ජීවිතේ හයිය

ඉමේශා තාප්පෙන් එබුණේ කතුරුමුරුංගා කොළ කඩන්න උත්සාහ කරනවා වගේ. කතුරුමුරුංගා අතු කිහිපයකුත් කඩා ගත්තා. ඒ අතරේ හොඳට ඉස්සිලා එහා ගෙදර දිහා බැලුවා.  එතකොටයි දැක්කේ මුලු ගමම කතා කරන හයිබ්‍ර්ඩ් රථය. කිරි සුදු  පාටට  බැබළි බැබළි තියෙන  හයිබ්‍ර්ඩ් රථය දැක්කම ඉමේශාගේ අතේ තිබුණ කතුරුමුරුංගා අතු ටික බිමට වැටුණා.

ඊට පස්සේ කුස්සියේ කිසිම වැඩක් කලේ සිහියෙන් නෙවෙයි. කොටින්ම උදේට කෑවෙත් නැහැ. සමිත් ට ඇමතුම් කිහිපයක් ගත්තත් ඒ එක ඇමතුමකටවත් පිළිතුරු ලැබුනේත් නැහැ. 

“මේක මගේ කරුමේ… බයික් කට්ටෙන්ම තමයි වළ ලඟටම යන්න වෙන්නේ…”

ඉමේශා අම්මට ඇමතුමක් අරගෙන එහෙම කිය කියා ඇඬුවා. අම්මා ඉමේශාගේ දුක වැඩි කලා මිසක් හිත හදන කිසිම දෙයක් කිව්වේ නැහැ. 

“ඔය මඟුල කරගන්නකොටම අපි කිව්වා.. කොහෙද ආදරේ ලොකු වුණානේ… අර කල්පන ළමයාට කැමති උනානම් දැසි දස්සෝ එක්ක ලස්සනට ජීවත් වෙන්න තිබුණා…”

අම්මා එහෙම කිව්වම ඉමේශාගේ වේදනාව, පසුතැවීම, කලකිරීම තව වැඩි වුණා විතරයි.

ඉමේශායි, සමිතුයි දෙන්නාම එකම විශ්ව විද්‍යාලයේ. එකම කංඩායමේ. සමිත් තමයි ඉමේශාගේ ආදරේ වෙනුවෙන් සෑහෙන්නම වෙහෙසුණේ. අන්තිමේදී අසාර්ථක වුණ ප්‍රේම සම්බන්ධතාවයකට තිත තියලා  ඉමේශා සමිත් ලඟට ආවා. උපධිය ඉවර වෙනකොටම සමිත්ට සහාය ගණකාධිකාරිවරයෙක් විදියට රැකියාවක් ලැබුණා. ඒත්  ඉමේශාට ඕනි වුණේ ගෙදරට වෙලා නිදහසේ ඉන්න. ඒ නිසා ලැබුණ රැකියා අවස්ථා කිහිපයක්ම අතෑරලා දැම්මා.  ඉමේශාව බලා කියාගන්න තමන්ට හැකියි කියන විශ්වාසේ තිබුණ නිසාම සමිත් ඉමේශාට කරදර කලෙත් නැහැ.   ඉමේශාලාගේ අම්මලා සමිත්ට එතරම් කැමති නොවුනත්, අවසානේදී ඉමේශාගේ  කැමැත්තට ඉඩ ලැබුණා. 

 විවාහ වෙලා මාස කිහිපයක්  යනකල් දෙන්නාගේ ජීවිත වල තිබුණේ සැනසීමම විතරයි. සමිත් ඉමේශා ට සෑහෙන්නම ආදරේ කලා. ඒ වගේම ඉමේශාගේ වැඩ වලට නිතරම උදව් කලා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉමේශා ව උනන්දු කලා.

ඒ සතුටට කණකොකා අඬන්න පටන් ගත්තේ, ඉමේශාගේ යාලුවෙක් ගේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් සහභාගි වුණ දවසක ඉඳන්. ඒ යාලුවා ගේ මාමණ්ඩි අලුත් විවාහ ජෝඩුවට තෑගි කරේ වටිනා මෝටර් රියක්. ඉමේශාට ඇගේ විවාහ උත්සවය දවසේ අඩුපාඩු සෑහෙන්නම සැසඳෙන්න තරමටම වෙනසක් ඒ උත්සවයේ තිබුණා.

ඊට පස්සේ සිදු වුණ හැමදෙයක්ම ඉමේශා ගලපගත්තේ තමන් ගැන අඩු තක්සේරුවක් එක්ක. සමිත් එක්ක විවාහ වෙලා තමන්ගේ ජීවිතය අඳුරු වුනා කියන සිතුවිල්ල දවසින් දවස මතු වෙන්න ගත්තා. ඉමේශාගේ අම්මගෙනුත් ඒ සිතුවිල්ල වෙනුවෙන් අනුමත කිරීමක් විතරයි. 

“අපිත් කාර් එකක් ගමුකෝ..”

දවසක් බයික් එකේ ටව්න් එකට ගිහින්, වැස්සට තෙමීගෙන ආව දවසක ඉමේශා සමිත්ට යෝජනා කලා. 

“හවුසින් ලෝන් එක එක්ක මුකුත් කරන්න බෑනෙර් ඉමේශා… අපි තව ටිකක් බලමු.. අනෙක මේ වාහන ගන්න හොඳ කාලයක් නෙවෙයි නේ…”

සමිත් ඒ මොහොතට ගැලපෙන පිළිතුර දුන්නත් ඉමේශා ඒ පැහැදිලි කිරිීම බාරගත්තෙම නුහුරට. 

එදා ඉඳන්ම ඉමේශා ට සමිත් එක්ක නුරුස්සන කාරණා හැදුණා. ගෙවල් වල, යාලුවන්ගේ, මුහුණු පොතේ දකින නේක විද කාරණා අල්ලගෙන සමිත්ට සාප කර කර අඬන්න පවා පටන් ගත්තා.  ඒත් සමිත් කලේ ඉමේශා ව ඉවසපු එක. ඉමේශාව තේරුම් ගන්න උත්සාහ කල එක.

ඒත්, අවසානේදි සමිත්ගේ ඉවසීමත් ඉවර වුණා. අල්ලපු ගෙදර අය අලුතින් බෙන්ස් එකක් ගෙනාපු ආරංචිය එක්ක ඉමේශා සමිත්ගේ ඇඟට කඩාගෙන පැන්නේ සමිත් ගෙදරට ඇතුල් වෙනකොටමයි. වෙහෙසුණ දවසක අවසානයට ලැබුණ ඒ පිළිගැනීම සමිත්ට ත් දරාගන්න බැරි වුණා. ගිණියම් වුණ වචන මාරු වුණා. අන්තිමේදී සමිත්ගේ අතුල් පහරක් ඉමේශාගේ කම්මුලේ සටහන් වුණා.

එතැන ඉඳන් ඉමේශා ක්‍රියාත්මක වුණේ මහා විනාශයක් වුණ ගානට. ඔක්කොම බඩු පටවගෙන  අම්මලාගේ  ගෙදර ගියේ පහුවෙනිදාම. සමිත්ගේ එක ඇමතුමකටවත් පිළිතුරු දුන්නේ නැහැ. සමිත් ඇයව මුණගැහෙන්න ඇගේ දෙමාපියන් සමඟ ඈ උන්න නිවෙසට ගියත් ඉමේශා ඉතාම දරදඬු වුණා.

“මට හිඟන්නෙක් එක්ක දුක් විඳින්න ඕනි නෑ..”

අවසනේදී එහෙම කෙටි පණිවිඩයක් විතරක් සමිත් ට ලැබුණා.

“උඹේ වරද… උඹ විතරක් නැහෙන්න නැතුද ඒකිටත් ජොබ් එකා කරන්න කියන්න තිබුණේ… දෙන්නා එකතුවෙලා  ගොඩ යන  මිසක,   උඹ හම්බ කරන එකෙන් සැප ගන්න  එක නෙවෙයි ආදරේ කියන්නේ කියලා මං ඕකිට කියලා ආවේ…”

සමිත් ගේ ඉල්ලීමට ඉමේශා ව මුණ ගැහෙන්න ගියපු මිතුරාගේ පිළිතුර වුණේ ඒක. සමිත් අන්තිමේදී ඉමේශා ට ඉඩ දුන්නා. ඉමේශා සමිත්ගෙන් වෙන් වෙන්න නීති ක්‍රියාමාර්ග ගත්තා. මාස දහයක් යද්දී දෙන්නාට තිබුණ හැම බැඳීමම අවසන් වුණා. 

ඉන් මාස අටකට පස්සේ ඉමේශා කල්පන මුදුතන්ත්‍රී මන්ත්‍රීවරයාගේ බිරිඳ වුණා. සමිත් එදා දවස දරාගත්තේ මිතුරන්ගේ පිහිටෙන්. ඉමේශා ව අහිමිවුණේ තමන්ගේ දුර්වලතාවයක් නිසාය කියන සිතුවිල්ල සමිත්ව උපරිමෙන්ම දුර්වල කරන්න පටන් අරගෙන තිබුණේ. 

සමිත්ගේ රැකියාව අහිමි වුණේ  ඒ අතරේ.  සමිත් විදෙස් ගත වුණා.  අලුත් ජීවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න ගත්තා. තමන්ගේ ජීවිතේ ලැබීම් ගැන සතුටින් ඉන්න හුරු වෙන්න උපදේශනයට යොමු වුණා. 

.

.

.

“කල්පන මුදුතන්ත්‍රී නාගරික මන්ත්‍රීවරයා අත් අඩංගුවට… පැමිණිල්ල යොමු කර ඇත්තේ ඔහුගේ සුරූපී බිරිඳ ? ශාරීරික සහ මානසික වධ හිංසන චෝදනා……”

මුහුණු පොතෙන් ඒ පුවත යොමු කරලා තිබුණේ සමිත්ගේ මිතුරෙක්. සමිත් පුවත කියෙව්වා. දිග  හුස්මක් එක්ක තමන්ගේ පසෙක නිදා උන්න යුවතිය දිහා බැලුවා. 

විදෙස් ගතවෙලා, ජීවිතේ අතාරින්න ගියපු දවසක මුණ ගැහුණ ඇය.., 

එදා පටන් කිසිම විමසීමක්වත් නැතුව ජීවිතේ ගොඩදාගන්න උදව් කරපු ඇය…,

ඇගේ මුදල් වියදම් කරමින් තමාව සුවපත් කරගන්නට උත්සාහ කල ඇය….,

ඉමේශා ගැන දැනගත්තාට පසුව නෙත් තෙත් පුරවාගෙන තමාගෙන් ඉවතට වී, තමාට ඉමේශා වෙත යන්නටයැයි ටිකට්පත් පවා වෙන් කරන්නට විමසීම් කල ඇය….,

ඉතා කුඩා රැකියාවක පටන්, විදෙඅ සමාගම් ගණකාධිකාරිවරයෙකු දක්වා යන ගමනේ තමා අල්ලා උන් ඇය……,

සමිත් අර්චනාගේ කම්මුලක් ඉම්බා. 

ජීවිතේ සැනසීම ලැබෙන්න නම්, ආදරේ ඉක්මවන යමක් ජීවිත වලට ලැබෙන්න ඕනි බව ඒත් එක්කම හිතුණා…

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles