හේමන්ත සන්ධ්‍යා – 36

සදිසා ඉංග්‍රීසි ගීයක් ගැයුවා ය. පාලිකා දියණිය දෙසත් විදත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ආඩම්බරයෙනි. නිකිනි සිටියේ අසුනේ දකුණු පසට වන්නට වීදුරු කවුළුව අයිනේ, වීදුරුව දෙසට හේත්තු වී හිඳ ගෙන ය. ගුවනි එක්ක කතා කරන මුවාවෙන් එහෙම හිඳ සිටියාට, එතකොට ඇයට පසු පස අසුනේ වම් පැත්තේ කවුළුව ළඟ හිඳ සිටින විදත් ව අඩැසට පෙනේ. ඕනේ නම් හිස මඳක් හරවා හොඳට ම වුව ඔහු දෙස බලන්නට පුළුවන.  ඔහු ඇස් වල පැටලෙන්නට හදන බව දැනි දැනී ම ඇය එදෙස නො බලා සිටියා ය. හේතුවක් ඇතා නැතා ගුවනි ත් එක්ක එක එක දේවල් කියවූවා ය. 

පාලිකා සිටියේ උතුරා යන සතුටෙනි. විදත් එක්ක කතා කරන්නට මාතෘකා ඇය ට අපමණ විය. ඒවා ට ඕ සිය දියණිය ද හවුල් කර ගත්තා ය. මේ වතාවේ කෙසේ හෝ විදත් සමගින් ම සදිසා ව රට පටවන්නට හැකි නම් ඒ වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන්න ට සූදානම් බවක් ඇගෙන් දිස් වූයේ ය.

සදිසා ට මේ තරමින් පිරිමින් කෙරේ අඟර දඟර පාන්නට හැකි බව නිකිනි වුව හරියට ම තේරුම් ගත්තේ එදා ය. විදත් ඇය ට අනුබල දුන්නා නොවේ. ඔහු ඇය ව ඒ තරම් ගණන් ගන්නා බවක් හෝ පෙන්වූයේ නැත. නමුත් විදත් කෙරේ තමන් හට නොමැති අයිතියක් මෙතැන සදිසා ට වීම, නිකිනි තුළ ඉසිහින් ඊර්ෂ්‍යා සහගත බවක් දනවන ලදී.

ඔවුන් ගේ ගමන නුවර එළිය බලා ය. කොහේදෝ කියා පවා නො දන්නා තැනෙක උදේ ආහාර සඳහා රිය නතර කරන තුරුත් නිකිනි සිය නෙත් වලට විදත් ගේ ඇස් වල පැටලෙන ඉඩක් තැබුවේ නැත.

රියෙන් බැස ගත් ගමන් නිකිනි ඩෙස්මන් ව රෝද පුටුවට ගන්නට කටයුතු කළා ය. ඒ වෙත්දීත් සදිසා හා පාලිකා සහස් පසු පස අවන්හල වෙත යමින් සිටියහ.

“ආන්ටිත් යන්නකො ඇතුළට”

විදත් සුමනා ට ද ඇරයුම් කළෙන්, ඇය නිකිනි මත ඩෙස්මන් ගේ වගකීම පවරා ඇතුළට ගියා ය.

“මට පුළුවන් පප්පව එක්කං එන්න. ගුවනි ඉන්නවනෙ”

නිකිනි ඒ කීවේ නෝක්කාඩුවක් බව විදත් ට නො දැනුණා නොවේ.

“මටත් පුළුවන්නෙ…නේද අංකල්…”

විදත් බලයෙන් ම නිකිනි අතින් රෝද පුටුව තල්ලු කරන වගකීම සියතට ගත්තේ ය. එහි දී ඔහු ගේ අතැඟීලි නිකිනි ගේ ඇඟිලි වල හැපිණි. ඕ වහා අත ඇද ගත්තා ය. විදත් ට සිනහ නැගිණි.

“මට ලාදුරු නෑ”

ඩෙස්මන් ට නෑසෙන සේ විදත් හෙමිහිට කීවේ ය. ගුවනි මඳහසකින් ඉවත බැලුවා ය. නිකිනි ඇස් සිහින් කොට තමන්ට ම රැවුවා ය.

හැම කෙනෙක් ම තමන් කැමති ආහාර තෝරා ගනිමින් ඇනවුම් කරත්දී නිකිනි සිටියේ කිසිදු උනන්දුවකින් තොර ව පසෙකට වී ය. විදත් හැම කෙනෙකු ගේ ම අවශ්‍යතා විමසා බැලුවේ ය. සහස් ඒ මේ අත දුවමින් ක්‍රියා ශීලී යෞවනයෙකු ගේ භූමිකාව රඟ දැක්වූයේ ය.

“අක්කා මොනා හරි සිලෙක්ට් කර ගන්නකො අප්ප”

නිකිනි පසෙකට වී සිටියදී ඔහු කෑගෑවේ ය.

“මේ ළමයටත් කන්න නෑනෙ. ගිහින් ගුවනිට ඕන දෙයක් බලල ඕඩර් කරන්නකො”

නිකිනි කවුන්ටරය වෙත ගියේ සහස් ගේ වචනය මත ගුවනි හින්දා ම ය. නො එසේ වී නම් කුස ගින්නක් කියා දෙයක් ඇය වෙත වූයේ ම නැත.

“මොකද ආ වෙලා තියෙන්නෙ…”

එතැනට ආ විදත් නිකිනි ට වඩාත් ලං ව, නමුත් අනිත් අය තුළ සැකයක් ඇති නො වන සේ ආහාර තැන්පත් කළ වීදුරු කබඩ් දෙස බලමින් ඇසුවේ ය.

“කාටද…”

නිකිනි ද කිසිදු වෙනසක් නො හඟවා කතා කළා ය.

“කාටද අහන්නෙ…මේ මටනෙ…”

“ආ….මන්නං ඒක දන්නෑ”

“අනිනව හොඳේ හිල් වෙන්න ටොක්කක්”

නිකිනි එතෙක් රඳවා ගෙන උන් සිනහව තුනී ව ගියේ ය. ළඟින් හිඳිනා විදත් ගේ උරහිසට බර ව එක මොහොතකට ඇස් දෙක පියවා ගන්නට තරම් හැඟීමක් නිකිනි තුළ ජනිත නො වුණා නොවේ. නමුත් එහෙම කළ හැකි තත්වයක් මෙහි වූයේ නැත.

“මට ඔයා ළඟිං ඉන්න ඕන නිසයි මෙහෙම ගමනක් ආවෙ. හිනා වෙලා ඉන්න”

ඔහු ආදරය හිත මත ගල්වමින් මුදු ව තෙපළේ ය. හිත දිය වී යන්නට පෙර නිකිනි කතා කළා ය.

“ඇයි සදිසා ඉන්නෙ…”

විදත් සිනහව ගිල ගත්තේ ය.

“මැරි කරලම එක්ක යන්න පුළුවන්නෙ”

කනට ඇහෙන නෑහෙන ඒ ඉතා පහළ හඬ තුළ පවා ඔහු ට ප්‍රේමයේ ඊර්ෂ්‍යාව හැඳින ගත හැකි විය.

“මැරි කරල හරි නැතුව හරි ඩිවෝස් වෙලා හරි නැතුව හරි ඔයාව නං අරං තමයි යන්නෙ. කවුරු විරුද්ද වුණත් බලෙං හරි. එකෙක් දෙන්නෙක් මරල දාන්න වුණත් ඒක කරල හරි”

ඔහු එක දිගට කියා ගෙන ගියේ නිකිනි ගේ පපුව හිර වෙත්දී ය. තවත් එක වචනයක් හෝ කතා කර ගන්නට තරම් සවියක් ඇය වෙත වූයේ නැත. නිකිනි හා ගුවනි සිය කෑම ද සමගින් ගොස් වාඩි වූ මේසය වෙත, පසුව විදත් සමගින් සහස් විත් හිඳ ගත්තේ ය. පාලිකා ට දැනුණේ කේන්තියකි. ඇය සදිනා සමගින් මේසයකට වී සිටියේ කොයි මොහොතේ එතැනට විදත් විත් අසුන් ගනීවි දැයි නො ඉවසිල්ලෙනි. 

“අපේ එකා මහ ගොං අලියෙක්නෙ. ඒකා දැන ගන්න ඕනනෙ අපි කොච්චර බලාපොරොත්තුවකින් ද ඉන්නෙ මේ වැඩේ කර ගන්න කියල…ගිහිං ඉඳ ගත්තා නිකිනි ඉන්න මේසෙං”

ඇය කෝපය නො සඟවා සදිසා සමගින් කියවූවා ය.

“කොහොමත් ඉතිං එයාගෙ අක්ක මං නෙවෙයිනෙ. නිකිනි නෙ”

සදිසා හොස්ස ගැස්සුවා ය. අද ඊයේක නොව පැටි වියේ සිට ම සහස් සදිසා ට වඩා සමීප වූයේ නිකිනි ට ය. සිය සොයුරියට නිකං ම සදිසා කියා අමතන ඔහු කට පුරා අක්කා කීවේ නිකිනි ට ය. හිත බැඳුණු කෙල්ලක ගැන හෝ හිත රිදවා වෙන් ව ගිය කෙල්ලක ගැන වුව නො සඟවා කතා කළේ නිකිනි එක්ක ය. 

“නොහොම හරි මේ දවස් දෙකේ විදත් ගෙ හිත දිනා ගන්න බලන්න. ඔය කොණ්ඩෙයි රැවුලයි ඉදුණා කියල විදත්ට මහ ලොකු වයසක් පේන්නෑ. දැං කාලෙ පොඩි කොල්ලංගෙත් කොණ්ඩ රැවුල් ඉදිලනෙ. ඒ වගේද මැරි කරල ඔස්ට්‍රේලියාවට යන්න ලැබෙනව කියන්නෙ. ඔයාගෙ හීනෙ ඒකනං මේ චාන්ස් එක මිස් කර ගන්න එපා. විදත් හරි යන්නෑ කියල හිතෙනවනං පස්සෙ ඩිවෝස් වෙන්න පුළුවන්නෙ. මෙහෙ වගේ නෙවෙයි ඒ රට වල ඕව ඒ තරං ගණං ගන්නෑ. කොහොම හරි දැං අපිට ඕන කරල තියෙන වැඩේ කර ගන්න බලන්නකො”

අම්මා කෙනෙකු කිසි දා සිය දියණිය ට නො දිය යුතු අවවාදයක් සදිසා වෙත ලබා දෙන්නට තරම් පාලිකා අන්ධ වී සිටියා ය.

“මටත් ඕනෙ එහෙට පැන ගන්න විතරයි. මේ නාකි මනුස්සයෙක් බැඳ ගන්න නැතුව මට ඕන කමක් නෑ. අම්ම බය නැතුව ඉන්නකො. අපිට ඕන දේ වෙයි”

දියණිය ගේ පසුපසින් ඕස්ට්‍රේලියාවට ගොස් පවුල පිටින් පදිංචි වන්නට පාලිකා සිහින දකින්නට වූවා ය.

කඳුකරය වෙත සමීප වෙත්දී සුළඟ වඩා සෞම්‍ය වූයේ ය. ගතට දැනුණ සුවදායක බව නිකිනි ට නම් සිතට ද දැනිණ. ඊටත් වඩා උදේ කෑම ඇනවුම් කරත්දී විදත් කී කතාව නිසා ඇය ආදරයේ උණුහුමින් උණුහුම් වී සිටියා ය. ඉන් පසු සදිසා ගේ හැසිරීම් ගැන අබ මල් රේණුවක් තරම් කරදර නොවී සිටින්නට ද ඇය ට හැකි විණි.

“අපරාදෙ කියල හිතෙනව මිස්”

ගුවනි නිකිනි ට මිමිණුවා ය.

“මොනාද…”

“මිස්ව දැක්කහම. මොකට මිස් සර්ට කැමති වුණාද කියල හිතෙනව මේ තරං ආදරයක් විදත් සර් ගැන හිතේ පුරෝගෙන”

නිකිනි සුසුමක් හෙළුවා ය. එවන් අසීරු අවස්ථාවන් ට මුහුණ දෙනු වස් ඇතැම් විට ඉරණම අප කැටිව යන්නේ ය. නිකිනි ටත් ඒ පරීක්ෂණයට මුහුණ දෙන්නට සිදු විය. ඒ වෙලාවේ ඊට එරෙහි ව නැගී සිටින්නට තරම් සාධාරණ හේතුවක් ඇය ඉදිරියේ වූයේ නැත. විදත් වූ කලී ඇගේ හදවතේ උණුහුම් ම තැන නතර වී තිබි මතකයක් පමණක් වූ අතර, ඔහු ගැන ආරංචි මාත්‍රයක් හෝ ඇය දැන සිටියේ නැත. එහෙව් විදත් කෙනෙකු වෙනුවෙන් කල් බැලීම වූ කලී බිනුරි ට කරන අසාධාරණයක් පමණක් ම විය. දෙවරක් නො සිතා ඇය මංජුල ට කැමැත්ත ප්‍රකාශ කළේ ඔහු කෙරේ කිසිදු කැමැත්තක් දැනුණ නිසාවෙන් නොවේ. මංජුල ට අකමැති වී වෙනත් මනාලයෙකු ගෙන්වූවත්, ඔහු හා විවාහ වන්නට වන්නේත් කැමැත්තකින් හෝ හැඟීමකින් තොර ව බව සක් සුදක් සේ දැන සිටි නිසා ය.

“මං හිතුවෙ නෑ ගුවනි…ආයෙ මගෙ හුස්ම ටික නතර වෙන්න කලින් අපි මුණගැහෙයි කියල”

“මිස්ට ජීවිතේ හැම සතුටක්ම ලැබෙන්න ඕනෙ. ඒත් මංජුල සර් ඩිවෝස් එක නොදී හිටියොත්…”

නිකිනි ලස්සන සිනහවක් හෙළුවා ය.

“අරය කියන්නෙ මංජුලව මරල හරි මාව අරං යනව කියල”

“එහෙම හරි කමක් නෑ. මිස් ගෙ ඇස් වල ඔය ආදරේ හැම දාම තියෙන්න ඕනෙ”

රාත්‍රියේ නවාතැන් ගන්නට තෝරා ගෙන තිබුණේ සුඛෝපභෝගි හෝටලයකි. සීතලට දෑත් පොරවා ගෙන පිරිස ඒ මේ තැන් වලට වී සිරි නරඹමින් ද සල්ලාපයේ යෙදෙමින් ද සිටියහ. පාලිකා සහස් ට දොස් කියා තිබුණෙන් ඔහු වතාවක් විදත් ව පාලිකා හා සදිසා වෙත කැටුව ගියේ ය.

“ඔන්න මං කපු කමක් කළා නෙවෙයි හරිද…එහෙම නොකළනං අපේ අම්ම වහාම මාව දරු කමෙං අයිං කරනව”

“කපුවා කපෝති වෙයි මිස් ට කේන්ති ගියොත් හොඳේ”

ගුවනි සහස් ට විහිළු කළා ය. නමුත් සැබවින් ම නිකිනි බොරුවට හෝ තරහා නො ගෙන සිටියා ය. එක අතකට වෙන්නට දෙයක් තිබෙනවා නම් එය වලකා ලිය නො හැකි බව අත්දැකීම් විසින් දැනටමත් ඇය ට ඒත්තු ගන්වා තිබේ. 

රාත්‍රී ආහාරයෙන් පසුත් සතුටු සාමීචියේ යෙදී සිටි පිරිස එකා දෙන්නා සිය කාමර වලට වැදෙන්නට වූහ. නිකිනි ඩෙස්මන් හා සුමනා ව කාමරයට ඇරලවා එත්දී පාලිකා හා සදිසා ඔවුන් ගේ කාමරය වෙත යමින් සිටියේ සීතල තද යයි කියමිනි.

“නිකිනිත් දැං රූම් එකට යන්න. ඔය පිරිමි එක්ක කියව කියව ඉන්නෙ නැතුව”

පාලිකා තරමක් තදින් නිකිනි ට අවධාරණය කළා ය. වාචික පිළිතුරක් නො දුන්නත්, නිකිනි ගේ ඇස් වල පාලිකා ට අවනත වන බවක් සනිටුහන් ව තිබිණ.

“නැන්දි කිව්ව ඉක්මනට රූම් එකට යන්න කියල”

ඇය කීවේ බිම බලා ගෙන ය. විදත් හා ගුවනි සමගින් කතාවට වැටී උන් සහස් සුසුමකින් නැගිට ගත්තේ ගුවනි වෙතට ඉඟියක් කරමිනි.

“හරි හරි යං. නැත්තං අද අපේ අම්මට හාට් ඇටෑක් එයි”

ගුවනි සහස් ට සමීපයෙන් අඩිය ඉක්මන් කොට ගියා ය. සිහිලැල් මිදුලෙන් දිගු කොරිඩෝරයට වැදී, විදත් ගමන් කළේ ඉතා හෙමිහිට ය. ඇය නෙතු පිය නො සලා ඔහු දෙස බලා ගෙන ඔහු ට අඩියක් පසු පසින් ගමන් කළා ය. විදත් ට වන්නේ සහස් වාගේ තුරුණුවෙකුට හෝ නොමැති පෞරුෂයකි. එය ගැහැනු ඇසක් වසඟ කරන්නකි. ගැහැනු හිතක් සසල කරන්නකි. 

කොරිඩෝරය දෙපසට බෙදී සිය කාමර දෙකට වෙන් වී යන තැන දී විදත් නැවතුණේ ය. සහස් හෝ ගුවනි පෙනෙන්නට හෝ නො සිටි බවවත් නිකිනි ට නම් මතකයේ වූයේ නැත.

“ගුඩ් නයිට්”

නිකිනි ගැහෙන ස්වරයෙන් කියා ගත්තා ය. ඉනික්බිති අඩියක් දෙකක් කොරිඩෝරයේ ඉදිරියට අඩිය තැබුවේ ය.

“නිකිනි”

විදත් ගේ මිමිණුම මහා උස් හඬක් සේ දෝංකාර දෙනු නිකිනි ට ඇසිණි. ඇගේ දෙපා නැවතුණේ ය. විදත් ගේ සැහැල්ලු පියවර හඬ පවා ඇයට දැනුණේ සිය හදවත මත තැබෙන බරැති පියවරක් සේ ය.

ඔහු ඉතාමත් හෙමිහිට, පිහාටුවක සැහැල්ලුවෙන් ඇය වෙතට පැමිණියේ ය. ඇගේ ගෙල හා දෙකොපුල් අතර උණුහුමැති කලාපයේ සිය දෑත් හොවා ඇගේ වත ඔහු දෙසට හරවා ගත්තේ ය. ඉනික්බිති පහත් වී ඒ නළලත මත උණුහුම් මුදු හාදුවක් තැබී ය. ඇගේ ඇස් පිය වී යළි විවර විය.

“ගුඩ් නයිට්…සනීපෙට නිදියන්න”

ඇය මුදාලමින් ඔහු මිමිණී ය. නිකිනි යටි තොල සපා ගත් වන කාමරයට ම දිව ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles