ශරදාකාසේ – 09

එසඳි ගේ සිඟිති බස් දෙඩීමක් හැරුණ විට අවට වාතාස්‍රය පිරුණේ සුසුම් වලින් පමණකි. ආකාස කල්පනා කරමින් ආලින්දයෙහි සක්මන් කළේ ය. ඒ අතරේ ම එසඳි එක්ක කෙළි සෙල්ලමක ද නිරත වූයේ ය. නිශාමනී සේ දැරියට සැර වැර කොට පසෙකට කරන්නට ඔහු ට සිත් දුන්නේ නැත. 

නිශාමනී ඔහේ බලා සිටියා ය. නොයෙකුත් සිතිවිලි ඇගේ හිත ළඟ පිනුම් ගසයි. ඒ කිසිත් නිරවුල් නැත. වෙන් කොට හැඳින ගත නො හැකි ය. මේ තරම් දෙයක් සිදු වී තිබියදීත් ශාරද එක්ක ලොකු රණ්ඩුවක් අල්ලන්නට බැරි වූයේ ඇයි දැයි එක හදිසි නිමේශයක ඇය ට කල්පනා විය. ඒ කල්පනාව ඇය ව සසල කොට තිගස්සවා ලී ය. දුක කියවමින් ඇය හැඬුවා ය. නමුත් ඉස්සර පෙම් කළ කාලයේ දී මීට වඩා සුළු දේ වලටත් ඇය ලොකු රණ්ඩු අල්ලා තිබේ. එදා දැනුණ කේන්තියෙන් අඩක් හෝ, ඔහු විවාහකයෙකු ලෙස ඇය ට ද්‍රෝහි වී තිබියදී නො දැනුණේ ඇයි? ඒ දැනුණා වූ හැඟීම බරපතල ආත්මානුකම්පාවක් මත ඇති වූවකි. හෘදයේ ලොකු දෙදරා යාමක් මත ඇති වූවකි. නො එසේ ව එය ප්‍රේමයට අදාල රිදීමක් නො වන්නේ ද? විවාහය, දරුවා, අනාගත අවිනිශ්චිත වැනි බව වැනි කාරණා අන් සියල්ල පරයා පෙරමුණට එන්නේ ඇයි? හදවතේ ශාරද උන් තැනින් ඇය ද නොදැනී ඔහු ලිස්සා ගිහින් ද?

“දැන් ඔයා හදන්නෙ අර නූගත් හැකර ගෑනියෙක් වගේ ඔය ගෑනු ළමයට කතා කරල බනින්නද…”

බෝ වෙලාවක නිහැඬියාවකින් පසු සක්මන නවතා ආකාස ප්‍රශ්න කළේ ය. විනිවිද බැල්මක් හෙළුවා මිසක නිශාමනී පිළිතුරක් දුන්නේ නැත.

“මෙහෙම වෙලාවක රැල්ලට වගේ හුඟක් ගෑනු කරන්නෙ ඒක තමයි. තමන්ගෙ  අයිතියනෙ. කසාද මිනිහ කියන්නෙ කසාද අයිතියනෙ. ඉතින් අර අයිතියක් නැති ගෑනිට සද්දෙ දාල අයිතිය පෙන්නනව. මටනං හිතෙන්නෙ ඒබතරං විළි ලැජ්ජ නැති තවත් වැඩක් නෑ”

“එතකොට මං වගේ ම ගෙවල් වලට වෙලා මුකුත් නොදැන ඉන්න වයිෆ්ලද ලැජ්ජ නැති වැඩේ කරන්නෙ…පංචලී ල නෙවෙයිද…ඔයත් එහෙමද කියන්නෙ මල්ලි…”

“නීතියෙංම ලියා ගෙන…තමුංගෙ වහල යට ජීවත් වෙන..තමුංගෙ ඇඳේම නිදියන හරි සදාචාරවත් නෝනලගෙ මහත්තුරු වෙන ගෑනු ළඟ නතර වෙන එකට වැරදිකාරයො ඒ ගෑනුයි කියල හිතන්න බැරි තරමට මං මේ සිද්දි දැකල තියනව”

නිශාමනී ගේ තොල් කොනක් සැලී ගියේ ය. කම්මුලක මාංශ පේශින් ගැස්සිණි. සැබවින් ඇය ට දැනුණේ සිහි මුර්ඡා වී සිටි අවස්ථාවක තද කම්මුල් පහරක් වැදුණා සේ ය. 

“ඔයා කියන්නෙ…මේක මගෙ වරදක් කියලද මල්ලි…එතකොට ශාරද වැරදි නැද්ද…”

“අයිය තමයි වැරදි. සීයට දාහක් වැරදි අයිය. ඔයාට වගේම එයාටත් අයිය වන්දි ගෙවල නිදහස් වෙන්න බැරි වරදක් කරල තියනව. හැබැයි ලෝකෙ ඇඟිල්ල දික් කරන්නෙ අර ගෑනිට විතරයි. මරාගෙන කන්න හදන්නෙ ඒ ගෑනිව විතරයි. පවුල් කඩනව කියල චෝදනා කරන්නෙ ඒ ගෑනිට විතරයි. පවුල රැක ගත්තෙ නෑ කියල නීත්‍යානුකූල බිරිඳට වැරදි කියන්න  කෙනෙක් මේ ලෝකෙ නෑ. මොකද එහෙම කළොත් හුඟක් ගෑනුන්ට චෝදනා ලබන්න වෙනව. කසාද බැන්දට පස්සෙ ගොඩක් ගෑනු අයට එතනිං හැම දේම ඉවරයි. අයිති කර ගත්තනෙ..දැං ඉතිං මගේනෙ. ඔක්කොම සෙල්ලං ඉවරනෙ කියලයි හිතන්නෙ. එහෙම හිතල අත්ඇරල දානව. කොහොමත් දෙයක් අයිති වුණාට පස්සෙ ඒකෙ අගයක් වටිනකමක් නැති යෙලා යන එකනෙ මනුස්ස ගතිය. ඊට පස්සෙ ජීවිතේම කර ගන්නෙ දරුවො. ගෙදර වැඩ. මනුස්සයව අත් ඇරිල යනව. කන්න බොන්න උයල දෙනව රෙදි ටික හෝදල දෙනව තමයි. ළඟින් නිදා ගන්නවත් තමයි. ඊට වැඩිය මොනාද කියල තමයි හුඟක් ගෑනු අය අහන්නෙ. එයාල දන්නෑ…එයාල මනසින් එයාලගෙ මහත්තුරුන්ව අත් ඇරල කියල. අඬාගෙන ඇහැරෙන්නෙ ඒ මහත්තුරු එළියෙ තව සම්බන්දයක් පටං අරං කියල දැන ගත්තහම. ඒකත් මේ නෝනල දැන ගන්නවද මුලිංම…නෑ…සෑහෙන දුරක් ගියාට පස්සෙ…සෑහෙන කාලයක් ගියාට පස්සෙ…එක්කො පිටිං කවුරු හරි කිව්වට පස්සෙ..නැත්තං මොකක් හරි ලොකු දෙයක් අතටම අහු වුණාට පස්සෙ…ඔයාට ඔය රිං එක අහු වුණා වගේ…එයාලට නිකමට දැනෙනවද තමුංගෙ හස්බන් තමන්ගෙ පාලනෙං මිදිලයි කියල…එයා දුර ඈත අහසකට ගිහ්ල්ලයි කියල…”

“ශාරද වෙනස් වෙලා කියල මට දැනුණ”

නිශාමනී ගේ හඬ අතිශය දුර්වල වූයේ ය. වැරදිකාර හැඟීමක් ඇගේ හිත යටින් මතු ව ආයේ ය. ආකාස මඳහසක් නගා ගත්තේ ය.

“ඉතින් ඔයා මොකද කළේ…එහෙම වෙනස් වෙන්න හේතුව මොකද්ද කියල හොයල බැලුවද…එහෙම වෙනසක් ඇති නොවෙන විදිහට එයා ළඟින් ඉන්න ඕන කොහොමද කියල හිතුවද…”

නිශාමනී බිම බලා ගත්තා ය. නමුත් ඇතුළාන්තයෙන් ඕ හීල්ලුවා ය. ආකාස ඈ ළඟට ම විත් මඳක් පහත් වී ඇගේ මුහුණට එබුණේ ය.

“මං මේ කියන්නෙ ඔයා වැරදියි කියල නෙවෙයි. මෙහෙම වෙලාවක වරද කාගෙද කිය කිය එක එක පැත්තට ඇඟිල්ල දික් කරන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නෙ. ඒත් හිතන්න ඕන එහෙම වරදක් වුණේ කොහොමද කියලයි”

තව කිසිත් කතා කරන්නට තරම් සිතක් නිශාමනී කෙරේ නො විණ. සැබවින් ඇය ට උවමනා වූයේ පෙරපර ගලපා සිතන්නට ය. කාමරයට ගිය ඕ, ඒ යහනේ වැතිරෙන්නට හිත ඉඩ නො දුන්නෙන් නැගී සිටියා ය. යළි පා වෙමින් වගේ යාබද කාමරය වෙත ගියා ය. ඒ ආකාස ගේ හා ශාරද ගේ කාමර අතර මැදින් වන කාමරයයි. නිශාමනී එහි යහනේ වැතිරුණා ය. ඈ කොහේ දෝ අගාධයක ගිලී යන්නා සේ ඇය ට දැනෙන්නට විය. වචන වලින් පහදා කියන්නට බැරි ලැජ්ජාශීලී බවක් ඇගේ හුස්ම හිර කරමින් තිබිණ.

පංචලී ශාරද ට ද හොරෙන් කඳුළක් පිස ගත්තා ය. ඔහු සිටින්නේ අසීමිත මානසික ව්‍යාකූලත්වයක බව ඇගේ ලේ වලට ම දැනිණ. ඒ ඇස් වල වන භීතියේ සලකුණු ඇය හැඳින්නා ය. විටින් විට වචන වලින් මොනවා කීවත් ශාරද සිය විවාහය හැරපියා එන්නේ නැති බව යළි යළිත් ඇය පසක් කර ගනිමින් සිටියා ය. නමුත් තමන් ගැන පසුතැවීමක් ඇය ට දැනුණා නොවේ.

“ඔයා කා ළඟ කොහොම හිටියත් මට කමක් නෑ කියල මං කියලනෙ තිබුණෙ”

මුදු මදහසකින් හා මුදු ස්වරයකින් මිමිණුවා ට ඇගේ හද තුළ ගිනි කන්දක උණුසුම විය. නමුත් කිසි දා විදාරණයකට අයිතියක් නොවන බව ඇය දැන සිටියා ය. අයිතිය කියනා වචනය ම ඇය ට අයිති නැත්තේ ය. අනිත් අතට ප්‍රේමය කියන්නේ නීතියෙන් සින්නක්කරේට ලියා ගත හැකි හැඟීමක් නොවෙතැයි කියා ද ඇය විශ්වාස කළා ය. එසේ කළ හැකි නම් ශාරද නිශාමනී ගේ තුරුළෙන් මිදී ඈ වෙත ආවේ කෙසේ ද? 

“ඔයා වේලාසන ගෙදර යන්න ශාරද…ටිකක් නිවී සැනසිල්ලෙ නිශාමනී එක්ක කතා කරන්න. එයාගෙ ඇඟට කඩං පනින්නෙ නැතුව කතා කරන්න. එයාට කියන්න දේවල් ඇති. ඔයාටත් කියන්න දේවල් ඇති. එ් දේවල් කතා කරල හිත් නිදහස් කර ගන්න”

එනමුත් ඇගේ හද බර ව තිබිණ. ඇස් ද බර ව තිබිණ. නිශාමනී ඒ සන්තාප කඳුළු අමතක කරනු වස් රාජකාරී අතරේ අතරමං වූවා ය.

ශාරද වේලාසන ගෙදර එන විටත් ආකාස එසඳි සමගින් ආලින්දයේ බිම වාඩි වී සෙල්ලම් කරමින් සිටියේ ය. දියණිය දිව ගොස් පියා ගේ කකල් දෙක වැළඳ ගත්තේ ය. ශාරද සිඟිත්තිය වඩා ගෙන කම්මුල් සිප ගත්තේ ය.

“තාත්ති අද ඉක්මනට ඇවිත්..මට සෙල්ලං කරන්න පුළුවන්..”

ශාරද ට දැනුණේ ඔහු ගේ හද දැවී යන්නා සේ ය. නො දැනුවත්ව ම අතැඟිලි අතරින් ගිලිහී ගිය බෝ දේ බිම වැටී ඉකි බිඳිමින් සිටිනු ඔහු ට දැනිණ.

ශාරද ආකාස ගේ උරහිසකට තට්ටු කළේ ය. සැබවින් ඔහු ට කියන්නට බොහෝ දේ තිබිණ. ඒ අතරින් ‘තෑන්ක් යූ මල්ලි’  කියා ඉතා සරල ලෙස කියා ගන්නට හෝ ඔහු ට හැකි වූයේ නැත. නමුත් ඒ තට්ටුව තුළ, කියා ගන්නට බැරි බොහෝ දේ ලියැවී තිබිණ. දැරිය ද ඔසවා ගෙන ශාරද කාමරයට ගියේ ය. නමුත් එහි නිශාමනී වූයේ නැත.

“අම්මි උයනවද…”

ඔහු වෙනසක් නො දැනෙන්නට දියණිය විමසුවේ ය.

“අම්මි දොයි අනිත් රූම් එකේ. අම්මිට සනීප නෑ උදේ ඉඳං…”

“හරි එහෙනං පුතා අම්මිට කරදර නොකර සෙල්ලං කරන්නකො”

කියමින් ශාරද දියණිය බිම තැබුවේ ය. වෙනදා සේ ඔහු ගෙට ගොඩ වූ ගමන් තේ එකක් ලැබුණේ නැත. නිශාමනී ට ඔහු ගේ කටහඬ ඇසුණත් ඇය සෙලවුණේ හෝ නැත. සියලු යුතුකම් නො පිරිහෙලා ඉටු කරත්දීත් ඇය ට පිටුපාන්නට ඔහු ට හැකි වී නම් තව දුරටත් ඒ ආවතේව වල ඇති වටිනාකමක් නැත්තේ ය. 

“ශාමි”

දිය නාගෙන ශාරද නිශාමනී නිදනා කාමරයට ගොස් ඇගේ අතක් මත අත තැබුවේ ය. සර්පයකු වෙළුණා වන් අප්‍රසන්න බවකින් ඇය අත ඉවතට ඇද ගත්තා ය. කිසි සේත් ඔහු ට ඇතුළු විය නො හැකි ලෙස ඇය සිය ආත්මීය දොරගුළු තදින් වසා ගෙන සිටියා ය. ශාරද සුසුමකින් නැගී සිටියේ ය. ඊළඟට ආකාස හොයා ගෙන ගියේ ය.

“නිශාමනී කෑවද…”

“කටක් දෙකක් කන්නැති ඕන්නං”

ආකාස නො සැලකිලිමත් පිළිතුරක් දුන්නේ ය. ඔහු සිටියේ පිටත් ව යාමට සූදානම් වෙමිනි. ශාරද ට හා නිශාමනී ට රණ්ඩු වෙන්නට හෝ ඔහු ඉන්නා එක බාධාවක් විය හැකි යයි ආකාස සිතුවේ ය.

“මං රෑට කෑම ගේන්නං”

කියා ශාරද ට කියමින් ආකාස ගෙදරින් පිටත් වූයේ ය. ශාරද ටික වෙලාවක් එසඳි සමගින් සෙල්ලම් කළේ ය. නිශාමනී සමග බලයෙන් කතා කරන්නට යනවාට වඩා මේ නිහඬ බව හොඳ යයි ඔහු සිතුවේ ය. සිය සබඳතාවය මත්තේ රතු එළි දැල්වූයේ මේ නිහඬ බව කියා තවමත් ඔහු ට අවබෝධයක් වූයේ නැත. අර්බුධයක් වෙනුවෙන් ගහ මරා ගෙන රණ්ඩු වෙනවා ට වඩා, ඒ අර්බුධය තුනී වී යන තෙක් ඉන් සැඟවී නිහඬ ව සිටීම භයානක බව තවමත් ඔහු දැන සිටියේ නැත. සබඳතාවයක ඝණ කම තුනී කොට දමන්නේ ත් හිස් තැන් ඇති කරන්නේ ත් මේ වියරු නිහඬ කම බව ඔහු කිසි දාක දැන ගන්නා එකක් ද නැත.

ඔවුන් තිදෙනා රෑ කෑම කෑවේ තුන් වරකට ය. එසඳි යහනෙහි නින්දට වැටී සිටියා ය. නිශාමනී දැරිය අලුත් කාමරයට රැගෙන යනු වස් ඔවුන් ගේ කාමරයට ගියා ය. 

“ශාමි”

ශාරද ගේ හඬ වෙව්ලා ගියේ ය.

“මොකද්ද මේ කරන්න හදන්නෙ…විකාර නැතුව ඇවිත් මෙතන නිදියන්න”

සිය සිරුර පණ නැතිව යනයුරු නිශාමනී බලා සිටියා ය. නමුත් මේ අන්තිම මොහොතේ ත් ඇය ට ශාරද ගෙන් විමසා දැන ගන්නට දෙයක් තිබිණ.

“මට කියන්න ශාරද…මගෙන් නොලැබුණ මොනා හොයාගෙන ගිහිංද ඔයා පංචලී ළඟ නතර වුණේ”

බිඳී විසිරී යන සිය ආත්ම ශක්තිය, නිශාමනී අසීරුවෙන් අතැඟිලි අතරේ රඳවා ගෙන සිටියා ය. ශාරද බිම බලා ගත්තේ ය.

“කියන්න ශාරද..කතා කරන්න. මට ඒක දැන ගන්න ඕන. මගෙන් නොලැබුණ මොන දේද ඔයා පංචලීගෙන් හෙව්වෙ…”

ඔහු හිස නගා ඇගේ මුහුණ දෙස බැලුවේ ය. නිශාමනී ඍජු බැලුමෙන් සිටියා ය.

“මානසික සුවයක්”

ඔහු ඒ කියා ගත්තේ අසීරුවෙනි. 

“සමහර විට ඔයාගෙන් අත්ඇරිල…ඔයාට අමතක වෙලා ගිය මාව වෙන්නැති”

ඇයට ඒ ටික ඇහුණේ දෑතින් එසඳි ව ගෙන කාමරයෙන් පිට ව යත්දී ය. එවදන් හද තුළ දෝංකාර නැංවෙනවා ඇය ට දැනිණ. නිශාමනී දියණිය ද ගෙන යාබද කාමරයට යනු ආකාස බලා ගෙන ය. 

දොරගුළු ලූ නිශාමනී ට හැඬුණේ නැත. නාඬා ඉන්නේ කෙසේ දැයි ඇය ම නො දැන සිටියා ය. ඇය ට පෙර දා ඇය ම කී වදන් යළි යළි ඇසෙන්නට විය.

“ඔයා ප්‍රොස්ටිටියුට් කෙනෙක් ළඟට ගියා නං මට මෙහෙම දුකක් නෑ ශාරද. ඔයා වෙන ගෑනියෙක්ට ආදරේ කරපු එකයි මට දරා ගන්න බැරි ශාරද…”

ඇය ඇදී ගියේ මහා නිරයකට ය. එහි ඇය බරපතල ලෙස මනසින් දුක් වින්දා ය. ලොව කිසිදු බිරිඳක් සිය සැමියා ගෙන් එවන් ප්‍රකාශයක් අසන්නට සූදානම් නැත. නිශාමනී එහි පැසවමින් විඳවූවා ය. 

සිලිකා වැලි, සෝඩියම් කාබනේට් හා කැල්සියම් ඔක්සයිඩ් යන සංයෝග සෙල්සියස් අංශක එක් දහස් පන්සියයත් දෙදහස් පන්සියයත් තරම් අධිකතර උෂ්ණත්වයක පැසවීම තුළ වීදුරු ද්‍රවය සෑදේ. එය වූ කලී මුල් සංයෝග තුනට වඩා හාත්පසින් වෙනස් වූ ද්‍රවයකි. එම ද්‍රවය සිසිලනයට ලක් වීමෙන් ඝණ වීදුරු සෑදේ. 

ඒ රාත්‍රියේ නිශාමනී ද අභ්‍යන්තර වශයෙන් එවන් පරිවර්තනයකට ලක් වෙමින් සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...