අම්මා සුපුරුදු පරිදි සිය කේක් සාප්පුවට දිනපතා ගිය නමුත් ඇය එහි වැඩි වේලාවක් නොරැඳී නිවසට පැමිණියේ මා නිසාය. නිදහස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකු වශයෙන් කටයුතු කළ සුදු නංගී ද වෙනදා මෙන් නොව පූර්ණ කාලීනව සිය කටයුතු වල නිරත නොවී වරින් වර මා සොයා පැමිණ වදනක් දෙකක් දොඩා විහිලුවක් කොට යන්නට පුරුදු වූවාය. සිය කටයුතු ඉක්මනින් නිමා කළ වජිරා ද නිතරම මා සමීපයේ ගැවසුනාය. ඇතැම් අවස්ථා වල ඇය මා සමග චිත්‍රපට බලන්නට පැමිණියාය.
“මම නම් ආසම හින්දි ෆිල්ම්ස් වලට.”
ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන අවස්ථා වල වජිරා එසේ පැවසුවෙන් මම ඇය හා හින්දි චිත්‍රපට ද නැරඹුවද, ඇතැම් අවස්ථා වල චිත්‍රපටය බලන අතරතුර මට නින්ද ගොස් තිබිණ.
“ලොකු බබා හින්දි ෆිල්ම්ස් බලන්න ආස නැත්නම් අපි ඉංග්ලිෂ් ෆිල්ම් එකක් බලමු.”
එවන් අවස්ථා වල වජිරා පැවසුවාය.
“දැන් මට ෆිල්ම්ස් බලන්න හිතෙන්නෙම නෑ වජිරා. ඒ නිසයි මට නින්ද යන්න ඇත්තෙ. වජිරා කැමති එකක් බලන්න.”
වජිරා පිළිබඳව උපන් අනුකම්පාවෙන් මම පැවසුවෙමි.
“ලොකු බබා ඉන්නෙ දුකෙන්ද?”
“නෑ. එහෙම දුකක් දැනෙන්නෙ නෑ වජිරා.”
මා පැවසුවේ මුසාවකි. නිසි වයසට කලින්ම දරුවකු ලැබීමේ භාග්‍යය සදහටම අහිමි වීමේ වේදනාව නිතර මගේ සිතට පීඩාවක් ගෙන දුන්නේය. එයට ද වඩා පීඩාවක් වූයේ හේෂාන් වෙනදා මෙන් නිතර මා දකින්නට අප නිවසට නොපැමිණීමයි.
“ප්‍රෙස් එකේ වැඩ ඩිනාලි.”
දුරකතන ඇමතුම් කිහිපයකටම පිළිතුරු දීම මග හළ ඔහු සැන්දෑ කාලයේ මට දුරකතනයෙන් කතා කළේය.
“අනේ මන්දා. මේ වැඩ වල ඉවරයක් නැති හැටි. එක අතකට හිතෙනවා හැමදේම දමලා ගහලා ලංකාවෙන් යන්න.”
“මාවත් දාලා?”
මා එසේ ඇසුවා නොව ඉබේටම ඇසිණ.
“නෑ ඩිනාලි. කවදාවත් නෑ. මං යනවා නම් යන්නෙ ඔයාවත් අරන්.”
හේෂාන්ගේ වදන් මගේ සිතට මහත් සැනසීමක් වුව ද, මම එය විශ්වාස කරන්නට මැළි වීමි. පූර්ණ ගැහැනියක නොව අර්ධ ගැහැනියක තම සහකාරිය කර ගැනීමට තරම් හේෂාන් පරිත්‍යාගයක් කරනු ඇත්දැයි මම කල්පනා කළෙමි.
“එහෙම පිරිමි ඕනතරම් ඉන්නවා ලොකු බබා. අන්ධ, ගොලු, බීරි ගෑනු අය කසාද බැඳගෙන හොඳ පවුල් ජීවිත ගත කරන පිරිමිත් අනන්තවත් ඉන්නවා.”
වජිරා එසේ පවසමින් මගේ සිත සනසන්නට නිතර උත්සාහ කළාය.
“ඩිනාලි… ඔයාගෙ බයොප්සි රිපෝට් එක ඇවිත්ලු.”
කේක් සාප්පුවට ගිය ද පැය කිහිපයකින් නැවතත් නිවසට පැමිණි අම්මා පැවසුවේ මගේ සිත කීරි ගන්වමිනි. නියත හේතුවක් නොමැති වුව ද, මගේ හදවත ගැහෙන්නට වූයේ මන්දැයි මට සිතා ගත නොහැකි විය.
“අපි හෙට ඩොක්ට හම්බ වෙන්න යන්න ඕන.”
බෑගයක් තුළින් ගත් පාර්සලයක් මා අතට දෙන ඇය පැවසුවාය. මම එය දිග හැර බැලුවෙමි. රෝස පැහැති කුඩා මල් රැසක් එම්බ්‍රොයිඩර් කර තිබූ අත් දිගට දැමූ දිගු කපු බ්ලවුසය මගේ සිත තදින් පැහැර ගන්නට සමත් විය.
“ලස්සනයි.”
එය මුහුණට ළං කරගත් මම පැවසුවෙමි. බ්ලවුසයේ අලුත් සුවඳ මගේ සිතට මිහිරියාවක් එක් කරන්නට සමත් විය.
“හෙට ඩොක්ට හම්බ වෙන්න යනකොට ඇඳගෙන යන්න. ස්කර්ට් එකක් ඇඳගෙන ගියානම් වඩා හොඳයි.”
අම්මා පැවසුවේ වෛද්‍යවරයාට මා පරීක්ෂා කිරීමට එය පහසුවක් වන බැවින් විය යුතුය.
“මෙයාව මෙච්චර ලස්සන කරන්න එපා අම්මා.”
සුදු නංගී බ්ලවුසය ඇගේ සිරුරට තබා බැලුවාය.
“හේෂානුත් මේජර් වංශනාථ වගේ ඉරිසියාකාරයෙක් වේවි.”
අම්මාගේ මුහුණ දුක්මුසු වූයේ මන්දැයි මට සිතා ගත නොහැකි විය. ඇය සුදු නංගීට කිසියම් ඉඟියක් කරන්නට ඇතැයි මට සිතුණේ ඉන්පසු සුදු නංගී ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපැවසූ බැවිනි.
“මාත් එනවා හෙට යන්න.”
සෝෆාව මත මා පසෙකින් හිඳ ගත් සුදු නංගී පැවසුවේ සෑහෙන කාල වේලාවක් ඉක්ම ගිය පසුය.
“ඩොක්ටට කියන්න වේවි නේද අම්මා වෙඩින් එකට තව මාසයයි හරියටම තියෙන්නෙ කියලා.”
මම පැවසුවෙමි.
“කියන්න නම් ඕන. මං හිතාගෙන ඉන්නෙ ඩිනාලි. වෙඩින් එක කල් දාන්න කියලා හේෂාන්ට කියන්න.”
“ඇයි? කාඩ්ස්නුත් පෝස්ට් කරානම්?”
“අඩුම තරමෙ සර්ජරි එකෙන් ත්‍රී මන්ත්ස්වත් යන්න ඕන. ප්‍රශ්නයක් නෑනෙ. ඩේට් එක විතරයිනෙ වෙනස් වෙන්නෙ.”
අම්මා පැවසුවේ කැළඹිලි සහගත ස්වරයෙනි.
“මං ටිකක් මහත් වෙලා. ඔන්න. බ්‍රයිඩ් මේඩ්ස්ගෙ ජැකට් එක නම් හදන්න වේවි වෙඩින් එක කල් දැම්මොත්.”
“අපි ඔය කතාව පස්සෙ කතා කරමු.”
අම්මා නැගිට්ටාය.
“අපි මොනවා හරි බොමු. මං වජිරට තේ හදන්න කියලා එන්නම්.”
අම්මා නික්ම ගියේ මෙම කතා බහෙන් මිදීම පිණිස යයි මට සිතිණ. මම හේෂාන්ට දුරකතන ඇමතුමක් ගතිමි. එහෙත් බොහෝ වේලාවක් නාද වූ දුරකතනය අනතුරුව නිහඬ වූයේ ඔහු ඇමතුම හා සම්බන්ධ නොවන බව කියා පාමිනි. බිඳුනු හදින් යුතුව මම ජංගම දුරකතනය පසෙක තැබුවෙමි. සුදු නංගී යටැසින් මා දෙස බලා සිටින අයුරු මම දුටුවෙමි.
“ඒකනෙමෙයි. අද මට ලොකු කේක් ඕඩර් එකක් ආවනෙ.”
තේ කෝප්ප දෙකක් දෑතින් ගත් අම්මා අප අසළට පැමිණියාය.
“ඔයා මටත් තේ අරන් ආවද? තෑන්ක් යූ.”
සුදු නංගී අම්මා අතින් තේ කෝප්පයක් ගැනීමට සැරසුණද, අම්මා එය පසෙකට ගත්තාය.
“මං ගෙනාවෙ මටයි ලොකුටයි. ඔයා ගිහින් අරගන්න.”
“අපි ඉතින් ඔටුවොනෙ.”
සුදු නංගී මුමුණමින් යන්නට ගියේ අම්මාගේ මුවග සිනාවක් නංවමිනි.
“මොකක්ද අම්මා කිව්වෙ? ලොකු කේක් ඕඩර් එකක්?”
මම ඇසුවෙමි.
“තව ටිකෙන් ඒකත් අමතක වෙනවා. වෙඩින් කේක් ඕඩර් එකක්. බ්‍රයිඩ්ගෙ ආන්ටි කෙනෙක් ඕඩර් එක දෙන්න ආවෙ. මෙන්න බලන්න. මේ ඩිසයින් එකට කේක් එක ඕනලු.”
අම්මා සිය ජංගම දුරකතනය මා වෙත පෑවාය. නෙලුම් මල් පොහොට්ටු වලින් සරසා තිබූ තට්ටු අටක් පමණ වූ කේක් එක බොහෝ සුන්දර විය. මට හේෂාන් සහ මා, අප මංගල උත්සවය වෙනුවෙන් තෝරා දෙන ලද කේක් එක සිහියට නැගිණ. එය බොහෝ චාම් එමෙන්ම සුන්දර, තට්ටු තුනකින් පමණක් සමන්විත වූ කේක් එකක් විය. ආකෘතියක් ලෙසින් නොව කේක් වලින්ම එය සකස් කර දෙන්නට අම්මා අපට පොරොන්දු වී සිටියාය.
“ලස්සනද ඩිනාලි?”
මා ජංගම දුරකතනය ද අත තබාගෙන කල්පනාවට වැටී සිටින අයුරු දුටු අම්මා ඇසුවාය.
“හරිම ලස්සනයි. ස්ට්‍රක්චර් එකක් නේද?”
“මොන?”
මා දිගු කළ දුරකතනය අතට ගත් අම්මා පැවසුවාය.
“ස්ට්‍රක්චර් එකක් එපා කියන්නෙ. කේක් වලින්ම හදන්නලු. ලේසි වැඩක් නෙමෙයි. දැන්මම වැඩ පටන් ගන්න වේවි.”
“කවදද වෙඩින් එක?”
තේ කෝප්පයද රැගෙන පැමිණ අම්මා අසළින් හිඳ ගත් සුදු නංගී ඇසුවාය.
“දාහත්වෙනිදා.”
අම්මා පැවසුවේ මගේ දෙනෙත් මග හරිමිනි. ලබන මස දාහත් වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මගේත්, හේෂාන්ගේත් විවාහ මංගල්‍යය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන්නේ වෛද්‍යවරයාගේ අනුමැතිය මත වීම අවාසනාවකි.
“කඩදාසිය ලිපේ දැම්මා වගේ මගුල් ගෙවල් ගන්නවා. දැන් ඉතින් කට්ටිය දාලා වැඩිපුර වැඩ කරලා කේක් එක හදන්න වෙනවා.”
අම්මා කතා කරමින්ම එක්වරම නැගී සිටියාය. ඇගේ දෙනෙත් නතර වී ඇති දෙස මම බැලුවෙමි. අරුණෝදි…. අරුණෝදි සෙමෙන් සෙමෙන් අප සිටින දෙසට පැමිණෙමින් සිටින අයුරු දුටු මට මගේ දෙනෙත් අදහා ගත නොහැකි විය. අරුණෝදි… මගේ සමීපතම මිතුරිය.. කුඩා වියේ සිටම මගේ පාසල් මිතුරිය වූ ඇය දැකීම මගේ සිතට මහත් සතුටක් ගෙන ඒමට සමත් විය. මම හිඳගෙන සිටි අසුනින් නැගී සිටියෙමි. ඇය ඉදිරියට දිවැවිත් මා වැළඳ ගත්තාය. මගේ දෙනෙතින් වැගිරුණේ සතුටු කඳුළු විය යුතුය.
“අම්මෝ… ඇති දැන්. යාලුවා ආවෙ නෑ කියලා අපේ ඩිනාලි හිටියෙ ගොඩක් දුකෙන්.”
අම්මා පැවසුවාය.
“අම්මගෙ ඉස්කෝලෙ කලා උළෙල තිබුනා ආන්ටි. අම්මා මටත් සෑහෙන වැඩ කොටසක් භාර දීලයි තිබුනෙ. මං හිතුවා වැඩ ඔක්කෝම ඉවර වෙලා නිදහසේ ඩිනාලිව බලන්න එන්න ඕන කියලා.”
අරුණෝදි රැගෙන පැමිණි පාර්සල් සියල්ල අම්මා අතට දුන්නාය.
“මේ හැටි මොනවා ගෙනාවද දරුවො? ලොකුම තෑග්ග තමයි ඔයා ආපු එක. ඔන්න අද ලන්ච් අරගෙනම යන්න ඉන්න ඕන.”
අම්මා අරුණෝදි හැඳ සිටි බ්ලවුසය අල්ලා බැලුවාය. ක්‍රීම් පැහැති බ්ලවුසය ඇගේ ඡවි වර්ණය සමග අපූරුවට ගැලපිණ. ඇය පෙරට වඩා සුන්දර වී ඇතැයි මට සිතිණ.
“මේ මට පුංචිගෙන් ලැබුන තෑග්ගක්. පුංචි ලංකාවට ආවනෙ. මං හරිම ආසයි මේ ටොප් එකට.”
අරුණෝදි පැවසුවේ ආඩම්බරයෙනි.
“ලස්සනයි. එහෙනම් දෙන්නා එක්ක කතා කර කර ඉන්න. මං යන්නම්.”
අම්මා ගෙතුළට ගියේ අරුණෝදි වෙනුවෙන් තේ පිළියෙල කිරීම සඳහා වජිරාට උපදෙස් ලබා දීමට විය යුතු යයි මට සිතිණ.
“අපිත් යනවා එහෙනම්. මේ දෙන්නගෙ කතා අහගෙන හිටියොත් මට පිස්සු හැදේවි.”
නංගී ද පිටව ගියාය.
“සුදුගෙ කටකාරකම චුට්ටක්වත් අඩු වෙලා නෑ.”
අරුණෝදි මා අසළින් හිඳ ගත්තාය.
“ඒ කට එක අතකට බ්ලෙසින් එකක් වගේ. කිසිම දුක සිතිවිල්ලක් හිතන්න දෙන්නෙ නෑ සුදු නංගි. මොනවා හරි කියලා හිනස්සනවා. සුදු ළඟ ඉඳිද්දි දැනෙන්නෙ ජීවිතේ හරිම සුන්දර එකක් කියලා.”
“ජීවිතේ සුන්දර තමයි ඩිනාලි.”
අරුණෝදි මගේ අත අල්ලාගෙන අතැඟිලි දිග හැරියාය.
“ඔයා කෙට්ටු වෙලා. පව්. ඇත්තටම ඔයාට මොකක්ද වුනේ ඩිනාලි?”
“හිතාගන්න බෑ අරුණෝදි. මට දුක වෙඩින් එක ළඟටම ඇවිත් තියෙද්දි මෙහෙම වුන එක ගැනයි. ”
“ජීවිතේ හැටි එහෙම තමයි ඩිනාලි. හිතන්නෙවත් නැති දේවල් සිද්ද වෙනවා. කිසිම දෙයක් ගැන හිතන්න එපා. සතුටින් ඉන්න. සනීප වුනාට පස්සෙ හැමදෙයක්ම හරි යාවි.”
“මාත් එහෙම හිතනවා.”
මම පැවසුවෙමි.
“හේෂාන් ආවෙ නැද්ද?”
“දවස් දෙක තුනකින්ම ආවෙ නෑ. අහන හැමවෙලාවෙම කියන්නෙ වැඩ කියලා. අසනීප වුනාට පස්සෙ එයාටත් මාව එපා වෙලාද දන්නෙ නෑ.”
“විහිලු කතා කියනවා. එහෙමත් වෙනවද? ඔන්න මං ඔයාට නවල්ස් ගොඩක් අරගෙන ආවා. කල්පනා කර කර ඉන්නෙ නැතිව පොත් කියවන්න. සතුටින් ඉන්න.”
අරුණෝදි පැවසුවාය. ඇය හදිසියේම ජංගම දුරකතනය අතට ගෙන කෙටි පණිවුඩයක් ටයිප් කරන්නට වූවාය. මම ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි. නොදුටු දින කීපය තුළ ඇය මෙතරම් සුන්දර වූයේ කෙසේදැයි මම කල්පනා කළෙමි.