ස්වර්ණකාන්ති දෙදිනක් රෝහල් ගත ව සිටි ඉක්බිති යළි ගෙදර ගියා ය. ඒ දින දෙකෙහි ම සන්තුෂී නිදි වරා ගෙන අම්මා ළඟට වී සිටියා ය.
“ඔයා නිදියන්න.මං ඕන වුණොත් කතා කරන්නං”
අම්මා කිහිප විටක් එසේ කී පසුව ය සන්තුෂී යන්තම් ඇහැ පියවා ගත්තේ. ඇයට යම් වෙහෙසක් දැනිණ. නමුත් අම්මා ගේ තත්වය වඩා යහපත් අතට හැරී තිබීම හිතට අස්වැසිල්ලක් විය. මසකට වරක් ස්වර්ණකාන්ති ව වෛද්‍ය සායනයට යොමු කළ යුතු ව තිබිණ.
එදා රෝහලෙන් නිදහස් වී යන දවසේ කල්ප එහි ආවේ ය. ඔහු බිල් පත ගෙවා දමන්නට හැදුවත් සන්තුෂී ඊට ඉඩ දුන්නේ නැත.
“ඕන වුණොත් ඉල්ලන්නං. දැනට මං ළඟ සල්ලි තියනව”
“එහෙනං ඔයා අම්මව බස්සවල ගෙදර එනවනෙ…”
ඔහු එහි එන්නට හේතුව සන්තුෂී ට වඩා හොඳින් තේරුණේ ඒ වෙලාවේ ය. කල්ප වෙතට දැඩි බැල්මක් හෙලු ඕ කාටවත් නෑසෙනා ඈත කොරිඩෝවකට ඔහුත් එක්ක ගියා ය.
“මට අම්ම ළඟ නවතින්න වෙනව කල්ප. බොරුවට අපි මේක ගැන වාද කරගෙන වැඩක් නෑ. මං සමහර විට දිගටම ගෙදර ඉඳී”
“මොකද්ද…”
“මං දිගටම ගෙදර ඉන්නයි හිතන් ඉන්නෙ”
“එහෙම තමුන්ට ඕන ඕන ඒව කරන්න බෑ සන්තුෂී..බැඳපු ගෑනියෙක් ඉන්න ඕන කසාද මිනිහගෙ ගෙදර”
එවර සන්තුෂී අවඥා සහගත සිනහවක් පෑවා ය.
“ඔයාගෙ ගෙදර සරසන මල් වාස් එකක් වෙලා හිටිය දැන් මට හොඳටම ඇති කල්ප. ළමයි ලොකුයි දැන්..එයාල ලොකු වෙනකල් කිය කිය තමයි මං දරා ගන්න බැරි දේවල් වුණත් දරා ගෙන හිටියෙ. දැන් එහෙම ඉන්න හේතුවක් නෑ. එයාලට වුණත් අපි අතරෙ තිබුණ සම්බන්දෙ මොකක්ද කියල නොතේරෙනව වෙන්න බෑනෙ. ලෝකෙට පේන්න කරපු මේ රඟපෑම හොඳටම ඇති. එක වහලක් යට හිටියට කොහොමත් අපි ඉන්නෙ ලෝක දෙකක. ලෝකෙට පේන්න නැති සම්බන්දයක් නඩත්තු කරන එක හරි මහන්සියි. ඊට වඩා හොඳ නැද්ද ඇත්තට මූණ දීල සැහැල්ලුවෙන් ඉන්න එක…ඔයා කලබල වෙන්න එපා. මං ඔයාගෙන් ඩිවෝස් එක ඉල්ලල ඔයාගෙ ඉමේජ් එකට ඩැමේජ් එකක් කරන්න හදනව නෙවේ. මං මගෙ පාඩුවෙ අපේ ගෙදර ගිහිං ඉන්නං. කොහොමත් අම්මට සනීප නැති එකේ මට එයාව තනියම ඒ ගෙදර තියන්න බෑ”
“ඉතිං අම්මව අපේ ගෙදර එක්කං යන්න පුළුවන්නෙ”
සන්තුෂී නැවතත් කට කොනකට සිනහවක් නගා ගත්තා ය. කන්නට ඕනෑ වූ විට කබර ගොයාත් තල ගොයා වෙනවා කියන කතාව ඇයට සිහි විය.
“මතක නැද්ද කල්ප තාත්ත නැති වුණාට පස්සෙ අම්මව එහෙ එක්කගෙන ගිහිං වෙච්ච දේවල්…ඔයා අම්මට සැලකුවෙ යන එන මං නැතුව ඒ ගෙදරට කඩං පාත් වුණ හිඟන්නියෙක්ට වගේ. කර කියා ගන්න දෙයක් නැති කමට මං එදා ඔහේ බලං හිටිය. හැබැයි අපේ අම්ම එහෙම අසරණ වෙන්න ඕන කෙනෙක් නෙවේ. ඔයාගෙ තැන ඇවිත් වැටෙන්න එයාට තැනක් නැතුව නෙවේනෙ. දුවෙක් විදිහට අම්මයි තාත්තයි දෙන්නම වෙනුවෙන් මේ වෙලාවෙ මට කරන්න තියන හොඳ ම දේ තමයි මං මේ තෝර ගත්තෙ”
“උද්දච්ච ගෑනු”
කියමින් කල්ප වේගවත් ගමනින් නික්ම ගොස් විදුලි සෝපානයට ගොඩ වූයේ ය. හිස් බැල්මකින් එදෙස බලා උන් සන්තුෂී ට සුසුමක් හෙළුණි.
කල්ප තුළ කැකෑරෙමින් තිබුණේ ඔහුට හෝ හැඳින ගත නො හැකි වූ භීතියකි. සන්තුෂී අහිමි වේය කියා සිතෙනා ඕනෑ ම අවස්ථාවක ඔහු ඒ භීතියෙන් වෙව්ලා යයි. අත දිග හැර වියදම් කරන්නට මුදල් ඇය වෙත ලබා දීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ ඒ භීතියෙන් තමන් තුළ ම සැඟවී හිඳීම ය. කොයියම්ම හෝ මොහොතක සිදු විය හැකි ව තිබූ මේ දෙය පමා කරමින් ජීවිතයත් එක්ක ඔට්ටුතාං කිරීම ය. නමුත් නොසිතූ මොහොතක දැන් එය සිදු වෙන්නට යයි!
ඒ හවස සාදයකට ඇරයුම් ලැබී තිබුණ ද ඔහු ට එය අමතක වූයේ ය. කල්ප ගෙදර ගියේ විසිර යන සිතිවිලි සේනා එකලස් කර ගැනීමේ කිසිදු උත්සාහයකින් තොරව ය. ඔහු අන්ද මන්ද ව සිටියා කීවොත් නිවැරදි ය. සමාජ සම්මතය තුළ නොවූ කවර වරදක බැඳුණ ද ඔහු ගේ හිතේ එක විශ්වාසයක් විය. ඒ අන්තිමට ඇවිත් වැටෙන්නට ගෙදරක් තියනවා ය යන සිතිවිල්ලයි.
ගෙදරක් තියේ. ගෙට ගොඩ වී සෝෆාවෙහි කඩා වැටෙනා ගමන් ඔහු ගල් ගැහැනු හදකින් අමාරුවෙන් හුස්ම ගත්තේ ය. නමුත් ඒ ගෙදර බලා කියා ගත් සිරිදුව ඉන් පලා යනවා නම් තව දුරටත් එය ගෙයක් විය හැකි ද?
ඉදිරියට නැඹුරු වී දණහිස් මත තබා ගත් දෑත් වල මුහුණ ඔබා ගෙන ඔහු මඳ වෙලාවක් කල්පනා කළේ ය. කවදා හෝ දවසක සන්තුෂී ඔහු හැර යනු ඇත යන බියට යටින්, ඇය එසේ කරනු නැත ය යන සිතිවිල්ල වගා කර ගැනීමෙන් කල්ප ඒ අපහසුව මග හැර ගන්නට පුරුදු ව සිටියේ ය. එක අතකට ඇය දික්කසාද කොට දමා වෙනත් විවාහයක් කර ගත නො හැකි ද යන පැනය මේ මොහොතේ බලවත් ව නැගී සිටියේ ය. ඔහු නියැළී සිටිනා ක්ෂේත්රයෙහි විවාහය තරමට ම දික්කසාදය ද සාමාන්‍ය ය. කිසිවෙකුට එය විශ්මයක් නොවන අතර ටික දිනකට කතා කරමින් තලු මරන්නට මාතෘකාවක් පමණක් වේ.
“ගෑනුනං ගන්න බැරිද…හහ්..”
කල්ප නැගී සිටියේ සිය භීතියෙන් පළා යා හැකි සිතිවිල්ලකිනි. නමුත් ඔහු මුළුමනින් සන්සුන් ව සිටියේ නැත.
හැන්දෑවේ සන්තුෂී ගෙදර ආවේ ඇගේ අත්‍යවශ්‍ය ඇඳුම් ටිකක් ගෙන යන්නට ය. කාමරය තුළ වන ඇය පෞද්ගලිකව භාවිතා කරන ඇඳුම් පැළඳුම් හැරෙන්නට ඕ කිසිත් බෑග් එකෙහි අසුරා ගත්තේ නැත. ඒවා ද ඇය මුදල් උපයන්නට ගත්තාට පස්සේ මිල දී ගත් ඒවා ය. ඈ කල්ප සමගින් ආවේ හැඳි වත සමග පමණක් බව දැනුදු සන්තුෂී ට මතක ය. මේ ජීවිතය ගොඩ නැගුණේ කල්ප විසින් උපයන ලද මුදල් මත ය. ඇය ගෙදරට සීමා විය. ඇගේ වටිනාකම් ක්ෂය වෙමින් ගියේ ය. ඔහු ගේ ධනවත් කම් වැඩි වෙන්නට වෙන්නට ස්ත්‍රී සමාගමය ද පුළුල් වූ අතර සන්තුෂී දරුවන්ගේ අම්මා පමණක් වෙමින් කල්ප ගේ ලෝකයේ තිතක් සේ ඈතට තල්ලු වී ගියේ ය.
සන්තුෂී නැගී සිටියේ වසර ගණනාවක් තිස්සේ ඇයට දැනෙමින් තිබුණා වූ හීන මානයට එරෙහි ව ය. ඇයට නොලැබී යමින් ද අයුක්ති සහගත ලෙස ඇගෙන් උදුරා ගනිමින් ද තිබූ ඇගේ වටිනාකම් වෙනුවෙන් ය.
“මං…යන්නං කල්ප”
ඔහු ගේ කාමරය දොරකඩට ගොස් එසේ කියනා විට සන්තුෂී ගේ උගුරේ හිර වීමක් ඇති විය. කල්ප තියුණු දෑසකින් හැරී බැලුවේ ය. නමුත් යළිත් වතාවක් ඇයට ගෙදර නතර වෙන්න කියා ඉල්ලීමක් කරන්නට බැරි තරමට ඔහු ගේ මාන්නය ඔහු පරයා නැගී සිටියේ ය.
“හැබැයි ආයෙ එන්න බෑ”
ඔහු කීවේ සැබවින් කියන්නට ඕනෑ වූ දෙය නොවේ. සන්තුෂී මඳ සිනහවක් පාන්නට උත්සාහ කළා ය. නමුත් ඇගේ තොල් කොනක් සැලී ගියා විතර ය. මහත් වේදනාවක් ඇය යට කර ගෙන තිබිණ. ආදරය කියා විශ්වාස කළ හැඟීම හදවතේ මිය ගොස් කාලයකි. සිය යෞවනයේ දී පෙම් කළ මිනිසාට යළි කවදාවත් සිය හදවතේ ප්‍රේමයක් ඇති කර ගත නො හැකි බව සන්තුෂී ඉඳුරා දැන සිටියා ය. එක ම ප්‍රේමය මියෙමින් යළි ඉපදෙන්නට පුළුවන් කමක් නැත. මිය ගිය දේවල් එක්කෝ මහ පොළොවේ පස් වේ. නැත්නම් වායු ගෝලයෙහි වායු පොදක් ව මුහු වෙයි.
නමුත් ඉතිරි වී ඇති මහා විශාල බැඳීමක් වන බව සන්තුෂී ට දැනේ. ප්‍රේමය හා ඒ බැඳීම අතරේ විසල් වෙනසක් වන්නේ ය. ඒ බැඳීම වසර විසි ගණනක් පැරණි එකකි. දින දෙක තුනක් ගෙදර අගු පිළේ හෙවනට ගාල් වෙන අනාථ බලු කුක්කෙකුට වුණත් කෑම ටිකක් දී දින දෙක තුනක් වචන කිහිපයක් දෙඩුව හොත් සිතක ඒ බැඳීම ඇති වන්නේ ය. විශ්වයෙහි පවත්නා ජීව අජීව ඕනෑ ම දෙයක් අරබයා ඒ බැඳීම ඇති කර ගන්නට පුළුවන. උත්සාහයකින් තොර ව ඉබේ ඇති වන දෙයකි එය. කල්ප ගේ කල්ක්‍රියාව ගැන මනා සේ දැන හිඳියේ වී ද සන්තුෂී නීත්‍යාකූල බිරිඳ වශයෙන් අවසාන දිනය දක්වා සිය යුතුකම් ඔහු ගේ ගෙදරට ඉටු කළා ය. එහෙයින් ම ඒ බැඳීම හිතට බරක් ව දැනෙමින් තිබිණ.
“හ්ම්”
සන්තුෂී ගෙන් පිටට පිය තැබුවේ ඒ හිත් බරත් සමග ය. ඇගේ ගෙලෙන් ඇද පහර දී අඩියක්වත් පිටතට යාම තහනම් කියා කෑ ගසන්නට කල්ප ට සිත් විය. නමුත් ඔහු තමන් ව පාලනය කර ගත්තේ ය. ගැහැනුන් ඉදිරියේ බාල්දු වෙන්නට යාම පිරිමි කමට නො ගැලපෙන නිවට කමක් සේ ඔහු ට දැණේ. හරි හමන් පිරිමියෙකු නම් එක ගැහැනියක ජීවිතයෙන් පිටමං ව යත්දී තව දහයක් යහනට කැඳවා ගත හැකි ආකාරයේ අයෙකු සේ සිතන්නට ඔහු වඩා කැමති විය.
රිය පදවත්දී සන්තුෂී ට තනිව හැඬිණි. කවදා හෝ ඇය කල්ප අතැර ඒ ගෙදරින් නික්ම යනු ඇති බව කාලයක සිට ම ඇය දැන සිටියා ය. නමුත් නො තිබුණේ ඒ වෙනුවෙන් උපදවා ගත හැකි දිරියකි. හැමදාමත් වැරදි කළේ ඔහු ය. නමුත් ඇය ඒ මුල් පියවර තැබුවේ වී නම් ලෝකය ම ඔහු එක්ක එකතු වී ඇයට දොස් නගනු ඇති බව සිතූ සන්තුෂී ආත්මීය භීතියක් තුළ සිර වී එයින් ගොඩ යා නො හැකි ව බෝ කල් විඳවූවා ය. රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යන නිදහස් ගැහැනියක වූවාට පස්සේත් ඇයට ඒ පියවර ඉදිරියට තැබිය හැකි වූයේ නැත. නමුත් අම්මා ගේ නාමයෙන් හෝ මේ මොහොතේ ඊට අවශ්‍ය දිරිය උපදවා ගන්නට ඇය හිත හදා ගත්තා ය.
කවරක් වී ද මෙතුවක් ඒ විවාහක බැඳීම නඩත්තු කළ ගෙදරක් තිබිණි. ඇය එයින් පිට වූවා ය!
“අර පෝරිසාදය දැන් මොන ජල්ලි අල්ලයිද දන්නෑ. මට තනියක් නෑ. ඔයා ගෙදර යන්න”
ස්වර්ණකාන්ති දියණිය ට කීවා ය. සන්තුෂී වදනක් හෝ දෙඩුවේ නැත. ඇය පතිකුළය හැර පියා පැමිණි බව ලෙඩ පිට ඉන්නා අම්මා දැන ගත යුතු නැතය කියා සන්තුෂී තීරණය කොට තිබිණ.
“අම්මව ඕගොල්ලන්ගෙ ගෙදර එක්කගෙන ගියාද..”
කියා රාත්‍රියේ අංජන අසා එවා තිබිණ.
“මං අම්ම එක්ක නැවතුණා”
ඇය ඒ පණිවිඩය තැබුවේ මඳක් කල්පනා කොට ය. නමුත් සඟවා ගැනීම් හා රහස් වැඩි වෙන්නට වෙන්නට ජීවිතය කෙතරම් වෙහෙසකර වෙනවාද යන්න සන්තුෂී අත්දැක ඇති දෙයකි. ලෝකයට පේන්නට ඔබ සිනහ වෙත්දී ලෝකය ඔබට සිනහ වෙනු ඇත!
“එතකොට හස්බන් තනියමද…”
සන්තුෂී පිළිතුරු නොයවා සිටියා ය. ඇසුවේ නෑසිය යුතු ප්‍රශ්නයක්ද කියා අංජන ට වැටහුණේ නැත.
“ඒක එච්චර හොඳ දෙයක් නෙවේ නේද…ඔයාට අම්මව ගෙදර එක්කං යන්න තිබුණෙ”
සන්තුෂී ඒත් පිළිතුරු නො යැව්වා ය.
“මං එහෙම කිව්වෙ ජීවිතෙං ලැබිච්ච අත්දැකීම් වල නරක මතක නිසා…වැරදියට හිතන්න එපා මං එහෙම කියපු එක ගැන”
අවසන ඔහු එසේ කියා එව්වේ ය. සන්තුෂී ඒත් සිය මුණිවත නොබින්දා ය.
ඒ රැය ඇයට දුෂ්කර රාත්‍රියක් විය. තේරුම් ගන්නට උවමනා නැති රිදුමක් උගුරේ හිර වී තිබුණේ ය. කාලයක් තිස්සේ කල්ප ඇගේ ජීවිතයට ඈතින් සිටිය ද ලෝකයට පේන්නට ඇය ඔහු ගේ වහල යට සිටියා ය. මේ රැයින් උදා වන දවස ඒ අතීතයට අයිති එකක් නොවේ. නවමු එකකි. ඇයට ඒ අලුත් ජීවිතයට පිය නගා යන්නට උවමනා වී ද පරණ මතක කැබලි හා සුන් බුන් වූ සම්බන්ධය ද දෙදරූ බැඳීම ද ඊට පහසුවෙන් ඉඩ දුන්නේ නැත.