අවන් හලේ මතු මහලේ වන වීදුරු බිත්තිය අසල සිට ගෙන අංජන නීලවතුර මග දෙස බලා උන්නේ ය. කාර්යාල අවසාන වන හෝරාව නිසා මාර්ගය මුළුමනින් තද බද වී පවතී. ඒ වගේ මාර්ග තදබදයක් තුළ රිය ඇතුළෙහි සිට එය දකිනවාට වඩා, මේ වගේ පිටත සිට දකිත්දී වෙනස් හැඟීමක් දැනේ. නමුත් මේ මොහොතේ ඔහුව පුරවා දමා ඇති හැඟීම් සමුදාය විසින් වෙන කිසිවකට ඔහු තුළට එන්නට ඉඩක් නොදෙනා තරමි.
අංජන ගේ ඇස් අරමුණකින් තොරව මහා මාර්ගය වෙතට දැල්වී ගෙන තිබිණි. ඔහේ බලා සිටියාට ඔහු ගේ ඇස් වලින් කිසිත් ඇතුළට නො එනා වග ඔහු දෙස බලා සිටිනා සන්තුෂී ට දැනේ. තේ කෝප්පය ඔහු අත වූවාට ටික වෙලාවක් තිස්සේ ඉන් එක තේ උගුරක් හෝ ඔහු තොල ගෑවේ නැත. අංජන මුළුමනින් අභ්‍යන්තර හිර වීමකට ලක්ව ඇති බව සන්තුෂී ට වැටහේ. ඒ වත මත වැතිරී පවත්නා වූ ශෝකයේ සේයා පිරිමි මුහුණක දකින්නට වීම සන්තුෂී ට නම් දරා ගත නො හැක්කකි. ඔහු ගේ අතක එල්ලී ගෙන ඇගේ හිස එහි බර කොට ‘දුක් වෙන්නෙපා අංජන’ කියා කියන්නට පවා සන්තුෂී ට නොසිතෙනවා නොවේ. නමුත් ඇය ඇගේ සීමාව දැන සිටියා ය.
“තේ එක බීල ඉන්න අංජන. දැනටමත් නිවිල”
හුඟක් වෙලා ඒ මුහුණ දෙස බලා සිටීමෙන් පස්සේ සන්තුෂී මිමිණුවා ය. ඇගේ හඬ හැඟීම් කෝටි ගණනක් නිසා බර වී තිබිණ. අංජන සිය දෑස ඈ වෙත හැරවූයේ ය. සන්තුෂී මඳ වෙලාවක් ඒ බැල්මට හසුව හිඳ පරාජිත ව බිම බැලුවා ය. අංජන ගෙන් සුසුමක් ගිලිහිණ. මිනිස් හැඟීම් මේ සා අසරණ නො විය යුතුවා නේදැයි සිතිවිල්ලක් හෙමි හෙමිහිට සන්තුෂී ගේ ඇතුළාන්තයේ කරක් ගැසුවේ ය.
ඇය ඔහු ට ඒ සිදුවීම ගැන කීවේ කියනවා ද නැති ද කියා සිය දහස් වර සිතීමෙන් පස්සේ ය. අංජන ගේ හිත රිදෙන බව ඇය දනී. පුළුවන් තරම් අඩුවෙන් ඒ රිදීම් ඇති වන පරිදි තත්වය බාල කොට කියන්නට ඇය පරිස්සම් වූවා ය. නමුත් පෙර දා රාත්‍රියේ සදෙව්මා විසින් එවන ලද දිග සටහන ඔහු ට නො පෙන්වා සිටීමට සන්තුෂී ට හිත හදා ගත හැකි වූයේ නැත.
“මට සමා වෙන්න අක්කි. මට හුඟක් සමා වෙන්න. අම්මි ඔයාට එහෙම බණිනකොට මට පුදුම විදිහට ලැජ්ජා හිතුණා. ඒත් ඒ ඔක්කොම බැණුම් අහගෙන ඔයා සද්ද නොකර ඉන්නකොට පුදුම දුකක් දැනුණා. අනේ මට සමා වෙන්න.
ඒ තරං තරහ ගන්න අම්මිට තිබුණ හේතුව මොකද්ද කියල මං දන්නෑ. එයා නිතරම එහෙමයි. පොඩි දේටත් ලොකුවට කෑ ගහනව. තාත්ති එක්ක ඉන්නකොටත් එහෙමයි. දැන් අපි ඉන්නෙ තාත්ති එක්ක නෙවේ. අම්මි රණ්ඩු වෙලා මාවත් අරං ආච්චි අම්මලගෙ ගෙදර ආවා. හැමදාම මං හිතුවෙ අම්මි පව් කියල. ඒත් අද මට එයා එක්ක හරිම තරහයි. කේක් එක විසි කරල තෑගි වලට ගිනි තියල එයා මට ගැහුව. ආයෙ සැලෝන් සන්තුෂී පැත්ත පලාතෙ යන්න බෑ කිව්ව. මං ආදරේ වෙන හැමෝගෙන්ම ඇයි අම්මි මාව ඈත් කරන්නෙ?
දැන් ඔයාට කෝල් එකක් ගන්න බැරි නිසයි මෙහෙම ලියන්නෙ. අම්මි කියපු ඒවට තරහ වෙන්නෙපා මාත් එක්ක. ඔයා මට ආදරේ ඔයාගෙ දුවට වගේ කියල මං දන්නව. හෙට ඔයාට කතා කරන්නං. මං සදෙව්මා”
සන්තුෂී අතින් දුරකතනය ගෙන අංජන දෙවන වරටත් ඒ සටහන කියෙව්වේ ය. සදෙව්මා ගේ බිඳුණු හිත ඔහු ගේ ඇට මස් ලේ නහර වලට ම දැනේ.
“ඒ ගැන ආයෙ ආයෙත් දුක් වෙන්න එපා”
යන්තම් ඔහු ගේ වැලමිට ළඟින් අල්ලනා ගමන් සන්තුෂී මිමිණුවා ය. මේ මොහොතේ සදෙව්මා ගේ සේ ම අංජන ගේ ද සිත් බිඳී ඇති සැටි ඇයට දැනේ. ඒ රිදුම් පිරිමදින්නටත් ඒ බිඳුම් වලට ඔසු ගල්වන්නටත් ඇය සිය උපරිමය කිරීමේ සූදානමක හිටියා ය.
“වින්දි හරි අංජන”
කොයි තරම් මෘදු තානයකින් ඇය එසේ කීවා වී ද අංජන සන්තුෂී දෙස බැලුවේ තිගැස්සී ගෙන ය.
“මං කිව්වෙ…අම්ම කෙනෙක් විදිහට එයා හරි. මං කියන්නෙ එයා ඔහොම කලබල වුණ එක හරි කියල නෙවේ. ඒත් අපිට තව හිතන්න තිබුණා. මං එයාගෙ කොණ්ඩෙ කපන සැලෝන් එක අයිති කෙනා. සැලෝන් එකේ හැම කස්ටමර්ගෙම බර්ත් ඩේ එකට මං ගිෆ්ට් එකක් යවන්නෙ නෑනෙ. සදෙව්මා පොඩි දරුවෙක්. එයා වගේ දුවෙක් මටත් ඉන්න නිසා කිව්වම එයා මාව විශ්වාස කරනව. අනිත් එක එදා එයා ගැන මගෙ හිතේ ඇති වෙච්ච ආදරේ හරිම ඇත්ත අවංක එකක්. ඒක එයාට දැනෙන්න ඇති. ඒත් වින්දි වැඩිහිටියෙක්. මේ සමාජෙ සිද්ද වෙන දේවල් එයා දන්නව. එයාගෙ දුව ගැන එයා වද වෙනව. මෙහෙම නොදන්න ගෑනියෙක් තෑගි එවනකොට එයා ඒ ගැන හොයල බලන්න ඕන. ඒ ඔක්කොම හරි. හැබැයි එයා රිඇක්ට් කරපු විදිහ වැරදියි. අර කෙල්ල මලක් වගේ පොඩි එකෙක්. එහෙම හිතක් බිඳුනහම…හරි අමාරුයි හදා ගන්න. එයා විශ්වාස කරන අය ගැන එහෙම හිතන්න එයාට බෑ. එයා විශ්වාස කරපු තාත්ත නරක කෙනෙක් කියල හිතන්න වුණා. ඊළඟට එයා විශ්වාස කරපු මං නරක කෙනෙක් කියල හිතන්න අම්ම බල කරනව. එහෙම යනකොට එයා හිතනව මේක විශ්වාස කරන්න හොඳ නැති මිනිස්සු විතරක් ඉන්න ලෝකයක්ද කියල. කෙල්ලට ඒක නරක විදිහට බලපාන්න පුළුවන්…”
සන්තුෂී කතා කළේ කල්පනාවෙන් වචන තෝරා බේරා ගනිමිනි. වදනකිනිදු ඔහු ගේ බිරිඳට අවමානයක් අපහාසයක් අවලාදයක් නගන්නට ඇයට උවමනා නැත. ඔහු ගේ හිත තවත් අංශු මාත්‍රයකින් හෝ ඇය කෙරේ බිඳවන්නට සන්තුෂී ට ඕනෑ නැත.
“ඒ වැඩේ කරන්න කලින් අපිට මීට වඩා හිතන්න තිබුණා අංජන. එක අතකට ඒ තෑගි ඔයා යැව්වනං එයා ඔය තරං කේන්ති නොගන්නත් තිබුණා”
“සොරි සන්තු”
අංජන ගේ ස්වරයේ බිඳුණු සෝ බර බවක් විය. සන්තුෂී ඔහු ට ඇසින් ඉඟි කරමින් යළි අසුනේ හිඳ ගත්තා ය. අංජන ඇදෙස බලා ගත් වන අසුනට බර වූයේ ය.
“මට උදව් කරන්න ගිහින් ඔයා බැනුං අහ ගත්තා. දුවගෙ මෙසේජ් එක කියෙව්වහමනං මට හිතෙන්නෙ…ඔයා මට කිව්වටත් වඩා වින්දිගෙන් බැණුම් අහල”
“ඒක අමතක කරන්න බැරි දෙයක් නෙවේ. අපි හිතන්න ඕන ඊට වඩා වැදගත් දෙයක් තියනව අංජන”
‘ඒ මොකද්ද’ කියනා බැල්ම අංජන ගේ ඇස් වල විය.
“ඔයා කිව්වනෙ වින්දිට ඩිප්‍රෙශන් වගේ කියල. එයාව කොහොම හරි කවුන්සලර් කෙනෙක්ට හරි සයිකෑට්‍රිස්ට් කෙනෙක්ට හරි පෙන්නගන්න විදිහක් බලමුද…”
අංජන සුසුමක් හෙළුවේ ය. ඒ වෙනුවෙන් ඔහු දැරූ උත්සාහයන් කිහිප වතාවක දී ම ගඟට කැපූ ඉණි සේ අපතේ ගියේ සන්තුෂී උදහස් වී මහා පරිමාණයේ කලබැගෑනි සිදු කළ නිසාවෙනි. විශ්මයට කාරණාව එය නොවේ. වින්දිගෙන් දරුණුවට චෝදනා ලැබූ ගැහැනියක ඒ ගැන නො රිස්සුම් වෙනවා වෙනුවට ඇයට අනුකම්පා කරන්නට ඉදිරිපත් වීමයි.
“මට ආයෙ එයාට ලං වෙන්න බැරි කැනකට එයා මාව ඈත් කරල තියෙන්නෙ. ඔයාට තේරෙනව නේද…මට බය දරුවව අරං මට හොයා ගන්නවත් බැරි තැනකට යයි කියන එක. එහෙම නැත්තං එයා සුයිසයිඩ් කර ගනී කියන එක. එහෙම වුණොත් මට සිද්ද වෙන්නෙ ජීවිත කාලයක් මැරි මැරි ජීවත් වෙන්න”
හැම මිනිසෙකු ගේ ම හද තුළ තමන්ගේ ම වූ කතාවක් තිබේ. බොහෝ විට ලෝකය එය දන්නේ නැත. එනිසාවෙන් ම අපි අනෙකා ගැන අපේ වූ නිර්වචන වලට එළඹෙන්නෙමු. නමුත් එය කෙතරම් වැරදිද කියා දැනෙන්නේ වඩාත් සමීප වී ඔවුන් ගේ ඇතුළාන්තයට එබී බැලූ විට ය. සන්තුෂී ද මුලින් අංජන ගැන සිතුවේ ඔහු මේ වාගේ මානසික වියවුලක් දරා සිටිනා මිනිසෙකු බව දැන ගෙන නොවේ.
“පව් ඒ කොල්ල”
තප්ති කීවා ය. සන්තුෂී ඇදෙස බැලුවේ මඳක් විමතියෙනි. සාමාන්‍යයෙන් ඇය පිරිමින් වෙනුවෙන් චරිත සහතික නිකුත් කරන්නට සූදානම් තැනැත්තියක නොවේ.
“ගෑනු විතරක් නෙවේ පිරිමි වුණත් ගෘහස්ථ හින්සනයට ලක් වෙන්න පුළුවන්. කොච්චර ප්‍රෙශර් එකක් ඒ කොල්ලගෙ හිතේ ඇද්ද…”
“වින්දිව ඩොක්ට කෙනෙක් ළඟට අරං යන්න විදිහක් කියන්න බැරිද…”
ඒ වෙලාවේ තප්ති සිටියේ ඇගේ මුළුතැන්ගෙයි රෑ කෑම පිළියෙල කරමිනි. ඒ කටයුත්ත මඳකට නැවතූ ඕ යෙහෙළිය දෙස රවා බැලුවා ය.
“අනේ මේ. ඔය අහගත්ත ටික මදිද…ගෑනු ඉන්නව කිසිම ලැජ්ජාවක් නැතුව ඕනම දෙයක් කියන්න පුළුවන් හැකර කටවල් තියන. වින්දි කියන ඒ ජාතියෙ කෙනෙක්. ඒ ගෑනි සනීප කරන්න තමුන් මහන්සි නොවුණට කමක් නෑ. පුළුවන්නං අංජනට කියනව ඩිවෝස් එක ගන්න කියල”
“මොකක්..”
“අංජන තමුසෙ ගැන හිතනව”
උදර අතුණුබහන් පෙරළී යනු සන්තුෂී ට දැනිණ.
“විකාරද…”
එසේ කීවාට ඒ වචනය පිට වූයේ උගුරේ හිර වී ගෙන අසීරුවෙනි. මුහුණ රත් වී රතු වෙන බව ද කන් දෙකෙන් දුම් පිට වන බව ද ඇයට දැනිණ. අනිත් අතට මේ ඇයට නොදැනී තිබූ දෙයක් නොවේ. නමුත් ඇය විතරක් දැන සිටිය යුතු යයි සිතා උන් දෙයකි.
“අංජන ඔයා දිහා බලන විදිහෙන් ඒක තේරෙනව. මිනිස්සුන්ට වැරදි වෙන්න පුළුවන්නෙ. වැරදි තෝර ගැනීම් කරන්නත් පුළුවන්නෙ. හැබැයි හැමදාම වැරැද්දක් ඇතුළෙ දුක් විඳල මැරිල යන්න ඕන නෑ. වැරදි හදා ගන්න බැරිනං මන්නං හිතන්නෙ අලුතෙන් පටන් ගන්න එකේ වැරැද්දකුත් නෑ. ඔයත් ආයෙ කොතනින් හරි පටන් ගන්න ඕන. නාකි වෙලා නෑනෙ.ඔයාටත් කවුරු හරි ඉන්න ඕනනෙ”
“දොඩවන්නෙපා. කවදාවත් වෙන්නැති දෙයක්”
කම්මුල් පුපුරු ගසනවා වගේ දැනුණෙන් සන්තුෂී ඒවා පිරිමැද ගත්තා ය. ඇගේ ඇස් වල තෙතමනයක් ද විය. සමහර හැඟීම් වචන වලට පරිවර්තනය කරන්නට බැරි ය. ඒවා කවදාවත් වචන නොවී තිබෙනා තරමට හොඳ ය.
“ඉරිතලල ගිය පොළොවෙත් පැළ හැදිල මල් පිපෙනව සන්තු. පිච්චිලා කර වෙලා ගිය ගස් වලත් කොතනකින් හරි අංකුරයක් ඇවිත් දලු දානව. ඔයා අංජනව ආශ්‍රය කරන එක ගැන මං මුලින් කැමති වුන්නෑ තමයි. ඒත්…සමහර හොඳ දේවල් පරක්කු වෙලත් ජීවිත වලට එන්න පුළුවන්”
සන්තුෂී හා හ්ම් නොකියා සිටියා ය.
“අංජන හොඳ කොල්ලෙක් කියල මට හිතෙනව”
ගෙදර ගිය ඉක්බිතිත් සන්තුෂී තුළ පිළිරැව් නැගුණේ එවදන් ය. ඇගේ හිතේ බර ගතියක් විය. පසු දා පහන් වන විටත් ඒ බර ගතිය වෙනස් ස්වරූපයකින් හිතේ ඉතිරි වී තිබිණ. රූපලාවන්‍යාගාරයට යන්නට සූදානම් වෙත්දී සදෙව්මා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය.
“අනේ මැණික ඔයා මට කතා කරල අම්මිට කේන්ති යයිද දන්නෑ”
සන්තුෂී එසේ කීවේ හදවතින් ම අවංකව ය.
“අම්මි ඔෆිස් ගියා. මං අද ඉස්කෝලෙ ගියෙ නෑ. මට ඒකට මූඩ් එකක් නෑ. කොහොමත් පුළුවන් තරං ඉක්මනට මට අක්කි එක්ක කතා කරන්න ඕන වුණා”
“අපි මූඩ් ෆික්ස් කර ගන්න ඕන වැඩ කරන ගමන්. ඔයාට ඉස්කෝලෙ යන්නයි තිබුණෙ. කොහොමත් මං ඔය වගේ පොඩි දේවල් ගැන ලොකුවට හිතන්නෑ දරුවො. ඔයා ඒ ගැන වොරි වෙන්නෙපා”
“අම්මිට මේ සැරේනං මං කිසි සමාවක් දෙන්නෑ”
සන්තුෂී තිගැස්සුණා ය. සදෙව්මා ගේ හඬේ වූයේ මුරණ්ඩු බවකි. දෙමාපියන් ගේ ඇතැම් හැසිරීම් දරුවන් ගේ පෞරුෂය කෙරේ ඍජුව හෝ වක්‍රව බලපෑ හැකි බව සන්තුෂී ට වහා සිහි විය.
“එහෙම කතා කරන්න එපා සදෙව්මා. ඒ ඔයාගෙ අම්මනෙ. එයත් එක්ක තරහ ගන්න එක නෙවේ කරන්න ඕන. එයාට එහෙම ලිමිට් එක පැනල තරහ යන්නෙ ඇයි කියල හොයල බලන එක. ඒ එයාට බලපාල තියන මානසික ප්‍රශ්නයක් නිසානං…විසඳුමක් හොයා ගන්න ඕනනෙ…නේද…”
“අනේ මන්දා අක්කි”
“ඔයා තාත්ති එක්ක මේ ගැන කතා කරන්න. ඔය තුන් දෙනා එක පවුලක්නෙ. ඔයාලගෙ පවුල ඇතුළෙ හොඳම තීරණ ගන්න පුළුවන් වෙන්නෙ ඔය තුන් දෙනාටමයි. තාත්තිගෙන් වෙන් වෙලා ඉන්න එකත් අම්මිගෙ හිත අවුල් කරල ඇති සමහර විට. ඔයා තාත්ති එක්ක කතා කරල ඉක්මනට මේ හැම දේම හොඳ අතට හරවගන්න බලන්න”
“වැඩක් නෑ අක්කි”
“ඇයි එහෙම කියන්නෙ…”
“තාත්ති ආදරේ අපිට නෙවෙයි”
“එහෙනං…”
හදවත ගැහෙනා ‘ලබ් ඩබ්’ හඬ සන්තුෂී ට පැහැදිලිව ඇසිණ. නියත ද අනියත ද කියා හෝ පැහැදිලි කර ගත නො හැකි බියක් ඈ වසා ගනිමින් තිබිණ.