මල් තුහින – 24

මලිති ඉනික්බිතිව සැහැල්ලුවෙන් ජීවත් වීම ආරම්භ කළා ය. හිනැහෙමින් මඟ බලන්නට හේතුවක් තිබේ. ඇය හිඳින්නේ ඒ සතුටිනි. ඇතැම්විට ඔහු ආදරය පිළි ගන්නට පුලුවන.ඉනික්බිතිව ආදරයෙන් ජීවත් වීමට හැකි වන බව ඇයට විශ්වාස ය.

“බිඳිච්ච මනුස්සයෙක්ට ආදරේ කරන්න අමාරුයි කියන කතාවට මං එකඟ නම් නෑ.”

රුවිනි ඇගේ මතය පැවසුවා ය. බිඳීම් සුවපත් කරගෙන එක් වීම වෙනුවට ඇය සිතන්නේ අසීරු කාලය එක්ව ගෙවීම ප්‍රේමය බව ය.

“ඒත් අපි දෙන්නම ඉන්නේ බිඳිලා.”

ආදරය නියම් අනියම් ලෙස වර්ග කිරීම කළ හැක්කක් නොවේ. හිටිහැටියේ පහළ වන ආදරය බාර ගැනීම මිස ඉන් පලා යාම අපට කරන්නට අසීරු ය. නීත්‍යානුකූලව වෙනත් අත් දෙකක පැටලී හිඳියදී ආදරය කරන්නට පටන් ගැනීම හැඟීම් අනුව වරදක් විය නොහැක. එහෙත් එය නීතිය ඉදිරියේ වරදක් වීමේ ඉඩ වැඩි ය.

“උත්පලා වැරදි කියන්නෙ උසාවියට විතරක් නෙවෙයි මලී. තමන්ගෙ මිනිහා ඩ්‍රග් ඇඩික්ටඩ් කියලා ලෝකෙටම පේන්න ලිව්ව ගෑනිට තමන්ගෙ මිනිහාට හොර ගෑනියෙක් ඉන්නව කියල ලියන එක සිම්පල් හොඳේ”

රුවිනිගේ අනතුරු ඇඟවීම මලිති බියපත් කරන්නට සමත් විණ. තාත්තා සහ සුදු අම්මා ලෝකය ඉදිරියේ රැක ගත් හොඳ නම එවැනි ලේබලයකින් පහසුවෙන් ගැලවී යා හැකි ය.

“එක අතකට තුහින හරි. ඔය අවුල් වලින් ගොඩ එන්නකො ඉස්සරලම.”

අනතුරුව රුවිනි අවසන් තීන්දුව ලබා දුන්නා ය. එවැනි අවසන් තීන්දුවක් පිළි ගන්නට මලිති හිත හදා ගත්තා ය.

ප්‍රේමයක ශේෂයක්වත් ඉතිරි නැති හන්දා ජීවත් වනවාට ජීවත් වෙමින් සිටි නවින් මලිතිගේ වෙනස්වීම බලා සිටියේ පුදුමයෙනි. පහුගිය කාලයේ ඇඳුමක් මැද හඳින්නටවත් ඇයට අතපසු වී ගිය තැන් ඔහු දැක තිබේ. ඕඩිකොලොන් බිඳක් හලාගෙන ඇඳ පැළඳ ගන්නා ඇගේ කණ්නාඩි මේසය මත මිලාධික සන්නාමයක සුවඳ විලවුනක් ඔහු දුටුවේ අහම්බයකිනි.

“ක්ලයන්ට් කෙනෙක්ගෙ ගිෆ්ට් එකක්ද?”

නවීන් එසේ අසද්දී මලිති පැහැදිලි සිනාවක් නැඟුවා ය.

“පොඩි පොඩි ඩිස්කවුන්ට් වගයක් දාලා තිබ්බා ඊයේ පෙරේදා. අපි ඒ අවුට්ලට් එකෙ ෂොපින් කරා.”

සැබෑවකි. අදාළ සන්නාමයේ නිෂ්පාදන කිහිපයක්ම ඇගේ කණ්නාඩි මේසය මත වේ. මේ දිනවල ඇය දිස්නය ගසමින් සිටින්නේ ඒවා නිසා යැයි ඔහු හිත රවටා ගත්තේ ය.

“අර ඩොක්ට ගාවට අපි යන් නැද්ද?”

ඔහුට හදිසියේ ප්‍රසව හා නාරීවේද වෛද්‍යවරයෙක් මතකයට ආවේ ය. ලෝකය මොන කතන්දර කීවත් දරුවෙක් මේ ලෝකයට නොඒමේ සත්‍යය දන්නේ ඔහු ය.ලෝකය කියන අන්දමට වෛද්‍යවරයෙක් මුණ ගැසීම වෙනුවෙන් හිස වනා එකඟ වන මලිති තවදුරටටත් එතැන නොවී ය.

“මොකටද නවීන්? ඔයා ඉස්සරහ කාමරේ සම්පූර්ණයෙන්ම කළුවර කරගෙන ඒකට වෙලා ආණ්ඩුව පෙරළන සැලසුං හදනවදවත් මං දන් නෑ. ඔයා එහෙම ඉඳල ඉඳලා එනකොට මං නිදිනෙ. අර පොඩි කාලේ පොතක තිබ්බ වගේ සුරංගනාවියක් ඇවිල්ලා මේ ඇඳ මැද්දෙන් ළමයි තියල යන් නෑ නවීන්.”

නවීන්ගේ ආත්මාභිමානය බිඳී ගියේ ය. ඔහු පෙන්වන පෞරුෂය බිඳී යන කතාවක් කියන්නට මේ අවිහිංසක පෙනුම ඇති ගැහැනියට හැකි වේයැයි ඔහු සිතා සිටියේම නැත. නමුත් එසේ වී තිබේ.

“ළමයෙක් හදන්න තියා කතා බහ කරන්නවත් හිතෙනවද ඔයා එක්ක.ඔයා මිනිහෙක්ට හැඟීමක් උපදන ගෑනියෙක්ද මලී?”

ඈත අතීතයේ නුවන් අතින් ප්‍රතික්ෂේප වූ කතාන්දරය ඔහුට පැවසුවේ ඇය ය. එහෙත් ඔහු ඒ ආයුධ මෙසේ පාවිච්චි කරන බවක් ඇය සිතා තිබුණේම නැත. ආදරය උපන් කාලයේ මලිතිගේ මුහුණ හැඟීම් උපදවන උල්පතක් බව පැවසූ මිනිසා දැන් ඇය කිසිම හැඟීමක් නැති ගැහැනියක බව කියන අන්දම ඇය අසා සිටියේ ගහක් ගලක් වාගේ ය.

“නවීන්”

හැරී පිටව යන නවීන් නැවතී බිරිඳ දෙස බැලුවේ ය.

“මං දැක්කම හැඟීමක් එන මිනිහෙක් ලෝකෙ කොහේ හරි ඇතිනෙ..ඒ නිසා ඒ ඔයා නෙවෙයි කියල මතක තියන් මම ජීවත් වෙන්නං”

මලිති තත්පර ද මිනිත්තු ද අඳුරට වී ගෙවා දැම්මා ය. විශාදය මහත් කරදරයක් වී ඇය තුළ පෙරළි කරන අන්දම ඇයට දැනේ. ජීවිතය මෙතැකින් නවතන්නට තරම් ආවේගයක් උපදී. ඇය ඒ හැඟීම වළකා ගන්නට තුහිනගේ ඡායාරූපයක් දෙස බලා සිටියා ය.

නැත!

ජීවත් විය යුතුම වේ.

(ඔබේ අදහස් ලියා යන්න. මලිති පසු කර තැන් ඔබේ ජීවිතය තුළද ඇති බව දනිමි. ඒ රිදුණු තැන් ගැන ලියා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles