රිදුණු තටු පිරිමදිමි – 39

සන්තුෂී සමග විවාහයෙන් නීත්‍යානුකූල ව දික්කසාදය ලැබුණ ගමන් යළි විවාහයක් කර ගැනීමට කල්ප ගත් තීරණය ගැන ඔවුන් ගේ දරුවන් තුළ ඒ තරම් ප්‍රසාදයක් වූයේ නැත. නමුත් ඒ අප්‍රසාදය දුරු කරනු වස් සන්තුෂී සිය උපරිමයෙන් ක්‍රියා කළා ය.

“ගොඩක් පිරිමි මොන කට මැත දෙඩුවත් ජීවිතේ තනි වෙන්න හරි බයයි පුතේ. තාත්තයි කියල වෙනසක් නෑ. එළියෙ කොහොම හැසිරුණත් ගෙදර තමන් වෙනුවෙන් පේ වෙච්ච වයිෆ් කෙනෙක් ඉන්න එක එයාලට ලොකු හයියක්. තාත්තිටත් ඒ හයිය ඕන නිසයි එයා ආයෙ මැරි කරන්න හිතන්න ඇත්තෙ. අනික මං ඒකෙ වැරැද්දක් දකින්නෑ. අපිට ලැබිල තියෙන කෙටි ජීවිතේ අපිට ඕන විදිහට සතුටෙන් ගත කරන්නයි ඕනෙ. හැබැයි ඒ ජීවිතේට සම්බන්ධ වෙලා ඉන්න අනිත් අයට හානියක් නොවෙන විදිහට. දැන් තාත්තිට ප්‍රශ්නෙකුත් නෑ මට ප්‍රශ්නෙකුත් නෑ. අපි පිළිකාවට වගේ දික්කසාදෙට බයයි. හැබැයි ඒ දෙකෙන් ම අපිට හානියක් නොවී බේරෙන්න පුළුවන්. ඒක හරියට අඳුරගෙන හරි පිළියම් කළොත්. අපි ඩිවෝස් වුණ එකවත් තාත්ති ආයෙ මැරි කරපු එකවත් ඔයාලගෙ ජීවිත වලට අහිතකර විදිහට බලපායි කියල හිතන්නත් එපා. ඔයාලගෙ ඕන දේකට අපි දෙන්නම ඉඳී. එක වහලක් යට මහා අතෘප්තිමත් ජීවිතයක් ගත කරනවට වඩා මටනං මේක හුඟාක් නිදහස් පුතේ”

නමුත් ඉසිහින් කොනිති ගෑමක් ඇගේ පපුවට නො දැනුණා ම ද නොවේ. කල්ප කියන්නේ ඇගේ ප්‍රථම ප්‍රේමය වේ. ඇය මුළු හදින් ඔහු ට පෙම් කළා ය. ඔහුත් එක්ක වසර විසි ගණනක් එක වහලක් යට දිවි ගෙව්වා ය. ඔහු ගේ දරුවන් දෙදෙනෙකු ඇති දැඩි කළා ය. ඇගේ තුරුණු විය ම ඔහු වෙනුවෙන් දිය කොට හැරියා ය. කල් යාමේදී ප්‍රේමය ගැන ඇගේ තිබූ විශ්වාසය ක්ෂය වී ගිය බව ඇත්ත ය.  දික්කසාදය ඇගේ සැනසීමට හේතුවක් බවක් ඇත්ත ය. නමුත් කුමක් දැයි පෙරපර ගලපා කිව නො හැකි රිදුමක් හදවත ශේෂ වී තියේ.

“ඒක හරියයි”

ඇය මඳහස් වතකින් තප්ති සමග කීවා ය. තප්ති ට කළ හැකි වූයේ සුසුමකින් පපුව පුරවා ගන්නා එක විතර ය.

“අපිට කොච්චර එපා කියල දැනුණත්…කාලයක් අපේ වෙලා තිබුණ දෙයක් දැන් කොහොමවත් අපිට අයිති නෑ කියල දැනෙනකොට පොඩි සාංකා හැඟීමක් දැනෙනව”

සුඛ දුක්ඛ සියල් සංවේදනා එවන් මැදිහත් සිනහවකින් විඳ ගන්නට හැකි වීම ම මිනිස් ආත්මයක් ලැබූවෙකු ලබනා විජයග්‍රහණයකි. අහිමි වීම් හෝ නො ලැබීම් මත්තේ ජීවිතය අපායක් කර ගන්නවා වෙනුවට එයට ගමන් කළ හැකි නවමු මාවතක් සොයා ගැනීම අලුත් අත්පත් කර ගැනීම් සඳහා හේතු සැපයිය හැකි ය. සන්තුෂී ඒ අලුත් මාවත තෝරා ගෙන සිටියා ය.

“කල්ප ට පුළුවන්නං ආයෙ මැරි කරන්න…ඇයි ඔයාට බැරි…”

තප්ති කල් මැරුවේ කොයි මොහොතේ ඒ ප්‍රශ්නය එළියට දමන්නද යන නො ඉවසිල්ලෙනි. සන්තුෂී ලස්සන සිනහවක් පෑවා ය.

“මොකෝ හිනා වෙන්නෙ…”

“කසාද සහතිකේකිං ලියල අයිති කර ගත්ත කියල අපි හිතන කිසි දෙයක් එහෙම අයිති වෙන්නෙ නෑ තප්ති. ඒක අපි අපිවම රවට්ටගන්න කරන දෙයක් හිතන හිතිවිල්ලක් විතරයි. කසාද සහතිකේකට ආදරේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බෑ”

“දැන් ඔයා කියන්නෙ කසාදයක් කියන්නෙ බොරුවක්ද එතකොට…”

“අනේ නෑ. ඒක ඇත්තක් කර ගන්න මහන්සි වෙන…ඒක අපි පරිස්සං කරන්න ඕන දෙයක් කියල හිතන මිනිස්සු ඕන තරං ඉන්නව. උදාහරණයක් විදිහට ඔයයි අයියයි ගමු. කසාදයක් කියන්නෙ මොකද්ද ඒක කොච්චර කටුකද කොච්චර මිහිරිද කියන දේවල් තේරුං අරගෙන ඔයාල ජීවත් වෙනවනෙ. ආදරයක් තිබුණත් නැතත් කසාද සහතිකේ ගැන වගකීමක් ගන්න පුළුවන් දෙන්නෙකුට ඒ වගේ ගමනක් යන්න පුළුවන්. මං කිව්වෙ එහෙම උවමනාවක් නැති අය ගැන. මං කිව්වෙ කසාදයක් ඇතුළෙ ආදරේ කියන දේට අත් වෙන ඉරණම ගැන. කසාදයක් කියන කූඩුව ඇතුළෙ ආදරේ ටික ටික මැරිල යනව තප්ති…ඒක මං අත්විඳපු දෙයක්…”

විවාහය කියන්නේ බැඳීමක් බව අංජන ද මැනවින් දැන සිටියේ ය. අතර මගකදී ඒ බැඳීම ලිහා දැමිය යුතු සේ දැනුණ ද ඊට එරෙහි ව නැගී සිටිනා ප්‍රබල ම සාධකය දරුවන් බව ද ඔහු දැන සිටියේ ය.  වින්දි සමග ගෙවුණ යුග දිවිය අතර මගකින් නතර කරන්නට තරම් සිත් බිඳීම් අපමණ වී ද ඔහු ඒ බව අමතක කොට සිටියේ සදෙව්මා ගැන සිතා ය. විවාහය කියනා බැඳීම ආදරය කියනා හැඟීමට සමපාත කරන්නට වෙහෙස නොවිය යුතු බව දැන සිටි නිසා ය. 

“අපි මේ සම්බන්දෙ ඇතුළෙ වද වුණා ඇති නේද අංජන…”

කියා දිනක් වින්දි විසින් විමසනු ලැබුවේ අංජන තිගස්සවමිනි. ඔහු ඒ වෙලාවේ වින්දිලා ගේ මහ ගෙදර බරාඳයේ හිඳ අඳුර දෙස බලා ගෙන සිටියේ ය. පසුගිය කාලය පුරා ඔහු ව තදින් ප්‍රතික්ෂේප කරමින් සිටි ඕ අංජන සමග කෙලින් ම කතා කරන්නට සිතුවේ ඇගේ මනස සන්සුන් වෙමින් පැවති අතරේ ය. උපදේශන සේවා සැසි හා ඖෂධ ප්‍රතිකාර මගින් වින්දි බොහෝ දුරට විශාධයේ බරපතල සීමාවෙන් මෙපිට නතර වී සිටියා ය.

අංජන තිගැස්සී බැලූ මුත් වින්දි ගේ ඇස් වල ඔහු ට පුරුදු උමතු බව වූයේ නැත.

“ඔයා වැරදියි කියල මං කියන්නෙ නෑ. අපේ කතාවෙ වැරදිකාරය කවුද කියල දැන් ඉතින් හොය හොය ඉඳල ඇති වැඩකුත් නෑ. මට හිතෙනව මං මේ බැඳීමෙන් මිදෙන එක පහසුවක් කියල”

කතා කර ගන්නට අංජන ට වචන සිහි වූයේ නැත. ඔහු විශ්මිත ව සිටියේ ය. ඇය හමුවේ එහෙම කියා ගන්නට සිතුණ වාර ගණන අනන්ත වී ද කවදාවත් ඔහු එහෙම කොකළේ හිත් රිදුම් ගැන වූ බියට ය. වින්දිට දීගය අත් හැරීමේ උවමනාවක් වූ බව ඔහු නො සිතුවේ ය. ඇය ගේ හැර ගියේ ද විශාධීය බලපෑම් නිසා යයි ඔහු සිතා සිටියේ ය.

“ඔයා කියන්නෙ…අපි ඩිවෝස් වෙන්න ඕන කියලද…”

අවසන අසීරුවෙන් ඔහු ඒ ප්‍රශ්නය නගා ගත්තේ ය. වින්දි අඩඳුරු වැරැන්ඩාවේ කණුවකට හේත්තු වූවා ය. ඇයට විවාහයක් අවශ්‍ය නැති බවක් හිතෙන්නේ ඇයි කියා ඇය දන්නේ නැත. ඇතැම් විට විවාහයකින් ඇය බලාපොරොත්තු වූ කිසිත් නො ලැබී ගිය නිසා වන්නට ඇත. අනිත් අතට අංජන හා විවාහ වීමෙන් ඇය බලාපොරොත්තු වූයේ සිය පැරණි පෙම්වතා ට රිදවීම පමනක් බව දැන් වින්දි ට සිහි කර ගත හැක. නමුත් ඇගේ අරමුණ ඉටු වී ද? එදා ඈ හැර ගිය ඔහු ට ඉන් පසු ඈ ගැන මතකයක් හෝ නො වන්නට ඇත. නමුත් ඒ වියෝගයේ දරුණු සැඩ පහර වැදී ඇය මුළුමනින් අකර්මන්‍ය වූවා ය. විශාධයේ අඳුරු අගාධය තුළ ඈතට ඈතට ගසා ගෙන ගියා ය. ඒ අහිමි වීම ඇයට මුළු ලෝකය ම විය. හිමි වූ කිසිවක වටිනාකම් නිර්ණය කිරීමේ අවශ්‍යතාවයක් ඇයට වූයේ නැත. සදෙව්මා හැරෙන්නට වෙනත් කිසිවක් ගැන කිසිදු හැඟීමක් හෝ ඇයට නොවී ය. සදෙව්මා ද ඇගේ හුදෙකලා ලෝකයේ පාළුව මකා ගැනීම වෙනුවෙන් පමණක් ඇය විසින් පාවිච්චි කළා ය.

“ඩිවෝස් නොවුණට කමක් නෑ”

වින්දි ගේ ස්වරය අතිශය සාමකාමී වූයේ ය. මෑත කාලීනව ඇය අංජන සමගින් ඔය වගේ සුහද බවකින් කතා කළ බවට මතකයක් හෝ ඔහු ට නැත.

“මට ඩිවෝස් එකක් ඕන නෑ. ඒත් ඔයාට ඕනනං එහෙම කරමු. මට ඕනෙ කසාද වගකීම් වලින් ඈත් වෙලා මගෙ පාඩුවෙ ඉන්න. අපි සෙපරේට් වෙලා ඉමු. සදෙව්මාට අපි දෙන්නා එක්කම ඉන්න පුළුවන්නෙ”

“වින්දි…”

“ප්ලීස්…මාව නිදහස් කරන්න. මට පාඩුවෙ ඉන්න දෙන්න. ඔයාට මගෙන් වෙච්ච වරදට සමාව දෙන්න. දැන් මට ඕනෙ හෙමි හෙමිහිට මාව තේරුං ගන්න. ඒකට මට ඉඩක් දෙන්න. ඔයාට වැඳල කියන්නං”

අංජන කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස වින්දි ඔහු ඉදිරියේ දෑත් එක් කොට පෙනී සිටියා ය. ඔහු ව නො පෙනෙනා අගාධයක් වෙත ඇදී යන්නා සේ අංජන ට දැනෙන්නට විය. ඔහු ගේ දෙතොල් වියළී ගියේ ය. අප්‍රාණික බවක් ඔහු ට දැනෙන්නට විය. ඇය ට එකඟතාව හඟවනු වස් ඔහු හිස සැළුවේ ය.

“තැන්ක්යූ”

වින්දි එසේ කියා යටි තොල සපා ගෙන ගෙතුළට දිව ගියා ය. අංජන ඔහු හිඳ සිටි පුටුව පිටින් ම ඔහු නො දන්නා අගාධයෙහි ගිලී යමින් සිටියේ ය.

කාමරයේ දොර වසා ගත් වින්දි හයියෙන් හුස්ම ගන්නට වූවා ය. ඇගේ කොපුල් තලා දිග කඳුළු දෙපෙළක් ගලා යන්නට විය. නමුත් ඕ සැහැල්ලුවක පා වන්නට වූවා ය. මෙතෙක් බලහත්කාරයෙන් වාසය කළ යුග දිවිය නම් වන වාස භවනය ඇය ව කෙතරම් පීඩනයකට නතු කොට ඇත්දැයි ඇය අවබෝධ කරමින් සිටියා ය. සිය පැරණි පෙම්වතා ට පේන්නට හෝ ඔහු ගෙන් පලි ගනනනට කියා ගෙවදි මේ විවාහ දිවිය තුළ සැබවින් පළි ගැනීම සිදු වූයේ අංජනගෙන් කියා දැන් ඇයට පෙනේ. නමුත් ඒ නීරස සම්බන්ධය තුළ ඔහු බොහෝ සේ ඉවසා වදාළේ ය. සමහර විට ඒ ඔහු ඇයට කිසි දාක ආදරය නොකළ නිසා හා ඇගෙන් ආදරයක් බලාපොරොත්තු නොවූ නිසා ද විය හැක. අංජන ගේ ඇස් ඒ සරස්වතී පිළිමය දෙස බලා සිටියදී කෙතරම් ප්‍රේමණීය බවකට හැරෙන්නේ ද කියා ඈ දැක තිබේ. 

ඉතින් ප්‍රේමය පවත්නේ කොතැනක ද ප්‍රේමය ය කියා අප ජීවිතය මත්තේ පටලවා ගන්නේ කවරක් ද කියා යළිත් මුල සිට සිතිය යුතුව තිබේ. අපේ ම භීතිකා හා මානසික ව්‍යාධීන් වලින් සැඟවී සිටිනු පිණිස බිම් ගෙයක් ලෙස විවාහය තෝරා ගැනීම කෙතරම් වරදක් ද? වින්දි සේ ම ඇතැම් විට අංජන ද ඒ එක ම වරද වෙනත් ආකාර වලින් සිදු කරන්නට ඇත. උනුන් සුවපත් කරන්නට සහාය වනු වෙනුවට උනුන් නොරිස්සීම ඔවුන් ගෙන් සිදු වූ වග පිළි ගත යුතු ව තිබේ. අලුතෙන් උනුන්ට ආදරය කරන්නට උත්සාහ කරනු වෙනුවට පරණ ආදර කතා වල එල්බ ගෙන විඳවීම ඔවුන් තම තමන් ට කර ගත් වරදක් බව පිළි ගත යුතුව ම තිබේ.

පසු දා ශනිදාවක් වූයෙන් සදෙව්මා ව උපකාරක පන්ති කැටුව යාමට අංජන සූදානම් වූයේ ය. දියණිය සමගින් වඩා ගැඹුරෙන් කතා කරන්නට යමක් ඔහු ට තිබිණ. සමහර විට ඇය දැන් මේවා තේරුම් ගන්නට තරම් අත්දැකීම් අතින් මෝරා සිටිනු ඇතැයි අංජන සිතුවේ ය. 

“අම්මි කියනව…අපි වෙන් වෙන්න ඕන කියල”

ඔහු කතාවට ප්‍රවිෂ්ඨ වූයේ ගමන අරඹා මඳ වෙලාවකින් හිතේ බරක් එක්ක ය. සදෙව්මා වහා හිස හරවා බැලුවා ය.

“මං අද ආයෙ ගෙදර යනව දුව. අම්මි කියන්නෙ ඇත්ත. අපි එක ගෙදරක එකට ඉඳල තේරුමක් නෑ. ඊට වඩා පහසුයි නං වෙන වෙනම ජීවත් වෙන එක…ඒකයි කරන්න ඕන. ඔයා පොඩි නිසා තාම මේව තේරෙන්නැතුව ඇති. ඒත්…”

“ඔය දෙන්න හැමදාම රණ්ඩු වෙනවට වැඩිය එහෙම වෙන එක හොඳයි. ඒත් මට තනියම අම්මි එක්ක ඉන්න කියලනං කියන්නෙපා තාත්ති”

පපුව මැදට ම පිහි පාරක් වැදුණා සේ ඔහු රිදුම් ලැබුවේ ය. සදෙව්මා ට කුමක් කියන්න ද කියන දෙගිඩියාව තුළ මඳ වෙලාවක් නිහඬ ව ඉන්නට ඔහු ට සිදු විය.

“ඔයාට අපි දෙන්න එක්කම ඉන්න පුළුවන්. අම්මිත් කැමති එහෙම. අපේ ගෙදරයි අම්මි ළඟයි මාරුවෙන් මාරුවට ඉන්න පුළුවන්”

“එහෙනං මං වීක් එන්ඩ් එකේ විතරක් මෙහෙ එන්නං”

“ඔයා මෙහෙම දේකට මේ තරං ලේසියෙන් කැමති වෙයි කියල මං හිතුවෙ නෑ. ඒක මට වගේම අම්මිටත් සැනසීමක් වෙයි. ඔයා අපිව තේරුං ගත්තට තෑන්ක් යූ පුතා. ඔයාගෙ කිසි දේකට අම්මියි තාත්තියි නැති වෙන්නෙ නෑ. අපි දෙන්නම ඉන්නව. අපි වෙන් වෙන්නෙ පුද්ගලික කාරණා නිසා. හැබැයි ඔයා අපි දෙන්නගෙම දරුවා”

‘මං දන්නව. තාත්ති අම්මිටවත්…අම්මි තාත්තිටවත් ආදරේ නෑ’ 

සදෙව්මා එසේ සිතුවාට ඒ සිතිවිල්ල වචන බවට පත් වන්නට ඉඩ තැබුවේ නැත. ඇගේ කුඩා හිත රිදෙමින් තිබිණ. අම්මා හා තාත්තා එක්ක එක ගෙදරක ජීවත් වීම පරණ මතකයක් වී අතීතයට එක් වෙන බව දැනෙත්දී දුක පපුව හිර කරවූයේ ය. නමුත් අම්මා යළි අසනීප වෙනවාට ඇය බිය ය. ඇය අසනීප නොවී ඉන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑ ම වන්දියක් ගෙවන්නට ඇය සූදානම් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles