දක්ෂිණ අධි වේගී මාර්ගයේ වැලිපැන්න සේවා පරිශ්‍රය ආශ්‍රිතව අංජන රිය නතර කළේ ය. වැඩි අවධානයක් රිය ධාවනය වෙත යොමු කරනවා වෙනුවට මඳ වෙලාවකට හෝ සමස්ථ අවධානය සන්තුෂී වෙත යොමු කරන්නට ඕනේ කියමින් ඔහු ගේ යටි හිත කෑ ගැසුවේ ය. මේ විවේකය ඔහු තමන්ට ම අවනත වීමකි. මිනිසුන් ඉඳහිට සුළු මොහොතකට හෝ තමන් ගේ හදවතට එකඟව ජීවත් විය යුතු ය!
“මොනා හරි බීල යං…ම්…”
ඇගේ ආසන පටිය මුදා ලන ගමන් ඔහු කීවේ ය. සන්තුෂී ඔහු දෙස ම බලා සිටියා ය. පිරිමියෙකු ට ස්ත්‍රී හදවතක් තුළ කඳවුරු බැඳ ගැනීමේ ලා කළ හැකි දේවල් කෙතරම් සරල ද? නමුත් ඒ සරල ක්‍රියා තුළ ඔවුන් අවුරා ගනු ලබන ඉඩ කඩ කෙතරම් නම් විශාල ද? අංජන නීලවතුර කියන්නේ විසල් මිනිසෙකි. එක වචනයක් හෝ කතා නො කොට බොහෝ දේ හඟවන මිනිසෙකි. ඉතා සුළු දෙයක් කොට සංසාරික මතකයක් ඉතිරි කරනා මිනිසෙකි. එහෙම පිරිමින් ඉතා විරල වන තරමට ස්ත්‍රී ආත්ම තුළ ඔවුන් වෙනුවෙන් විශාල ඉල්ලුමක් ඇති වේ. නමුත් ඒ ඉල්ලීම් සපුරා ලිය හැක්කේ අල්ප වශයෙනි. එනිසාවෙන් ම අති බහුතරයක් ගැහැනු එවන් පිරිමියෙකු හමු නොවී, එවන් පිරිමියෙකු ගේ අවශ්‍යතාව හිත් පත්ලේ හංගා ගෙන ජීවත් වී ඉච්ඡා භංගත්වයෙන් මියෙති.
අංජන රියෙන් බැස විත් ඈ සිටි පස දොර හරිනා තුරුත් සන්තුෂී හිටියේ ඒ කල්පනා දැලෙහි පැටලී ගෙන ය.
රිය දොර හැර ගෙන ආරාධනා දෑසකින් බලා හිඳිනා ප්‍රේමණීය මිනිසෙක්! සන්තුෂී සිරිවර්ධන ගේ ගැහැනු පපුවේ ඈත ද මෑත ද එක ම භූමි කම්පාවකට ලක් විය. ඔහු ගේ නේත්‍ර සීමාවේ චුම්බක ක්ශේත්‍රයේ ප්‍රබල විද්‍යුත් චුම්බක බලයක් ඇය අත් වින්දා ය.
ඔහු ඇවිද්දේ ඇගේ අතේ ගෑවෙන නො ගෑවෙන තරම් පරතරයකිනි. ගෑවීමකට වඩා එවන් නො ගෑවීමක් හැඟුම් විහඟුන් පුපුරුවාලයි. සන්තුෂී ඒ උණුහුම් සීමාවේ ඉතා පරිස්සමෙන් පිය නැගුවා ය. ඒ ඔහු ට වඩා දශම කිහිපයක් පමා වූ පිය නැගීමකි. ඈ එසේ කළේ හිතා මතා ම ය. එතකොට ඇස් පුරා ඔහු දැක ගත හැකි ය. අංජන ගේ අත්ල හා අතැඟිලි රෝස පාටකට ඇයට පෙනිණි. ඇඟිලි පුරුක් මත්තේ තද කොළ පාට රෝම කිහිපයකි. ඇගේ සිහින් දිගු ඇඟිලි ඒ පිරිමි ඇඟිලි වල තැවරීමේ ලෝබකමක් වින්දේ ය. ඒ වෙත්දීත් අංජන නම් හිතින් ඇගේ අතැඟිලි පටලා ගෙන සිටියේ ය.
ආහාර අංගනයට ගොඩ වන විට ඔවුන් දෙදෙනාට ම සුසුමක් හෙළුණේ ඉබේට ය.
“මොනාද කන්නෙ…”
ඔහු විමසුවේ නො දන්නා ගැහැනියක ගෙන් නොවේ. අවුරුදු ගණනක් මතු නොව ආත්ම ගණනක් තිස්සේ දන්නා ගැහැනියක ගෙනි. බැඳීමක් කියන්නේ ආත්මය පුරා ඔඩු දුවන්නා වූ පිළිකාවකි. ආදරය යනු අඹු සැමි ක්‍රියාවලියක් ම නොවේ. වචන උසුරුවන රිද්මයේ ආදරයත් බැඳීමත් තියේ. බලන බැල්මක ආදර හැඟුම් කෝටි ගණනින් දැල්වේ.
“ඕන දෙයක්”
එක නිමේශයකට හෝ මුළු ජීවිතය ම ඔහු ට පවරා දී නිදහස් වෙන්නට සන්තුෂී ට අවැසි විය. ඔහු ඇස් දෙකෙන් තත්පරයකට ඇයව සිම්බේ ය.
කෙටි කෑම ටිකක් හා බීම කෑන් දෙකක් ගෙන ඈ අතට දී ඔහු මුදල් ගෙව්වේ ය. සන්තුෂී ටික ටික නිවෙමින් සිටියා ය. සෙවනැති තුරු ගොමු ආශ්රත කොංක්‍රීට් බංකුවක් වෙත විත් ඔවුහු අසුන් ගත්හ. ඔවුන් අතරේ උවමනාවෙන් ම තැබූ පරතරය බිඳ ගෙන හදවත් වලින් උනුන් සමීප ව හිඳි බවක් දෙදෙනාට ම දැනෙන්නට ඇත. සන්තුෂී බීම උගුරක් බීවා ය.
“අදින් ඉවරයි. මෙතනින් පස්සෙ අපි මේ කිසි දෙයක් කතා කරන්නෙ නෑ හොඳද…”
ඇය සිනා දෑසක් ඔහු ගේ ඇස් මත තබා විවර කළා ය. අංජන ඒ පාර දිගේ ඔහු නො දැන සිටි දුරක් ඇවිද යාමේ උත්සාහයක් දැරුවේ ය.
“එක ම ගඟ දෙපාරක් දකින්න බෑ කියනවනෙ. ඒ දේවල් සිද්ද වෙලා ඉවරයි. සන්තුෂී අතීතෙ ගැන පසුතැවිලි වෙවී ඉන්න ගෑනියෙක් වෙන්න ඕන නෑ. ඉතුරු වෙලා තියන හැම මොහොතක් ම විඳගෙන සතුටෙන් ඉන්නයි ඕන. හිතට එකඟව ඇත්ත සතුටෙන්”
“ඔයා එහෙම ඉන්න තමයි ඕන”
අංජන උගුරේ පත්ලෙන් හඬ පිට වෙන සේ කීවේ ය. ඒ වදන් සරෙහි වූයේ අසීමිත ආදරයයි. මල් වලට ආදරය කිරීම කියන්නේ කලාවකි. මල් නොකඩා ඒවායින් බුදුන් පිදීමත් ඒ කලාවේ දිගුවකි.
හාත්පස එහෙ මෙහෙ යන ජනී ජනයා දෙස සන්තුෂී ඔහේ බලා සිටියා ය. නරක ම දෙය මහා සෙනගක් අතරේත් තනිකමක් දැනීම ය. තනිකම තුළ අපරිමිත දුක් විඳි මිනිසුන් වැඩි වැඩියෙන් තනි වෙන්නට බිය ය.
“අපිට යාළුවො වෙන්න පුළුවන් නේද…”
එක්වන සන්තුෂී විමසුවා ය. ඇගේ වචන අතරේ තිබුණේ සංයමයට පත් ගැහැනු හුරතලයකි. නමුත් ඒ ඇස් යට හැංගී තිබූ රිදුම අංජන ඇගේ දෑසින් දුටුවේ ය. ඔහු වාචික පිළිතුරක් දුන්නා නොවේ. එක එල්ලේ නිහඬ දෑසකින් ඇදෙස ම බලා සිටියා පමණකි. ඒ බැල්මේ කෙළවර ඔහු බංකුවෙන් යන්තම් නැගී හිඳිමින් ඇයට වඩාත් සමීප ව යළි අසුන් ගත වූයේ ය. ඒ සමග ම සිය වමතින් සන්තුෂී ගේ හිස සිය උරයට බර කළේ ය. ඉතා හෙමිහිට ගත් හුස්මකින් පෙනහලු පිරෙන්නට හරිනාතරවාරයේ ඇය ඇස් පියෙන්නට හැරියා ය. අංජන දෙවරක් නො සිතා සන්තුෂී ගේ අතැඟිලි අතරේ සිය ඇඟිලි පටලා ගත්තේ ය.
ඒ මොහොත එතෙක් විශ්වය බිහි කළ ලස්සන ම නිමේශය සේ ඔවුන් දෙදෙනාට ම දැනිණ. හද ගැස්ම තරමක් වැඩි වී තියෙන්නට ඇත. ශ්වසන වේගයත් මඳක් වැඩි වූවාට සැකයක් නැත.
ඇස් පියා ගත් විට වැඩියෙන් පෙනෙනවා යි කතාවක් තිබේ. ඇගේ විවාහය කෙළවරකට එළඹ තිබිණි ද ඔහු ට එසේ නැත. අනුන්ගේ පිරිමියෙකුට ලං වී සසරේ තව තව භවයන් හි ප්‍රේමයක් අහිමි ව උපදින්නට පව් පුරවා ගත යුතු නැත. ඇය වහා ඇස් ඇරියේ හිස ඔහු ගේ අත් ගොඩයෙන් ඉවත් කරමින් හා අතැඟිලි ඔහු ගේ ඇඟිලි වලින් මුදවා ගනිමිනි. නමුත් ඒ තත්පර කිහිපය සියල් නිදන් ගත දුක් නිමවා තිබිණ. සන්තුෂී කෙටි කෑම සහිත දුඹුරු කඩදාසි බෑගය අංජන වෙත පෑවා ය.
“දැන් සදෙව්මාගෙ බර්ත් ඩේ එකට කෙල්ලට මොනාද දෙන්නෙ…”
ඇය මොහොතකින් ඔහු ගේ හොඳ ම යෙහෙළිය වී සිටියා ය. අංජන ගේ පපුවට පිරුණු හැඟීමක් දැනිණ.
“ඇඳුම් ටිකක් තමයි අරං දෙන්න ඕන. ක්ලාසස් එහෙමත් යනවනෙ. මට ආසයි කේක් එකක් ගිහින් දෙන්න. ඒත් තියන තරහට
“ඉතිං අපි කුරියර් සර්විස් එකකින් යවමු”
“ඒත් හිතයි නේද මමයි එව්වෙ කියල…වෙන එයාට එහෙම තෑගි එවන්න කෙනෙක් නෑ කියල වින්දි වුණත් දන්නවනෙ”
“ම්…අපි මෙහෙම කරමුද…මං එයාට බර්ත් ඩේ කාඩ් එකකුයි තව පොඩි ගිෆ්ට් එකකුයි යවන්න හිටියෙ කොහොමත්…ස’ප්‍රයිස් එකක් විදිහට. ඔයාට ඕනෙ ඔයයි එවන්නෙ කියල නොදැනී එයාට දෙයක් දෙන්නනං…ඒකත් එක්කම යවමු”
“එහෙම හොඳයි”
මන්දාරමකින් පස්සේ හිරු අහසේ විකසිත වූවා වන් සිනහවක් ඔහු ගේ මුහුණේ ඇඳිණ.
“ඒත් වින්දි ප්‍රශ්න කරයි. ඔයා එක්ක සදෙව්මාට එච්චර හිතවත් කමක් කොහෙන්ද කියල”
“ඒ වෙලාවට මං මොනා හරි කියන්නංකො. ඉතිං…අපි කවදද ශොපින් යන්නෙ…”
ඊට පස්සේ තිබුණේ සිනහව විතර ය. යළි සැලෝන් සන්තු ළඟ දී වෙන් ව යන විට සන්තුෂී යම් කිසි සමාදාන සුවයකට එළඹ සිටියා ය. නමුත් අංජන සිටියේ නොනිමි ගින්දරක ය.
කල්ප බලවත් පසුතැවිල්ලක් අත්වින්දේ ය. එය පරාජිත හැඟීමකි. ඔහු දික්කසාද නඩුවක් ගොනු කරනා තැනට ගියේ එවැන්නක අවශ්‍යතාවයක් වූ හින්දා නොවේ. එයින් සන්තුෂී ව මට්ටු කොට යළි ගෙදර ගෙන්වා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු විසින් බන්දේසියක තබා පිළිගන්වනු ලැබූ දික්කසාදය ඇය දෝතින් ම පිළි ගත්තා ය. ඉස්සරහාට තැබු පය යළි පිටුපසට ගත නො හැකි ය. පරාජිත හැඟීම උහුලා ගැනීමට තරම් ධෛර්යයක් ඔහු ට ඇත්තේ ද නැත. සන්තුෂී සමග සාම සාකච්ඡාවකට එළඹෙන්නට ඔහු හිතුවේ ඒක ය. එදා හැන්දෑවේ ඇය ගෙදර එන වෙලාව අල්ලා ඔහු මහ ගෙදරට ආවේ ය.
“ඔය ළමයමනෙ ඩිවෝස් එක ඉල්ලුවෙ. දැන් මෙහෙ බඩ ගාල සමාදාන වෙමු කියන එකේ තේරුමක් නෑනෙ. නඩුව ඉල්ලා අස් කර ගත්තත් මං හිතන්නෑ ආයෙ සන්තු ඔයා ළඟට එයි කියල”
ස්වර්ණකාන්ති අහංකාරබලීලාවෙන් කීවා ය. කොහොමටත් ඇයට කල්ප එක්ක කෝන්තරයක් තිබිණ. ඉගෙන ගන්න පන්තියට ගිය නොදැරිය රවටා ගෙන ගොස් අඩු වයසින් ම විවාහ කර ගත්තාය කියන අප්‍රසන්න හැඟීම ගැඹුරට මුල් දුවා තිබිණි. ඊට අමතරව කල්ප ගේ තිබූ උද්දච්ච ගති ගුණ ඇයට පිළිකුල් ය. සන්තු ගේ පියා මිය ගිය ඉක්බිති කෙටි කාලයකට එහි නතර වී සිටියදී කල්ප පෙන්වූ අහංකාරය හා අකාරුණික බව ඇගේ හිත පෙළා තිබිණි. ඒ කවරක් වී ද දියණිය ගේ විවාහය බිඳ වැටෙනා ප්‍රාර්ථනයක් අම්මා ගේ තුන් හිතකවත් නොවී ය. නමුත් සන්තුෂී කෙතරම් පීඩනයක් දරා ගෙන ඒ මන්දිරය තුළ සිටින්නට ඇත්ද යන පැනය දැන් ඇය ඉදිරියේ දැවැන්ත ලෙස පෙනී සිටී.
“අම්ම කෙනෙක් දුවෙක්ගෙ කසාදෙ දික්කසාදෙ වගේ තීරණාත්මක දේවල් ගැන ඔය විදිහට කතා කරන එක වැරදි නැද්ද…එයාට හරි වැරැද්ද තේරුං කරල දෙන්න අම්ම විදිහට”
ඒ වෙලාවේත් කල්ප ප්‍රකාශ වෙන්නට හැරියේ සිය උද්දච්ච බව ම ය.
“මං තේරුං කරල දෙන්න සන්තු බබෙක් නෙවේ. එයාගෙ ජීවිතේ ගැන මුලින් ම වැරදි තීරණයක් ගත්ත වෙලාවෙත් ඒක නිවැරදි කරන්න අපිට පුළුවන් වුණෙ නෑනෙ. දැන් ඉතිං කොහොමවත් බෑ”
ඇය කිසිදු බුරුලක් නොදුන්න ද නන්දා ලවා තේ කෝප්පයක් සාදවා කල්පට එය පිළිගැන්වූවා ය. එය තනි වචනයකින් ප්‍රතික්ෂේප කරන්නට සිතුණ ද ඉන් යම් අවාසියක් විය හැකැයි බියෙන් කල්ප තේ එක ගෙන ස්ටූලය මතින් තැබී ද බීවේ නැත.
සන්තුෂී ආවේ ත්‍රීරෝද රියක ය. කල්ප ගේ මෝටර් රථය දුටු ඕ කොණ්ඩය සකසා ගෙන මුහුණට මඳහසක් ද කැඳවා ගත්තා ය.
“නඩුව ගැන දෙයක්නං කල්පට තිබුණනෙ ලෝයර්ට කතා කරන්න. මෙහෙ ආවෙ අපරාදෙ”
නගා ගත් ගර්වයකින් යුතුව සන්තුෂී නිකට මඳක් ඉහළට ඔසවා ගෙන කීවා ය. දික්කසාදය ගැන ඇයට කිසිදු දුකක්, බියක්, චකිතයක් නැතැයි ඔහු ට සිතිණ.
“අපි ඒක අමතක කරල දාමු. මං නඩුව ඉල්ලා අස් කර ගන්නං”
බැගෑපත් පරාජිත බව වහ ගනු වස් ඔහු දෙඩුවේ සන්තුෂී ට අනුකම්පා කරන්නට සූදානම් මාන්නයකිනි.
“අනේ එපා. ඔය විදිහට යං. ඔයා නඩුව අයින් කර ගත්තොත් මට නඩුවක් දාන්න වෙයි”
ස්වර්ණකාන්ති ගේ මුව කොනක සාවඥ සිනහවක සලකුණු ඇඳිණි.
“අම්මටත් පුළුවන්නෙ මෙයාගෙ තනියට අපේ ගෙදර ඇවිත් ඉන්න”
“අනේ මාව ඕවට ගාවගන්න එපා. මට කාගෙවත් තනි රකින්න ඕන නෑ. ඒ වගේම මට කාගෙවත් අගු පිල් වල වැටිල ඉන්න ඕන නෑ මගෙය කියන්න බිත්ති හතරකුයි වහලකුයි තියන නිසා. සන්තු කැමති දෙයක් කර ගන්න”
“එක සැරයක් එපා කියල අනාචාරෙ හැසිරෙනව කියල ජරා චෝදනාවකින් නඩු දාපු මිනිහෙක් ළඟට ආයෙ සංසාරෙ කිසි දවසක යන්න බලාපොරොත්තුවක් නෑ මට”
“ළමයි එක්කත් මං කතා කළා”
“මාත් ළමයි එක්ක කතා කළා. කල්ප ප්ලීස්…කතා කරන දෙයක් අපි ලෝයර්ස්ල හරහා කතා කරමු. මං කැමති නෑ ඔයා ආයෙ මෙහෙ එනවට. යන්නං”
ඇය ආලින්දයේ සිට කාමරය දෙසට ඇවිද යන්නට ගියා ය. සන්තුෂී ගේ උස් පාවහන් පොළොවේ හැපෙනා ටකටකස් හඬ කල්පට ඇසුණේ සිය හදවත දෙසිනි. ඇගේ පාවහන් අඩි වලට තද වී ඔහු ගේ පපුව රිදිණි.
“එහෙනං එහෙමයි නේ…”
කියමින් ඔහු අසුනෙන් නැගිට රිය වෙත ගියේ ය. ස්වර්ණකාන්ති අතින් මුව වසා ගෙන සිනහව තද කර ගත්තා ය. ඇගේ සිත්හි වූයේ මේ වගේ වෙලාවක කල්පට දෙලෝ රත් වන්නට අංජන වාගේ කොල්ලෙකු මෙහි එන්නට තිබුණා යන සිතිවිල්ලයි.