ගත සිත සුවයට සුන්දර සමන් පිච්ච

දෙවියන්ටත් මිනිසුන්ටත් එකසේ ප්‍රිය උපදවන ආකර්ෂණීය ඉමිහිරි සුවඳක්‌ හමන සුන්දර සමන් පිච්ච දිව්‍යමය ඖෂධයක්‌ බව ඔබ දැන සිටියා ද? ඉතාමත් අලංකාර සමන් පිච්ච ශාකයේ මුල්, කොළ, මල් ආදී සියලු කොටස්‌ ආයුර්වේදයේ බොහෝ රෝගවලට ඖෂධය ලෙස යොදා ගනු ලබනවා.

ශ්‍රී ලංකාවේ සමන් පිච්ච වර්ග කීපයක්‌ ම දක්‌නට ලැබෙන අතර සුදුමල් සහිත සමන් පිච්ච ඒ අතුරින් සුලබවේ. මෙය බොහෝ ඖෂධ පිණිස යොදා ගනු ලැබේ. දම්පාටට හුරු දෑ සමන් ද දක්නට ලැබේ. ගැට පිච්ච වර්ගය ද සමන් පිච්ච කුලයේ ම තවත්දුර්ලභ ප්‍රභේදයකි.

සමන් පිච්ච මල් සාමානයෙන් චීනයේ තේ ලෙසින් භුක්ති විඳින අතර සමහර විට හරිත තේ හෝ කළු තේ සමඟ ප්‍රයෝජනයට ගැනේ. සමන් පිච්ච මල් වලින් නිපදවන ලද තෙල් ඉතාම මිල අධික හෙයින් තෙල් ලොවේ රජු ලෙස හඳුන්වනු ලැබේ. ඉන්දියානු කාන්තාවන් සියවස් ගණනක් පුරා හිසකෙස් සුවඳ කිරීමට සමන් පිච්ච මල් භාවිතා කර ඇත.

අතීතයේ පටන්ම දෑස රැකගැනීමට මෙන්ම දෑසේ පෙනීම වර්ධනය කරගන්නට ද සමන් පිච්ච මල් දැමූ ජලය ජනප්‍රිය ප්‍රතිකාරයක්‌. මෙහිදී කෙරෙන්නේ රාත්‍රී කාලය මුළුල්ලේ පිරිසිදු ජලය පිරි බඳුනකට සමන් පිච්ච මල් බහා තබා එම ජලයෙන් පසුදින උදෑසන දෑස සේදීමයි. මින් දෙනෙතට සිසිලසක්‌ ලැබෙන අතර දෙනෙත් රතු වීම ආදී රෝග සඳහා ගුණදායකය.

තොල් පැලීම, මුඛයේ තුවාල, දත් මුල් දියවන රෝගය ඇතුළු වෙනත් මුඛ රෝග වලින් පීඩා විඳින අයට සමන් පිච්ච ශාකයේ කොළ තම්බා ගත් ජලයෙන් මුව සේදිමෙන් සුවයක් ලබා ගත හැකිවේ. අර්ශස්‌ රෝග, මුත්‍රා දැවිල්ල ආදී මුත්‍රා රෝගවලට මෙන්ම ඇඟපතදැවිල්ල සමන් පිච්ච කොළ සහ මල් පානය ගුණදායකය.

විෂබීජ නාශක ගුණයෙන් යුතු නිසා සමන් පිච්ච මුල් සහ කොළ යන තම්බා ගත් ජලයෙන් තුවාල සේදීමෙන් තුවාල හොඳින් පිරිසිදු වී කැසීම නතර වෙනවා. සමන් පිච්ච කොළ තම්බා ගත් ජලය කුෂ්ඨ නැසීමට ද යෝග්‍ය වේ.  සමන් පිච්ච මල් දමා පැය කීපයක් තැබූ ජලයෙන් ඇඟ සේදීමෙන් දහඩිය දුඟද පාලනය කර ගත හැක. වියළා ගත් සමන් පිච්ච මල් දමා කොට්ටයක් සාදා ගෙන එම කොට්ටය මත නිදා ගැනීමෙන් සුවදායක නින්දක් ලබා ගත හැක.

මල් ලොව සූවඳ රාජණිය ලෙසින් හැඳින් විය හැකි අගනා ඔසුවක් වන සමන් පිච්ච පැළෑටියක් ඔබේ ගෙවත්තේ ද හෝ මල් පෝච්චියක හෝ සිටුවා ගැනීමට අමතක කරන්න නම් එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles