අකල් වැහි -7

“අපි චේතනව සර්ප්‍රයිස් කරන්න ඕන.පාටි එකක් ලෑස්ති කරලා මේ ආරංචිය කියමු..”

ළසඳා සහ චේතනගේ සහෝදරිය වූ චලනි එසේ කියද්දී හිරුදි හැඟීමකින් තොරවම හිස වැනුවා ය.ඇයට මේ කිසිවක්ම අවශ්‍ය නොවේ.නමුත් රූකඩයකට චලනය විය හැක්කේ නූල් අදින විට පමණකි.

“මල්ලි තාත්තා කෙනෙක් වෙන්න යන ආරංචියට මාර සර්ප්‍රයිස් වෙයි..”

චලනි එසේ කියද්දී හිරුදිගේ මුහුණට සමච්චල් සිනාවක් නැඟිණ.චේතනට පියෙකු වීම අරුමයක් නොවේ.මේ නූපන් බිළිඳාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු මේ පළාතේ තැන තැන හිඳින බව ඇය දැන සිටියා ය.චේතන අතින් එවැනි අපරාධ කොතරම් සිදු වන්නට ඇති ද? නමුත් ඒවා හෙළි නොවන්නේ ඔවුන් එතරමට ප්‍රබල හන්දා ය.ඒ හැරෙන්නට ඔහුගේ පෙම්වතියක ගැන පසුගිය කාලේ පැතිර ගිය ඕපාදූප ද හිරුදිට අමතක වන්නේ නැත.ඒ හන්දාම ඇයට මේවා විසිළු රංගන පමණකි.

“මේ මලකරදර ඉවර වුණේ නැත්තං අපිට හොඳ පාටි එකක් ගන්න තිබ්බා.”

ජනයා වීදි බැස යුක්තිය ඉල්ලා හඬ නැඟීම චලනිට අනුව මලකරදරයකි.හිරුදි ඇය දෙස බැලුවේ කුඩා කරගත් දෑසකිනි.

“ඒක කොහොමද අක්කි මල කරදරයක් කියන්නෙ.මිනිස්සු කියන්නේ ඇත්තනෙ.තව මාසයක් දෙකක් යනකොට මිනිස්සුන්ට මොනව වෙයිද? ඕන කරන බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන්න ගත්තම? පොඩි බබාලට ඕන කරන කිසිම දෙයක් නැතුව ගියාම? ගන්න සැලරි එක හැරෙන්නවත් මදි වුණාම..”

හිරුදි කියවාගෙන ගියේ ආවේගයෙනි.ඇයට අරගල බිම මැවී පෙනෙන්නට පටන් ගෙන තිබිණ.සැබෑ ලෙසම මේ ආවේගය මෙතරමට දැනෙන්නේ එදායින් පසු බව ඇයට සිතේ.

“ඔයාට විකාර භාග්‍යා.ඔය මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ උන්ගෙ කරුමෙට.අපි ඒකට මොනව කරන්නද? උන්ට තියෙන්නෙ ඉරිසියාවක්.අපි සැප විඳිනවට ඉරිසියාවක්..”

චලනි සමඟ වාදය පල රහිත බව හිරුදිට සිතුණේ ඒ වාක්‍ය කිහිපය ඇසීමෙන් පසුව ය.ඈ නිහඬ වත පුරන්නට වූවා ය.සැප සම්පත කෙරෙහිම ඇළුණු ඒවා තමන්ට ලැබිය යුතු බව තරයේම අදහන චලනි වැන්නියක සමඟ රට ගැන වාදයෙන් ඇති ඵලක් නැතැයි හිරුදිට සිතේ.චලනි ජීවත් වන්නේ මේ ලෝකයේ ඇති සත්‍යය ගැන තේරුමකින් නොවේ.

“ඔයාට ලැබෙන්න ඕන පුතෙක්.අර මෑණියෝ කිව්වෙ එහෙමනෙ.මල්ලිට වාසනාව ගේන්නේ ඒ පුතාලු.”

චලනි කියද්දී හිරුදිට සිනා නැඟිණ.මේ තරම් යාවත්කාලීන වන ලෝකයක චලනිගේ විශ්වාසයන් ද මෙබඳු ය.

“ඔයා ඒවා විශ්වාස කරනවද?”

හිරුදි එපමණක් විමසී ය.ජොතිශ්‍ය විද්‍යාව සහමුලින්ම අසත්‍යයක් බව ඔප්පු කරන්නට හිරුදිට සාක්ෂි නොවේ.නමුත් චේතනලා හිස් මුදුනින් අදහන කාන්තාව අතිශය දරුණු මුසා පවසන්නියක බව හිරුදිට සහතික ය.

“නැත්තං?”

චලනි සමඟ කතා කිරීමේ තේරුමක් නොවන බව සිතූ හිරුදි කාමරයට වැදුණේ සිරුරට අපහසුවක් දැනෙන බව කියමිනි.යහනේ ඇල වුණු ඇයට නැවතත් චලනිගේ වදන් සිහිව ආයේ ය.

“පුතෙක්…”

දියණියක ලබනා ආශාවකින් පිරී හුන් ඇය එක්වරම පුතෙකුට ලෝබයක් ඇති කරගත්තා ය.ඒ පැමිණීම ගැන ඈ දැන ගත්තේ යුක්තිය ඉල්ලා සිටින බිමක දී ය.ඇයට කඩියන් මෙන් වැඩෙහි යෙදෙන යුක්තිය වෙනුවෙන් හඬ තලන සිතිජ සහ සගයන් සිහි වූයේ ඒ මොහොතේ ය.

“තාත්තා වගේ නරක මනුස්සයෙක් වෙන්නේ නැහැ හොඳ කෙනෙක් වෙනවා කියන්නද ඔයා එතනදි ඔයා ආව බව මට කිව්වේ පුතේ?”

ඇය කුස පිරිමදිමින් විමසුවා ය.නොදන්නා හේතුවක් නිසා ඇස අග කදුළක් රැඳෙද්දී ඉකිලමින් හඬන්නට ඇයට ඕනෑ විය.ඇය ඉකි ගසමින් හඬන්නට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles