කෙතරම් පාලනය කර ගැනීමට උත්සාහ කළ ද, නොදැනුවත්වම මට මහ හඬින් හැඬිණ. වජිරා මා අසළට දිව ආවාය. ඇය මා තුරුලු කරගත්තේ මා ආරක්ෂා කර ගැනීමට මෙනි.
“මොකක්ද මැඩම් මේකෙ තේරුම?”
හැඬුම්බර හඬින් ඇය විමසුවද, හේෂාන්ගේ මව නිහඬව සිටියාය.
“හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද? කතා කරගන්න දෙයක් අපේ මැඩම් ආවම කතා කරගන්න. මේ අහිංසක දරුවට වද දෙන්නෙ නැතිව.”
මගේ මංගල සාරිය සහිත පෙට්ටිය ද රැගෙන සුදු නංගී පියගැටපෙල බැස එන අයුරු මම කඳුලු අතරින් දුටුවෙමි. පියගැට පෙලෙහි මැද සිටගත් ඇය සාරිය සහිත පෙට්ටිය හේෂාන්ගේ මව ඉදිරියට විසි කර දැමුවාය. පෙට්ටියෙහි පියන ගැලවී මංගල සාරිය පතිත වූයේ හේෂාන්ගේ මවගේ දෙපා අසළය. සුදු නංගී දෙස රවා බැලූ ඇය සාරිය අහුලා පෙට්ටිය තුළට දැමුවාය. ඒ හා සමගම මගේ ආභරණ සහිත වූ විල්ලුද පෙට්ටි කිහිපය ද පියගැට පෙළ ඉහළ සිට පියඹා ආවේ අරුණෝදි තේ පානය කළ පීරිසි කූට්ටම ද පෙරලා දමමිනි. පීරිසි කූට්ටම බිම වැටී බිඳී ගියේය.
“ඉල්ලන්න අමතක වෙච්ච සපත්තු දෙකත් මෙන්න ඔයාම ගන්න.”
තෙවන වර සපත්තු කූට්ටම සහිත පෙට්ටිය හේෂාන්ගේ මව දෙසට පියඹා ආවේය. ඇය ඒ සියල්ල එකට ගොනු කර ගත්තාය.
“පුතා ගෙනාව තව මොනවත් තියෙනවද? තව මොනවත්… මතක් කරලා කියන්න. අපට පව් දෙන්නෙ නැතිව…”
සුදු නංගී කෑගැසුවාය.
“ආ.. තව තියෙනවා, ඔහොම ඉන්න…”
සුදු නංගී නැවත ගෙතුළට දිව ගියාය. ඊළඟට කුමක් සිදුවේදැයි මට ඇති වූයේ කුතුහලයකි. මම වජිරාගේ අත තද කොට අල්ලාගෙන සිටියෙමි. ඒවනවිට මගේ දෙනෙත් වලට නැගුන කඳුලු පවා වියළී තිබිණ.
එක්තරා උපන් දිනයකට හේෂාන් මට තෑගි කළ පුළුන් පුරවන ලද සුදු හාවා ද, පසුගිය දිනයක ඔහු පැමිණි අවස්ථාවේ රැගෙන එන ලද අඩක් කා නිම කරන ලද චොක්ලට් පෙට්ටිය ද රැගෙන සුදු නංගී පැමිණියේ මා මෙන්ම වජිරා ද වික්ෂිප්ත කරමිනි. ඇය ඒවා සියල්ලම හේෂාන්ගේ මව වෙතට විසි කර දැමුවාය.
“මේ මොකද මේ?”
හේෂාන්ගේ මව ඇසුවාය.
“පුතා ගෙනාපු දේවල්. තව මොනව හරි තියෙනව නම් කියන්න.”
“මට මෙව්වා ඕන නෑ.”
හේෂාන්ගේ මව පැවසුවේ පරාජිත ලෙසින් යයි මට සිතිණ.
“අපටත් ඕන නෑ. ඔක්කොම හරිනෙ. දැන් යන්න. මොහොතක් මෙතන ඉන්න එපා. යන්න. යන්න.. අපට පව් නොදී යන්න.”
සුදු නංගී මහ හඬින් කෑගැසුවාය. වික්ෂිප්ත වූ ලෙසින් හේෂාන්ගේ මව සියල්ල පොදි බැඳගෙක නිවසින් පිටව ගියාය. මම වජිරා ද සමගින් දොරකඩට ඇවිද ගියෙමි. නිවසෙහි පිටත ගලවා තැබූ සෙරෙප්පු යුවළ පැළඳ ගන්නට අමතක වූ හේෂාන්ගේ මව නැවත පැමිණ සෙරෙප්පු යුවල පැළඳගත්තේ අපගේ මුහුණු දෙස නොබලමිනි. ඇය පිටව ගියේ ගේට්ටුව ද හැර දමාය.
සුදු නංගී අප අසළට පැමිණියේ හති දමමිනි. ඇය කෙතරම් කෝපයට පත්ව සිටියේ ද යත් තවමත් ඇගේ මුහුණෙහි මස් පිඬු සලිත වෙමින් තිබිණ. රතු වී තිබූ මුහුණ අබ ස්වල්පයක් දැමුවේ නම් පුපුරා යන මුහුණකි.
“රිලැක්ස්.. රිලැක්ස් ලොකූ…”
තවමත් කෝප සහගතව පසු වූ නමුත් ඇය මගේ පිටට තට්ටු කළේ මා කැළඹී ඇතැයි සිතා විය යුතුය.
“කොහොමද අර ගෑනි ගියේ?”
මඳ වේලාවකට පසු සුදු නංගී ඇසුවාය.
“දැක්කෙ නෑ. කැබ් එකකවත් යන්න ඇති.”
වජිරා පිළිතුරු දුන්නාය.
“සුදු බබා කළ වැඩේ අපූරුයි. නොමිනිස්සු… ගෑනියක් නේද හැබෑටම. හිතක් පපුවක් ඇති මනුස්සයෙකුට ඔහොම කරන්න පුළුවන්ද? යමු බබා ගෙට. එක අතකට ඔය මිනිස්සුන්ගෙන් ඈත් වෙච්ච එකමයි කාරිය.”
මා ආපසු නිවස තුළට කැඳවාගෙන යන වජිරා මගේ සිත සැනසීමට මෙන් පැවසුවාය.
“හේෂාන් මට වරදක් කරලා නෑ.”
“අනේ ඉන්න ලොකු… ෂුවර් එකට එයාගෙ වෙන්න ඇති ස්ක්‍රිප්ට් එක. ආයෙ උන් ගැන කල්පනා කරන්න ඕන නෑ. ඕනම නෑ.”
කිසිවක් නොපැවසූ මම සෝෆාව මත හිඳ ගතිමි. වජිරා පහත් වී බිම වැටී කැබලි වී ගිය පීරිසි කුට්ටමේ කැබලි අහුලන්නට වූවාය. හේෂාන්ගේ මව මගේ හදවතේ පදාසයක්ම කඩාගෙන ගියාක් මෙන් වේදනාත්මක හැඟීමක් මට දැනිණ. ඇය මංගල සාරිය රැගෙන ගියේ මොන තරම් නම් කුරිරු ලෙසද? ඒවනවිට හැට්ටය ද මසා තිබුණු අතර එය අසනීප වන්නට පෙර මා කීවරක් නම් සිරුරට තබා හැඩ බලන්නට ඇත්ද?
ඇඳුම් ගැනීමට ගිය ගමනේ රසමුසු තැන් මගේ මතකයට නැගී ආවේ නිතැතිනි. එම ගමනට සහභාගි වූයේ රූපලාවන්‍ය ශිල්පිනියත්, හේෂාන් සහ ඔහුගේ මවත්, අම්මා හා මාත් පමණකි. අම්මා හඳුනන රෙදි සාප්පුවකට යාමට අම්මා යෝජනා කළ නමුත් හේෂාන්ගේ මව එයට සිය විරෝධතාවය පළ කළාය.
“අපි යමු රාධාස් එකට. ටිකක් මිළ වැඩි වුනාට එතන ලස්සන සාරීස් තියෙනවා සකුන්තලා.”
අම්මා කිසිදු විරෝධයකින් තොරව එයට එකඟ වූවාය. එහි වූ අලංකාර මංගල සාරි අතර මගේ සිත අතරමං වී තිබිණ. අම්මා සහ හේෂාන්ගේ මව තෝරන ලද සාරි සියල්ලම ප්‍රතික්ෂේප කළ හේෂාන් ඔහුගේ සිත ගත් මංගල සාරිය මිළට ගැනීමට තීරණය කළේය. එය මගේ පැහැය සමග කදිමට සැසඳෙන බව පැවසූ රූපලාවන්‍ය ශිල්පිනිය ද එයට එකඟතාවය පළ කළාය. මංගල සාරිය පමණක් නොව දෙවන දිනයට හඳින රතු සාරිය ද තෝරා දුන්නේ හේෂාන්ය. මංගල සාරියට මුදල් ගෙවීමට අම්මා සැරසුණු නමුත් හේෂාන් එයට ඉඩ නොදුන්නේය. ඔහු අප මිළට ගත් සියලුම ඇඳුම් වලට මුදල් ගෙවීමට සැරසුණද, එයට විරෝධතාවය පළ කළ අම්මා දෙවන දිනයේ අඳින රතු සාරියට බලහත්කාරයෙන් මුදල් ගෙව්වාය.
“ඇයි එහෙම කළේ සකුන්තලා?”
ආපසු පැමිණෙන ගමනේදී හේෂාන්ගේ මව විමසූ ආකාරය මට සිහියට නැගිණ.
“මගේ දරුවා වෙනුවෙන් මම කරන්න ඕන දෙයක්නෙ චාන්දනී.”
“දැන් ඇහැල මල මගෙත් දරුවා තමයි.”
එවේලෙහි හේෂාන්ගේ මව කෙරෙහි මගේ සිත තුළ ඇති වූයේ මහත් ආදරයකි. මා කෙතරම් වාසනාවන්තදැයි නිවසට පැමිණි පසුත් මම කල්පනා කළෙමි.
“ඩිනාලි හරි වාසනාවන්තයි.”
එදින අම්මා කිහිප වතාවක්ම පැවසුවාය.
“මගේ වෙඩින් එකට ඇඳුම් ගන්න දවසෙ මගේ නැන්දම්මා නිසා මට ජීවිතේම එපා වුනා. අපට ගන්න සිද්ද වුනේ මමවත් තාත්තාවත් කැමති සාරි නෙමෙයි. එයා කැමති සාරි.”
අම්මා පැවසුවේ සංවේගයෙනි.
“සාරි විතරක් නෙමෙයි. ජුවෙලරි පවා ගන්න වුනේ එයාට ඕන විදියටයි. එතකොට මං ගොඩක් පුංචියි. විරුද්ධ වුනේ නැතිව මං ඒ හැමදේකටම එකඟ වුනා.”
අම්මා පැවසුවේ දෑස් කඳුලින් පුරවාගෙනය.
“බබා…”
වජිරා මගේ උරහිසින් අල්ලා සොලවද්දී මම දෑස් හැර බැලුවෙමි. ඇය කම්පිත ලෙසින් මා දෙසට නැඹුරු වී බලා සිටියාය.
“අනේ මං බය වුන තරමක්. ඇස් අරින්නෙත් නැතිව ඔහොම ඉන්නකොට මං හිතුවෙ ෆේන්ට් වුනා කියලා. සුදු බබා වතුර ගේන්නත් ගියා.”
වජිරා පවසා අවසන් වීමටත් පෙර සුදු නංගී වතුර වීදුරුවක් ද රැගෙන පැමිණියාය. ඇය ඉන් පොදක් අල්ලට හලා මගේ මුහුණ තෙමුවාය.
“මම රස්නෙන් බොන්න දෙයක් ගේන්නම්. සුදු බබා… අක්කා ළඟින්ම ඉන්න.”
වජිරා ගෙතුළට ගියාය. සුදු නංගී සෝෆාවේ මා පසෙකින් හිඳ ගත්තාය. ඇය මගේ හිස පිරිමදින්නට වූයේ මවක මෙනි.
“ජීවිතේ හරියට ඉස්කෝලෙ කාලසටහන වගේ ලොකු. අපි ආසම නැති ගණන් පීරියඩ් එක ඉවර වුනා කියලා හිතන්න. දැන් පටන් ගන්නෙ මියුසික් පීරියඩ් එක. අපි සින්දු කියමු.”
මම සුදු නංගී දෙස බලා මඳ සිනා නැගුවෙමි. එහෙත් මගේ සිත තුළ පැවතියේ දරා ගත නොහැකි තරමේ වේදනාවකි. මංගල දිනය පිළිබඳ මා දුටු සිහිනයන් සියල්ලම හේෂාන්ගේ මව මගේ මංගල සාරිය රැගෙන යාමත් සමගම නිමා වූ බවක් මට දැනිණ. කාමරයට ගොස් ඇඳ මත මුනින්තලා වී හිතේ දුක පහ වී යන තුරා හඬා වැටෙන්නට උවමනා වුව ද, මගේ සිතේ ශක්තිමත් බව සුදු නංගීට පෙන්වන්නට මට ඕනෑ විය.
වජිරා, සුදු නංගී සහ මා වෙනුවෙන් කිරි කෝපි පිළියෙල කරගෙන පැමිණියාය. මට පළමු කෝපි උගුර හිර විය. වජිරා මගේ පිටට සෙමෙන් තට්ටු කළාය.
“හිර වුනා නේද බබා?”
මට හේෂාන් සිහියට නැගුණේ නිතැතිනි. ඔහු මේවනවිටත් මුද්‍රණාලයේ කටයුතු අතර කාර්ය බහුල වී ඇතැයි ද, මේවනවිටත් ආහාර රැගෙන නැත්දැයි මට කල්පනා විය.
“කවුරු හරි ගේට් එක ඇරියා නේද?”
සුදු නංගී ඇසුවාය.
“ෂුවර්… අම්මා එනවා ඇති.”
“මම බලන්නම්.”
වජිරා ඉදිරියට ගියාය. හේෂාන්ගේ මෝටර් රථයේ හඬ මම හඳුනා ගතිමි.
“ඒ එන්නෙ හේෂාන්…”
කෝපි කෝප්පය පසෙක තැබූ මා නැගී සිටින්නට වෑයම් කළ ද, සුදු නංගී අතින් ඇද මා හිඳවූවාය.
“ආදෙන්… ඔයා ඔහොම ඉන්න. බලමු අපි එයා මොකාටද එන්න හදන්නෙ කියලා.”
සුදු නංගී පැවසුවේ තරහෙනි.
“හේෂාන්ට කෑගහන්න එපා.”
මම සුදු නංගීගෙන් ඉල්ලා සිටියෙමි.
“හේතුවක් නැතිව මම කෑගහන්නෙ නෑ. මම යනවා. හැබැයි ඉන්නෙ ඔය දෙන්නා කතා කරන දේවල් ඇහෙන දුරින්. ඕන දේකට මම ඉන්නවා ලොකු. බය වෙන්න එපා.”
සුදු නංගී නැගිට ගෙතුළට ගියාය. ඒ හා සමගම හේෂාන් ද, ඔහු පසුපසින් වජිරා ද පැමිණෙන අයුරු මම දුටුවෙමි. පාලනය කර ගැනීමට කෙතරම් උත්සාහ කළ ද තද කර ගත් හැඬුම පුපුරා ගියේ නිතැතිනි.
“ඩිනාලි…”
මා කරා පැමිණි හේෂාන් මා තුරුලු කර ගත්තේය. සැමදාමත් මෙන්ම ඔහුගේ අත් බැම්ම තුළ මට මහා සුරක්ෂිතතාවයක් දැනිණ.
“ඇයි අඬන්නෙ? අඬන්න එපා.”
ඔහු සෙමෙන් මගේ හිස පිරිමැද්දේය.
“මට ආරංචි වුනා හැමදේම. දැනගත්ත ගමන්ම අම්මටත් කෑගහලයි මම ආවෙ.”
මා සෝෆාව මත හිඳවූ හේෂාන් මා පසෙකින් හිඳ ගත්තේය.
“අම්මා තවමත් ඉන්නෙ වැරදි වැටහීමක. කමක් නෑ. වෙඩින් සාරි එක අරගෙන ගියදෙන්. අම්මට කවදාවත් ඔයාට දුන්න මගේ හිත ගන්න බෑ ඩිනාලි.”
මගේ දෙනෙතින් කඳුළු බිඳු දෝර ගලා ගියේය. හේෂාන් පිළිබඳව ඇති කර ගත් වැරදි වැටහීම පිලිබඳව මම මටම සාප කර ගතිමි.
“මොන දේ වුනත් මම ආදරේ කළේ ඔයාට විතරමයි. ඒක මං මැරෙනතුරුම වෙනස් වෙන්නෙ නෑ. සත්තයි. දැන් ඉතින් හිනාවෙන්න.”
හේෂාන් මගේ හිස මත අත තැබුවේය. මම කඳුළු අතරින් සිනාසෙන්නට තැත් කළෙමි.
“වැඩ වැඩි නිසයි මට ඔයාට කතා කරන්න බැරි වුනේ. හෙට ඔයාව ඩොක්ට ළඟට එක්ක යන්න මම එනවා ඩිනාලි. මම ආන්ටිටත් කෝල් කරලා කිව්වා.”
මගේ සිතට ඇති වූයේ දරා ගත නොහැකි තරමේ සතුටකි. කවර බාධක පැමිණියද, හේෂාන් කිසිදිනෙක වෙනස් නොවන බව මට සහතිකය. මම ඔහුගේ උරහිස මත හිස තබා ගතිමි. මගේ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවමින් ඔහු මගේ හිස පිරිමදින්නට වූවද, වරින් වර හෙලන දිගු සුසුම් මගේ ගෙල පෙදෙස සිප ගත්තේය.