සීත මාරුතේ -18

මුණිවර ඒ වෙලාවේ මා සමගින් සාකච්ඡා කරමින් සිටියේ අලුත් සාප්පුව ට එක් කළ යුතු අංග ගැන ය. අත් යන්ත්‍ර රෙදි වලින් නිම වූ සාරි, සරොම්, කමිස, ලුංගි, කුර්තා හා ගවුම් ගැන මා තුළ ලස්සන අදහස් ටිකක් තිබිණි. ඊට අමතර ව කැපී වෙන් වන අත් යන්ත්‍ර රෙදි වලින් සංචාරක ආකර්ෂණය ඇද ගන්නා කුඩා සොෆ්ට් ටෝයිස් නිෂ්පාදනය කිරීම ගැන අදහස ද හදිසියේ මා තුළ ඇති වූවකි. පිටතින් මිල දී ගෙන ලෙදර් බෑග්, සෙරෙප්පු, මුදල් පසුම්බි වැනි වටිනා නිෂ්පාදන ඊට එක් කිරීමට ද අපි තීරණය කළෙමු. කෙසේ වෙතත් එහි ප්‍රධාන අලෙවි නිෂ්පාදනයන් වන්නේ අත් යන්ත්‍ර ඇඟළුම් ය.

ඒ සාකච්ඡාවෙන් පසු මගේ කුටියට පැමිණි ගමන් මා කළේ විදුනි ට ඇමතුමක් ගන්නා එක ය.

“මං මිස්ටර් මුණිවර එක්ක මීටින් එකක හිටියෙ”

“අයිය මොනාත් කිව්වද…”

“මේක මාර වැඩක්නෙ අප්ප. අයිය අහනව නංගි මොනාත් කිව්වද කියල..නංගි අහනව අයිය මොනාත් කිව්වද කියල…දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඔය කියන්න යන දේ ඉක්මනට කියනවද…නැත්තං ඕක මගෙ හාට් බීට් එකට බලපාල මොන විදිහට කෙලවර වෙයිද කියල මන් දන්නෑ”

විදුනි හඬ නගා සිනහ වූවා ය. ඒ සිනහව අතින් ඇය සිය සොයුරාට වඩා හාත්පසින්  ප්‍රතිවිරුද්ධ අන්තයක සිටී.

“අපේ කෙල්ලගෙ බර්ත් ඩේ එක ළඟයි. දන්නැද්ද ඉතිං ආසාවට පොඩි පාටි එකක් ගන්නව. මං කිව්ව අයියට ඔයාටත් ඉන්වයිට් කරන්නයි ඉන්නෙ කියල. මෙන්න මේ යකා මට පාට් එක දාං ආව…එයාගෙ ෆාම් එකේ වැඩ කරන අයට ඉන්වයිට් කරන්න ඕන්නෑ අනං මනං කියං. මං කිව්ව ඔයාගෙ ෆාම් එකට එන්න කලින් එයා මගෙ යාළුවනෙ. කසුනි මිස්ටයි මන්දිටයි මං කියනව කියල. පොලිස් කාරය වගේ මට පුප්පල ගියා”

“ආ..ඒක මාර වැඩක්නෙ. එයාගෙ ෆාම් එකේ වැඩ කළා කියල මට මොකද ඔයාගෙ බබාගෙ බර්ත් ඩේ එකට එන්න බැරි. මං එනවමයි. බලමුකො ජූජක බමුණ…”

මා අතින් කට වසා ගත්තේ ඒ වචනය පිට වූ බව දැනුණාට පස්සේ ය. 

“මොකද්ද මොකද්ද…ජූජක බමුණා..”

“අනේ සොරි විදූ…අපේ නංගියි කසුනිලයි මිස්ට මුණිවරට කියන්නෙ ඒ නම…ඇයි ඉතිං හිනා පොදක් නෑනෙ මූණෙ කොයි වෙලාවෙවත්…”

“නියම නම අප්පා…ඇත්තමයි…අපේ අම්මටවත් බැරි වුණානෙ අනාගතය දැකල ඔය පෝරිසාද්ට ඔය නම තියන්න. මෙච්චර කාලෙකට එයාට වැටුණ හොඳම පෙට් නේම් එක..ජූජක බමුණා…”

ඇගේ සිනහව දෝංකාර දුන්නේ ය. නමුත් මා තුළ වූයේ බියකි. 

“මෙන්න වැන්දා..වැරදිලාවත් ඔය නම ගැන හාංකවිසියක් දැන ගන්න තියන්න එපා මගෙ දෙයියෝ…එහෙම වුණොත් මං ලෙෆ්ට්. හා හා පුරා කියල ෆැශන් ඩිසයිනින් වලින් වැඩක් කරන්න හදන වෙලාවෙ…”

නැවත ද ඇගේ සිනහව ය. මුණිවර ගේ ඇස් වීදුරු බැම්ම හරහා මා විනිවිද බලනා විදුලි එළිය මට නො පෙනුණා නොවේ. නමුත් මම ඒ බැල්ම නො දුටුවා සේ විදුනි සමගින් කතාවේ සිටියෙමි. ඔහු හිටියේ නො ඉවසිල්ලක ය. මට ඒ දැනිණ. නමුත් තියෙනා ආඩම්බරය නිසා කතා කළේ විදුනි දැයි මගෙන් අසන්නට හෙතෙම පසුබෑවේ ය.

“මට විදුනි ඉන්වයිට් කළා පාටි එකට. මිස්ට මුණිවර එපා කිව්වලු නේද..”

මම ඔහු වෙත ගොස් නෝක්කාඩුවකින් දමා ගැසුවෙමි.

“මං යනව. එයාව මං දැනං හිටියෙ මිස්ට් ෆීල්ඩ් එක දැන ගන්න කලින්නෙ”

ඔහු සිනහව ගිල ගෙන ඉවත බැලුවේ ය.

“ඇයි හිනා වෙන්නෙ…”

“නෑ හිනා වුණෙ නෑ. හැබැයි හිනා ගියා. අර එදා බොරලන්දෙ කොෆී ශොප් එකේදි විදුනිව දැන ගෙන හිටියෙ නෑනෙ කියල මතක් වෙලා”

බිල්ලෙකු සේ සියල්ල ගිල ගෙන සිටියා ට ඔහු ට හැම දේ ම මතක ය. මා ඒ සාදයට පැමිණීම ගැන අකමැත්තක් ඔහු ගේ වන බව ද මට පෙනුණේ නැත. මට පෙන්වනා අහංකාර කම් නංගීටත් පෙන්වනු වස් එවැන්නක් කියන්නට ඇත. 

ඒ දින ටික ඉතා කාර්ය බහුල වූයේ ය. උදේ වරුවේ ෆාම් එකේ වැඩ ඉක්මනින් නිමා කරන මා දිවා ආහාරයෙන් පසු කළේ මෝස්තර නිර්මාණය ගැන කටයුතු ය. ගෙදර ගිය වෙලාවේ සිට ද මට ඒ ගැන ගෙදර වැඩ තිබිණ.

“රස්සාව ගෙදරටත් අරං එන එකනෙ වැඩේ. කෝ ඉතිං හුස්මක් ගන්න වෙලාවක් නෑ ආ වෙලාවෙ ඉඳං කම්පියුටර් එකට මූණ ඔබාගෙන”

අම්මා ආඩපාලි කීවා ය. ටිකක් වෙහෙස වී හෝ සාප්පුවේ ආරම්භක කටයුතු ඉතා ආකර්ෂණීය ලෙස සිදු කිරීම මගේ අරමුණ විය. මුණිවර අභිශේක් බණ්ඩාර කියන්නේ ඉතා දක්ෂ තරුණ ව්‍යවසායකයෙකි. මට අවශ්‍ය වූයේ ඔහු ගේ ව්‍යාපාර වලට අවැසි නිර්මාණාත්මක බව තහවුරු කොට දෙන්නට ය.

“තමුං කරන ඕනම දෙයක් කැප වෙලා අවංකව කරන කෙනා දිහා දෙවියොත් බලනව දූලයි අම්මේ. දැන් ඔයා වුණත් දරුවො වෙනුවෙන් රස්සාවෙන් අස් වුණේ…ඒක තමයි කැප කිරීම කියන්නෙ. මේක ලොකු ළමයගෙ තරුණ කාලෙ. ඒ කාලෙට තමං ආසාවෙං කරන රස්සාව ගැන කැපවෙන්න තියන ශක්තිය ටික කාලයක් ගියාට පස්සෙ නෑ. මේ කාලෙදි එයා සම්පූර්ණ ශක්තිය යොදල එයාගෙ ඉලක්ක වලට ගියාවෙ”

අප්පච්චි වඩා හොඳින් මගේ තත්වය අවබෝධ කර ගත්තේ ය. එය මට සහනයක් විය. තරමක් අසීරු වන්නේ ඕනෑ ම කටයුත්තක ආරම්භය ය. ආරම්භයෙන් පසු එය සාමාන්‍ය ලෙස කෙරීගෙන යන්නේ ය. මා නිර්මාණය කරන ලද මෝස්තර සහිත සාප්පුවක් විවර වීමේ සිහිනය වෙනුවෙන් මම උපරිම ශක්තිය යොදා වැඩ කළෙමි. එය මුණිවර ගේ දෙයක් වීම මත වැඩ කිරීමේ සතුට ද නො අඩු ව මට තිබිණ.

නවීන මාදිලියේ මහන මැෂින් කිහිපයක් මිල දී ගෙන, දක්ෂ මැහුම් ශිල්පිනියන් දෙනෙකු හා ශිල්පියෙකු ද සේවය ට බඳවා ගෙන, කඩදාසියක මැවෙනා මගේ ඇඳුම් මෝස්තර හැබෑවක් බවට පත් කිරීමේ කටුයුතු ආරම්භ විය. ඉතා දීප්තිමත් වර්ණ වල නූල් යොදා ගෙන නිමැවෙන්නා වූ අත් යන්ත්‍ර රෙදි මනස්කාන්ත ය. වියන්නියන් ඒවා ට යොදනා ඉරි හා කොටු රටාවන් ට අමතර ව මඳක් වෙහෙස වී යොදනා මල් මෝස්තර ද සහිත රෙදි දකිනා විට මගේ හිතේ ඇඳුම් මෝසතර පහළ වන්නේ උල්පතකින් දිය උනන්නා සේ ය. මගේ නිර්මාණයක් වූ රතු පාට කුඩා මෝස්තරයක් දැමුණු කළු පැහැ අත් කොට කමිසයත්, ඊට ගැලපෙන සේ නිම කළ කළු කොටු හා ඉරි රටාවන් දැමුණු රතු පැහැ සරමත් මම මගේ ම දෑතින් මුණිවර ට ලබා දුන්නෙමි.

“ඉස්සල්ලම මිස්ට මුණිවර ඇඳල බලල අඩුපාඩු කියන්න. එතකොට අපිට වැඩේ පර්ෆෙක්ට් කර ගන්න පුළුවන්”

එය අතිශය වෘත්තීමය කටයුත්තක් නිසා ඊට තිළිණයක් කියා කියන්නට මම නො කැමැත්තෙමි. කෙසේ වෙතත් මා විශ්මයට පත් කරමින් විදුනි ගේ දියණිය ගේ උපන් දින රාත්‍රියේ සාදයට ඔහු හැඳ ගෙන සිටියේ ඒ ඇඳුම් කට්ටලය ය.

මා හා කසුනි එහි ගියේ කුළී රියක් ගෙන්වා ගෙන ය. සාදය පැවැත්වුණේ හපුතලේ දෙසට වන්නට මනරම් පරිසරයක පිහිටි උත්සව ශාලාවක ය. විදුනි හා මුණිවර හැරුණ විට එහි අප දන්නා හඳුනන කිසිවෙකු සිටියේ නැත. විදුනි අප සමගින් අපේ මේසය ළඟට වී ටික වෙලාවක් කතා කරමින් සිටියා ය. නමුත් අමුත්තන් සියලු දෙනා වෙත යමින් ඔවුන් පිළිගනිමින් කතා බහ කළ යුතු වූයෙන් ඇය ට දිගට ම අප හා රැඳිය නො හැකි විය. 

“මුණිවර සිං රාජ්පුත් මේ ළඟ පාතදි ඔයාව දැකලවත් නැති විදිහටයි ඉන්නෙ. හැබැයි ටිකක් ඈතදි මෑන් ගෙ ඇස් කැරකෙන්නෙ මෙතනමයි”

කසුනි කොඳුරා කීවා ය. මගේ ද ඇස් ගලවා ගත නො හැකි ලෙස ඔහු වෙත ඇලී තිබෙනා සෙයක් මට දැනිණ. ඔහු වෙතින් දිස් වූයේ පුදුමාකාර කඩවසම් බවකි. ඒ ඇඳුම ඔහු ට තරමක් නුහුරු සෙයක් දැනුණ ද ඒ නුහුර ම හුරුබුහුටි බවක් දැනවී ය.

“දැං ඕගොල්ලො යන්නෙ කොහොමද..”

කියා ගෙන මුණිවර අප වෙත ආවේ අප කෑම ගෙන ද නිම වූ පසුව ය. කසුනි සිනහව මතු වන්නට නොදී ඉවත බලා ගත්තා ය.

“ටැක්සි එකක් කෝල් කර ගන්නව මිස්ට මුණිවර..අපි ආවෙත් එහෙමනෙ”

මම ආඩම්බර ස්වරයකින් මොණරියක සේ හිස කෙලින් කර ගෙන කීවෙමි. කසුනි කට තද කර ගෙන සිනහ වෙනවා මට පෙනුණේ ය.

“දැන් රෑ වෙලානෙ”

“අපි ආපු එක්කෙනා ගෙ නම්බර් එක තියා ගත්තා. එයාට කෝල් කරන්න කියල කිව්ව”

“දන්නැති ටැක්සි කාරයොත් එක්ක ගෑනු ළමයි රෑ වෙලා ගමන් යනවද..”

අතින් මුව වසා ගෙන, මේසය මත වූ වතුර වීදුරුව ගනිමින් කසුනි අසුනින් නැගී සිටියා ය. ඇය වතුර බොන්නට ගිය හොත් අහල පහල සිටිනා අයට ද නාන්නට වෙන බැව් දන්නා නිසා මා බලා සිටියේ සැක මුසු බැල්මකිනි.

“දන්න ටැක්සි කාරයො නෑනෙ ඉතිං”

“ඒක තමයි මං කිව්වෙ මේ රෑ ගමන් එන්න ඕන නෑ කියල”

කියන්නට දේවල් පේළි ගණනින් විත් මගේ මුව ළඟ පෝලිම් ගැසුන ද මම වෙන කිසිත් නො කියා ගිල ගතිමි. 

“තෑන්ක් යූ මේකට”

මා ඉවත බලා ගෙන සිටියදී ඔහු හදිසියේ ම කීවේ ය. නෙතු නගා බලන මගේ ඇස් එක නිමේශයක ඒ ඇස් වල ගැටිණ. මා කලබල වූවා ට මුණිවර නිසොල්මන් ඍජු බැල්මකින් සිටියේ ය.

“මේකට කිව්වෙ..”

ඇත්තට ම ඔහු අදහස් කරන්නේ කුමක් ගැන දැයි ඒ කලබලය අතරේ මට නිරවුල් වූයේ නැත. 

“මේ මං සරොං එකක් මෙහෙම ෆන්ක්ෂන් එකකට ඇන්දමයි”

මගේ මුව සිනහවකින් විකසිත වන්නට ඇත. මගේ ඇස් වල ආඩම්බරයක් තැවරී තියෙන්නට ද ඇත. ඊළඟ නිමේශයේ ඔහු මේසය ළඟින් නික්ම ගියේ “ටැක්සි කෝල් කරන්නෙපා. මං යවන්නං” කියා ගෙන ය. ඔහු සිය රියදුරෙකු ලවා අප ව ගෙදරට යවනු ඇතැයි ඉතින් මම බලාපොරොත්තු වීමි.

“හයර් එකත් දෙන්න වෙයිද දන්නෑ නේ”

කියමින් කසුනි විහිළු කළා ය. කෙසේ වෙතත් අනිත් අමුත්තන් නික්ම යන්නට පෙර මමත් කසුනිත් විදුනිගෙන් සමු ගනිමින් සිටියදී, “යමු” කියා ගෙන මුණිවර ඉස්සර වූයේ ය. මම විදුනි දෙස බැලුවෙමි. ඇගේ මුහුණේ වූ සිනහව පුපුරා යන්නට ඔන්න මෙන්න ව තිබිණ.

“හිනා නං වෙන්නෙපා…”

“ෆාම් එකත් පොලිස්සිය වගේ ඇති නේ..”

රියදුරෙකු සමග අප යවනු වෙනුවට මුණිවර රිය පණ ගන්වා ගෙන පිළිගැනීමේ ශාලාව ඉදිරියේ සිටියේ ය. මම ප්‍රශ්න නො අසා ඉදිරි අසුනට ගොඩ වීමි. කසුනි පිටුපසින් නැග ගත්තා ය. 

අප අතරේ කතා බහක් සිදු වූයේ නැත. නමුත් හදවත බෙහෙවින් දොඩමළු බව මට දැනිණ. මා සිටියේ දෑසින් අඳුරු පරිසරයත් සීතලත් තදින් තුරුළු කර ගෙන ය. මුණිවර ඒ සීතල උණුහුමින් විස්ථාපනය කරනු ලබන සිතිවිල්ලක අයිතිකරුවා වී සිටියේ ය.

ඔහු හුස්ම ගන්නා හඬ මට ඇසිණ. ඔහු ගේ හෘදය ස්ඵන්දනය වන රිද්මය මට දැනිණ. ඒකාත්මික වීමක් කියන්නේ එවැනි තත්වයකටද කියා දැන ගන්නට මට ඕනෑ විය. මේ දරා ගත නො හැකි හැඟීම් සමුදායෙන් අත් මිදෙනු වස් කසුනි ට කතා කරන්නට මට ඕනෑ විය. නමුත් ඒ කිසිත් කළ හැකි වූයේ ද නැත.

කසුනි ලා ගේ ක්වාටර්ස් අසලින් ඇය බැස්වූ මුණිවර මට නො බසින ලෙස ඉඟි කළේ අතිනි. ඒ වෙලාවේ හද ගැස්ම බෙහෙවින් ම වැඩි වී තිබුණේ ය. අපේ ගුරු නිවස ඉදිරියේ දී මා බැස ගන්නට පෙර අඩු තරමින් ඔහු මගේ අතැඟිල්ලක් හෝ ස්පර්ශ කරනු ඇතැයි ආශා සහගත බලාපොරොත්තුවක් මා තුළ පණ ගැහෙන්නට ඇත. නමුත් අප ලියනා පිටපත් වලට අනුව ජීවිත කතා රඟ දැක්වෙන්නේ නැත.

“හෙට උදේම කැන්ඩි යන්න තියනව”

ආඩම්බර ගොරෝසු හඬකින් ඔහු දැනුම් දුන්නේ ය. මම යන්තම් හිස සලා ගෙන රියෙන් බැස ගතිමි. මා පඩි කිහිපය නැග දොරට ගසා අප්පච්චී විත් දොර විවර කරන තෙක් ම ඔහු ආපසු නික්ම ගොස් තිබුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...