රිදුණු තටු පිරිමදිමි – 24

ඒ ලියවිල්ල සන්තුෂී සිරිවර්ධන අතට ලැබිණ. ඇගේ ශ්වසන හා ආහාර මාර්ගයන් ක්ෂණික වියළීමකට ලක් විය. සන්තුෂී වේගයෙන් හුස්ම ගන්නට පටන් ගත්තා ය. කල්ප බණ්ඩාරතිලක විසින් ඔවුන් ගේ විවාහය දික්කසාදයකින් කෙළවර කරන්නට නඩු පැවරූ බවට සිතාසි ලියවිල්ල!

එය සියතට පත් වනු ඇතැයි කිසි දවසක ඕ බලාපොරොත්තුවකින් නොසිටින්නට ඇත. ඉකුත් විසි වසරෙන් තුනෙන් දෙකකට වැඩි කාලයක් ඇය ඒ යුග දිවිය තුළ රැඳී සිටියේ ආශාවකින් හෝ සතුටකින් නොවේ. වෙන කරන්නට දෙයක් නැති කමට ය. දරුවන් ගේ අනාගතය කරා වැටී ඇති මාර්ගය අතර මගකින් අවහිර කරන්නට ඕනෑ නැති කමට ය. නමුත් තමුන් ඉදිරියේ දික්කසාදයක රතු එළි දැල්වී ඇති බව දැකීම හදවතක් දෙදරවාලයි.

ඒ විවාහ බැඳීම බිඳී ගොස් අවසන් ය. නමුත් දික්කසාදය කියන වචනය සන්තුෂී තුළ දැඩි කම්පනයක් ඇති කරවන ලදී!

විවාහක් කියන්නේ ඉතා තද ඇලීමකි. කෙතරම් අමිහිරි වී ද දරුවන් තනමින් කල් ගත වන කල තද මැළියමකින් ඇලවූවා සේ ඒ ඇලීම දැඩි වේ. එතකොට දික්කසාදයකින් දෙපසට කිරීම සඳහා ඒ ඇලීම ගලවා දමනු වස් දෙපසට ඇද දැමිය යුතු ය. එතකොට රිදිය හැක. පතුරු යා හැක. තුවාල සිදු විය හැක. සන්තුෂී ට මේ දැනෙන්නේ ඒ සියල්ල ය. නමුත් ගැඹුරට ඇනුණ කටුවක් වුව සැත්කමකින් හෝ ඉවත් කළ යුතු ය. පූර්ණ සුවයක් ලද හැක්කේ එවිටයි. 

සන්තුෂී ඒ ගැඹුරු කල්පනාවත් සමග මඳින් මඳ සන්සුන් වන්නට වූවා ය.  

කල්ප බණ්ඩාරතිලක විසින් දික්කසාද නඩුවක් දමන්නට යෙදුණේ ඔහු ට එවැන්නක් අවශ්‍ය වූ නිසා නොවේ. සිය වචනය කනකට නො ගත් සන්තුෂී ට පාඩමක් උගන්වනු වස් ය. ඇය වූ කලී මුදු මල් පියවිලි හිතක් ඇත්තියක බව ඔහු දැන සිටියේ ය. මේ තීරණය දැන ගැනීමත් සමග ඇය යළි ගෙදර දිව එනු ඇත කියා ද ඔහු බලාපොරොත්තු වූයේ ය.

“ගෑනි හොල්මන් වෙනව සිතාසි දැක්කහම. එයාව මට්ටු කරන්නෙ මේ සැරේ තමයි”

තමන් ගැන අනවශ්‍ය තරම් අධි මාන්නයක් ඇතිව කල්ප තනිව සිනාසුණේ ය. ඔහු ගේ පිරිමි හද පත්ලේ වන නිදන්ගත බිය ඔහු ගෙන් වුව සඟවා තබා ගන්නට මේ අහංකාරය ඔහු ට උදව් කළ හේතුවක් වූයේ ය.

කල්ප සිතුවේ සිතාසි දුටු විට බිය පත් වන සන්තුෂී සිය තීරණය වෙනස් කරනු ඇත කියා ය. සැබවින් ඔහු මේ නඩුව දැමූයේ ඇය යළි ගෙන්වා ගැනීමට මිස ඇගෙන් වෙන් වීමට නොවේ. නමුත් ඒ ගෙන්වා ගැනීම ඔහු ගේ තේජස වඩා තීව්‍ර කරවන අයුරින් සිදු වන්නේ ඇය අසරණ හා දුර්වල ය එන තරමට ය. එවිට යළි කිසි දාක ඇය මේ වගේ දෙයක් කරන්නට සිතනු හෝ නැතැයි හෙතෙම විශ්වාස කළේ ය. 

කල්ප දික්කසාදය ට හේතු ලෙස දක්වා තිබුණේ සිය බිරිඳ අනාචාරයේ හැසිරීම ය. ඔහු ට වඩා සිනා ඉපිදවූයේ එයයි. එය දුටු විට සන්තුෂී සිහිසන් ව වැටෙනු ඇතැයි ඔහු ට සිතේ. රටට ලෝකයට මූණ දෙන්නට බැරි ලැජ්ජාවෙන් මිදෙන්නට ඇයට වන එක ම මාර්ගය ඔහු ගේ පිහිට පැතීමයි. කල්ප වියරු සිනහවක් නැගුවේ ය. ඔහු මේ හදන්නේ ඇගෙන් පලි ගන්නට ය. ඔහු ම මිස ඇයට අන් සරණක් නැතැයි තහවුරු කරන්නට ය.

සන්තුෂී ට වැඩියෙන් රිදුණේ ඒ හේතුවට ය. දික්කසාදය සඳහා ඔහු ගොනු කොට තිබූ හේතුවට ය. අනාචාරය!

ගෙන් පිටතට ගොස් වරදෙහි බැඳෙනා බොහෝ පිරිමි ඒ වරද ප්‍රතික්ශේප කරන්නේ ගෙතුළ සිටිනා ගැහැනිය වෙතට අනාචාර චෝදනා එල්ල කරමිනි. කෙසේ වෙතත් සිය හෘදය සාක්ෂිය හමුවේ සන්තුෂී ඇය ව නිදොස් කොට නිදහස් කළා ය. ඒ චෝදනාව මත හෝ ඔහු වාගේ අශ්ලීල මිනිසෙකු වෙතින් ඉවත් ව යන එක යහපතකි. ඔහු ගේ වියරු පළි ගැනීමකින් දිවි තොර කර ගන්නට තරම් අවාසනාවන්ත නොවී, අනාචාරයේ හැසිරුණාය යන චෝදනාව මත වෙන් වී යන එක හොඳ ය.

ඒ චෝදනාව ගැන සන්තුෂීටත් වඩා ස්වර්ණකාන්ති හා තප්ති කලබල වූහ.

“මහ ජරා මිනිහෙක්. කොහොමද කටක් ඇරල උසාවියෙ ඔහොම කතාවක් කියන්නෙ…අවුරුදු විස්සක් තිස්සෙ තමන්ගෙ ගේ ඇතුළෙ හැම කුණු කන්දක්ම දරාගෙන හිටිය ගෑනියෙක්ට…තමන්ගෙ දරුවො දෙන්නගෙ අම්මට…ඒ ලමයින්ට උගන්නල ලොකු කරල ලස්සනට තැනකට යවපු ගෑනිට…එතකොට එයා බෝසත්..එයා නෙවේ වැරදි කළේ ගෙදර හිටපු ගෑනි..ය..කෝ…මූ මාර නළුවෙක්නෙ…”

නමුත් සන්තුෂී වචනයක් හෝ නොකීවා ය. ඇය නිවැරදි යයි උසාවිය ඉදිරියේ කෑ ගසා කිව හැකි වනු ඇත. හඬ හඬා යුක්තිය ඉල්ලා සිටිය හැකි වනු ඇත. වැරදි කළේ ඔහු බව පොළොවේ හැපි හැපී සපථ කළ හැකි වනු ඇත. නමුත් ඇයට ඕනේ ඒ එකක් හෝ නොවේ. ඒ පිළිකුල් සහගත නරා වළෙන් හැකි ඉක්මනින් ඉවත් වන්නට ය. ඉනික්බිති සදාකාලික සැනසීමක සව්මිය සිහිල විඳ ගන්නට ය.

“මං ලෝයර්ට කියනව ඩිවෝස් එක දෙන්න කැමතියි කියල. නඩුවට යන්නෑ”

හැන්දෑවේ සයුරු වෙරළේ ඇවිදිනා ගමන් සන්තුෂී හෙමිහිට මිමිණුවා ය. තප්ති ඇගේ මුව දෙස ම බලා උන්නේ දෙතොල් සෙලවීම මත ඈ කියනා දෙයක් තේරුම් ගැනීමට ය. වඩාත් පහළ ස්වර පරාසයක පැවති සන්තුෂී ගේ හඬ, මුහුදු සුළඟ පහසුවෙන් ම ඈතකට ගෙන ගියේ ය. තප්ති යෙහෙළිය ගේ මූණ දෙස ම බලා සිටියා ය. එය තනිකර ශෝක කලාපයකි. විවාහයක් මත්තේ ඈ කළ පරිත්‍යාගයන් හා දරා ගැනීම් හමුවේ මේ ඇයට අවමානයක් ද ආශීර්වාදයක් ද කියා තප්ති ට වැටහෙන්නේ නැත. නමුත් සන්තුෂී ට ඒ ආශීර්වාදයක් කර ගන්නට අවැසි වී ඇති බව නම් ඇයට දැනේ.

අද මේ හැන්දෑවේ මුහුදු වෙරළට යන්නට තප්ති කළ ආරාධනයට හේතුවත් සන්තුෂී වෙත වූ කැළඹීම ය. කිසිදු වෙනසක් ඇය කෙරේ නැතය කියා හඟවන්නට උත්සාහ කළා ට සන්තුෂී ගේ අභ්‍යන්තය කුණාටු සයුරක් වී ඇති බව තප්ති තරම් හොඳින් දන්නා කෙනෙකු නැත. රූපලාවන්‍යාගාරයේ සේවය කරන තරුණියන් දෙදෙනාටත් නිවාඩු ගන්න කියා එය වසා දැමීමෙන් ම තප්ති ඒ කුණාටුවේ ප්‍රවේගය වටහා ගත්තා ය. එදා වරු නිවාඩුවක් දමා තප්ති සිය දරු දෙදෙනා ද සමග සන්තුෂී ගේ මහ ගෙදර ආවේ මේ වෙලාවේ යෙහෙළියට තදින් අල්ලා ගන්නට අතක් අත්‍යවශ්‍ය බව දැන සිටි නිසා ය. මුහුදු වෙරළට ගිහින් රාත්‍රී ආහාර පිටතින් ගෙන එමු ය යන්න තප්ති හා ස්වර්ණකාන්ති විසින් ගන්නා ලද තීරණයකි. මේ වෙලාවේ පරඬල් පතක් සේ සුළඟ හමන හමන අතට ගසා යමින් සිටි සන්තුෂී පැය කිහිපයක් හෝ හිතට කරදර කරන මතක වලින් ඈත් වී සිටිත හැකි වීම ගැන සතුටු වූවා ය. පානදුර වෙරල වෙත ඔවුන් ගේ ගමන සිදු වූයේ සන්තුෂී ගේ මෝටර් රථයෙනි. ඇය ගේ මානසික තත්වය වියවුල් සහගත නම් කුළී රියක් ගෙන්වා ගමු කියා තප්ති කිහිප වර කීව ද සන්තුෂී එය ප්‍රතික්ෂේප කළා ය.

“මට එහෙම අවුලක් නෑ. ඕගොල්ලො හිතන්නෙ මං මේ ඩිවෝස් එක නිසා සුයිසයිඩ් කර ගනී කියලද…එහෙම නෑ. මේක වෙන්න ඕන දෙයක්. එකම දේ..ටිකක් අප්සට් ඉතිං…එක පාරට අලුත් දේකට ෆේස් කරනකොට එහෙම තමා ඉතිං”

ඒ බිඳීම් සතුට කියනා අමු ද්‍රව්‍යය යොදා පුරුද්දන්නට සන්තුෂී හිතා ගත්තා ය. වෙරළෙහි හැන්දෑව ගත කරන්නට ඇය කැමති වූයේ ඒ නිසාම ය. විශේෂයෙන් ම අම්මා ව ඒ වාගේ සැහැල්ලුවක් පිණිස පිටතට ගෙන යා හැකි අවස්ථා මෙතෙක් ඇයට උදා වී තිබුණේ නැත. අම්මා ගේ දිවියේ සැඳෑ සමය සතුටෙන් පිරි එකක් කරනා එක දැන් සන්තුෂී ගේ මහත් බලාපොරොත්තුවකි. අනිත් අතට තප්ති ගේ දහ සය හා දහ හතර හැවිරිදි දියණිය හා පුතු ඇසුරේ මඳක් විනෝද වීම ඇගේ මානසික ආතතිය දුරලන බව ද ඇය දැන සිටියා ය. ඩෙනිම් කලිසම් සාක්කුවේ ඔබා ගෙන උන් දුරකතන වයිබ්‍රේට් වෙනු දැනුණේ සන්තුෂී ළමයින් එක්ක සරුංගල් යවත්දී ය.

“හායි. කොහොමද…”

සැහැල්ලුවට පත් ව තිබි හිත නිසා වචන වල ද සතුට තැවරී තිබිණ. අංජන ට ඒ බව මැනවින් දැනුණේ ය.

“පොඩි උදව්වක් ඉල්ලන්නයි කතා කළේ”

“උදව්වක්…මොකද්ද…”

“ගිෆ්ට් එකක් තෝර ගන්න ඕන”

“ඕ…වයිෆ්ගෙ බර්ත් ඩේ එක ළඟද…එහෙනං ඔන්න යාළු වෙන්න චාන්ස් එක..තෑග්ගක් දීල ශේප් කර ගන්න බැරි මං වගේ ගෑනුන්ව තමයි”

එසේ පවසමින් ඇය හඬ නගා සිනහ වූවා ය. ශෝකයේ කරවටක් ගිලී යමින් හිඳියදී ඉන් ගොඩ එනු වස් මිනිසුන් කරන්නේ බොරුවටත් සිනහ වෙන එක ය.

“බර්ත් ඩේ එක සදෙව්මාගෙ. නෙක්ස්ට් වීක් එකේ”

“ඕකේ..මං සිලෙක්ට් කරල දෙන්නං”

“කොහෙද ඉන්නෙ…අමුතු නොයිස් එකක් එනව”

“බීච් එකේ. පානදුර”

“අපේ ඔෆිස් එක කිට්ටුවනෙ. කිව්වනං එනවනෙ”

“ඉතිං එන්න”

“කවුද ඇවිත් ඉන්නෙ…”

“මගෙ යාළුව එක්ක”

“අපෝ එහෙනං බෑ. මං දන්නෑනෙ ඉතිං”

“ඔයාව එයා දන්නව අනේ. අඳුරගන්න පුළුවන්නෙ ආවම”

තප්ති ඇයට රැව්වා ය. ඇයට ඔහු හැඳින ගැනීමේ අවශ්‍යතාවයක් නැති බව ද හැඟවූවා ය. නමුත් සන්තුෂී ඒ ගැන සැලකිලිමත් වූයේ නැත.

“ඔයාගෙ යාළුවත් ඉන්නව ඇවිත්. අම්ම..”

“ආ අම්ම ඉන්නවද…එහෙනං මං අම්ම එක්ක කතා කරල ටක් ගාල යන්න එන්නංකො”

“පිස්සුද ඕයි…”

දුරකතන සබඳතාව බිඳ දමන පමාවෙන්  තප්ති සන්තුෂී ගේ ඇඟට කඩන් පැන්නා ය. මිතුරිය ගේ ඒ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටියා වන් මඳහසක් සන්තුෂී ගේ ඇස් වල ඇඳිණ.

“අර යකා දික්කසාද නඩු දාල තියන වෙලාවෙ…පිරිමියෙක්ව බීච් එකට ගෙන්නන්නෙ…අනාචාරෙ හැසිරුණා කියන එකට සාක්කි එකතු කරල දෙන්නද ඕන කිසි වැරැද්දක් නොකරම…”

“එයා සාක්කි එකතු කරපුදෙං…මං බය නෑ. එයාට ඩිවෝස් එක ඕන නිසානෙ නඩු දැම්මෙ. මං ඒක දෙන්න එකඟයිනං නඩු කියන්න සාක්කි හෙව්වට වැඩක් නෑනෙ”

තප්ති තවත් කිසිත් කියන්නට නො ගියේ සන්තුෂී හිත පාරා ගෙන හිඳිනා බව, සිනහ වී සිටියද ඇය දැන සිටි නිසා ය.

අංජන ව දුටු ස්වර්ණකාන්ති සතුටෙන් පිනා ගියා ය. හේතුව කුමක් වුණත් මේ තරුඛයා ඇගේ හදවතේ සොඳුරු ම තැනක් ඉඩක් අල්ලා ගෙන හිඳී. ඇයට ඔහු සතුටු පෙත්තක් වාගේ ය.

“මේගොල්ලංගෙ වදේට ආවෙ. ඒත් දැන්නං හිතෙනව ආව එක හොඳයි කියල. පුතාව දකින්නත් පුළුවන් වුණානෙ. එනව කිව්වට ඊට පස්සෙ මාව බලන්න ආවෙවත් නෑනෙ”

ඇය අංජන ගේ අතකින් අල්ලා ගෙන ඒ සතුට ඔහු ට දැනෙන්නට හැරියේ ය.

හැන්දෑව විචිත්‍රවත් විය. බටහිර අහස අයස්කාන්ත තෙල් සායම් චිත්‍රයක් ඇඳ ගෙන සිටියේ ය. අහස පුරාම වෛවර්ණ සරුංගල් හිතුවක්කාරකම් කළේ ය. ඈත දියඹේ නෞකාවක් නතර වී තිබෙනු පෙනිණ. ඒ පැත්තේ සිට පෙරළී ගෙන ආ සුදු රැලි දඟකාර ලෙස වෙරළට විත් වැල්ලෙහි හිස ගසා මිය ගියේ පෙණ බින්දු දුක කියා හඬවමිනි. රැල්ලත් එක්ක ඇය වැල්ලේ යට ගිලී යනවා වන් සංවේදනයකින් සන්තුෂී දැරියක සේ ප්‍රීතිමත් ව සිටියා ය. ඇගේ සිනා සුදු පෙණ සේ  බුබුළු නංවමින් පිටාර ගැලුවේ ය.

ස්වර්ණකාන්ති එක්ක කතා කරමින් සිටියාට අංජන ගේ ඇස් තිබුණේ සන්තුෂී පස්සේ දුවමිනි. ඇගෙන් දැකිය හැකි ප්‍රීතිමත් බවට යටින් ගැඹුරේ වන කම්පිත බවක් ඔහු ට හැඳින ගත හැකි විය. 

“සන්තුෂී ගෙ මහත්තය ඩිවෝස් කේස් එකක් ෆයිල් කරල. සන්තුෂීගෙ හිත සැහැල්ලු වෙන්න තමයි තප්ති මේ ගමන දා ගත්තෙ”

ස්වර්ණකාන්ති ට එසේ කියවුණේ අංජන කෙරේ වූ ළෙංගතු බව නිසාම ය. අංජන ගේ ඇස් විශ්මයෙන් තවත් සිහින් විය.

“ඩිවෝස්…”

“ඇයි…සන්තුෂී පුතාට ඒ ගැන මුකුත් කියල නැද්ද…”

හිස සැලීම තුළ ම අංජන අභ්‍යන්තරික දෙදරීමක් අත්විඳින්නට වූයේ ය.

ස්වර්ණකාන්ති වදයෙන් පොරයෙන් ඔවුන් සමග කෑම කන්නට අංජනව ද නතර කර ගත්තා ය. තප්ති මුලින් ඔහු ට ඒතරම් සුහද ව මූණ දුන්නේ නැති වී ද පසුව ඇයත් නොදැනීම එය අහෝසි ව ගොස් තිබිණ. කෑම කන්නට අවන්හලට ගොඩ වෙන වෙලාව වන විට අංජන කාලයක පටන් පවුලේ හිතවතෙකු ගේ තත්වයට පත්ව සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles