රිදුණු තටු පිරිමදිමි – 10

එදා දවසේ ම සන්තුෂී ගේ හිතට සුවයක් වූයේ නැත. ඇනුණු කටුවක් පැටළෙමින් නිතර රිදුම් ගෙන ආවේ ය. ඒ රිදුම් වලට නිශ්චිත එක හේතුවක් කියා නැත්තේ ය. එය තනිකමක් පිළිබඳ එකක් කියා පමණක් ඇය දැන සිටියා ය. සන්තුෂී දැන් තනි කමට හරි බය ය. දැන් පමණකුදු නොව ඈ තනි වී ගෙන යන බව දැනුණු මුල් කාලයේ ම ඈ ඒ බියෙන් ඇලලී ගියා ය. ඒ බියත් තනිකමත් කියන දෙක ම නැති කර ගනු වස් ඇය කළේ පුළුවන් තරම් ගෙදර වැඩ කරන එක ය. උදේ පාන්දර අවදි වූ මොහොතේ පටන් දරු දෙදෙනා පාසල් වෑන් රියට නග්ගවන තුරු ඇය ඔවුන් වෙනුවෙන් උදෑසනට කළ යුතු සියලු දේ කළා ය. ඉන් පසු ගේ දොර අතු ගෑම, රෙදි සේදීම, මොප් කිරීම, නාන කාමර සේදීම, මල් පැළ වලට වතුර දැමීම, අව්වේ කර වෙමින් රෙදි වේලීම, වේළුණ පසු ඒවා නැවීම, ඉවීම, කඩේ පිළේ යාම,ළමයි පන්ති ගෙන යාම සහ ගෙන ඒම, ඔවුන් ගේ පාඩම් වැඩ බැලීම…තවත් වෙලාව ඉතුරු වුණොත් ඕ රූපවාහිනියේ ටෙලි නාටකයක් හෝ රියැලිටි වැඩසටහනක් ද බැලුවා ය. නවා තිබෙන අල්මාරියේ ඇඳුම් පිටතට දමා නැවත නවා තැබුවා ය. පැන්ට්‍රි කබඩ් ඇදගෙන ඒවායේ බඩු නැවත අස් පස් කළා ය. වැඩ කිරීමෙන් ඇය ඇයට නොදී සිටියේ සිතත් එක්ක තනි වීමේ ඉඩයි. හිතත් එක්ක තනි වෙන එක තරම් භයානක මොහොතක් තවත් නැති බව සන්තුෂී ඉඳුරා දැන සිටියා ය.

වසර ගණනාවකට පසු අද ඇය සිටින්නේ වෙන ම තැනක ය. ගේ ඇතුළේ තමන් ගේ ම සිරකාරියක වීමෙන් නිදහස් වනු වස් ඇය තමන් සමග ම දැවැන්ත සටනක් කළා ය. ඒ සටනින් දිනා ජයග්‍රාහී ගැහැනියක ලෙස සමාජය ඉදිරියට ආවා ය. බාහිර වශයෙන් කවර විපර්යාසයක් සිදුව තිබිණි ද ඇගේ අභ්‍යන්තරය තවමත් එදා වාගේ ම බව පිළි ගත යුතු ව තිබේ. නමුත් එසේ පිළි ගන්නට වීමත් සන්තුෂී ගේ අභ්‍යන්තරය දෙදරවාලයි.

වැඩ කිරීමට අමතරව දැන් ඇය කවුරුන් හෝ පිරිවරාගෙන ඉන්නට වඩාත් රිසි ය. එය ඇයට ආරක්ෂිත හැඟීමක් දනවයි. මොනවා හෝ වැඩක් ඇති හෝ නැති දෙයක් කියවමින් ගෑනු ළමයින් සමග සල්ලාපයේ යෙදීම තත්පර ගත වීම පහසු කරයි. ඉස්සර වඩාත් නිශ්ශබ්ද චරිතයක් වූ ඕ දැන් රූපලාවන්‍යාගාරයට පැමිණෙන හැම කෙනෙකු සමග ම කතාවක් ඇද ගනී. ඒ මොහොතට ඇයට එය සහනයකි. තමන්ගේ ම සිත කියනා උසාවිය ඉදිරියේ පෙනී සිටින්නට වීමේ බියකින් නිරන්තර ඇය පෙළෙන්නට වූවා ය. එතැනදී ඇය අසරණ වන්නේ කාත් කවුරුත් නැති අසරණියක ලෙසට ය. හිතට සතුටක් සැනසුමක් දෙන්නට අසමත් වූ ඒ යුග දිවිය නමැති පරණ පැදුරු කඩමාල්ලේ කොනක ලිහී එල්ලෙන පන් රැලක තවමත් එල්ලී ඉන්නේ කශේරුවක් නැතිවද කියා හදවත් උසාවිය නගනා පැනය ඉදිරියේ ඇය නිරුත්තර ය!

එදා ඇය තරමක් වේලාසන සැලොන් එක වසා මහ ගෙදර ගියා ය. අම්මා තවමත් එහි තනි ව වසන්නී ය. තාත්තා, සිරිවර්ධන මිය ගිය අලුත සන්තුෂී බලයෙන් ම වාගේ අම්මා ව ඇය වෙත කැටිව ආවා ය. නමුත් නැන්දම්මාට හා බෑණා ට වැඩි කලක් එක වහළ යට දිවි ගෙවිය නො හැකි වූයේ ය. කල්ප ගේ විෂම චර්යාව දෙස බලා නිහඬව සිටීමේ හැකියාවක් ඇයට නොවූවේ ඇය සන්තුෂී ගේ අම්මා නිසා ය. බෑණාව නැන්දම්මා ට රිස්සුවේ නැත. නැන්දම්මා සිය පෞද්ගලික ජීවිතයට අත පෙවීම බෑණා ට රිස්සුවේ නැත. ඒ නොරිස්සුම වචන වලට පරිවර්තනය වී උනුන් ගේ මුහුණු වෙතට දමා ගසනා තත්වයට පත් වූ ඉක්බිති ස්වර්ණකාන්ති සිරිවර්ධන තීරණයක් ගත්තා ය. ඒ යළිත් මහ ගෙදර පදිංචියට යාමට ය.

“එහෙනං අම්ම අයිය ළඟට යන්න”

සන්තුෂී බැගෑපත් වූවා ය. ස්වර්ණකාන්ති මඳහසක් පෑවා ය. ඇයට දියණිය පෙනුණේ තවමත් ඈ තුරුලේ උන් හයක් හතරක් නො තේරෙන දැරිවිය සේම ය.

“බෑණත් එක්ක ඉන්න බැරි එකේ ලේලිත් එක්ක කොහොමත් ඉන්න බෑ චූටි පුතා. අනික මං කැමතියි නිදහසේ ජීවත් වෙන්න. මගෙ විදිහට…කාගෙවත් වචන අහගන්නෙ නැතුව. එහෙම නිදහසේ ඉන්න තාත්ත මට තැනකුයි පොත් පත් වල සල්ලි ටිකකුයි ඉතුරු කරලනෙ ගියේ. ඒ නිදහස අනිත් කොයි දේටත් වැඩිය මට වටිනව”

කියමින් ඕ මහ ගෙදර යළිත් සිය ජීවිතය ඇරඹුවේ තනි නොතනියට සේවිකාවක ද සොයා ගෙන ය. ඇයට සාපේක්ෂව ජීවිතය ගැන අභීත ව තීරණ ගැනීමේ හැකියාවක් තවමත් අම්මාට වෙතැයි සන්තුෂී ට සිතිණ.

“අම්ම මෙහෙම තනියම ඉන්න එක මගෙ හිතට හරි මදි අම්මෙ”

හැමදාමත් මහ ගෙදර ගිය විට සන්තුෂී අම්මා ට කියන කතාව මෙදාත් කීවා ය. හැමදාමත් මුව මත ඇඳෙනා නොවෙනස් සිනහව මේ මොහොතේත් ස්වර්ණකාන්ති ගේ මුහුණේ සිත්තම් විණි.

“මට තනියක් නෑ චූටි පුතා. නන්දා ඉන්නවනෙ. අනික තනියම ඉපදෙන තනියම මැරෙන අපි තනියම ජීවත් වෙන්න බය වෙන්නෙ මොකටද…”

දුරකතන ඇමතුමක් දුන් ගමන් ගේ දොරකඩට එන ත්‍රීරෝද රථ දෙකක් ස්වර්ණකාන්ති ඇසුරේ තිබිණ. ඇය දණහිස් අමාරුවට බෙහෙත් ගන්නත්, පන්සලටත්, බඩු ටිකක් ගන්න හන්දියටත් ගියේ එයින් එකක ය. සන්තුෂී ත් ඇගේ වැඩිමහල් සොයුරාත් දෙදෙනා ම දිනපතා දෙන දුරකතන ඇමතුමකින් ඈ ගැන සොයා බැලූහ. ස්වර්ණකාන්ති කොහොමත් හිතින් ශක්තිමත් ගැහැනියක වූවා ය. ඇයට කල්ප රිස්සුවේ නැත්තේ එබැවිනි. ඇය වන් ගැහැනියක නම් කල්ප වාගේ චර්යාවක් ඇති පුරුෂයෙකු සමග මේ සා කාලයක් එක දිවියක් ගත නොකරනු ඇති බව ඇය දැන සිටියා ය. නමුත් දියණියට පවුල කඩා ඉහිරවා ගන්නා ලෙසට කිසි දාක ඇය විසින් උපදෙස් නොදෙනා ලදී.

“ජීවිතේ කියන්නෙ තණ අග පිනි බින්දුවක් කියන කතාව ඇස් පනාපිට ඔප්පු කරල තාත්තා යන්න ගියා. අපි කවුරුත් මරණය ඇවිත් කතා කරනකල් ඉන්න ඕනනෙ. ඉතින් සැහැල්ලුවෙන් උදා වෙන දවස ගත කරන එකයි තියෙන්නෙ. බැරිම කාලයක් ආවොත්  එල්ඩර්ස් හෝම් එකකට යනව”

සන්තුෂී ගේ පපුවට කුළු ගෙඩි පහරක් වැදිණ. 

“අම්ම මොනාද මේ කියන්නෙ…තාත්ත නැති වුණත් ඔයාට දරුවො දෙන්නෙක් ඉන්නවනෙ”

“දෙමව්පියො වුණත් දරුවන්ට කරදරයක් නොවෙන්න ඉන්නයි ඕනෙ චූටි පුතා. මේව මේ සමාජෙ විවෘතව කතා කරන්න බය වුණාට…මන්නං කියන්නෙ අපිට අත පය වාරු නැති කාලෙක දරුවන්ට බලන්න අමාරුනං හොඳම දේ එයාලගෙ පවුල් වල ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව එහෙම තැනක නතර වෙන එක. මාසෙකට ගානක් ගෙවල වුණත්…සැප පහසුවට ඉන්න පුළුවන් ලෙඩට දුකට බලන තැනක්නං මොකද…තනියම ඉන්නවට වැඩිය වැඩිහිටි අය ගොඩක් අතරෙ ඉන්න එක මන්නං කියන්නෙ දුකක් නෙවෙයි සතුටක් කර ගන්නයි ඕනෙ”

“අම්මව මං එහෙම තැනක තියන්නෑ”

සන්තුෂී  එසේ කීවේ ඇස් කෙවෙනි දැවිල්ල ගෙන උගුරේ රිදීමක් ද පැතිරෙත්දී ය. කීවා සේම ඇය එසේ කරනු ද ඇති බව සන්තුෂී දැන සිටියා ය. කල්ප සමග ගෙවන යුග දිවියෙහි ඇති වූ අටෝරාශියක් ප්‍රශ්න වලදී අකුලා ගෙන මහ ගෙදර යන්න උපන් සිතිවිල්ල ඈ හකුලා ගත්තේ ඉන් දෙමාපියන්ට අපකීර්තියක් අත් වෙතැයි බියෙනි. සිරිවර්ධන පවුල ගමේ ගෞරවයක් ඇති ව වැජඹුණු පවුලකි. පාසල් දිවිය නිම කළ ගමන් සන්තුෂී තනි මතයට හිතුවක්කාර විවාහයකට එළඹීමෙන් ඒ ගෞරවයේ යම් තැනක කළු පැල්ලමක් ඇති වූ බව ඇය දනී. දැන් එය ගමේ මිනිසුන් ගේ මතකයෙන් ඈතට ගොස් තිබිණි ද සන්තුෂී විවාහය බිඳ ගෙන යළි ගෙදර ආවේ වී නම් පෙර වැරදි ද පෙර මතක ද ගම්මුන් ගේ මනස් වල අළු ගසා දමා නැගී සිටිනු ඇත. දරා ගත නො හැකි බරක් වුව තනිව දරා සිටිනු විනා අපවාදයේ අඳුරු සෙවනැලි දෙමාපියන්ගේ කීර්තිමත් හා නිවහල් දිවිය මත වැටෙන්නට නොදෙන්නෙමැයි සන්තුෂී තරයේ අදිටන් කර ගෙන සිටියා ය.

එදා ඇය ගෙදර ගියේත් බරක් හද පටවා ගෙන ය. දෙමාපියන් කෙතරම් සිතින් සවිමත් වී ද වියපත් වෙත්දී තනිය කියන්නේ ඔවුන් ට දරා ගත නො හැකි වූවකි. මේ වයසේ ඇය තනි කමට මේ තරම් බිය එකේ අම්මා ගේ ඇතුළාන්තය කෙසේ විය හැකි දැයි සන්තුෂී සිතුවා ය. වැඩිහිටි නිවාසයක් ගැන හිතන්නට තරම් ලෝකයෙහි ඇය තනි වූ බවට හැඟීමක් අම්මා ට දැනී තිබේ.

සමහර වෙලාවට හේතුවක් නැතත් හඬන්නට පුළුවන. සන්තුෂී ඕනෑ තරම් එහෙම හඬා තිබේ. දිය නාන ගමන් ඇය ඇති තරම් හඬන්නට කඳුළු වලට ඉඩ දුන්නා ය.

“ආ යූ ඕකේ නව්..” ලෙස ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණ කෙටි පණිවිඩයක්, සන්තුෂී දිය නා එනතුරු දුරකතනයෙහි බලා සිටියේ ය.  ඇගේ දෙතොල් තද වී සිනහවක් නැගුණේ නිරායාසයෙනි. හරියට එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් සිටියා මෙනි. පසුවට කතා කරන්නම් කියා උදේ අංජනට කීවාට ඇය එසේ නොකර සිටියේ හිතා මතා ම ය. පිටස්තර පිරිමියෙකු ඉදිරියේ අනවශ්‍ය තරමට හදවත විවෘත කරන්නට සිදු වීම ගැන සැබවින් ම ඇය තරමක් පසුතැවුණා ය. තප්තිට මේ ගැන කීවේ නම් හොඳ බැණුමක් අසා ගන්නට වෙන බව ඇය දනී. 

පණිවිඩය ලබන්නා එය දුටු බවට නිල් පාට හරි ලකුණු දෙක සලකුණු කොට සිටියදී අංජන ගේ මුහුණට ආවේත් එවන් සිනාවකි. සමහර හමුවීම් සිදු වන්නේ ඉතා අහම්බෙනි. නමුත් ඒවා ඉතා ඉක්මනින් හදවතට සමීප වන්නා වූ හමුවීම් වේ. සන්තුෂී හා අංජන කියන්නේත් එහෙම හමු වීමකි. සදෙව්මා හැරෙන්නට ඔවුන්ට පොදු මාතෘකාවක් නැත්තේ ය. නමුත් අතිශය පුළුල් මිටියාවතක් අභිමුව සිටිනා අයෙකුට පරක් තෙරක් නැති නිල්වන් පලසක් දිස් වන්නා සේ, තමන් අභිමුව මහා පොදු අවකාශයක් විවර වී ඇති බවට, තේරුම් ගත නොහැකි සිතිවිලි මාත්‍රයක් ඔවුන් ගේ යටි හිත් වලට ඉඟි කරමින් තිබිණි. සන්තුෂී සේ ම අංජන ද ඒ ඉඟිය ගැන වටහා ගැනීමේ උනන්දුවකින් තොරව ම ඒ මිටියාවත දෙස බලා සිටින්නෝ වූහ.

ඒ නිල් පාට හරි ලකුණු දෙක දැකීමත් එක්ක ම අංජන ගේ අතැඟිල්ල රිසීවර සලකුණ මත නතර වූයේ නිරායාසයෙනි. ෆේස් බුක් ඔස්සේ ලැබෙන නන්නාඳුනන ඇමතුම් සිත් පිත් නැති ලෙස බිඳ දමන, ඒ ඇමතුම් ගන්නා නාඳුනන පුද්ගලයන් ව බ්ලොක් කර දමන සන්තුෂී ට අංජන නන්නාඳුනන්නෙකු සේ දැනුණේ නැත. ඇය ට ඔහු ගැන දැනුණේ පීතෘ ස්නේහය හා සබැඳි හැඟීමකි.

“නිවුස් එකක් නෑ නේද…”

පසුගාමී හඬක් ඔහු වෙත විය.

“නෑනෙ”

නමුත් සන්තුෂී කතා කළේ උනන්දුවෙනි.

“මේක හරියන්නෑ. එයා ආයෙ අපේ සැලෝන් එකට එයි කියල ලොකුවට හෝප්ස් තියා ගන්න බෑ. අපි වෙන විදිහක් බලමු”

ඇය ඔහු ට වෙන අතක් බලා ගන්නයි කියනු වෙනුවට වෙන විදිහක් බලමු කියා කීවේ එය කිසි සේත් ඔහු ගේ ප්‍රශ්නයක් නොව ඔවුන් දෙදෙනා ගේ ම ප්‍රශ්නයක් ලෙස භාර ගෙන මෙනි. අංජන සිය රැවුල් කොට වැවි නිකට අතැඟිලි වලින් පිරිමදින්නට විය. අවසන් බලාපොරොත්තුවත් ගිලිහී යාම ගැන සන්තාපයක් ඔහු තුළට කිඳා බසින්නට ගති. ඔහුගෙන් සුසුමක් ගිළිහුණේ නිරායාසයෙනි. සන්තුෂී ට ඒ අපේක්ෂා භංගත්වයේ සුසුම් හඬ ඇසිණි.

“එච්චර ඉක්මනට බලාපොරොත්තු නැති කර ගන්න එපා. අපිට මොනා හරි ඕනෙනං අපි ඒක ලැබෙනකල්ම ඒ වෙනුවෙන් ෆයිට් කරන්න ඕනෙ. අනික ඒ ඔයාට අයිති නැති කෙනෙක් නෙවේනෙ. ඔයාගෙ දුව. දවසක අනිවාර්යෙන්ම එයා ඔයා ළඟට එයි. ඩෙෆිනේට්ලි…”

“ඒ වචනෙටත් තෑන්ක්ස්”

“මං කියන්නද…වයිෆ් දවල්ට ඔෆිස් ගිහින්නෙ. දුව ගෙදර ඉන්න වෙලාවක් බලල ඔයා එහෙට යන්නකො කෙළින්ම”

“එහෙම කරන්න ගිහින් මේ මනුස්සය දරුවවත් අරං මට හොයාගන්න බැරි තැනකට යයි කියල මං බයයි සන්තුෂී. එහෙම වුණොත් කවදාවත් මට දරුවව දකින්න නැති වෙයි”

“හරි ඔයා එක පාරක් ගියා කියල එහෙම කරන එකක් නෑනෙ. දුවව බලල කතා කරන්න එක චාන්ස් එකක් ගන්න පුළුවන්නෙ. ආයෙ ටික කලකට නොයා ඉන්න හරි..මට ඔහොම වුණානං මේ වෙලාවෙ මං ඒක කරනවමයි. වතුරට පනින්නැතුව පීනන්න බෑනෙ. අනික අපි හිතන තරං යක්කු කළු නොවෙන්න පුළුවන්”

අංජනගේ හිත දිරි ගැන්වුණේ සන්තුෂී නිසා ය. පසු දා ඔහු වරු නිවාඩුවක් ගෙන සදෙව්මා පාසලේ සිට එන වෙලාව අල්ලා වින්දි ගේ මහ ගෙදරට ගියේ ය. ඒ වෙත්දීත් ඇය ගෙදර පැමිණ නො සිටි අතර අංජන සිය මාමණ්ඩිය හා නැන්දණිය සමගින් කතා බහ කරමින් සිටිනාතර සදෙව්මා පැමිණියා ය. අසුන් ගත ව සිටි අංජන ව දුටු සදෙව්මා ඔහු දෙස එක එල්ලේ බැලුවා ය. ඇගේ මුහුණේ සිනහවක් වූයේ නැත. මීට මාස තුන හතරකට පෙර දකිත්දීට වඩා ඇය ටිකක් උස ගොස් ද කෙට්ටු වී ද ඇතිය කියා අංජන ට සිතිණ.

“දුව”

එහෙම කියත්දී ඔහු ගේ ඇස් දිළිසුණේ ය. නමුත් ඇය එක තත්පරයකට පමා නොවී සිය කාමරය වෙත ගොස් දොර වසා ගත්තා ය.

“සදෙව්මා..දුව…තාත්තිට ඔයා එක්ක කතා කරන්න ඕනෙ. දොර අරින්න ප්ලීස්…ඔයා මේ ප්‍රශ්නෙ තේරුං ගන්න පුතේ. ඔයත් දැන් පොඩි ළමයෙක් නෙවේනෙ”

අංජන දොර ළඟ සිට ඈ ඇමතුවේ ය.

“අනේ කරුණාකරල යන්න මෙහෙං. මොන වදයක්ද…එන්න එපා මෙහෙ”

ඇය දැඩි ස්වරයකින් එසේ කීවා ය. සිය ලෝකය ම කඩා ගෙන වැටුණා සේ අංජන ට දැනිණ. ඔහු ගේ ඇස් වලින් කඳුළු පැන්නේ ය. ඇඟිලි තුඩගින් ඇස් කෙවෙනි පොඩි කරමින් හෙතෙම ඒ ගෙදරින් එළියට බැස්සේ ය.

දියණිය ඔහුට නික්ම යන්නැයි අණ කොට සිටීම, වින්දි එසේ කීවාට වඩා ඔහු ව රිදවා තිබිණ. බිඳ දමා තිබිණ. එසේ බිඳුණු හැම කුඩා අංශුවක් ම වේදනාවෙන් හඬා වැටෙන්නට විය. තාත්තා කෙනෙකු ගේ කඳුළු!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles