“මට එක දෙයක් හොඳාකාරවම පැහැදිලි.”
රුවිනි මිතුරිය දෙස බැලුවේ උපේක්ෂාවෙන් ය. මලිතිට ඒ මුහුණ දෙස නොබලා රාජකාරි කරන්නට සිත් විය. සියල්ලන්ට වැඩ කටයුතු පසෙක තබා ක්‍රිකට් තරගයකට ඇස අලවා ගෙන ඉද්දී පවා වැඩ කරන්නට සිතෙන්නේ ඇයි?
ඒ රුවිනි මඟ හරින්නට බව ඇයට සිතේ. කරන්නට සිතෙන එකම දෙය ඇය මඟ හැරීම ය. රුවිනි ඕනෑවටත් වඩා ඇය කියවා ගන්නා නිසා කළ යුතු වන්නේ මිතුරියව මඟ හැරීම ය.
“පුදුම උනන්දුවකින් වැඩ කරාට ඔයාගේ අතින් මේ දවස්වල පුදුම තරමට වැරදි වෙනව හොඳේ.”
උදිතගේ හඬට ඇය හැරී බැලුවා ය. සාමාන්‍යයෙන් උදිත කිසිවෙකුටත් වැරදි නොකියන පන්නයේ මිනිසෙකි. නමුත් ඔහු එසේ කියන්නට පසුබට නොවූයේ තමන් එතරමට දේවල් පටලාගෙන හන්දා ද?
“ඔළුව අවුල් වෙනව කියන්නේ අපි කරන හැම වැඩක්ම අවුල් වෙන එක.”
ඒ සුදු අම්මාගේ ආදර්ශ පාඨය ය. ඈ ජීවිතයේ කිසිදා ඔළුව අවුල් කර නොගත් ගැහැනියකි.
“මිනියක් මරලා හරි මට ඇවිල්ල අම්මට කියන්න පුලුවං. ඒ සැනසීම නැත්තං අද මං නෑ.”
තාත්තා එසේ කියන්නේ දන්නා කාලයේ පටන් ය. ප්‍රේමය ප්‍රමාද වී පවා මුණ ගැසෙන්නට හැකි බව මලිති උගත්තේ වෙන කාගෙන්වත් නොවේ. තාත්තාගෙන් සහ සුදු අම්මාගෙනි. සුදු අම්මා ඇයව දරා ගන්නට ළමා මනෝ විද්‍යාව පවා හැදෑරූ බව දැන ගත් කාලයේ ඇය සුදු අම්මාට ආත්ම ගණනක් ණය බව මලිති සිතුවා ය. ඇය තවමත් ඒ විශ්වාසයේ එල්බගෙන සිටියා ය.
“උදිත ඇවිල්ලා කියලා ගිය දේයි ඔයා දැන් මට කියපු දේයි එක්ක ඔයාගේ ඔළුවෙ තියෙන දේ ගැන මම කියන්නද? මං දැන් විනාඩි විස්සක් විතර බලාගෙන ඉන්නෙ මට ඒ හොඳාකාරවම හොඳාකාරව ම පැහැදිලිව කියන්න.”
රුවිනි මිතුරිය අත්හරින්නට සූදානම් නැත. ඇය අසා නොසිටින මොහොතක පවා බලහත්කාරයෙන් හෝ කියන්නට ඕනෑ දේ පැවසීම රුවිනිගේ පුරුද්ද ය.
“ඔයා එක්කෝ තුහින නිසා සන්තෝසෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. නැත්තං වෙන කවදාටත් වඩා ඔයා ඔයාව නැති කරගන්නව. මට තියන බය ඔය දෙකෙන් මොකක් උනත් ඒක බලාගෙන ඉන්න සිද්ද වෙන එකම මනුස්සය මම වෙන එක.”
එය සත්‍යයකි. සිදුවන්නේ කුමක් වුවත් මලිති ව දරා ගන්නට සිදුවන්නේ රුවිනිට ය.
“කමක් නෑ. උඹට හොඳයි කියලා හිතෙන දෙයක් කරපන්..මං ඉන්නව. එක අතකට මිනිස්සු තමන්ට උඩයි කියලා හිතෙන දේවල් කරල වරද්දා ගත්තත් මොකද? අඩුම පැයකට හරි සැනසිල්ලෙ ඉඳලනෙ.”
මලිති ඝෝෂාකාරී පරිසරය නෑසෙන්නට ඉයර් ෆෝන් යුගලය පැලඳ ගත්තා ය. ඇය තමන්ගෙන් මිදෙන්නට කළ දෙයක් බව සිතූ රුවිනි තමන්ගේ වැඩක් කර ගන්නට සිතුවා ය.
රිදුණු තැන් ජීවිතේ බෝමා
කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
සීතලෙන් ගැහෙනා
ඒ කඳුලු බිඳුවට නමක් තියමුද
“ආදරේ” කියලා
පිසලන්න ඕනෙත් නෑ
සනසන්න ඕනෙත් නෑ
හුස්ම හිරවෙන වෙලාවට විතරක්
පිරිමදිනු ලය මා..
ලං වෙන්න ඕනෙත් නෑ
වෙන් වෙන්න ඕනෙත් නැ
හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත්
අපිට අපි දුර නෑ
ඒ ගීය ගැයෙන්නේ තමා වෙනුවෙන් බව මලිති සිතුවා ය. ඔහුට එය යවන්නට තරම් ආවේගයක් ඇයට ඇති විණ. සමහර ආවේග ඇතිවූ සැනින් ඉන් මිදී නොගතහොත් ඒ ක්‍රියා සිදුවන්නේ අනිච්ඡානුණි ද මලිති ඒ ගීතය තුහිනට යවා තිබිණ. මහා මකාදැමීමේ උවමනාව ඇති වුණ ද ඔහු එය වහා කියවූ බවට නිල් හරි සළකුණු දෙකකින් තහවුරු විය. මලිති ගැහෙන්නට ගත්තා ය.
“මං ඉන්නෙ මහා වේදනාවකින්.ලැජ්ජාවකින්. ඔයා ඉන්න ප්‍රශ්නේ මම දන්නෙවත් නෑ. මම පොඩි කාලේ පිස්සු වගේ ඔයාට ආදරේ කරා තමයි. ඒත් මේ වෙලාවේ මගේ දරුවාට ඇරෙන්න කිසිම කෙනෙක් ගැන මට කිසිම ආදරයක් ඇති වෙන්නේ නෑ. අම්මත් නංගි වුණත් ඉන්නවනම් ඉඳපුදෙන් කියන හැඟීම මිස වෙන කිසි දෙයක් මට දැනෙන් නෑ.”
ඔහු තව දුරටත් ලියයි. ප්‍රතික්ෂේප වීම මොන තරම් වේදනාවක් ඇය සිතුවා ය. නවීන් අතින් ඈ නිහඬ ප්‍රතික්ෂේප වීමට ලක්වේ. තුහින හේතු පැහැදිලි කරමින් ඇය ප්‍රතික්ෂේප කරයි.
“මලී, අපි කවදාවත් කඳුළු බිංදුවකට ආදරෙයි කියන නම තියන්න ඕනේ නෑ. ඉස්සරලම ඔයත් මාත් දෙන්නම හිනා වෙන්න පටන් ගන්න ඕන. අපේ වැරැද්දෙන් හරි අපි තෝරගත්ත මිනිස්සුන්ගෙ වැරැද්දෙන් හරි අපි දැන් හොඳටම අඬන මිනිස්සු. ඉස්සරලම හිනා වෙන්න උත්සාහ කරමු. හොඳටම අඬ අඬ ළං වෙලා රිද්දා ගන්න ඕන නෑ.”
පළමු පණිවිඩයට වඩා දෙවැනි පණිවිඩය බොහෝ වෙනස්ය. කතාබහ කර දේවල් විසඳාගන්නා මිනිසුන් සමග ගනුදෙනු කිරීම අසීරු නැතැයි ඇයට කියා දුන්නේ සුදු අම්මා බව මලිති සිහි කළා ය. තමන් ගන්නා තීරණ සාධාරණීකරණය කිරීමම යහපත් ලක්ෂණයකි.මලිති තුහිනගේ තීරණයට අවනත වන්නට සිතා ගත්තා ය.