යන්තම් පුතා නිදා ගත්තා විතරයි!
අල්ලපු ගෙදර මහ සද්දෙ ඇහෙන්න පටන් ගත්තා. ලක්මි වටපිට බැලුවේ කරදරෙන්. කිරි බීලා බඩ පුරවගෙන ඉන්න නිසාද මන්දා පුතා සැපට නිදි.
“පුදුම සද්දයක්නෙ අම්මේ.”
ලක්මි කාමරෙන් ඔලුව එළියට දාලා එහෙම කියනකොට කසුන්ගේ අම්මා ලක්මි එක්ක හිනා වුණේ සිරියාවට.අම්මාගෙ හිනාව කසුන්ට, කසුන්ගෙන් පුතාට. මේ කේන්ති යන වෙලාවේ පවා ලක්මිට එහෙම හිතෙනවා.
“ශීලා ආන්ටි බණ අහනවනෙ. ඕවට මොකුත් කියන්න එපා. පුතාට පව් පිරෙයි හොඳේ.”
අම්මා එහෙම කියන්නේ අතේ තියන කාන්තා පත්තරේ බිම තියන ගමන්. අම්මා බල බල හිටියේ අලුත් බබාලා සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් ලියූ ලිපියක් බව ලක්මි දැක්කා. කසුන්ලගෙ අම්මා ඔහොම තමයි. “මං ළමයෙක් හදලා අවුරුදුම විසි අටක්. අලුත් කතා මං දන් නෑනේ” කිය කියා අම්මා කරන්නේ අලුත් දේවල් හොයන එක.
“බණ? මං හිතුවෙ මොකක් හරි දේශපාලන කතාවක් හරි විහිළු වැඩසටහනක් කියලා හරි අම්මේ.”
ලක්මි එහෙම කියනකොට අම්මට හිනා ගියා.
“දැන් ගොඩක් බණ වල තියෙන්නෙ ඔය දේශපාලනෙයි විහිලු කතායි තමා පුතේ.නැත්තෙ බුදු බණ විතරයි.”
අම්මා නම් කියන්නෙ සැහැල්ලුවෙන්.
“ඒ කියන ඒවා අහන් ඉන්නකො.”
අම්මා එහෙම කියපු හින්දා ලක්මිට ඒ කතාව අහන් ඉන්න හිතුණා. අහන් ඉන්න තරම් ප්‍රියජනක හඬක් නොවුණත් ලක්මි අහන් හිටියා.
“සීසර් සැත්කම කරාට දරු කැක්කුම දැනෙන් නෑ. මට නම් විස්වාසයි.”
ලක්මිට ආවේ පුදුම කේන්තියක්. තව මොනමොනවාදෝ ඇහෙනවා. අල්ලපු ගෙදරට කඩා පැනලා ශීලා ඇන්ටිගේ ගුවන්විදුලි යන්ත්‍රෙ පොලොවේ ගහන්න තරමට ලක්මිට කේන්තියි.
“මොනවද අම්මේ අර?”
ලක්මි ඇහුවේ කේන්තියෙන්.
“එව්වා තමා දැන් බණ කියන්නේ.”
ලක්මි කේන්තියෙන් පුටුවකට වැටුණා. අම්මා නම් බොහොම සන්සුන්.
“ඩොක්ට ඔයාට වේදනාව අවම කරගෙන බබා ලැබෙන්නනෙ සිසේරියන් කරමු කිව්වේ. ඔයාට ඒකට හේතුත් තිබ්බනෙ දුව.”
අම්මා මතක් කරන මාස තුනක අතීතය ලක්මි ආයේ මතක් කළා. සිසේරියන් සැත්කමක් නොවුණානම් ලක්මි වගේම පුතත් අද නොඉන්න තිබුණා.
“දරුවා ලැබෙන කොට ගිරිය යටින් කෑ ගහලා මොර තියලා හෙම්බත් වෙලා වද විඳලා දරුවෙක් ලොවකට අරගෙන ඉන්නේ නැත්තං අම්මට බබා ගැන බැඳීමක් ඇති වෙන්නෙ නෑ කියන එක මහ පසුගාමී කතාවක් පුතේ. ඕව ඔයාලගේ පරම්පරාවේ අය නෙමෙයි අපේ පරම්පරාවවත් විශ්වාස කරන්න ඕන නෑ.”
අම්මා කියන තරමට මේක සැහැල්ලු කතාවකුත් නෙවෙයි. ශීලා ඇන්ටිගේ ලේලිට තව මාස දෙකකින් දරුවා ලැබෙනවා. ඕවා ඔලුවේ තියාගෙන ශීලා ඇන්ටි පමුදිට මොන බලපෑම් කරනවද කියලා ලක්මි කල්පනා කරා.
“එපිඩියුරල් වගේ ඒවා ගැන මේ හාමුදුරුවරු දන්නේ නැතුව ඇති නේද අම්මා?”
ලක්මි එහෙම අහනකොට අම්මාට හිනා ගියා.
“එච්චර වෛද්‍ය විද්‍යාත්මක කතා නෙමෙයි ඔය හාමුදුරුවරුන බණ උනත් දන්නේ නෑ”
හිස් කළ සද්ද කරනකොට ගණන් ගන්න උවමනා නැති බව අම්මා නම් සැහැල්ලුවෙන් කියනවා. ඒත් ඒ වගේ මත පැතිරවීම මොනතරම් අවුල් සහගතද කියලා ලක්මිට හිතුණේ හවස පුතා බලන්න ආව පමුදිගේ අවුල් වුණු මූණ දැකලා.
“අම්මා අද අර හාමුදුරුවෝ කෙනෙක්ගෙ බණ අහල අක්කෙ.මට සිසේරියන් නම් කරන්න එපාලු. කිරි නැති වෙන්න කියලා ඉන්ජෙක්ෂන් විදින්න එපාලු. අනේ කොහෙ තියන කතාද අක්කේ මේ.”
පමුදිට හරිම ආවේගයක් දැනෙන බව තේරුම් ගිය නිසා ලක්මි ඇගේ උරහිසට අතක් තිබ්බා.
“ඔයා යන්නේ ප්‍රයිවෙට් නිසා ඔයාට පහසු දේ තෝරා ගන්න. හෙම්බත් වෙලා කෑමොර දීලා දරුවෝ ඉපදුනත් නැතත් අපි කාටත් දරුවගෙ මූණ දැක්කම ඇති වෙන්නේ කියාගන්න බැරි තරම් ආදරයක්. ඒකට සීමාමායිම් නෑ නංගි.”
අනිත් කාරණාව හැම දෙයක් ගැනම දැන් රෝහලින් මාතෘ සායන වලින් සෞඛ්‍ය අධ්‍යාපනික ඒකකවලින් දැනුවත් කරනවා. කරන්න ඕනෑ මොනවද නොකරන්න ඕනෑ මොනවද කියලා හොදින්ම කියලා දෙද්දී නිකම්ම නිකන් දේශකයෙක් දේශකයෙකි කතාවකට බයවෙන්න ඕනේ නෑ කියන එකයි ලක්මිගේ මතය වුණේ.
“සිසෙරියන් එක වුනත් තෝරාගන්නේ වේදනාව නොදැනී බොහොම සන්තෝසෙන් ඉන්න නෙමෙයි නංගි. ඒ වෙලාවට වේදනාව නැති උනත් වේදනානාශක ගන්නකං වේදනාව දැනෙන්නේ නැති තුවාල ඇතුලෙන් කකියනවා දැනෙන්න ගන්නවා. ඇවිදිනකොට කැක්කුම එනවා. තුවාලයක් එක්ක ගනුදෙනු කරන එක වුණත් ලේසි නෑ. හැම දෙයක්ම ලේසි දේවල් නෙමෙයි. දරුවෙක් හදන එක අපේ තෝරා ගැනීමක් නිසා එයාට උපත දෙන විදියත් අපේම තෝරාගැනීමක් වුනොත් පහසුයි කියලයි මට හිතෙන්නේ.”
සාමාන්‍යයෙන් තමන් නොදන්නා දේවල් ගැන ඔහේ දොඩවන අය අපේ රටේ විතරක් නෙවෙයි හැම තැනකම ඉන්න බව ලක්මි මිතුරියට පැහැදිලි කළා. ස්තුතියි ලංවෙමින් ඉන්න ඇය බියට පත් කරන්න නුවුමනා හන්දා සිසේරියන් සැත්කමේ සැබෑ වේදනාව ගැනවත් කසුන්ගේ අක්කා ස්වභාවික දරු උපත ගැන කියපු ඇටකටු කුඩු වෙන වේදනාව ගැනවත් පමුදිට නොකියන්න ලක්මිට ඕනෑ වුණා.
“කිසිම දෙයක් පහසු නෑ මට කියන්න තියෙන්නේ එච්චරයි. හැබැයි වැඩියෙන්ම දරු දුක දැනෙන්නේ මොන අම්මටද කියලා සංසන්දනය කරන එක හරිම තුච්ඡයි. දරුවෙක් අරන් හදාගන්න අම්මෙක්ට, තමන්ගේ හස්බන්ඩ්ගෙ කලින් කසාදේ දරුවන්ට අම්මා වෙන අයට වුණත් දරු දුක දැනෙනවා. ඒවා සංසන්දනය කරන්න ඕනම නැති දේවල්.”
අම්මා කියනවා වගේ තමන් නොදන්නා දේවල් ගැන කතා කරන මිනිස්සු මොන තරම් භයානක මිනිස්සු ද කියලා හිතෙන ගමන් ලක්මි එහෙම කිව්වා.
හැම අම්මා කෙනෙක්ම අම්මා කෙනෙක්! දරුවෝ වෙනුවෙන් ආදරේ මහ ගොඩක් දරා ගන්න අම්මා කෙනෙක්! දරුවා ඉපදෙන විදියවත් කිරි පොවන විදියවත් ඒ ආදරේට අදාළ නෑ.
එච්චරයි!!