දුලන්‍යා සාලයේ කල් මරන්නට වූයේ කරන්නට වැඩ හොයමිනි. ඇත්තටම කරන්නට වැඩ ඕනෑතරම් ඇත්තේ කාමරයේ ය. පාඩම් කරන්නට දේ එකතු වෙමින් තිබේ. වෛද්‍යවරියක වීමේ හීනය තුනේ හතරේ පන්තියේ සිට හදවතට එකතු වෙද්දී මේ ගමන මෙතරමට අපහසු වග සිතුණේ නැත. එහෙත් ඇය මෙතැන දක්වාම ඇවිද ආවා ය.
“ඔයාට ඒ ලෙවල්ස් පාස් වෙන එක නතින්.”
උසස් පෙළ කාලයේ මිතුරියන් එසේ පැවසුවේ දුලන්‍යා ඉගෙනීමට දක්ෂ වූ හන්දාම නොවේ. පාසල් ප්‍රේමයන් හන්දා කෙල්ලන් ඇස් රතු කරගනිමින් සිටියදී දුලන්‍යා ඇගේ පාඩුවේ පාසල් වැඩ කරමින් සිටියා ය.
“ඇත්තටම ඔයා කපටි.”
මිතුරියක එසේ පැවසූ දිනය දුලන්‍යාට තවමත් මතක ය. ඇය ඒ කතාව පැවසුවේ ඇත්තටම ය. ස්වාර්ථයට වඩා පරාර්ථය ගැන සිතමින් මිතුරියන් වෙනුවෙන් ඕනෑ දෙයක් කරන කුඩා කෙල්ලකට ඒ කතාව බර වැඩි එකක් විය.ඒ හන්දාම දුලන්‍යා මිතුරිය දෙස බැලුවේ පුදුමයෙනි. තිගැස්මෙනි.
“කොරියන් කෙල්ලක් වගේ බෝනිකි පාටට ඉන්නකොට බෝයිස් ස්කූල් එකේ කොල්ලො පිස්සු වැටෙනවා.ඒත් උන් එකෙක් දිහාවත් ඔයා ඇහැක් ඇරලා බලනවද?”
කොල්ලන් ආදරය ප්‍රකාශ කළ පලියටම ඒවා පිළි ගන්නට ඕනෑදැයි දුලන්‍යා අනන්ත වාරයක් සිතා තිබේ. ඇයට ඕනෑ කළේ ප්‍රේමයෙන් පිරී හිඳින්නට ය.ඒ ප්‍රේමය ජීවිතය පුරා ළඟ තබා ගන්නට ය. ඒ ප්‍රේමය සෙවීම දුෂ්කර බව ඇය තේරුම් ගනිමින් සිටියා ය. ඒ හන්දා ඇයට ඕනෑ වූයේ ඒ දුෂ්කර ප්‍රේමය කෙසේ හෝ සොයා ගන්නට ය.
“කොල්ලො වෙලාවකට කෙල්ලො පස්සෙ යන්නේ පොඩි කාලේ ඉගෙන ගත්තු හා හා හරි හාවා කවි පන්තිය වාගේ.”
පන්තිභාර ගුරුතුමිය වූ කුමාරසිංහ මිස් දැරියන්ට ජීව විද්‍යාව උගන්වන අතරේ එසේ කියන්නට පුරුදුව සිටියා ය. ජීව විද්‍යාව ඉගෙන ගන්නට එක දැරියක පන්ති හතර පහකටවත් යන්නට ඉඩ ඇති බව ගුරුතුමිය දන්නී ය. ඒ හන්දා ඇය ජීව විද්‍යාවට අමතරව ජීවිතය උගන්වන්නටද අමතක නොකළා ය.
“හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිට ගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලෑවා”
ගුරුතුමිය තාලයට කවිය ගායනා කර හිනැහෙන්නට පටන් ගනියි.අනතුරුව ඇයට කියන්නට බොහෝ දේ තිබේ.
“ආදරය ඕනේ වෙලාවක ඇතිවෙන්න පුළුවන් තමයි. ඔයාලට බයෝ උගන්නන ගමන් ඔය වයසේදී ආදරේ ඇති වෙන්න බෑ කියලා බොරු කියන්නත් මට බෑ. ඒ වුණාට කෙල්ලනේ, වටපිට ඇහැලන කොල්ලො තමයි ඔය කාලේ වැඩිපුරම මුණගැහෙන්නේ. ඔය කවි පන්තියෙම ඊළඟට තියෙනවා තව කෑල්ලක්. ඉතින් ඇතැයි කීවා කියලා. අන්න ඒ වගේ කැම්පස් එකට ගියාම රස්සාවකට ගියාම මුල්ම ආදරේ අමතක වෙලා යන්න පුළුවන්. පළවෙනියට ආදරේ කරන කෙනාම කසාද බඳින්න බෑ තමයි. පළවෙනි කසාදෙ උනත් සාර්ථක වෙන්නේ නැති අය ඉන්නවා. ඒව ඒ විදිහට උනාට අනිත් අයටත් ඉන්නවා කියලා තමන්ටත් ආදරය කරන්න කෙනෙක් ඕනි කියල හිතන්න එහෙම නම් එපා. ඇත්තටම ආදරයක් ඕනේ නැති වෙලාවට වටපිට ඇහැ දාන්න එන අයගෙන් පරිස්සම් වෙන්න.”
කුමාරසිංහ මිස්ගේ ඒ වචන දුලන්‍යා දේව වාක්‍යයක් මෙන් විශ්වාස කරන්නට වූවා ය. අත්දැකීම් ගන්නට හෝ නිස්කාරනේ ආදරය කරන්නට ඇයට ඕනෑ වූයේ නැත. ඇය ලෝකයේ වඩාත් ආදරය කරන පිරිමින් තිදෙනාට සමාන ආදරයක් සමහර විට ඊටත් වැඩි ආදරයක් ඇය වෙත ලබා දෙන කෙනෙකු ලෝකෙ කොහේ හෝ වෙසෙන බව විශ්වාස කරන්නට ඇය කැමති වූවා ය.
“අද නම් කොල්ලෙක් මොනවා හරි කියලා තියන පාටයි. මූණ ටිකක් මල් වත්තක් වගේ.”
තාරකා අක්කා එසේ කියන්නේ තාරා ගමනින් ඇවිද එන අතරමග ය. දුලන්‍යා හිනැහුණා ය. ඔහු නිවසට ආ වෙලේ පටන් කාමරයට රිංගා ගත් බව ඇයට මතක ය. තවමත් ඔහු පිටතට ආවේ නැත. සමහරවිට සඳරැස් කාමරයට වී කෙල්ලෙකු සමග මල් කඩනවා වන්නට ඉඩ ඇති බව දුලන්‍යා සිතුවේ තරහිනි. ඇයට හේතුවක් නැතිවම තරහක් උපදී.
“මගේ හිතේ ඉන්න කොල්ලා කැම්පස් එකේ නෑ අක්කා.”
ඒ වචන ඇසුණේ තාරකාට පමණක් නොවේ.කාමරයෙන් පිටතට එන්නට ආ සඳරැස්ට ද පැහැදිලිව ඒ වචන ඇසිණ.ඔහු වහා නතර වූයේ ය. ඇය කියන කතාව පැහැදිලිව අසන්නට ඕනෑ ය.
“මට කම්මැලි හිතුණාම ස්මාර්ට්ලේඩි වෙබ් සයිට් එකේ යන නවල්ස් කියෝනවා. මාරම ලස්සන ලව් ස්ටෝරි.”
පොත්වල හෝ නවකතාවල හිඳින චරිත සැබෑ ලෝකයේ සොයන්නට උවමනා නැති බව පවසා යුවතියට ටොක්කක් අනින්නට සඳරැස්ට සිතේ. එහෙත් අනිච්ඡානුගවම අත රැඳි දුරකථනයෙන් කාන්තා වෙබ් අඩවියක් සෝදිසි කරන්නට සිතුණු කාරණාව ඔහුටම පැහැදිලි නැත.
“අහස් වගේ, මේඝ වගේ, මුනිවර වගේ, සූර්යා වගේ, අමෝද වගේ, ඒ වගේ ආදරේ කරන කෙනෙක් මට ඕනෑ.”
මේ කොල්ලන් අසූ හාරදාහ ගැන දැන ගන්නට ඒ නවකතා සියල්ලම කියවන්නට සිදු වේ. සඳරැස් මුලින්ම දොස් තැබුවේ ඒවා ලියන ෂයිනිටත් නිබන්ධිකාටත් ය. රටේ නැති කොල්ලන් මවන්නට ලියන්නියන්ට නම් පහසු විය හැකි ය. නමුත් එවැනි සුන්දර කොල්ලන් වීම සැබෑවටම පහසුදැයි ඔහු සිතුවේ ය. එසේ නැතිනම් කරන්නට ඇත්තේ සරල දෙයකි. නවකතාවක හිඳින කොල්ලන් ගැන කියවන පොඩි කෙල්ලට කියන්නට ඇත්තේ එකම එක කතාවකි.
“ෆෘට් සැලඩ් එකක් හදන් කාපං.ලේසි.”
යුවතියට එසේ කියන තරමේ ආවේගයක් සඳරැස්ට ඇති විණ. නමුත් ඇය එවැනි කතා අසන්නට රිද්මි තරමට පරිණත ද නැත.
” සඳක් කළ සක්මන් ගංගා ෂයිනි අක්කා ලිව්ව කතාවක් තියනව. ඒ කතාවේ ආකාශ් වගේ ආදරේ කරන කෙනෙක්ව මටත් ඕනෑ අක්කා.”.
සඳක් සේ සක්මන් කරන්නට පහසු ආකාශ්ට නොව සඳරැස්ට බව කියන්නට ඔහුට සිතේ. නමුත් සියල්ල නවතා දමා ඒ නවකතාව සොයන්නට සිතෙන්නේ ඇයිදැයි ඔහුටම පැහැදිලි නොවේ