සදෙව්මා දුරකතනය සවනේ තබා ගත්දී අංජන තුළ ඇති වූ දෙගිඩියාව සාධාරණ ය. ඔහු හා සන්තුෂී අතරේ ඇසුරක් වන බව දැන ගැනීම සදෙව්මා කෙසේ පිළිගනීවිද කියා සිතිය නො හැකි ය. ඇතැම් විට ඉනික්බිති කිසි දාක ඇය ඔහු ව සේ ම සන්තුෂී ව ද විශ්වාස නො කරනු ඇත. මේ තත්වයට සදෙව්මා ගේ මනස වෙනස් වූයේ සන්තුෂී නිසා බව අංජන දනී. ඒ ඇසුර දුරස් වන්නේ වී නම් ඔහුට අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නො හැකි ය.
“එපා දුව”
ඔහු වහා කීවේ ය. සදෙව්මා ඉක්මනට දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.
“ඇයි…”
“මට ඔයා එක්ක කතා කරන්න හම්බුණේ ගොඩක් දවසකින්. වෙන කෙනෙක් මෙතන ඉද්දි…මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න බැරි වෙයි. ඒක නිසා අපි දෙන්න විතරක් මෙතන හිටියහම ඇති”
සමහර වෙලාවට හදවතට මුළුමනින් විරුද්ධ ව කතා කරන්නටත් ක්‍රියා කරන්නටත් අපට සිදු වේ. අංජන ට මේ එබඳු මොහොතකි. ඔහු මෙලොව දකින්නට වඩා ප්‍රිය දසුන් අතරේ සන්තුෂී හා සදෙව්මා යන දෙදෙනා මුල් පෙළේ සිටිති. නමුත් සන්තුෂී ඉදිරියේ සදෙව්මා ට මුහුණ දෙන හැටියක් ඔහු දන්නේ නැත. සදෙව්මා ඉදිරියේ සන්තුෂී ට අසාධාරණයක් කරන්නට ඔහු ට හිත් දෙන්නේ නැත.
“අයියෝ තාත්ති. ඔයා එයා ගැන දන්නැති නිසයි ඔහොම කියන්නෙ. එයා අපි ගැන හැම දේම දන්නව. එයා ඉන්න තැන කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. සන්තු අක්කි හරිම අන්ඩස්ටෑන්ඩින්. හරි කරුණාවන්ත ආදරේ බෙදන්න දන්න කෙනෙක්. එයා නිසා මං මගෙ වැරදි ගොඩක් තේරුං ගත්ත”
අංජන ගේ හුස්ම හිර කරනා පපුවේ වේදනාවක් ඇතුළාන්තයේ විය. ඔහු ගේ ඇස් තෙත් වෙන්නට හැදුවේ ය. යළිත් ප්‍රතිචාරයක් නගන්නටත් පෙර සදෙව්මා සන්තුෂී හා දුරකතනයෙන් සම්බන්ධ වී සිටියා ය.
“ඔයා තාත්ති එක්ක කතා කරන්න හිතපු එක ගැන මට ගොඩාක් සතුටුයි සදෙව්මා. අනේ පැටියො ඒත් ඔතනට මං එන්න ඕන නෑ නේද…ඒක තාත්තිට වුණත් අපහසුවක් වෙන්න පුළුවන්නෙ. ඒක නිසා ඔයා තාත්ති එක්ක සතුටෙන් කතා බහ කරන්න. ම්…”
“අනේ අක්කි ඔයා නිසයි මේ හැම දේම මෙහෙම වුණේ. මං අද සතුටෙන් තමයි. ඒත් මගෙ සතුට කම්ප්ලීට් වෙන්නනං ඔයා මෙතන ඉන්න ඕන. ප්ලීස් ප්ලීස් ප්ලීස්…මං වෙනුවෙං ටික වෙලාවකට එන්න..ප්ලී…ස්…”
දැරියක ගේ ඒ වාගේ බලාපොරොත්තුවක් සිත් පිත් නැති ලෙස බිඳ හෙළිය නො හැකි ය. සන්තුෂී කියන්නේ දියණියක ගේ සේ ම පුතෙකු ගේ ද මවකි. ඔවුන් ගේ මානසික ස්වභාවයන් ගැන ඇය නිරතුරු අවධානයෙන් සේ ම අවබෝධයෙන් ද සිටියා ය. සදෙව්මා ගේ ආදරය පිළිගන්නට තමන් සූදානම් නැති බව දැනුණ හොත් ඇය යළි අපේක්ෂා භංගත්වයට පත් විය හැකි බව සන්තුෂී දනී.
සන්තුෂී බොජුන් හලට ඇතුළු වන විට අංජන ගේ හද බිත් දෙදරා ගියේ ය. මුලින් ම ඇය දකිනවා සේ ඔහු ගේ දෙපා වල හිරි වැටීමක් සිදු විණි. සදෙව්මා ගේ අවධානය ඇය වෙත යොමු වූයෙන් අංජන ට මුළු දෑසින් ම සන්තුෂී ව විඳ ගත හැකි විය. එදා හිරිමල් යෞවනියක සේ දකිත්දීට වඩා ඇය අද පිරිපුන් ය. ස්ත්‍රීත්වයෙන් අනූන ය. සන්සුන් ය. සාමකාමී ය. ශාන්ති දායක ය. පවිත්‍ර ය.
සන්තුෂී ගේ ද හද ගැස්ම වැඩි වී තිබිණ. වැරදීමකින් හෝ අංජන දෙස නො බැලෙනු වස් ඇය සදෙව්මා වෙතට ම දෑස් විදා ගෙන නිහඬ සිනහ වතකින් මේසය වෙත පැමිණියා ය.
“තෑන්ක් යූ මගෙ සුදු අක්කි. මගෙ බර්ත් ඩේ එකට ලැබිච්ච හොඳම ගිෆ්ට් එක තමයි ඔයා අද මෙතන්ට ආපු එක”
සදෙව්මා සන්තුෂී ව සිප ගත්තේ සත්‍ය වූ ළෙංගතුකමකිනි. අංජන ඒ ආදරය දෙස නිර්මල වූ දෑසකින් බලා සිටියේ ය. සීතල දිය පහරක් හදවත් නිම්න මැදින් ගලා ගෙන යන්නා බඳු සිසිල් සුවයක් ඔහු ට විඳ ගත හැකි විය.
“මේ ඉන්නෙ මගෙ තාත්ති”
සදෙව්මා අංජන ව හඳුන්වා දුන්නේ ආඩම්බරයෙනි.
“හරි වැඩේ. අපිට නෑනෙ එහෙම තාත්ති කෙනෙක්”
සන්තුෂී ගේ සරල සැහැල්ලු කතාවට සදෙව්මා සේ ම අංජන ද සිනහවක් නගා ගත්තේ ය.
“තාත්ති මේ සන්තු අක්කි. අක්කි අපේ තාත්ති අංජන”
සන්තුෂී අංජන දෙස බලා ලස්සන සිනහවක් පෑවා ය. ඒ සිනහව දිග ඕනෑ තරම් දුරක් ගොස් අතරමං වීමේ ලෝභී හැඟීමකින් ඇදෙස බලා සිටියා මිස අංජන ට සිනහ වෙන්නට අමතක වූ තරමි.
“ඉතිං…”
සන්තුෂී කතාවකට පිවිසුම් මාර්ගයක් සෙව්වේ කිසියම් මොහොතක කිසියම් වරදක් සිදු වී සදෙව්මා ගේ විශ්වාසය සදහට ම අහිමි වෙතැයි බියෙනි.
“ඉතිං ඉතිං…තාත්ති සන්තු අක්කිට සොරි කියන්න අම්මි කරපු දේට”
එක මොහොතකට සන්තුෂී ගේ හා අංජන ගේ ඇස් අවකාශයේ එක් අක්ෂයක නාභිගත විය. සන්තුෂී වහා නෙතු මුදවා ගන්නට සමත් වූවා ය.
“ඔය ඉතිං…අපි ඕක අමතක කරමු සදෙව්මා. ඊට වැඩිය සතුටක් දැන් ඔයාට ලැබිල තියනවනෙ. ඇත්තටම…වෙන්න ඕන දේ වෙලා තියනවනෙ…”
“ඇත්තටම මගෙ ජීවිතේ ලස්සනම දවස අද වෙන්නැති. කෙනෙක් තරහෙං හිත පුරෝගෙන ඉන්න එක මොන තරං වදයක් ද…එහෙම නැතුව සැහැල්ලු වුණාම කොයි තරං සතුටක් දැනෙනවද…අක්කි ඔච්චර ලස්සන වෙලා ඉන්නෙ එහෙම හිත සතුටෙන් තියා ගන්න නිසා වෙන්නැති. තාත්ති මෙයා ඔයාගෙ අර සරස්වතී දේවි වගේ නේද…”
සතුටු සාද අතරට වුව කුණාටු සුළං කඩා වැදිය හැක. ඒ කුණාටුවේ වැඩි ම බලපෑම සිදු වූයේ අංජනට ය. සන්තුෂී ට නම් ලොකු සිනහවකින් ඒ හරහා යා හැකි විණි. ඒ ඇය අංජන ගේ සරස්වතී කවුරුන් දැයි නො දැන සිටි නිසා ය.
හොඳට දන්නා දෙදෙනෙකුට නාඳුනන දෙදෙනෙකු සෙයින් හැසිරීමට සිදු වීම අභියෝගයකි. නමුත් යොවුන් ගෑනු ළමයෙකු වෙනුවෙන් ඒ අභියෝගය භාර ගන්නට ඔවුන් දෙදෙනා ම නිහඬ සම්මුතියකට එළඹුණා සේ ය. සදෙව්මා ඉතා සතුටෙන් සිටියා ය. සිනහවෙන් හා ළෙංගතු කතා වලින් ඒ හෝරාව පිරී තිබිණි. අංජන ගේ පිරිමි හදෙහි ලෝභ කමක් පණ ගැහුණේ ය. ඒ වූ කලී නොස්ටැල්ජියානු ලෝභ කමකි. දශක දෙකක් තිස්සේ නො වෙනස් ව හදවතේ ගුහා ගත ව තිබූ ලෝභ කමකි.
ඒ ලෝභකම ඔවුන් දෙපසට වෙන් ව ගිය පසු ද හිත කොනිති ගසමින් තිබෙනු අංජන ට දැනුණේ ය. ඔහු එදා හැන්දෑවේ සන්තුෂී ගේ ගෙදර ගියේ හිතක් කියන්නේ හැම විට ම දැඩි තහංචි දමා පාලනය කර ගත හැකි යමක් නොවෙන බව පසක් වෙත්දී ය.
ස්වර්ණකාන්ති ට අංජන දැකුම සතුටක් විය. එහි දී ඔහු ට ද දැනුණේ තමන් ගේ තැනක මෙන් හුරුපුරුදු බවකි. තමන්ගේ කියනා හැඟීමට ලොව අන් කිසිවකට වඩා මිනිස්සු ආදරය කරති. ආකර්ෂණය වෙති.
“ආනේ…මෙන්න මෙයා ඇවිත්”
සන්තුෂී රියෙන් බැස්සේ එසේ කියා ගෙන ය. ඇගේ මුහුණෙන් සිනහවත් සතුටත් දෝරෙ ගැලුවේ ය. ඒ සතුට සඟවා ගන්නට ඇය දැන සිටියේ නැත. නැතහොත් ඇයට ඕනෑ වූයේ නැත.
“මං ආව අම්ම බලන්න”
“කියන්නෙවත් නැතුව ඇවිත්”
“මෙයාට කියන්නෙ මොකටද මාව බලන්න එන්න…නේද පුතා…”
කියමින් ස්වර්ණකාන්ති වැරැන්ඩා පුටුවෙන් නැගිට ගත්තා ය.
“මං තේ හදන්නං. අංජන පුතා තේ බිව්වෙ නෑ ඔයා ආවහමම බොමු කියල. මං ඒත් කිව්ව රෑ වෙයිද දන්නෙත් නෑ කියල”
අත් බෑගයත් අනිත් අඩුම කුඩුමත් පුටුවක් මත අතෑරිය සන්තුෂී අංජන ඉදිරියේ වන වේවැල් පුටුවට බර වූවා ය. ඔහු ගේ ඇස් මුළුමනින් ඇය මත පායා තිබිණ. සන්තුෂී ඒ ඇසින් නො මිදී ම මඳහසක් නගා ගත්තා ය. ඒ මඳහසෙහි ඇය දහ අට හැවිරිදි යුවතියක කාලයේ වූ ලැජ්ජාශීලී බව තිබිණි. නමුත් අංජන ගේ මුහුණේ නම් එක සිනහ බිඳක් වූයේ නැත. ඔහු අසුනෙහි මඳක් ඉදිරියට නැඹුරු වී දෙදණහිස් මත දෙවැලමිට බර කොට ගත්තේ ය. ඔහු හිරු මඬල වී ඇය හිම පියල්ලක් වී ඇති සැටියක් සන්තුෂී ට දැනිණ.
“තෑන්ක් යූ”
අංජන හෙමිහිට මිමිණී ය. වචන වලට වඩා ගැඹුරින් ඒ ඇස් කතා කරමින් තිබුණේ ය. පිර්මියෙකු අස මේ ලැජ්ජාශීලී තිගැස්ම දැනෙන්නේ වසර විසි ගණනකට පස්සේ නොවේද කියා සන්තුෂී ට සිහිපත් විය.
“ඒ සතුටෙ අයිතිකාරි ඔයා”
“ඒක ඔයාට අයිති වෙන්න ඕන සතුටක්”
“ඒත් මගෙන් උදුර ගත්ත සතුටක්”
“හැම දේම හරියයි”
හරියන්නට ඕනා මොනවා දැයි අංජන ගේ සිතේ එක පැත්තක් ප්‍රශ්න කළේ ය. මේ වෙලාවේ ඔහු ට ඒ වාගේ දේවල් ගැන හිතන්නට ඕනේ නැත. ඇය කොහොම ගැහැනියක් ද කියා ඇය දන්නවා දැයි අසන්නට ඔහු ට උවමනා ය. නහය ළඟට ම දියේ ගිලී ස්ටියදීත් ගිලෙන්නට යන අනිත් මිනිසුන් බේරා ගැනීමට සිතීමට තරම් ලොකු හදවතක් ඒ කුඩා සිරුර ඇතුළේ තිබිය හැකි දැයි ඇය විමසන්නට ඔහු ට උවමනා ය.
“මට හිතෙන විට ඔයා දැන් කන්සන්ට්‍රේට් කරන්න ඕන වින්දි සනීප කර ගන්න එක ගැන. සදෙව්මා එයාගෙ හැසිරීම ගැන කියපු හැටියට..මං හිතන්නෙ ඉක්මන්ට එයාට ට්‍රීට්මන්ට්ස් ඕන. හිතන්න…එය අත කපා ගත්ත. ඊළඟ සැරේ ඊට වඩා දරුනු දෙයක් කරන්න පුළුවන්”
“ගෙදර ඉද්දි මං කී සැරයක් කිව්වද අපි කවුන්සලර් කෙනෙක් ළඟට යමු කියල. එතකොට එයා මගෙ ඇඟට කඩන් පනින්නෙ එයාට පිස්සු කියලද හිතන් ඉන්නෙ කියලයි”
“ඒත්..මෙහෙම එයාව නිග්ලෙක්ට් කරල බෑ නේද…”
“මං දුවත් එක්ක කතා කරන්නං”
“ඒක හොඳයි. හරි. ඒක නෙවේ. දැන් ඉතින් මට මොනාද දෙන්නෙ…”
සන්තුෂී වහා සිය ඉරියව් වෙනස් කර සැහැල්ලුවක් ළඟා කර ගත්තේ අංජන ගේ ඇස් කැල්මෙන් පලා ගොස් සැඟවීමේ උවමනාවක් දැනුණ නිසාම ය. තප්ති කියනවා සේ ඒ ඇස් මත වන්නේ ආදරයක් වාගේ හැඟීමක් නම්, ඒ ඇස් සිය හදවත නොදකින එක වඩා හොඳ බව සන්තුෂී දනී.
“මොනාටද කියල අහන්න ඕන නෑ. හරි ඉතින් මොනාද ඕන…ඕන දෙයක් දෙන්නං”
සන්තුෂී අතින් මුව වසා ගෙන සිනහ වූවා ය. ඒ සිනහව මල් පිපෙනාකාරයේ චමත්කාරජනක අත්දැකීමකි. සිය සරස්වතිය මේ අපූරු ස්ත්‍රිය වාගේ යයි සදෙව්මා විසින් කළ විනිශ්චය ගැන අංජන ට සිහි විය. ඒ මතකය ඔහු ගේ දෙතොලතර මඳහසක් තැවරී ය.
“හිනා වෙන්නෙ…සීරියස්ලි…”
“කොන්දේසි විරහිතව ඕන දෙයක් දෙන්න ලෑස්ති යාළුවෙක් ඉන්න එක කොච්චර සැනසීමක්ද කියල දන්නවද…”
ඒ අන්තිම වචන ටික අතරේ තමන් අතරමං වෙනවා සේ සන්තුෂී ට දැනිණ. ඇගේ ස්වරය අතර මගදී බිඳී හැඬුම්බර සරක් ගත්තේ ය. ඇත්තට ම ඉකි බිඳ බිඳ හඬන්නට ඕන කමක් ඇයට වූයේ ය. නමුත් ඔහු නිසාවෙන් හඬන්නට වුව අවසර නෑ නොවේද?