මල් තුහින – 49

“සමාව ඉල්ලන්නද ආවේ?”

උත්පලා දෑත් බැඳ අසන්නේ අසංවරව ය. සැබෑවටම ඇයට ආදරය කළ දවස් තිබුණාදැයි තුහින සිතී ය. ඇයට ආදරය කළ දවස් පසුගිය වසර කිහිපයේම තිබෙන්නට ඇත. මේ හිඳින්නී විවාහක බිරිඳ පමණක් නොවේ. කලකට ඉහතදී ජීවිතය බෙදා ගත් ගැහැනිය ය. ඔහු කිසිවක්ම නොකියා තත්පර කිහිපයක් ගෙවා දැමී ය.

“අපි ඩිවෝස් වෙන්න තීරණය කරලා ඉවරයිනෙ. ඒත් සදාකාලික හතුරො වෙන්න මට උවමනාවක් නෑ. දූගෙ අම්මා හැටියට ඔයා සනීපෙන් ඉන්නවා දකින්න මට ඕනෑ”

ඇය මානසික රෝගයකින් බව ඈ අවබෝධ කරගෙන ඉන්නවාදැයි ඔහුට නොවැටහේ. නමුත් ඈ ඉන් මිදීම ඔහුට සතුටකි. සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ දියණිය වෙනුවෙන් උත්පලා සුවපත් වීම ය.

“අපි නීතියෙන් වෙන් වුණා කියලා අපි දෙන්නගෙම ජීවිතේ එතනින් ඉවර වෙන් නෑනෙ. සමහරවිට ඒක අලුත් පටන් ගැනීමකට හේතුවක් වෙයි. හැබැයි අපි දෙන්නම අපි කොච්චර නරකද කොච්චර හොඳද කියලා තේරුම් අරන් ඒ අලුත් පාරට වැටෙන එක හොඳයි.”

තුහිනගේ බණ අසන්නට උත්පලාට ඕනෑ නැත. ඇය ඇගේ නියෝගය නිකුත් කරන්නට සිතුවා ය. කොහොමටත් ඈ මේ ගැන ඔහුට කියන්නටම සිතා සිටියා ය.

“ඔයා ආයේ මැරි කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. දුව ඉන්නේ ඔයා ගාව. මගේ දරුවට කුඩම්මලාගේ ලොකු සීන් බලන්න මට ඉඩ දෙන්න බෑ.”

මේ කෝපය ඇවිස්සෙනසුළු කතාවක් වුවත් තුහිනට පහළ වූයේ සිනාවකි. ඇය අනුන්ගේ ජීවිත මොනතරමට පාලනය කරන ගැහැනියක් ද?

“ඔයත් එහෙම ඉන්නද කල්පනාව?”

උත්පලා හිස වැනුවා ය.ඇය සදාකාලික තනිකඩ ජීවිතයක් ගත කිරීම ගැන ඔහුට ශෝකයක් ඇති විණ. නමුත් ඒ තත්පර කිහිපයකට ය. උත්පලාගේ සැබෑ වර්ණ යළිත් පිටතට පැමිණියේ ය.

“මම බඳින් නෑ. මම තනිවුණු ගෑනියෙක් විදියට මගෙ යූ ටියුබ් චැනල් එකයි පේජ් එකයි කරනවා.”

පැමිණියේ සාමකාමී කතාබහකට බව තුහිනට  අමතක වී ගියේ ය. ඇසිය යුතුම ප්‍රශ්නයක් නාසා හිදින්නට ඔහුට හිත හදා ගන්නට නොහැකි විය.

“ඒ කියන්නේ ඔයා ඉස්සර දුවවයි මාවයි මාකට් කරා වගේම දැන් ඔයාගේ තනිකම මාකට් කරන්න හදන්නේ.”

උත්පලා බලා හිඳින්නේ අහංකාර බැල්මකිනි. මලිති සමග කතාබහ කරමින් සිටියදී නිවී ගිය හදවත උත්පලා නිසා කෝපයෙන් ඇවිලෙන බව ඔහුට දැනේ. නමුත් ඔහු ඉවසීම ප්‍රගුණ කරන්නට තීරණය කළේය.

“ඒක ඔයාගේ තීරණය නම් ඔයා ඒක කරන්න. දුව වෙනුවෙන් ඔයාට සනීප වෙන්න කියලා ඉල්ලීමක් කරන්න ආපු මගෙන් ඔයාට ඔහොම ඉල්ලීම් කරන්න බෑ. දුවට වෙන අම්මා කෙනෙක් ලැබෙන එක ගැන ඔයාට බයයි නම් ඇයි ඔයාට දරුවා බාර ගන්න බැරි. මට එයාගෙ වියදම් ගන බලන්න පුළුවන්.”

උත්පලා ඉතා රුදුරු බැල්මකින් සැරසුණා ය. අනතුරුව කියන්නට ඇති දේ කියන්නට කල්පනා කළා ය. ඒ ඇය සෑම මොහොතකම පාහේ මතුරන මන්තරයකි.

“මං කසාද බැඳලා එනකොට ශේන්යා ගෙනාවේ නෑ. ඒ හින්ද මං ගෙදරින් යනකොට එයාව අරන් යන්නෙ නෑ.”

උත්පලාට මේ ඇත්තේ සාම්ප්‍රදායික කුඩම්ම භීතිකාව නොවන බව තුහින ඉතා හොඳින් තේරුම් ගත්තේ ය. ඇයට ඔහු සතුටින් ජීවත් වනවා දකින්නට අකමැත්තක් තිබේ. දියණියට මුවා වී ඇය ඉදිරිපත් කරන්නේ ඒ ආවේගය බව තුහින හොඳින් තේරුම් ගෙන තිබේ.

“ශේන්යා ගැන ඔයා පොඩ්ඩක් වත් හිතන්නේ නැති බව මම දන්නවා. ඒත් මම ගන්න හුස්මක් ගානේ ඒ  දරුව ගැන. උත්පලා, මං ඔයාට සනීප වෙන්න කියලා යෝජනා කළේ දරුව වෙනුවෙන්. ඔයා ඔය ඇහැටවත් දැකලා නැති ෆෑන්ස්ලා තොගයක් වටකරගෙන ඉඳලා තනි කමක් දැනෙන දවසක් ඔයාට එනවා. ඒ නිසා ටිකක් ඔය වැඩ වලින් ඈත් වෙලා ඔයාගේ හිත හදාගන්න කියලා මම ඔයාට යෝජනා කළෙත් අපේ දරුවා වෙනුවෙන්. ඒත් ඔයාගේ තෝරාගැනීම දුක මාකට් කරන එක නම් ඔයා කරගෙන යන්න. දූව මම බලාගන්නම්. සමහරවිට එයාට කුඩම්මෙක් නොවන අම්මා කෙනෙක් ලැබෙයි. සමහරවිට මම හැමදාටම එයාගේ අම්මයි තාත්තයි දෙන්නම වෙයි. ඒත් මම දෙයියන්ගේ නාමෙට ඔයාගෙන් ඉල්ලන්නේ හරියට බෙහෙත් අරගෙන සනීප වෙන්න. ඔයා සූසයිඩ් කරගන්න හදපු වීඩියෝ එක්ක ඔයා පේජ් එකෙන් අයින් කරාට ඒක ඩවුන්ලෝඩ් කරගත්ත මිනිස්සු කොච්චර ඉන්නවද? ඕවා ඔයාට ම ආපහු කැරකිලා එන දවසක් තියෙනවා. ජනප්‍රිය වෙන එක සතුටක් වෙන්නැති. ඒත් ඒක ජීවිතේම කරගන්න එපා. “

තුහින එසේ කියා පිටව ආවේ ය. ඕනෑම කෙනෙකුට දෙවැනි අවස්ථාවක් ඇති බවට මලිති පැවසූ අන්දම ඔහුට සිහි වේ. නමුත් උත්පලාට එවැනි අවස්ථා හිමි විය යුතු නොවේ. ඇයට ඕනෑ එකක් කර ගන්නට ඉඩ හැරීම ම තමන්ගේ මානසික සහනය පිණිස හේතුවන බව තුහින තේරුම් ගත්තේ ය.

ජීවිතය ඉදිරියට ගලා යනු ඇත. නමුත් මේ ජීවිතයේ කොතැනකවත් යළි උත්පලාට ඉඩකඩක් නොලැබී යන බව ඔහු තමන්ටම සහතික කර ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles