සන්තුෂී සිරිවර්ධන රූපලාවන්‍යාගාරයේ විසල් කැඩපතකට සිය මුහුණ ලං කොට බැලුවා ය. මැදි වියට එළඹෙමින් සිටීම ගැන කියා පාන රේඛාවක් හෝ එහි තිබේ නම් සොයා ගන්නට ඇයට උවමනා වූයේ ය. වයසට යන්නට සන්තුෂී තුළ දැන් ඇතිව තිබෙන්නේ හදිසි බියකි. වයසත් වයසට යාමත් නතර කර ගන්නට ඇයට ඕනෑ වී තිබේ!
වෙනදාට කොණ්ඩය එක අඟලකින් හෝ කෙටි වෙනවාට බිය වූ ඕ ඕනෑ ම දෙයක් වරලසට කොට වෙනසක් ඇති කරන්නට මේ වතාවේ රූපලාවන්‍ය ශිල්පිනියට ඉඩ දුන්නා ය. ඒ අවසරය නිසා, මොනර පිළක් සේ දිගට එක මට්ටමකට තිබූ කොණ්ඩය තට්ටු හිටින සේ කැපී ගියේ ය. කතුරු පහරවල් සිය ගණනක් සිය හදවතේ වැදී තුවාල වී ඇති සැටියක් සන්තුෂී ට දැනේ!
කල්ප දැන් වැඩිපුර ඇසුරු කරන්නේ රංගන ක්ෂේත්‍රයට අලුතෙන් පෑයූ තාරකාවක් වන නිශී ව බව සන්තුෂී දනී. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ය. ගොසිප් යූ ටියුබ් චැනල් වලට දැන් දැන් ඔවුන් දෙදෙනා කට ගැස්මකි. මීට කලින් කල්ප බණ්ඩාරතිලක ගේ නමත් එක්ක ගෑවී තිබි තාරකා වල නම් පවා දැන් මිනිසුන්ට අමතක ය. නිශී ඒ තැන ආක්‍රමණය කර තිබෙන්නේ ඒ තරම් බලවත් ලෙසට ය.
කල්ප බණ්ඩාරතිලක ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රවේශ වීමට කලින් ටියුශන් ගුරුවරයෙකි. සන්තුෂී ඔහු හඳුනා ගත්තේ ඇගේ මිතුරිය වන තප්ති නිසා ය. එවකට සන්තුෂී හා තප්ති උසස් පෙළ සඳහා සූදානම් වෙමින් සිටියහ. ඔවුන් දෙදෙනා ම හැදෑරූ විෂයක් වන ආර්ථික විද්‍යාව සඳහා ප්‍රශ්න පත්‍ර පන්තියක් සොයත්දී කල්ප බණ්ඩාරතිලක යන නම තප්ති ට සිහි විය.
“අපේ ගෙවල් පැත්තෙ ඉන්නව කැම්පස් යන අයිය කෙනෙක්. එයා ඉකෝන් ටියුෂන් කරනව කියල මට කවුරු හරි කිව්ව. මං එයාගෙං අහල බලන්නං අපිට පේපර් ක්ලාස් එකක් කරන්න පුළුවන්ද කියල”
ඒ ඇසුර ඇරඹෙන්නේ එසේ ය. කල්ප දක්ෂයෙකු වූයේ ය. ඒ කාලේ සිට ම ඔහු අනංගයෙකු බව සන්තුෂී ට කල්පනා වන්නේ දැන් ය. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නට ඔහු ළඟට ආ ගෑනු ළමයින් දෙදෙනාගෙන් වැඩිපුර අහිංසක හා තැන්පත් ගෑනු ළමයා ට ප්‍රේමයේ පාඩම් කියා දෙන්නට තරම් ඉක්මනින් ම හෙතෙම සමත් වූයේ ය. සන්තුෂී උසස් පෙළ ලියා අවසන් වන විට කල්ප ට ටියුශන් ක්ෂේත්‍රයෙහි සැලකිය යුතු ඉල්ලුමක් තිබිණ. කොහොමටත් ඔහු ආකර්ෂණීය කථිකයෙකු වූයේ ය. සන්තුෂී ගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන විටත් ඇය ඔහු ගේ පතිණිය වී සිටියා ය. ඒ ඇගේ දෙමාපියන් ගේ ආශිර්වාදය ඇතිව නම් නොවේ.
“ඔය සම්බන්දෙ අදම නවත්තන්න ඕනෙ. මේ දැන්ම”
ඒ සම්බන්දය ගැන දැන ගත් වෙලාවේ සන්තුෂී ගේ පියා ගුගුළේ ය. ජීවිතය තුළ ස්ථාවරයක් ගොඩ නගා ගෙන සිටි වැදගත් පුරුෂයෙකු වූ හෙතෙම කල්ප ගැන ප්‍රසන්න ආකල්පයක් දැරුවේ නැත. ටියුශන් කාරයෙකුට වඩා ස්ථාවර මිනිසෙකුට සිය දියණිය පවරා දීමේ උවමනාවක් ද ඊට හැකියාවක් ද සිරිවර්ධන වෙත විය. නමුත් සිය ප්‍රථම ප්‍රේමය ඒ තරම් සරල ලෙස අත් හැර දැමීමක් ගැන සිතා ගන්නට හෝ සන්තුෂී සමත් නොවුණා ය.
“මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ කල්ප. මං මැරෙයි..දෙයියනේ මං මැරෙයි”
ඇය කඳුළින් දිය ව හෙම්බත් වී සිටියා ය. ඇගේ පටු ලෝකය තුළ ඈ දුටුවේ කල්ප බණ්ඩාරතිලක ව පමණි. ඔහු සිය ප්‍රේමය නමැති මායාව තුළ යෞවනිය ගේ ඇස් අඳ කොට තිබිණ. ඔහු ට ම මිස වෙන පිරිමියෙකු අයිති වන්නේ කෙසේ දැයි ඇය දැන සිටියේ නැත. ඔහු තුරුලේ මිස වෙනකෙකු අස සැනසෙන්නේ කෙසේ දැයි ඇයට සිතා ගත හැකි වූයේ නැත. ඇගේ මුළු ආත්මය ඔහු ම විය. ඔහු නැති ලොවක මියෙන්නට මිස තව දුරටත් ජීවත් වන්නට හැකියාවක්වත් උවමනාවක්වත් ඇයට පෙනුණේ නැත.
ඒ අනුව එදා ඒ අවසන් හමුව වෙලාවේ ඔවුහු තීරණයක් ගත්හ. ඒ කිසිවෙකුට නොකියා හදිසි විවාහයකට එළඹෙන්නට ය. මලක් වගේ පරෙස්සමට ගෙදර හැදුණ යුවතිය කල්ප බණ්ඩාරතිලක සමග රහසේ සැඟව ගොස් විවාහ වූවා ය.
එදා සිට මේ දක්වා ජීවිතය මතින් හමා ගිය සැඩ සුළං දෙස ආපසු හැරී බලත්දී සන්තුෂී ගේ බඩ පපුව දැවිල්ල ගනී. ඔවුන් ගේ ප්‍රථම දරුවා වන මේඝ ට උත්පත්තිය දෙත්දී ඇයට වයස අවුරුදු දහ නමය හෝ පසු වී නැත!
කල්ප බණ්ඩාරතිලක ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයේත් දියුණුවේත් හිණි පෙත්ත කරා ගමන් කරමින් සිටියේ ය. මුල දී ඔහු ට වෛර කරමින් සිටි සිරිවර්ධන ඒ තරහ මරහ අමතක කොට යළි දියණිය පිළි ගත්තේ ද කල්ප ගේ දියුණුව දෑස් පනාපිට දැක ගත හැකි වූ නිසාවෙනි. නමුත් ඒ වෙත්දී කල්ප සිටියේ සිය මාමණ්ඩිය තඹ සතයකට හෝ නො සලකා හරින විදිහේ මානසික තත්වයක ය.
ටියුශන් ක්ෂේත්‍රය තුළ ධනවතෙකු වී සිටි කල්ප ට ඒ ධනය යළිත් වරක් ආයෝජනය කළ හැකි තැනක් ලෙස චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හඳුන්වා දුන්නේ ඊට පය ගසා සිටි ඔහු ගේ පරණ මිතුරෙකු විසිනි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ මිතුරා ට හයිය ඇති නිෂ්පාදකවරයෙකු උවමනා වී තිබිණි.
බොහෝ දේ වෙනස් වන්නට ගත්තේ එවක් පටන් ය කියා සිහි කර ගන්නට බැරි කමක් සන්තුෂී ට නැත. මුදල් වලින් අග හිඟයක් නැති, නමුත් ආදරයේ ඇලුම් බැලුම් අතින් හිඟ වෙවී යන මහා මන්දිරයක ඇය හුදෙකලා වෙමින් සිටියා ය. උදයට ගෙදරින් පිට ව යන කල්ප යළි පැමිණියේ රෑ බෝ වූ පසුව ය. කාලයත් එක්ක එහි ද වෙනස්කම් සිදු වෙමින් ඇතැම් රැයක හෝ රැයවල් කිහිපයක් එක දිගට ද ඔහු ගෙදර එන එක මගහැරී යන්නට විය.
ඒ සියල්ල සිදු වූයේ ඉතා හෙමිහිට ය. සිදු වෙමින් පවත්නා බවක් හෝ නො දැනෙන තරම් හෙමිහිට ය. නමුත් යමක් සිදු වෙමින් පැවති බවක් සන්තුෂී ට නො දැනුණා ම නොවේ!
පවුලේ හෝ සමීප හිතවතුන් ගේ මගුලක් මරණයක් හෝ දාන මාන කටයුත්තක් වෙනුවෙන් හෝ කෙරෙනා ආරාධනයකට ඇය ට යන්න සිදු වූයේ දරු දෙදෙනා සමග හෝ තනිව ය.
“අනේ කල්ප. මිනිස්සු ඔයාව අහනකොට මං මොනා කියන්නද…”
මුලදී ඇය එවැනි කන්කෙඳිරියක් නැගුවා ය.
“මට වැඩ කියන්න..කොහොමත් මං වැඩනෙ. ඕවයෙ රස්තියාදු වෙවී ඉන්න මට වෙලාවක් නෑ”
ඔහු හිත් පිත් නැත්තෙකු සේ කීවේ ය. හිත රිදී තිබුණා වුණත් සන්තුෂී ඔහු කී ලෙස ම කළා ය. සැබවින් වෙන කරන්නට යමක් තිබුණේ නැත.
“එයාට වැඩ…හුස්ම ගන්නවත් වෙලාවක් නෑ අනේ. එයත් එක්ක එන්න හිටියනං මටත් එන්න වෙන්නෑ”
කෘතීම සිනහවක් එක්ක එවන් රංගනයක යෙදෙන්නට සිදු වූ අලුත සන්තුෂී එය කළේ මඳ අපහසුවකිනි. නමුත් කාලයත් සමග ඇයට එය හුරු විය. කැමැත්තෙන් නැතද අකමැත්තෙන් හෝ ඇයට ඒ ජීවිතයට හුරු වන්නට සිදු විය. නූල අත්හැරුණ සරුංගලයක් සේ කල්ප ඇගේ අහසේ ඈතට ඈතට පා වෙමින් යන බව දැනෙත්දී සන්තුෂී ඇතුළාන්තයෙන් දැවුණා ය. ඒ ගැන ඔහුත් එක්ක කතා කරන්නට ගිය කිහිප විටෙක ම සිදු වූයේ කල්ප නොරිස්සුම් වෙන එකයි.
“සන්තු මේ..ඔයා වගේ ගෙයි ගෙම්බෙක් නෙවෙයි මං. ලෝකෙත් එක්ක ගනු දෙනු කරන මනුස්සයෙක්. කරුණාකරල මගෙ දේවල් වලට ඇඟිලි ගහන්නැතුව ඉන්න. මං මේ ගෙදරට මුකුත් අඩු පාඩුවක් කරල නෑනෙ. අන්න එහෙම වුණානං ඔයාට පුළුවන් මට චෝදනා කරන්න”
කල්ප කීවා සේ ම භෞතික වශයෙන් කිසිදු අඩුපාඩුවක් ඒ ගේ ඇතුළේ වූයේ නැත. හිස් වෙමින් තිබුණේ සන්තුෂී ගේ හදවත ය. කල්පට ඒ පිළිබඳ ඒත්තු ගැන්වීමට තැත් දැරීම පවා ගඟට කැපු ඉණි සේ අපතේ ම ගියේ ය.
දරු දෙදෙනා වයසින් ද උසින් මහතින් ද ලොකු වෙමින් සිටියහ. ඔවුන් ඔවුන්ගේ ම ය කියා ලෝක ගොඩනගා ගත්දී සන්තුෂී තව තවත් මන්දිරයක් ඇතුළේ හුදෙකලාවේ ගිළුණා ය. අවුරුදු දහ අට වෙත්දී ඔවුන් බටහිර රට වල සිය සිය ලෝක පුළුල් කර ගනිමින් යත්දී සන්තුෂී නිහඬ ව නිසල ව සිටියේ පුළුවන් කමකට නොවේ. අත්තටු සවිමත් වූ පසු පැටවුන් කූඩුවේ සිර ගත කළ නො හැකි බව දැන සිටි නිසා ය.
“මං ලොකු ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්. මං දැන් වයසයි”
විටෙක ඇය එසේ සිතුවා ය. කැඩපතෙන් පෙනෙනා ඇගේ රුව ඒ තරම් වියපත් පෙනුමක් ගැන කතාවක් කීවේ නැත. නමුත් අවුරුදු හතළිහක් පිරෙත්දී ඇය දරුවන් ගෙන් ද ඈත් වූ හුදෙකලා මවක වී සිටියා ය.
දරුවන් ලද පසු පිරිමින් ට වැඩිය වේගයෙන් ස්ත්‍රීන් වියපත් වන බව ආච්චි අම්මා කියනු ඇය අසා තිබේ. නමුත් පිරිමින් තිරිහන් වෙන්නට ගන්නේ හතළිහ පසු වූ විටලු!
ඒ කතා සත්‍ය දැයි ඇය කල්ප හා තමන්ව ම උදාහරණ කොට ගනිමින් සිතුවා ය. ඔහු කොහොමටත් කදිම පෙනුමැති තරුණයෙකි. ඇයට ඔහු මුලින් හමු වූ එදාත් අදත් අතරේ ඔහු ගේ පෙනුමේ වෙනසක් වී ඇත්නම් ඒ එදාට වඩා පිරිපුන් බවක් දැරීම හා එදාටත් වඩා පෞරුෂයෙන් අනූන වීම ය. පන්ති වලට එන ගෑනු ළමයින් අලලා ඔහු ගැන මුලදී කතා හැදිණ.
“මට තරං පන්ති වලට ළමයි නැති ඊරිසියාකාරයො හදන කතා”
ඒ ගැන කල්ප ට කියන්නට තිබුණේ එහෙව් කතාවකි.
“අපේ ළමයිනුත් දැන් ලොකුයි. මේ වගේ කතා එයාලට වුණත් නරක විදිහට බලපාන්න පුළුවන්”
සන්තුෂී දෙඩුවේ ඉතා ඉවසිලිවත් බවකිනි. නමුත් කල්ප කුණාටුවක් සේ කලබල වූයේ ය.
“ඉතිං මොන ම ගු ලක්ද මට කරන්න කියන්නෙ…මට පුළුවන් ද එක එකාලගෙ කටවල් වහල තියන්න. තමුන්ටත් ඉන්න බැරිනං යන එකයි තියෙන්නෙ”
විටෙක එසේ හැසිරුණ ද තවත් විටෙක ඔහු හැසිරුණේ ඉතා හොඳ ස්වාමි පුරුෂයෙකු සේ ය. සන්තුෂී සමග හොඳින් කතා බහ කොට විහිළුවක් තහළුවක් කොට ගෙදර අවශ්‍යතා ගැන විමසා ඇති තරම් මුදල් ඇයට ලබා දෙයි.
“නිකං මනස්ගාත හිත හිත ඉන්නෙ නැතුව සැලෝන් එකකට ගිහිං ෆේෂල් එකක් එහෙම දාගෙන…ලස්සන ඇඳුම් ටිකක් අරං හොඳට ඇඳල කාල බීල සතුටෙන් ඉන්න. මං ගැන හොය හොය ගෙට වෙලා පුපුර පුපුර ඉන්නෙ නැතුව”
ඒ වගේ වෙලාවක කල්ප ගේ මුහුණේ ඇඳෙනා සිනහව හිටි හැටියේ සන්තූෂීව උස්සා අතීතයට විසි කරයි. මීට විසි වසරකට පෙර ඇය වසඟ වූයේ ඔහු ගේ ඒ අයස්කාන්ත සිනහවට බව හදිසියේ ම ඇයට සිහිපත් වෙයි. අවුරුදු විස්සක්! ඒ අවුරුදු විස්ස ඇයට දැනෙන්නේ අවුරුදු දෙසීයක් වාගේ ය. ඒ තරම් දික්ව ය. මුල් වසර කිහිපයෙන් පසු ඔහු ඇගේ ලෝකයේ සිටියේ ම නැති නිසා හා ඉකුත් වසර විස්සකට ආසන්න කාලය දැඩි ආතතියකින් යුතුව ගත කරන්නට සිදු වූ නිසා ඒ තරම් දීර්ඝ ලෙස ඒ කාලය ඇයට දැනෙනවා විය යුතු ය.
“අනේ මට ඕන්නැති සැලෝන් එකක් නෑ. මං නිළියක් නෙවේනෙ. මං නිකංම නිකං ගෑනියෙක් විතරයි. කසාද මනුස්සයෙක් කියල හිටියට ඒ මනුස්සය ළඟ මං වෙනුවෙන් වෙන් කරන්න එක පැයක් නැති…දරුවො දෙන්නෙක් හැදුවට ඒ අය ළඟක නැති ගෑනියෙක්”
ඒ කතාව තවත් දිග්ගස්සා ගැනීමට වන නො කැමැත්තෙන් කල්ප එතැනින් ලිස්සා ගියේ ය. නමුත් සන්තුෂී සැලෝන් යන්නට පටන් ගත්තේ ඒ කතාවෙන් දෙතුන් දිනකට පස්සේ සිට ය. කල්ප ඇසුරු කරනා නිළියන් වාගේ පෙනුමට සිටීම ඔහු ව ඇගේ ලෝකයෙහි නතර කර ගැනීම සඳහා ඉතිරි වී ඇති එක ම මග වශයෙන් ඇය දුටුවා ය. නමුත් සිය බාහිර පෙනුමෙහි සිදු වූ වෙනස්කම් මත කල්ප ගේ වෙනස්වීම් යළි හැරවිය නො හැකි බව දැන් ඇය තේරුම් ගෙන තිබේ. නමුත් ඔහු වෙනුවෙන් නොව ඇය වෙනුවෙන් දැන් සන්තුෂී ට වයසට නොයා සිටින්නට ඕනෑ ය. අවුරුදු විස්සක් තිස්සේ අපතේ ගිය සිය යෞවනය තව දුරටත් ගිලිහී යන්නට නොදී තදින් අල්ලා ගෙන සිටින්නට ඇයට ඕනෑ ය.
ඕනෑ ම දෙයක් හඬා දොඩා අයැද සිටීම හෝ කෝප ගෙන කෑ කෝ ගැසීම එපා වන දිනයක් එයි. සුළි කුණාටු වලින් පසු පරිසරය වුව අසාමාන්‍ය ලෙස සන්සුන් වේ.
“අපේ ජීවිතේ අපේ. අපේ ජීවිතේ සතුට හොයා ගන්න ඕන අපි. පිරිමි අපිට බන්දේසියක තියල සතුට ගෙනත් දෙයි කියල හිතන තාක් කල් ගෑනියෙක්ට ජීවිතේ අපායක් කර ගන්නයි වෙන්නෙ”
අවසාන වශයෙන් තප්ති ව මුණ ගැසුණු දිනයේ සන්තුෂී උද්‍යෝගීමත් ලෙස කීවා ය. මිතුරිය ගේ බැල්මේ භීතියක් රැඳී තිබි බවක් සිහි වී මේ මොහොතේත් සන්තුෂී ගේ දෙතොල් අතරට සිනහවක් ආවේ ය.
“ඔයා හදන්නෙ කල්පගෙන් ඩිවෝස් වෙන්නද…”
ඒ වෙලාවේ සන්තුෂී හඬ නගා සිනහ වූවා ය.
“තාම එහෙම ඕන වෙලා නෑ. ඩිවෝස් නොවුණයි ඩිවෝස් වුණයි කියල වෙනසකුත් නෑනෙ. මගෙ ජීවිතේ මං ගෙවනව…එයාගෙ ජීවිතේ එයා ගෙවනව”
ඇස් වල දීප්තියක් තවරා ගෙන නො සැලෙන ස්වරයකින් එසේ කීවාට සන්තුෂී ගේ හදවත පුරා තිබුණේ පාළු හුදෙකලා හිස් බවකි. ඒ හිස් බව පුරවා ගනු වස් කුමක් කළ යුතු ද කියා ඇය නිශ්චිත ව දැන නො සිටියා ය. රූපලාවන්‍යාගාර වෙත ගියා කියා හෝ දිනෙන් දින තුරුණු වන රුවක් නඩත්තු කළා ය කියා ඒ හුදෙකලාව හෝ හිස් බව විස්ථාපනය කළ හැකි වූවා නොවේ. නමුත් බාහිර වශයෙන් ඇය තමන් තෘප්ත කර ගනිමින් සිටියා ය.