රිදුණු තටු පිරිමදිමි – 32

අංජන නීලවතුර ට වින්දි ගැන විවාහ යෝජනාවක් ඉදිරිපත් වූයේ ඔහු ගේ මිතුරෙකු වන නාලක ගෙනි. වින්දි නාලක ගේ බිරිඳ ගේ සොයුරිය වූවා ය. එවකට විවාහ වන වයසේ පසු වූව ද ඇය විවාහ වීම ගැන උනන්දුවක් නො දක්වමින් රැකියාවත් ගෙදරත් අතරේ කාලය ගත වෙන්නට හරිමින් සිටියා ය. ඒ වෙත්දීත් වින්දි ට ප්‍රේමය ගැන වූයේ බරපතල තුවාල සහිත අසාධ්‍ය වූ මතකයක් පමණකි. ඇය දෙවසරක් වයසැති ප්‍රේම සම්බන්ධයකින් අත් හැර දමනු ලැබ සිටියා ය. ඒ ප්‍රතික්ෂේප වීම දරා ගැනීම ඇයට පහසු වූයේ නැත. ඇය හැර යන්නට හේතුවක් හෝ ප්‍රේමවන්තයා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ නම් හිත හදා ගන්නට ඇයට පහසු වන්නට තිබිණ. 

ප්‍රතික්ෂේප වීමක් කියන්නේ ඇතැම් විට මිනිස් හදවතකට උහුලා ගත නො හැක්කක් වන්නට පුළුවන. දෙවසරක ප්‍රේම සම්බන්ධයකින් ප්‍රතික්ෂේප වීම ඊටත් වඩා භයානක ය. ඒ අපි වෙන් වීමකට කිසි සේත් සූදානම් නැති මිනිසුන් වීම නිසා ය. සම්බන්ධයක් හෝ බැඳීමක් යනු ඉනික්බිති කිසිදු හේතුවක් මත බිඳ වැටිය නො හැකි හා ස්ථිර වූ යමක් ලෙස පිළිගන්නට පරම්පරා අසීමිත සංඛ්‍යාවක් තිස්සේ පුරුදු වූ ජානමය හැඩගැස්මක් අපට වන හින්දා ය. එකට ඉන්නට බැරි නම් වෙන්ව යාමේ අයිතියක්, සම්බන්ධයක් තුළ සිටිනා ඕනෑ ම කෙනෙකුට වන බව අපට කිසි දා කිසිවෙකු උගන්වා නැති හින්දා ය. සම්බන්ධයක් යනු කිසි දා ගැලවීමක් නැති හිර කූඩුවක් සේ සිතන එක අපේ චින්තනයේ දුර්වල කමක් සේ අපට නො දැනෙන හින්දා ය.

වෙන් වීමකට තමන් සූදානම් නැති නම් ඊට සම්බන්ධ අනිත් පුද්ගලයා ගේ ජීවිතය විනාශ කිරීම හෝ ආත්මය විනාශ කිරීම බොහෝ දෙනෙකු අතින් දැන හෝ නො දැන සිදු වේ. පිරිමින් නම් පහසුවෙන් ම ඇල්කොහොල් වැනි තාවකාලික සහනයකින් විසඳුම් සොයති. කාන්තා පාර්ශවය නැඹුරු වන්නේ දැන හෝ නො දැන තමන් ගෙන් පළි ගන්නට ය. එය අන්ධකාර කළු කුහරයක ගිලී යාමක් වන්නට පුළුවන. එකී කළු කුහරය තුළ ක්ලමථයේත් විශාධයේත් ප්‍රහාරයන් ට ලක් ව දැඩි මානසික ව්‍යාකූලතාවයකට ලක් වන්නට ඔවුන්ට සිදු වේ. එම ව්‍යාධියෙන් මිදෙන්නට නම් සියල්ලට වඩා තමන්ට ආදරය කරන්නට තරම් ආත්ම ශක්තියක් කෙනෙකුට තිබිය යුතු වේ. 

වින්දි එකී ආත්ම ශක්තිය අතින් දුර්වල සීමාවක සිටියා ය.  සිය බිඳී ගිය සම්බන්ධය ඇගේ දිවියේ අවසානය සේ සිතන්නට තරම් එය ඛේදවාචකයක් වූයේ ය. ඇය දිනෙන් දින විශාධයෙහි අඳුරේ ගිලෙමින් සිටියා ය. ගොඩ ඒමක් ගැන සිතන්නට පහසු වූයේ නැත.

වින්දි ට අංජන ගැන විවාහ යෝජනාව ඉදිරිපත් වූයේ මේ වාගේ පසුබිමක් තුළ ය. පරණ පෙම්වතාට පේන්නටත් එක්ක කඩවසම් අංජන හා විවාහ වීමට ඇය හදිසි තීරණයක් ගත්තා ය. 

අංජන සිටියේ එක්තරා හීනයක පා වෙමිනි. සන්තුෂී ගෙන් ප්‍රතික්ෂේප වීම ගැන වේදනාත්මක මතකයක් වී ද ඔහු වේදනාව රස වින්දේ ය. ඇය හදවතේ ජීවත් කරවමින් බොහෝ කාලයක් ගත වෙමින් තිබී ද යළි කිසි දා ඇය හමු වනු නැති බවට සත්‍යය ඔහු ඉදිරියේ නග්න ව තිබිණ. ජීවිතය එක තැනක නතර වී පවතිනු නැති බව ද එය ඉදිරියට ගමන් කළ යුතු බව ද ඔහු දැන සිටියේ ය. ආයේ ප්‍රේමයක් ඇවිත් හිතේ නවාතැන් ගන්නා බවක් නො පෙනුනෙන්, ප්‍රායෝගික ජීවිතයට පය තියන්නට ඔහු සිතා ගත්තේ ය. වින්දි ව විවාහ කර ගන්නට ඔහු එකඟ වූයේ එබැවිනි.

පරණ ප්‍රේමය හදවතේ කඳවුරු බැඳගෙන සිටියාට අංජන එය වර්තමානයට අහිතකර බලපෑමක් වන්නට ඉඩ තැබුවේ නැත. නමුත් අඳුරු කළු කුහරයෙන් ගොඩ එන්නට වින්දි ට පහසු වූයේ ද නැත.

ඔවුන් එකිනෙකාට ප්‍රේම නොකළහ. නමුත් විවාහය කියන නීත්‍යානුකූල බැඳීම පවත්වා ගෙන යන්නට කටයුතු කළහ. වින්දි ගෙන් අංජන පැතූ සරස්වතිය දැක ගත වො හැකි වූවා සේ ම ඇයට ඈ සිතේ ජීවත් වූ මිනිසා ඔහු ගෙන් හමු වූයේ නැත. එතැන දී මත ගැටුම් ද මානසික විභේදනයක් ද ඇති විය. වින්දි ගොදුරු කර ගත් විශාධය වරින් වර නේකාකාරයෙන් හිස එසවූ අතර අංජන සිය අතීතය තුළට වී සන්සුන් ව බලා සිටියේ ය. වින්දි හැසිරීම පිළිගත හැකි සමාජ සම්මත සීමාව තුළ නොවන බව පසක් වන බොහෝ අවස්ථා වල මනුෂ්‍යත්වයේ නාමයෙන් ඇයට උදව් කරන්නට ඔහු ට ඕනෑ විය. නමුත් ඇය දරුණු ලෙස ඔහු ව ප්‍රතික්ෂේප කළා ය. ඔහු ගැන නොරිස්සුම් වූවා ය. ඔහු ඇයට ඕනෑ පිරිමියා නොවන බව සිතමින් යළි යළිත් අපේක්ෂා භංගත්වයට පත් වූවා ය.

“දුව අම්මි එක්ක කතා කරල බලන්න. එයාට ඕන නැති විදිහට කේන්ති යන එක ගැන ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරල බලමුද කියල අහන්න. අපේ ඇඟේ වෙනසක් වුණොත් අපි ඒ ගැන මෙඩි හෙල්ප් ගන්නව වගේ…හිතේ වෙනසක් වුණහමත් ට්‍රීට්මන්ට්ස් වලට යන්න වෙන එක සාමාන්‍ය දෙයක් කියල එයාට තේරුං කරල දෙන්න. අපි එයාට උදව් කරමු”

එදා රාත්‍රියේ හුඟක් කල්පනා කිරීමෙන් පසු අංජන සදෙව්මා ට කතා කොට කීවේ ය. ඇය තාත්තා එක්ක කතා කළේ අම්මා දුටුවොත් කියන බියෙන් කාමරයේ දොර අගුළු ලා ගෙන පිටතට හඬ පිට නො වෙන සේ ය. 

“එහෙම වුණොත් අපිට එක ගෙදරක ඉන්න පුළුවන් වෙයි නේද තාත්ති…”

අංජන ගේ පපුව දැවී ගියේ ය. ඇයත් එක්ක එක ගෙදරක එකට ජීවත් වීම කියන්නේ දඬුවමක් කියා සිතෙන තරම් අත්දැකීම් ඔහු ට වේ. නමුත් සදෙව්මා වෙනුවෙන් කළ නො හැකි දෙයක් ඔහු ට නැත. විවාහ ජීවිතය නමැති දුක්ඛ කතරේ ඔහු ට හමු වූ එක ම ක්ෂේම භූමිය ඈ ය.

“හ්ම්. ඔව්”

ඒ වෙලාවේත් අංජන ගේ හිතේ ඒ මේ අත පා වෙමින් සිටියේ සන්තුෂී ය. ඇගේ කෝපි මල් සිනහව ය.

එ් ඇමතුමෙන් පස්සේ සදෙව්මා වින්දි වෙත ගියා ය. ඈ සිය කාමරයේ යහනේ වැතිර උඩුකුරුව නෙතු පියා සිටියා ය. අතේ කැපුම් තුවාලය ඒ තරම් දරුණු නොවී ද එය ඇදුම් කමින් තිබිණ. මහා නිස්සාර හැඟීමකින් ඕ ආතුර වී සිටියා ය. දැනෙනා දුකක් හෝ ඉච්ඡා භංගත්වයක් හෝ සන්තාපයක් හෝ පාළුවක් හෝ ගැන කියන්නට කෙනෙකු ඇයට නැත. මුල සිට ම ඇය පුරුදු වූයේ වියෝගයේ සියල් වේදනා හිතේ අඳුරු ගුහා තුළ සිර කර ගන්නට ය. අංජන කියන්නේ නපුරු මිනිසෙකු නොවී ද කිසා කලෙක ඔහු ඇගේ හදවතට දැනුණේ නැත. ඔහු ඉදිරියේ ඇය අතිශය හැඟීම් විරහිත ගැහැනියක වූවා ය. වියළි ගැහැනියක වූවා ය. එයින් සිදු වූයේ අංජන තව තවත් ඇයට දුර වන එකයි. ඔහුට බලාපොරොත්තු වූ ලෙස සරස්වතිය අමතක කොට අලුත් ලෝකයක අලුතෙන් ජීවිතයක් අරඹන්නට අවශ්‍ය වටපිටාව වින්දි විසින් සපයා දුන්නේ නැත. ඒ ඈත් වීම තුළ අංජන තව තවත් ඔහු ගේ හුදෙකලා ලෝකයේ, ඔහු සිත ගැස්මකට ලක් කළ ගෑනු ළමයා සමග තනි  වූයේ ය. සජීවී ව ආදරය කරන්නට ඔහු ට තිබුණ එක ම වස්තුව සදෙව්මා ය. විටෙක ඔහු උමතුවෙන් වාගේ ඇයට ආදරය කළේ ය. අංජන සදෙව්මාට දක්වන අසීමිත ආදරය ද වින්දි ගේ නො රිස්සුමට හේතුවක් විය.

“අම්මි”

සදෙව්මා දෙවරක් ම කතා කළ පසු ය වින්දි ගැස්සී නෙතු හැරියේ.

“අත තාම රිදෙනවද…”

සදෙව්මා මුදු ලෙස අම්මා ගේ අත පිරිමැද්දා ය.

“නෑ”

සිය රිදුමක් කිසි දාක කිසිවෙකුට කියන්නට නොසිතීම තුළ දැනෙන්නා වූ පීඩනය මේ මොහොතේත් වින්දි ට දැනිණ.

“අම්මි මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ…ගෙදර යං කියපු එක ගැන…”

“මාත් එක්ක ඕව කතා කරන්න එන්න එපා සදෙව්මා”

වින්දි නොරිස්සුම් සහගත බවකින් හා තරමක් දැඩි ස්වරයකින් කීවා ය.

“අපි මේක කතා කරන්න ඕනනෙ අම්මි. ඔයත් දුකෙන් ඉන්නෙ. මාත් දුකෙන් ඉන්නෙ”

“මං දුකකින් ඉන්නෙ නෑ. මං හොඳින්”

සිය අත්‍යන්ත ශෝකය හැඳින ගන්නට පවා ඇය අපොහොසත් වූවා ය. ශෝකයක සේයා දැනුණත් ඒ කුමක් අරබයා හට ගත් ශෝකයක් දැයි ඇය නො දැන සිටියා ය.

“මට හිතෙන්නෙ අම්මි ගොඩක් හිතේ කරදරෙන් ඉන්නෙ. ඒකයි එදා මටත් ඒ වගේ බැන්නෙ. අම්මි කවුරු හරි එක්ක කතා කරන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද…අපිට උදව් ඕනෙ අම්මි…අපිව තේරුං ගන්න කෙනෙක්ගෙ උදව් ඕනෙ”

එසේ කියත්දී සදෙව්මා ගේ හඬ බිඳී ඇයට හැඬුම් ආ තරමි. ඒ පුංචි හිතෙහි පායා තිබුණේ සන්තුෂී ගේ සතුටෙන් පිරි පියකරු මුහුණ ය. 

“මට කාත් එක්කවත් කතා කරන්නවත් කාගෙන්වත් උදව් ගන්නවත් ඕන නෑ. ඔයා හිතන් ඉන්නෙ මට අසනීපයක් කියලද..මට පිස්සු කියලද…”

“අම්මි…”

“යන්න යන්න…ඔයා ගිහින් නිදියන්න”

වින්දි බලයෙන් වාගේ සදෙව්මා ව පිටත් කොට යවා කාමරයේ දොර වසා ගත්තා ය. අසරණ හැඟීමකින් ඇය සිය කාමරයට ගියා ය. එසේ යත්දී, ඒ මොහොතේ ඇයට දැනෙන අසරණ හැඟීම මීට පෙර බොහෝ අවස්ථා වල තාත්තා ගේ මූණේ ලියැවී තිබුණා නේද කියා ඇයට සිහි විය. 

“එක පාරටම කැමති කර ගන්න බැරි වෙයි ඉතිං…අපි ට්‍රයි කරමු”

සන්තුෂී පොඩි ළමයෙකු ගේ බඳු අවංක සිනහවකින් කීවා ය. දුරකතනය ඔස්සේ ඒ සිනහව නො පෙනුණ ද අංජන ට එය දැනිණ.

“සදෙව්මාට ඒක කරන්න බැරි වෙන එකක් නෑ. දරුවෙක් වෙනුවෙන් වෙනස් නොකරන දෙයක් අම්ම කෙනෙක්ගෙ ජීවිතේ නෑනෙ අංජන”

වින්දි කියන්නේ සන්තුෂී හිතන විදිහේ ගැහැනියක නොවන බව අංජන නොකියා සිටියේ පිටස්තර ගැහැනියක සමග බිරිඳ ගේ නුගුණ කියනා පිරිමියා ගැන එකී කාන්තාව සිතන්නේ කෙසේ දැයි අනුමාන කළ නිසා ය. වෙනත් ස්ත්‍රීන් කෙසේ වී ද සන්තුෂී කියන්නේ ඒ වාගේ කෙනෙකි. 

“වින්දි දැනටමත් ඉන්නෙ මාත් එක්ක කේන්තියෙන් නිසා මට මේකට මැදිහත් වෙන්න බෑ. එහෙම නොවුණනං මං මෙහෙම නිකං බලං ඉන්නෙ නෑ”

“ඔයාව මං දන්නව”

“ඔයා කොහොමද මාව දන්නෙ අංජන…”

ඇය එය කීවේ අංජනට නොව තමන්ට ම සේ ය. පපුවේ පිරී තිබූ සුසුම සන්තුෂී නොදැන ම නික්ම ගියේ ය.

“මෙච්චර අපිට උදව් කරල…අපේ පවුල සමාදාන කරන්න හදන ඔයා…ඇයි ඔයා ගැන නොහිතන්නෙ…ඔයාගෙ ඩිවෝස් එක නතර කරන්න හිතන්නැත්තෙ ඇයි…”

ඇය ගැන ලෝභ කමක් හදවතේ වී ද ඊට වඩා යුතුකමක් වන බව අංජන දැන සිටියේ ය. ටික දවසක සිට, සන්තුෂී ගේ දික්කසාද තීරණය ගැන දැන ගත් දා සිට ඒ යුතුකම ගැන සිතිවිල්ල අංජන ගේ පපුවට ඇඟිල්ලෙන් අනිමින් යමක් කියන්නට උත්සාහ කරමින් සිටියේ ය.

“මං ඒ ජීවිතෙන් පිට වෙලා යන්න කැමති නිසා. අනිත් අතට ඩිවෝස් කේස් එකක් ෆයිල් කළේ කල්ප. සම්බන්ධයක් ආයෙ සෙට්ල් කරන්න බැරි තරමට ස්පොයිල් වුණාට පස්සෙ හොඳම දේ වෙන් වෙලා යන එක. සදෙව්මා වගේම දරුවො දෙන්නෙක් ගෙ බැඳීමයි වගකීමයි තිබුණ නිසා මං ඒ ඩිසිෂන් එක ගන්න බැරුව හිටියා. අන්තිමට එයාම ඒක කළා. දැන් මට නිදහස් හැඟීමක් දැනෙනව අංජන. කැඩිල බිඳිල යන්න කලින් පවුලක් රැක ගන්න පුළුවන් නං ඒකයි කරන්න ඕන. සදෙව්මායි ඔයයි සතුටෙන් හිටියොත් මට සතුටුයි”

“මිස්”

සන්තුෂී හිස නගා බැලුවේ අංජලී ඇමතූ හඬිනි. විසිටර් කෙනෙක්. මිස්ව අහනව”

“කස්ටමර් කෙනෙක්ද…”

එතකොට ම අංජලී ව පසෙකට කර ගෙන සන්තුෂී වෙත එළඹියේ වින්දි ය. ඇගේ මුහුණේ ආක්‍රමණකාරී පෙනුමක් විය. ඒ කවුදැයි එක වර සිතා ගත නො හැකි වූ සන්තුෂී ‘ඇයි’ කියා හැකි තරම් විනීත ලෙස ඇසුවා ය. සුරත දිගු කළ වින්දි සන්තුෂී ගේ කම්මුලක් හරහා අතුල් පහරක් එල්ල කළා ය. ඇයට කිසිත් සිතා ගත නො හැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles