නවීන් ඒ රාත්‍රිය මුළුල්ලේම සිටියේ මලිති කිනම් හෝ මොහොතක පැමිණ ඔහුට තුරුළු වෙන බව විශ්වාස කරමිනි. ඔහු ඇය පිටු දැක මෙතැන නිදාගත් දවස් බොහෝ වූ අතර ඒ සෑම දවසක්ම අවසන් වූයේ ඇය හඬමින් බලහත්කාරීව ඔහුගේ තුරුලට වැදීමෙනි.
“අනේ මාව තනි කරන්න එපා.මං කළුවරට කොච්චර බයයි ද? ඔයාගේ හුස්ම මූණට වැටෙන්නෙ නැත්තං මට නින්ද යන්නෙ නෑ.”
ඇය එසේ ඉල්ලූ දවස් කොපමණ ද? ඈට තමන්ගෙන් තොර ලෝකයක් නැති බව සිතීමම ඔහුට සතුටක් විය. සියල්ලටම වඩා ඔහු දැන සිටි කාරණාවක් විය. ඔහුගේ නොසලකා හැරීම් ගැන ඇය රුවිනිටවත් නො පැවසුවාය. තමන්ව නවීන් ඉතා හොඳින් රැක බලා ගන්නා අන්දම සුදු අම්මාගේ පටන් රුවිනි දක්වාම විශ්වාස කරනවාට මලිති කැමති වූවා ය. ඒ වෙනුවෙන් ඇය ඔවුන්ට සෑම විටෙකම සත්‍ය සඟවන්නට ප්‍රවේසම් වූවා ය.
නමුත් දැන් සියල්ල පුපුරා ගොස් අවසන් ය. බොහෝ දේ රුවිනි දන්නා බව දැන් නවීන් විශ්වාස කරයි. ඇතැම්විට මලිතිගේ දැඩි වෙනස්වීම්වලට හේතුව එය විය යුතු ය. හඬමින් ආදරය ඉල්ලූ ගැහැණිය දැන් සියල්ල දරා ගන්න මට්ටමට ගෙන එන්නට ඇත්තේ මිතුරිය ය. නවීන්ට රුවිනි ගැන මෙන්ම මලිති ගැන ද දැඩි කෝපයක් ඇති විය.මලිති කොහොමත් ආර්ථික අතින් ස්වාධීන ය. ඇය නිරතවන උසස් මට්ටමේ රැකියාව අත්හැර දැමුව ද ඇයව රැකබලා ගන්නට ඇගේ දෙමාපියන්ට එහි ඇති බව ඔහු දැන සිටියේ ය. ඒ හන්දා ඇයව ආර්ථික අතින් සිර කිරීම අපහසු ය. නමුත් ඔහු දිගින් දිගටම ඇයව මානසික වශයෙන් සිරකාරියක බවට පත් පත් කරගෙන සිටියේ ය. දැන් ඇය ඒ සිර ගේ බිඳින්නට පටන් ගෙන තිබේ.
නවීන් රෑ මැදියම ඔවුන්ගේ නිදන කාමරයට ආවේ බර වූ සිතිනි. ඔහු බලාපොරොත්තු වූයේ කොට්ටය පෙඟී යනතුරු හඬමින් නිදි වර්ජිතව සිටින මලිති ය. නැත! ඇය සන්සුන් නින්දක ය. ජංගම දුරකථනයේ නින්ද පහසු කරන සංගීත ඛණ්ඩයක් වාදනයට ඉඩ හැර ඇය නින්දේ ය.ඇගේ මුහුණ අතිශය සන්සුන් බව දැනෙද්දී ඔහුට ඇති වූයේ කෝපයකි. ඇය මෙතරම් පහසුවෙන් අතැර දමා අවසන් ය.
නවීන්ගේ වෙලාවන්ට ගැළපේ නම් ඔහු සමඟ රැකියාවට යන්නට එන්නට හැකි බවත් අනෙක් සෑම මොහොතකම ඇයට පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කළ හැකි බවත් මලිති නවීන්ට උදෑසන දැනුම් දුන්නා ය. ඇය යුතුකම් මඟ හැර තිබුණේ නැත.අහර පිස මුළුතැන්ගෙය සම්පූර්ණයෙන් ම අස්පස් කරන තුරු ඇය ඔහු අවදි කළේවත් නැත
“ඔයාගෙන් කිසීම ආදරයක් නොලැබෙනකොට මට උයන පිහින එකත් එපා වුණා. ඒත් දැන් මම මට ආදරෙයි. මං ඒ නිසා හැම දෙයක්ම පිළිවෙලට කරන්න හිතා ගත්තා.”
මලිතිගේ කටහඬේ කෝප සේයාවක්වත් නොවේ. නවීන්ට වැඩියෙන්ම රිදෙන්නේ ඒ හන්දා ය.
“අඬලා කෑගහලා ආදරේ ඉල්ලලා ඊටපස්සෙ අපි රණ්ඩු කරන්න ගන්නවනෙ. ඔය හැම වෙලාවකම පිරිමි දන්නව අපිට එයාලා නැතුව බෑ කියලා.”
මලිති කියන දේ සාවධානව අසා හිඳිමින් රුවිනි පැවසුවා ය.
“ඒත් සහමුලින්ම අතෑරලා දාලා අපි කකුල් දෙකෙන් හිටගන්න හදන වෙලාව එනවා නේද? අන්න ඒක තමයි රිදෙන වෙලාව.”
බිරිඳ වෙනත් ප්‍රේමයක පැටලී ඇතැයි දැන ගන්නවාටත් වඩා බොහෝ පිරිමින් සසැලෙන්නේ එතැන දී ය. හඬමින් සහ අයදමින් දරා ගත් ප්‍රේමය ඇය අතැර දමන තැන ය.
“මලී, ඔයාගේ මාර ග්ලෝ එකක් ඇවිල්ලනෙ. ලස්සන වෙලා.”
තමාලි එසේ පැවසුවේ මිතුරියන්ගේ බරපතල සාකච්ඡාව අතරමැදට පිවිසෙමිනි. බරපතල කතාව අතැර දැමූ මලිති හිනැහුණා ය.
“මූ අලුත් ලිප්ස්ටික් එකක් අරන්. ඒකයි ඒ.”
රුවිනි එසේ කියද්දී පාරමීට සුපුරුදු තුවාලය පාරා බලන්නට සිත් විණ. ඇය මඳහසක් තොල් මතට ගත්තේ කුහකකම වැසෙන්නට ය.
“ප්‍රෙග්නන්ට්දත් මන්දා. අමුතු ග්ලෝ එකක්.”
රුවිනි කෝප වන්නට පෙර මලිති හිනැහුණා ය. එය එසේ වන්නට ද හැකි බව ඇය කීවේ හිනැහෙමිනි. මවක වීමේ සිහිනය දියව යමින් ඇතැයි දැන් ඇය සිතන්නේ නැත. ඈ හෙමින් සීරුවේ තුහිනගේ නිවස දෙස බැලුවා ය.කුඩා ශේන්යා අත්තම්මා සමඟ මිදුලේ සේදූ රෙදි වනයි. එක් වැඩක් වැඩ දෙක තුන කරන ඇයව අත්තම්මා ඔසවා පසෙකින් තබන අන්දමත් ඇය වහවහා නැවතත් දඟ කරන අන්දමත් මලිති සැනසුම් මඳහසකින් බලා සිටියා ය.
මවක වීම දියව යන සිහිනයක් නොවේ. ශේන්යාගේ අම්මා වන්නට දැන් ඈට උවමනා ය.