බිම්මල් – 07

රෝහල් වාට්ටුවේ ගත කරන දිවියට මම කෙමෙන් පුරුදු වෙමින් සිටියෙමි. තෙදිනක් පමණ වජිරා මා ළඟ සිටියද, ඉන්පසු ඇයට රෝහලේ රැඳී සිටින්නට ඉඩ නොලැබුන හෙයින් ඇයට නිවසට යාමට සිදු විය. ඒවනවිටත් කුස හරහා දමා තිබූ ප්ලාස්ටරය ඉවත් නොකළද, මම මගේ කටයුතු තනිවම කර ගතිමි. ඒවනතුරුත් මගේ උදරයෙහි සිදු කරන ලද ශල්‍ය කර්මය කුමක්දැයි කිසිවකු මට පැහැදිලි කිරීමක් නොකළේ මන්දැයි කල්පනා කළද, යළි යළිත් වෛද්‍යවරයාගෙන් හෝ හෙදියන්ගෙන් හෝ අම්මාගෙන් කිසිවක් විමසා සිටින්නට මට නොසිතිණ. අම්මාත්, සුදු නංගීත් මා දකින්නට නිතර නිතරම පැමිණියද, බොහෝ විට හේෂාන් පැමිණියේ හවස් වරුවේ පමණකි. එසේ හෝ ඔහු දැකීම මගේ සිතට මහත් සහනයක් සතුටක් ගෙන දුන්නේය.

“මේ දවස් වල ප්‍රෙස් එකේ වැඩ පිරිලා ඩිනාලි.”

හේෂාන් මගේ අතැඟිලි සිය ඇඟිලි තුඩින් පිරිමදිමින් පවසන්නේ තමා අතින් වරදක් සිදු වුවාක් මෙන් සමාව අයදින හඬකිනි.

“පුළුවන් හැමවෙලාවෙම මං එනවා ඔයාව බලන්න. අපේ අම්මටත් එන්න වෙලාවක් තිබුනෙ නෑ. හෙට එන්න ඕන  කිව්වා ඔයාව බලන්න.”

හේෂාන් පවසද්දී අම්මා ද, සුදු නංගී ද මා ළඟ සිටියහ. ඔවුන් දෙදෙනා මුහුණින් මුහුණ බලා ගන්නා අයුරු දුටුවද, එයට හේතුව කුමක්දැයි මට නොවැටහිණ.

“අම්මට කරදර වෙන්න එපා කියන්න. සමහරවිට හෙට ඩිනාලිව ඩිස්චාජ් කරන්නත් පුලුවන් වෙයි කියලා ඩොක්ට කිව්වා පුතා.”

මඳ වේලාවක් කල්පනා කරමින් සිටි අම්මා පැවසුවාය.

“ඩිස්චාජ් කළොත් මට කෝල් එකක් දෙන්න ආන්ටි. මම අම්මට කියන්නම් ඩිනාලිව බලන්න ගෙදරට යන්න කියලා. .”

හේෂාන් පැවසුවේය.

“දැන් ඩිනාලිට හොඳටම හොඳයි. වජිරා දැන් ළඟ ඉන්නෙත් නෑනෙ. දැන් තනියම හැමදේම කරගන්න ඩිනාලිට පුලුවන්. හෙට අනිවාර්යයෙන්ම ඩිස්චාජ් කරාවි.”

අම්මා තවදුරටත් පැවසුවේ හේෂාන්ගේ මව මෙහි පැමිණීම වැළැක්වීමටදැයි මට සිතිණ. සැබවින්ම හෙට නිවසට යාමට ඉඩ ලැබුනොත් එය මගේ සිතට මහත් සහනයකි. අපගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් කළ යුතු කටයුතු රැසක්ම ඉතිරිව තිබේ. 

“මට ගෙදර ගියාම ගොඩක් වැඩ තියේවි. නේද අම්මා?”

මට ඉබේටම ඇසිණ. 

“ගෙදර ගිහින් ඔයා වැඩ කරන්න ඕන නෑ පුතේ. ඒකට අපි ඉන්නවා.”

අම්මා මගේ හිස අතගෑවාය. 

“එදා කාඩ්ස් ලියලා ඉවර කරන්නත් බැරි වුනානෙ. අම්මා වෙඩින් කාඩ්ස් ටික තනියම ලිව්වද?”

“ම්,.. ඔව්. සුදුයි මමයි ඒවා ලියලා පෝස්ට් කලත් එක්ක.”

අම්මා පැවසුවේ සිය ජංගම දුරකතනය වෙත දෙනෙත් යොමු කරගත්වනමය.

“අරුණෝදිට? මං හොස්පිටල් ඉන්නවා කියලා අරුණෝදි දන්නවද?”

“මං කාඩ් එකක් දැම්මා. අරුණෝදි මට කෝල් කළා. මේ දවස් වල එයාගෙ අම්මත් අසනීපෙන්ලු.”

තවදුරටත් ජංගම දුරකතනය දෙසට දෙනෙත් යොමු කරගෙන සිටි අම්මා පිළිතුරු දුන්නේ තතනමිනි. 

“ඒකතමයි. ආන්ටිට හිටිගමන් ප්‍රෙෂර් වැඩි වෙනවනෙ.”

මම පැවසුවෙමි. සැබවින්ම අරුණෝදි මා දකින්නට පැමිණියේ නම් ඇය හා මගේ සංවේදනාවන් බෙදා හදා ගැනීමට හැකි වෙනවා නොවේදැයි මට කල්පනා විය. රෝහලේ මා කොපමණ දිනක් ගත කරන්නට ඇත්දැයි මා තුළ හැඟීමක් නොමැති වුව ද, එම කාලය තුළ මගේ සිතට පිවිසුනු සිතිවිලි වල නිමක් නොවීය. මෙවන් අවස්ථාවකදී සුභවාදී සිතිවිලි මෙන්ම අසුභවාදී සිතිවිලි සිතට පිවිසීම මිනිස් ස්වභාවය නොවේද?

“පිස්සු දේවල් හිතන්න එපා. මේ මං වගේ සතුටින් හිනාවෙලා ඉන්න ඩිනාලි.”

මගේ සිතට නැගෙන සිතිවිලි ඇය හා පැවසුවේ නම් ඇය පවසනු නිසැකය. ජීවිතය පුළුන් පෙඳක් මෙන් සැහැල්ලු ලෙසින් සිතන අරුණෝදි ගත වන සෑම තත්පරයක්ම සතුටින් ගත කරන්නේ ඇගේ ජීවිතයේ යම් යම් ප්‍රශ්න නොමැතිව නොවේ. විදුහල්පතිනියක වන අරුණෝදිගේ මව ඇය හික්මවීමට කෙතරම් උත්සාහ කළ ද, ඇය ජීවත් වන්නේ ඇයට රිසි අයුරින්ම මිසක අන් කිසිවෙකුට උවමනා ආකාරයෙන් නොවේ.

“මගේ ජීවිතේ අයිති මට. කාටවත් ඕන විදියට මට ජීවත් වෙන්න බෑ.”

අරුණෝදි පවසයි. ඇගේ ජීවිතයේ තේමාව වන්නේ ද එයයි. 

“මොනවද කල්පනා කරන්නෙ ඩිනාලි?”

හේෂාන් විමසුවෙන් මම කල්පනා ලොවෙන් මිදුනෙමි.

“මට අරුණෝදි මතක් වුනා.”

පිළිතුරක් නොදුන් හේෂාන් සිය ජංගම දුරකතනය දෙස බලා සිටියේ පැමිණි කෙටි පණිවුඩයක්  කියවන ආකාරයෙනි.

“පුතා… අම්මා එනවා.”

අම්මා හිටිහැටියේම කැළඹිලි සහගතව පැවසුවාය. තිගැස්සුනු හේෂාන්ගේ දෙනෙත් වාට්ටුවෙන් පිටතට යොමු වූ අතර, ඒ අනුව මම ද එදෙස බැලුවෙමි. හේෂාන්ගේ මව කලබලකාරී ලෙසින් අප සිටින දෙසට පැමිණෙමින් සිටියාය. සුදු නංගී නොඉවසිල්ලෙන් වටපිට බැලුවාය.

“ම්… මෙයත් මෙතනද?”

සුදු පැහැති දිගු සායකින් ද, සුදු නිල් ඉරි වැටුනු අත් දිග බ්ලවුසයකින් ද සැරසී සිටි හේෂාන්ගේ මව මගේ යහන අසළ නතර වූයේ හේෂාන් දෙස රවා බලමිනි.

“අම්මා හෙට නේද ඩිනාලිව බලන්න එනවා කිව්වෙ?”

හේෂාන් ඇසුවේය.

“එන්න හදන හැම වෙලාවෙම ඔයා මට එන්න දුන්නෙ නෑනෙ. පැයක ඉඳලම මම ඔයාට කොච්චර කෝල්ස් ගත්තද? කෝ? ආන්සර් කරායැ? වැඩ ඔක්කෝම දාලා මෙතනට වෙලා ඇති කියලා අනුමානෙට මම ආවා.”

හේෂාන්ගේ මව පැවසුවේ තරහ මුහුණින් යුතුවය. කිසිවක් පවසන්නට මෙන් මුව විවර කළ ද හේෂාන් වදන් ගිල ගත්තාක් මෙන් මට දැනිණ. 

“ඩිනාලි… වෙඩින් එක කට උඩ තියාගෙන මොකක්ද ළමයො මේ කර ගත්තෙ?”

අත් බෑගය තුළින් ගත් පාර්සලයක් ලොකරය මත තැබූ හේෂාන්ගේ මව මා දෙස බැලුවේ වැරදිකාරියක දෙස බලන බැල්මෙනි. 

“හැමදෙයක්ම ලෑස්ති කරලා ඉවර වෙද්දි හරි අපූරුයි කරගත්ත වැඩේ.”

ඇය මට චෝදනාත්මකව පැවසුවේ මා මගේ උවමනාවෙන් අසනීප වී ඇති කලෙක මෙනි. මම හේෂාන් දෙස බැලුවෙමි. 

“අනේ අම්මා මේ ඔව්වා කතා කරන වෙලාවක් නෙමෙයි.”

හේෂාන් පැවසුවේ තරහ මුහුණින් යුතුවය.

“කතා කරන්න ඕන වෙලාවට කතා නොකරපු නිසා තමයි මේ දේවල් මෙහෙම වුනේ.”

හේෂාන්ගේ මව මගේ කුස අත ගෑවාය. කුස හරහා දැමූ ප්ලාස්ටරය අත ගැටෙත්ම ඇගේ මුහුණ වෙනස් විය.

“මං හිතුවා හරි.”

සර්පයකු අත ගැටුනාක් මෙන් පිළිකුල් සහගත මුහුණින් යුතුව අත ඉවතට ගත් ඇය පැවසුවේ හේෂාන් දෙස ද යටැසින් බලමිනි.

“හැමදේම අපෙන් හංගගෙන හිටියට ඔයත් මෙව්වට වග කියන්න ඕන සකුන්තලා.”

ඇය අම්මාට සෘජුව චෝදනා කළාය. 

“ඔයා මගේම සහෝදරියක් කියලයි මං හිතුවෙ. ඇයි මේ විදියට හැමදේම මගෙන් හංගන්න හැදුවෙ?”

හේෂාන්ගේ මවගේ කටහඬ උස්ව නැගුණෙන් කැළඹුණු සිතින් යුක්තව අම්මා වටපිට බැලුවාය. රෝගීන් බැලීමට පැමිණ සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් අප දෙසට යොමු වී ඇති අයුරු මම දුටුවෙමි. හේෂාන්ගේ මවගේ මුහුණ දෙස බැලීමට බියෙන් මම ඉවත බලා සිටියෙමි. ඇයට කෝප ගැනීමට තරම් වරදක් අම්මා හෝ මා අතින් සිදු වී නොමැති බව මම දැන සිටියෙමි. ලෙඩ දුක් සෑදෙන්නේ කලින් පවසා නොවන බව ඇයට පවසන්නට උවමනා වුව ද, මම නිහඬව සිටියෙමි.

“මං හිතුවෙ නෑ සකුන්තලා මේ දේවල් මේ විදියට සිද්ද වේවි කියලා..”

අම්මා ඉදිරියෙහි සිට ගත් හේෂාන්ගේ මව පැවසුවාය.  

“ඩිනාලි අසනීප වුනාට ආන්ටි මොනවා කරන්නද අම්මා? හිතන්නෙ නැති වෙලාවට මිනිස්සුන්ට ලෙඩ දුක් හැදෙනවා.”

හේෂාන් අම්මා වෙනුවෙන් කතා කළේය.

“ආ? දැන් ඔයත් දන්න දේවල්. ලෙඩ දුක් හැදෙනවා නෙමෙයි. මේ හදාගත්තුවා මිසක්.”

“චාන්දනී… අපි යමු එළියට. ඔය හැම දෙයක්ම අපි පස්සෙ කතා කරමු. ඔයා හිතන කිසිම දෙයක් මෙතන වෙලා නෑ.”

අම්මා හේෂාන්ගේ මවගේ අතින් අල්ලා ගත්තේ ඇය වාට්ටුවෙන් පිටතට කැඳවාගෙන යාමට වුවද, ඇය නොසෙල්වී සිටියේ තවමත් පහව නොගිය තරහ මුහුණින් යුතුවය. 

“හිතලා බොරු ප්‍රශ්න හදාගන්න මිනිස්සු ගැන මිසක් ඕනකමින් ලෙඩ හදාගන්න මිනිස්සු ගැන අපි අහලා නෑ නේද ලොකු? ඔව්වා මානසික රෝග.”

ව්‍යාජ සිනාවක් පාමින් මා වෙත සමීප වුනු සුදු නංගී මා ආරක්ෂා කරන්නට මෙන් මා ආවරණය වන සේ සිට ගත්තාය. සුදු නංගී දෙස අමනාප බැල්මෙන් බැලූ හේෂාන්ගේ මව ඔහුදෙසට හැරුණාය.

“ඩිනාලිව බලන්න එන්න හදන හැම වෙලාවෙම මෙයා මට එන්න දුන්නෙ නෑ. මට මේ දේවල් ආරංචි වුනේ හොස්පිටල් එකේ කෙනෙක්ගෙන්මයි. එව්වා අහලා මට පොළව පලාගෙන යන්න හිතුනා.”

“ඉතින් යන්න තිබුනනේ අපට පව් නොදී.”

මගේ මුහුණට මුහුණ ළං කළ සුදු නංගී මට පමණක් ඇසෙන සේ පැවසුවාය. 

මගේ යහනට යාබද යහනෙහි සිටින රෝගී කාන්තාවත්, ඇගේ සැමියාත්  අප දෙස බලා සිටියේ කුතුහලය රැඳුනු මුහුණින් යුතුවය.

“එන්න අම්මා. අපි යමු. මිනිස්සු මේ පැත්ත බලනවා.”

හේෂාන් සිය මවගේ අතින් ඇද්දේය. 

“ටිකක් ඉන්න පුතා. මට සකුන්තලාට එක කියන්න දෙයක් තියෙනවා.”

“කියන්න තියෙන දේවල් ෆෝන් එකෙන් කියන්න. මේ ප්‍රශ්න කතා කරන තැනක් නෙමෙයි. එන්න. යමු.”

හේෂාන් සිය මවගේ අතින් ඇදගෙන වාට්ටුවෙන් පිටවී යන අයුරු මා බලා සිටියේ වේදනාවෙනි. තම දියණියකට මෙන් බොහෝ ආදර වදනින් කතා කරමින් මට මවක මෙන් වූ ඇය මෙසේ හැසිරෙන්නේ මන්දැයි මම කල්පනා කළෙමි.

“ඒ ගෑනිගෙ මොලේ මඤ්ඤං වෙලා.”

සුදු නංගී තරහෙන් පැවසුවාය.

“කුඩු ගහලද කොහෙද. පිස්සු කියවන්නෙ ඔලුව කොහේ හරි වදින්න ඇති.”

“ෂුවර් එකට චාන්දනී හේෂාන් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන වෙන්න ඇති. දන්නෙ නැද්ද? චාන්දනී හිතන්නෙ එයාගෙ කැමැත්තට හැමදේම වෙන්න ඕන කියලානේ.”

අම්මා පැවසුවේ මා සනසන්නට මෙනි.

“ඇයි අම්මා ආන්ටි මට බැන්නේ? අසනීපවුනු එක මගේ වැරැද්දක්ද?”

මා ඇසුවේ හඬමිනි.

අම්මා මගේ හිස පිරිමැද්දේ මා සනසන්නට මෙනි. මට සෑදුනු උදරයේ වේදනාව කවර හේතුවක් නිසා ඇති වී දැයි මා නොදන්නා නමුත් හේෂාන්ගේ මව මා එය හිතාමතා කරගත් දෙයක් ලෙසින් සිතන්නේ මන්දැයි මට නොවැටහිණ. මේ වනතුරුත් වෛද්‍යවරයා හෝ හෙදියන් හෝ අම්මා හෝ මට කළ ශල්‍ය කර්මය කුමක්ද යන්න නොපැවසු බව ද මට සිහිපත් විය.

“පුංචි ඔපරේෂන් එකක්.”

වෛද්‍යවරයා පමණක් නොව හෙදියන් ද අම්මා ද පවසන්නේ එසේය.

“ඇත්තටම මට කියන්න අම්මා. මං කලේ වැරැද්දක්ද? අනේ මට කියන්න. මොකක්ද මට වුනේ? මොකක්ද මට කළ ඔපරේෂන් එක?”

මම අම්මාගේ අතක එල්ලී ආයාචනා කලේ හඬමිනි. අම්මා අතොරක් නොමැතිව මගේ මුහුණ සිපගත්තාය. ඇගේ දෙනෙත් වල නැගි කඳුළු මගේ මුහුණෙහි තැවරිණ.

“ඔයා කරගත්ත වැරැද්දක් වෙන්නෙ කොහොමද රත්තරං? ඩොක්ට කිව්වෙ බඩේ පුංචි ගෙඩියක් තිබුනා කියලා. ඔපරේෂන් එකෙන් ඒක අයින් කරා. දැන් හැමදේම හරි.”

“ඒ ගෑනි වලිගෙ පාගගෙන ලොකු.”

සුදු නංගී පැවසූ ආකාරයට මට සිනා පහළ විය. අම්මා ද කඳුලු අතරින් සිනාසුනාය.

“දැන් හැමදේම හරි. දන්නවනෙ චාන්දනීගෙ හැටි. එයා හිතන්නෙ එයා හිතන දේවල් හැමදෙයක්ම හරි කියලා. ඔයා ඔය කිසිම දෙයක් ගනන් ගන්න එපා.”

අම්මා මා සැනසුවාය.

“මහ මෝඩ සිතිවිල්ලක්නෙ. එයාට ඉස කුඩිච්චියක් දාන්න කියලා හේෂාන්ට කියන්න ඕන.”

“සුදු…”

අම්මා සැර කළාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles