මල් තුහින – 55

“ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේම නෙවෙයි. ඔයා පුංචි පුතෙකුට තාත්තා වුණා කියලා දැක්කම හරිම සතුටක් ආවා. සතුටින්ම ඉන්න.”

මලිති එසේ ලියා යැවූයේ අලුත් මල් පීදෙන ජූනි මාසයේ දවසක ය. නවීන් පුතෙකුට තාත්තා වූ දිනයේ ය.

“ජූනි මාසේ බබෙක්. ඔයා වගේ.”

නවීන් පිළිතුරු එවා තිබිණ.

“ඒවගෙත් හැටි..අන්තිමට නවීන්ගෙ බබා ඔයා උපන්න මාසෙම ඉපදුණා. එයාට ජීවිතේ තියනකම් ඔයාව අමතක වෙනවය දැන්.”

රුවිනි කියන්නේ ළතැවුල් හඬකිනි. මලිති හිඳින්නේ ශෝකයෙන්දැයි ඇයට බියක් දැනේ.

“ජීවිතේ මොන කාලෙ හරි කොයි විදියටම හරි අපි ළඟ හිටපු අය අපිට අමතක වෙන් නෑ. අපි අමතකයි වගේ ඉන්න උත්සාහ කරනවා. ජීවිතේ ඉස්සරහට යනකොට මුණ ගැහෙන අය හින්දා අමතක කරන්න වෙන අවස්ථාත් තියනවා.”

තුහින ඒ ගැන පැවසුවේ එවැන්නකි. මලිතිගේ මුහුණේ ඇඳෙන පැනයට පිළිතුර ඔහු අහිතක් නැතුව පැවසුවේ ඉනික්බිතිව ය.

“මට උත්පලා පුදුම වේදනාකාරී මතකයක් මලී. එයාට ජීවත් වෙන්න තිබ්බ..එහෙම වුණානම් නවීන් ඔයා දිහා බලලා සතුටු වෙනවා වගේ ඔයා නවීන්ට ආශිර්වාද කරනවා වගේ ඉන්න තිබ්බා. එහෙම ඉන්න බැරි වුණත් පැතුම් රුවී ජෝඩුව වගේ නන්නාඳුනන ගාණටම ඉන්න තිබ්බා.”

තම දියණියගේ අම්මා අමතක කරන්නට ඔහුට අපහසු බව මලිති දන්නී ය. එහෙත් හඬමින් හිනැහීම ජීවිතය වග දැන් ඇය අවබෝධ කරගෙන අවසන් ය.

“දූට අම්මා ගැන මතක මතක් වෙන්න ඉඩ තියන්න එපා කියලා ඩොක්ට කියපු එක සාර්ථකයි. එයාගෙ මතකෙ නම් ටික ටික අඩු වෙනවා”

එහෙත් බිළිඳු මතකයක් තරමට වැඩිහිටි මතකයක් මැකී යන්නේ නැත. ජීවිතය තුළ ඇවිද ගිය අය තැබූ අඩි සටහන් මැකෙන්නේ කාලය සමඟ බව මලිති පැවසුවා ය. තුහින එය පිළි ගත්තේ සිනාවකිනි.

“ඔයා ලියන දේවල් තරම්ම කතා කරන හැටිත් ලස්සනයි.”

මලිති ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. රාජකාරි ඊමේල් පණිවිඩ සහ පෞද්ගලික වට්සැප් පණිවිඩ මිසක ඔහුට ලියූ දේ නැති බව ඇයට සිහි වේ.

“මං හරිම කැත වැඩක් කළානෙ.”

තුහිනගේ සිනාව පාසල් සිසුවෙකුගේ තරමට දඟකාර ය.මලිති ඔහු දෙස බැලුවේ විමසිලිමත්ව ය.

“ඇත්තටම රුවිනි තමයි කැත වැඩේට සම්බන්ධ”

අතීත දවසක තුහිනට දෙන්නැයි ඇය ලබා දුන් සටහන් පෙළ හදිසියේ ඔහු අත තබන්නට රුවිනිට සිත් වීම ගැන මලිතිට මහත් ලැජ්ජාවක් දැනෙන්නට විය. දෙකම්මුල් රතු කරගත් ඇය තුහින දෙස නොබලා හිඳින්නට උත්සාහ කළා ය.නමුත් ඔහු ඇගේ කෙහෙරැළි අවුල් කර ඇය දියව යන සුළු සිනාවක් නැඟුවේ ය.

“රුවිනි!මං එයාගේ බෙල්ල කඩන්නම්කො.”

මලිති රතුව ගිය මුහුණින් එසේ කියද්දී තුහිනගේ සිනාව පුපුරා ගියේ ය.

“ඒකත් හොඳයි. එතකොට රුවිනි එක්ක කියෝ කියෝ ඉන්න වෙලාවෙත් මට කතා කරන්න පුලුවං.”

ඔහු ඇතැම්විට තවමත් අර ලාබාල පාසල් සිසුවා විලසින්ම හැසිරෙන බව මලිතිට දැනේ. ජීවිතය තුළ අහිමි වී ගිය සමහර තැන් හදවතට වඩාත් සමීප කෙනෙකුගෙන් ලබා ගන්නට උත්සාහ කරන්නට වයස ගැටළුවක් නොවන බව ඇය ඉනික්බිතිව සිතුවා ය.

“අපිට තව කතා කරන්න දේවල් තියනව නේද?”

නවාතැනේ ගේට්ටුව අසල තුහිනගේ රිය නැවතෙද්දී මලිති ඇසුවේ ගැටුම අමතක කර දමමිනි.

“මං හිතන්නේ අපි තව සෑහෙන්න කතා කරන්න ඕන.”

සන්නිවේදනය නැති සම්බන්ධතා ඉතා ඉක්මනින් කල් පිරෙන බව මලිති දන්නේ නවීන් නිසා ය. අඩුම තරමේ තමන් වෙන ප්‍රේමයකින් පිරී හිඳින බව හෝ නිවැරදිව කියන්නට ඔහු සමත් වූයේ නැත. ඒ වෙනුවට ඔහු කළේ නොසලකා හැරීමේ වේදනාව ගැන මලිතිට ඉගෙන ගන්නට ඉඩ හැරීම ය. තුහින ඉතා සියුම් මාතෘකා ගැන පවා දිගින් දිගටම කතා කරයි. ගෘහ නිර්මාණ ශිල්පය ගැන ද පොත්පත් සහ සාහිත්‍ය ගැන ද ගීත සහ චිත්‍රපට ගැන ද මලිති කියවද්දී අසා හිඳින ඔහු අභ්‍යවකාශ විද්‍යාව ද වත්මන් දේශපාලන ප්‍රවාහය ද ගැන සංවාද මෙන්ම ඉතා නොවටිනා ඕපාදූප ගැන පවා සැහැල්ලුවෙන් කියවයි. පහසුවෙන් සිනාසෙන්නටත් හඬන්නටත් තොරතෝංචියක් නැතුව කියවන්නටත් හැකි සහකරුවෙකු කියන්නේ මොනතරමට ආශිර්වාදයක්දැයි මලිති සිතුවේ ඔහුගෙන් සමු ගන්නා අතර ය. අම්මාට අද වෛද්‍ය හමුවක් ඇති බැවින් නවාතැනට ගොඩ වී කෝපි කෝප්පයක් පිළි ගැනීමට අද තුහිනට වෙලාවක් නැත. රුවිනි සමඟ තව මොහොතක් කාර්යාලයේ රැඳී ඇගේ ව්‍යාපෘතියට උදව් කළානම් මැනවියැයි මලිතිට සිතුණේ මෝටර් රථයෙන් බැස නිවසට ඇවිද යද්දී ය.

“අපි දිගටම දිගටම දිගටම කතා කරමු මලී. දන්නවද මං ඔයාට හරිම ආදරෙයි.”

දොර විවර කරන්නට මොහොතකට පෙර ඒ පණිවිඩය පැමිණ තිබිණ. මලයාලම් චිත්‍රපටයක මෙන් මල් වැස්සක් ඇද වැටුණානම් වැස්සට පැන නටන්නට තිබුණු වග මලිතිට සිතිණ.

ඇගේ ජීවිතයට මල් තුහින වැටෙන්නට පටන් ගෙන තිබේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles