නිලැසි -9

“ඔයාලාගේ වෙඩින් ඇනිවසරි එකත් ළඟයි නේද පුතේ?”

රසාදරී මහත්මිය නිලැසිගෙන් එසේ විමසා තවම අඩ පැයක්වත් ගෙවී නැත.අම්මා ඒවා අසන්නේ සාදයක් ගැන සැලසුම් සකසන්නට නොවන බව නිලැසි දන්නී ය.තිසරුගේ ධනස්කන්ධයට හිමිකාරයෙකු ගෙන එන්නට නිලැසිට සිහි කරන්නට ය.

“ඇයි පුතේ බබෙක් ගැන නොහිතන්නේ..”

ඉසිලිය නොහැකිම තැන රසාදරී අසන්නී ය.නිලැසි තිස් විය ද පසු කර අවසන් ය.

“අම්මට රශ්මි ගෙනෙයිනෙ මුණුපුරෙක්.”

නිලැසි ඒ කතාව මඟ හරින්නට එසේ පවසයි.

විවාහයට දෙවසරක් ම ගෙවී අවසන් වීමට ආසන්න බව ඇයට සිහි වූයේ අම්මා නිසා ය.ඒ විවාහ උත්සවයෙන් පසු නිලැසි පැතූ සුඛෝපභෝගී ජීවිතය ඇයට හිමි වූ බව අසත්‍යයක් නොවේ.නමුත් දැන් තිසරු ඇය සනසන ආදරවන්තයෙකු ලෙස නිලැසිට නොපෙනේ.එරන්ද වැනි යෝධ පිරිමි ආත්මයක් හමුවේ ඇයට තිසරු කුරා කුහුඹුවෙකි.

තෙවසරකට පෙර ඒ අවන්හලට ගොඩ නොවන්නට තිබූ බව දැන් නිලැසි සිතන්නී ය.රාජේන්ද්‍ර වික්‍රමාරච්චි සංගීතවේදියා ඔහුගේ සංගීත අසපුවේ දරුවන් සමඟ ප්‍රසංගයකට සැරසෙමින් සිටි ඔක්තෝම්බරය ඈ සිහි කළා ය.නිලැසි විලාසිතා නිර්මාණ ශිල්පිනියක ලෙස ඒ ප්‍රසංගයේ ඇඳුම් සැකසුවා ය.ඉන් නොනැවතී පසුබිම් ගී ගැයුවා ය.නිලැසි ද නිම්න ද දිගැසි ද සමඟ රාජේන්ද්‍ර ගී කිහිපයක් ගයන්නට ද පුහුණු වූයේ ය.නිලැසි අධික වෙහෙස දිනයක අසපුව අසල වූ අවන්හලකට ගොඩ වැදුණේ පවස නිවා ගන්නට ය.

ඈ තිසරුව මුලින්ම දුටුවේ එදින ය.ඈත ගමකින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ආ තාත්තාගේ සංගීත අසපුවේ ඉගෙන ගන්නා ලෝචනා සමඟ ඔහු අවන්හල තුළට ආවා ය.සුඛෝපභෝගී මෝටර් රථයකින් බැස ධනවත් පෙනුමැති කඩවසම් තරුණයෙකු සමඟ ලෝචනා අවන්හල තුළට එන අන්දම නිලැසි බලා සිටියේ විස්මයෙනි.

“බර අත්තක් අල්ලන් වගේ..”

නිලැසි එසේ සිතුවා ය.විවාහය කරා යන්නටම සමත් නොවූවත් එදිනෙදා වියහියදම් සොයා ගන්නට බොහෝ තරුණියන් ධනවත් තරුණයන් හා බැඳෙන බව ඈ දනියි.ඉතා නිහඬ පැවතුම් ඇති ලෝචනා ද එසේ වීම ගැන සියුම් පුදුමයක් දැනුණා මිස නිලැසිට එහි විශාල පුදුමයක් නොදැනිණ.

“මිස්..”

ලෝචනා තරුණයා සමඟ පැමිණ නිලැසිට කතා කළා ය.ධනවත් පෙනුමැති තරුණයෙකු හා මිලාධික අවන්හලක් තුළට පැමිණීම නිසා ලෝචනා තමන්ට කතා කරන්නේ අභිමානයෙන් යැයි නිලැසිට සිතිණ

“කවුද මේ.ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද?”

නිලැසි දෙවුර හකුලා එසේ අසද්දී ලෝචනා කලබල වූවා ය.

“අනේ මිස් මේ මගෙ අයියා.”

ඈත පිටිසර ගමකින් ආ ලෝචනාට මෙවැනි ධනවත් අයියා කෙනෙකු හිඳීම ගැන නිලැසි බැලුවේ සැකයෙනි.

“මේ මගේ ලොකු අම්මගෙ පුතා මිස්.මට කැම්පස් එන්න කියල උගන්නන්නෙ ලොකු අම්මලනෙ..”

එසේ කියා තමන්ගේ ඥාතීන් ගැන ලෝචනා සුවිසල් වර්ණනාවක් ඉදිරිපත් කරද්දී තරුණයා කළේ හිනැහෙමින් බලා සිටීම ය.

“අයියා තිසරු මොරවක.ෆැෂන් මිෂන් එක එයාලගෙනෙ මිස්..”

එදා නම නොකියා යන්නට ගිය මදමුදු සිනාවකින් පමණක් තමන් දෙස බලා සිටි තරුණයා හිතේ අලවා ගත් නිලැසි ඔහු ගැන පසුදා ලෝචනාගෙන් විමසුවා ය.මිලාධික වටිනා පන්නයේ ඇඳුම් ඇති නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර ජාලය ඔහුගේ බව සිතන්නට අපහසු වූ නිලැසි මොහොතක් නිහඬව සිටියා ය.තමන් ඉදිරිපිට හිඳින ගැමි යුවතිය හඳින්නේ ඒ නිමි ඇඳුම් හලෙහි ඇඟලුම් බව දිනක් තම ඇස හසු කරගත් අන්දම ඈ අනතුරුව සිහි කළා ය.නිලැසි එදා සිතුවේ ලෝචනා එහි සේවය කරන බවකි.නැත! ෆැෂන් මිෂන්හි හිමිකරු ඇගේ ඥාති සොහොයුරා ය.

“ඒ වුණාට ඒ මිනිහා මාත් එක්ක කතා කරෙත් නෑනෙ..”

දෑසේ ඇලුණු හන්දා හදවතට එබෙන තරුණයා ගැන සිහි කරමින් නිලැසි සිතුවා ය.නමුත් ඈ නොදැන සිටි කාරණාවක් විය.ඒ තිසරු ඈ ගැන ලෝචනාගෙන් විමසූ බව ය.

“රාජේන්ද්‍ර සර්ගේ ලොකු දූ නේද ඔය? අර ගීතනාත්ගෙ පුතෙක්ව මැරි කරේ එයානෙ.”

හදවත පැහැර ගත් යුවතිය දිනා ගත නොහැකි බව හදවතට ඒත්තු ගන්වමින් තිසරු නැගණිය විමසුවා ය.නමුත් ලෝචනා පිළිතුරු දුන්නේ ඔහුගේ වියළි ගිය බලාපොරොත්තුව යලි දළු ලා වැඩෙන මට්ටමේ කතාන්දරයකිනි.

“එයා ගීතනාත්ගෙ පුතාව බැඳලා නෑ අයියා.මමත් අසපුවට ආවම ඒ කතාව දන්නේ. “

ප්‍රකට ගායකයෙකු වූ ගීතනාත්ගේ ඉංජිනේරු පුතු සංගීතඥයෙකු වූ රාජේන්ද්‍රගේ දියණිය හා විවාහ වන ආරංචිය හැරුණු විට එවකට ටැබ්ලොයිඩ වල වෙනත් පුවතක් නොවූ තරම් බව තිසරු සිහි කළා ය.නිලැසි ද තමන්ගේ විවාහයේ සමහර දෑ සම්බන්ධයෙන් මහත් උද්‍යෝගිමත් සම්මුඛ සාකච්ඡා පුවත්පත් වලට ලබා දී තිබු අන්දම ද ඔහුට මතක ය.ඒ තාරකා මංගල්ලයේ ඡායාරූප දුටු බවක් මතක නැත්තේ තමන්ගේ කාර්යබහුල ජීවිතය හන්දා බව තිසරු සිතී ය.

“ගීතනාත්ගෙ පුතා බැඳලා රට ගියේ නැද්ද එයා..ආ.තව දුවෙක් ඉන්නව නේද? මට දෙන්න පැටලිලා ඇති..”

තිසරු හද උපන් ප්‍රේමය අමතක කරන අතර පැවසී ය.

“එයාලා මැරි කරල නෑ අයියෙ.වෙඩින් එකට දවසක් දෙකක් තියලා ගීතනාත්ගෙ පුතා වංචාකාරයෙක් කියල අහු උනා කියලයි අපි දන්නෙ.මේ නිලැසි මිස් හරියට මෙන්ටලි ඩවුන් වෙලා ඉඳලා.අනේ මන්දා..තිහටත් ළඟයි.බඳින්නෙ නෑ..”

රිදුණු හදක් හිමි යුවතියක බව නොපෙන්වන මුත් මීන නෙත් විසල් කර ඈ තමා දෙස බැලු අන්දම තිසරු නැවත නැවතත් සිහි කළේ ය.

“අයියත් මිස් ගැන ඇහුව.මං ඉතින් කීවා..”

ඈ විවාහ වී ඇතිදැයි ඇසූ බවක් නොකියා ඇගේ වතගොත අයියා ඇසූ අන්දම ලෝචනා නොවලහා හෙළි කළා ය.තමන්ගේ ගුරුතුමාට රටේ ඇති ඉහළ නමක් බව ඇය දනියි.ඒ පවුලට නිම්න හරහා සම්බන්ධ වන සිහිනවල ඇගේ මිතුරියන් ගැලී සිටි මුත් ඒවා සැබෑ නොවන සිහින බව ලෝචනා වටහාගෙන සිටියා ය.නමුත් තමන්ගේ ඥාති සහෝදරයා වැනි මිනිසෙකු නිලැසිට ළං කිරීම පහසු කටයුත්තක බව ලෝචනා දැන සිටියා ය.

ලෝචනා අසාර්ථක නොවී ය.සීතල නොවැම්බරය ඇරඹියේ ම නිලැසි සහ තිසරු පෙම්වතුන් බවට පත් කරමිනි.

“ඔයාට කියන්න දෙයක් තියනව බබා..”

නිලැසි මන්ද ස්වරකින් එසේ මිමිණූයේ විවාහයට දින පවා නියම වූ පසුව ය.තිසරු නෙතු නගා ඈ දෙස බැලුවේ නිලැසි විවාහයේ කටයුත්තක් ගැන ගතු කියන බවක් සිතමිනි.

“මං අර සුමාල් එක්ක එන්ගේජ් වෙලා හිටියේ.ඩිවෝස් එකත් සෑහෙන කලක් ඇදුණා..”

ඇය ඒ පුවත හෙළි කළේ ඉකිගසා හඬන අතර ය.තිසරු ඈ තුරුළු කරගෙන ගෙල පාමුල හාද්දක් තැවරුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles