු සපයමින් හිඳියි.

(සකීගේත් අහස්ගේත් ආදර කතාව මෙන් ආදරය පිරී ගිය කතාන්දරයක් මෙහි නොවේ. සකීගේ දිනූ ආදරය තරමට ම මලිතිගේ වේදනාව ඔබේ වන බවට විශ්වාසයෙනි.දිගටම රැඳෙන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles