සඳ කත් මිණි ඇස් – 21

ඉරිදා ට ටිකක් දවල් වෙන තුරු නිදා ගැනීම ආලෝක ගේ සිරිතකි. කාලයක් තිස්සේ ඔහු වෙහෙසෙයි. දැන් වෙහෙස වෙන ප්‍රමාණය අඩු ය. ව්‍යාපාරයට අත ගැසූ මුල් යුගයේ දී නම් වෙහෙසීම කියන දේ කළ හැකි උපරිමයෙන් ම කළේ ඔහු ය. අද මෙන් අපනයනයට අත ගසා නො සිටි ඒ ඇරඹුමේ දී කුරුඳු තේ වලටත් කලින් ඔහු කළේ කුරුඳු පොතු වෙළෙඳ පොළට දැමීම ය. එහිදී කුරුඳු තැලීමේ සිටි කුරුඳු පොතු කඩවල් ගානේ ගෙන ගොස් දැමීම දක්වා වන සියල්ල ඔහු තමන් ගේ අතින් සිදු කොට තිබේ. කුරුඳු තැලීම ටික කාලයකට ඔහු රැකියාව වශයෙන් ද කර තිබේ. ඒ අත හුරුව මේ කර්මාන්තය ට අත ගසන්නට මහත් පන්නරයක් වූයේ ය. කුරුඳු ගැන කිසිවක් ම නො දන්නා මිනිසෙකු කුරුඳු ව්‍යාපාරයක් ආරම්භ කරනවාට වඩා, එහි පහළ ම මට්ටමේ සිට දේවල් දන්නා කෙනෙකු අත ගැසීමේ වෙනසක් වේ. කවදා හෝ ඔහු ට බොරු කරන්නට එතකොට සේවකයන්ට හිමි වන අවස්ථා අඩු ය.

ගෙදර එන විට ඒ දින වල අත පය තලා දැමුවා සේ රිදේ. ඇඟ පත, මුට්ට කර ගැසුවා සේ වේදනා දෙයි.

ආලෝක මුලින් කුරුඳු පොතු කඩ වලට දැම්මේ චැලියක ගොසිනි. එහි පෙට්ටියක් බැඳ ගෙන ඔහු නො ගිය තැනක් නැත. ඊළඟට ඔහු චැලිය විකුණා දමා ත්‍රීරෝද රියක් ගත්තේ ය. චැලියක පැටවිය හැකි කුරුඳු වලට වඩා වැඩි ප්‍රමාණයක් ත්‍රීරෝද රියකට පැටවිය හැක.

ඒ කාලේ දවල් දවස කෙතරම් වෙහෙසකර වී ද ආලෝක උදෙන් ම අවදි වූයේ ය. වැඩ කරන්න ට තිබෙනා මිනිසෙකුට පැය විසි හතරක් යනු කිස් සේත් ප්‍රමාණවත් නැති දෙයකි. ඔහු ඒ පැය විසි හතරට හතළිස් අටක වැඩ කළේ ය.

නමුත් සියල්ල වෙනස් වෙන්නට ගත් පසු කායික ශ්‍රමයට වඩා ඔහු වැය කළ යුතු වූයේ කල්පනා ශක්තියයි. වැඩ කරන්නට සේවකයන් පඩියට සොයා ගත හැකි ය. නමුත් ව්‍යාපාරය ගැන සිතුවේත් එහි වර්ධනය සඳහා කටයුතු කළේත් තීරණ ගත්තේ ත් ඔහු ය.

ඉරිදා යනු කාලයක සිට ආලෝක ගේ විවේක දිනයයි. ඔහු සෙනසුරාදා රෑ ගෙදර එන්නේත් මැදියම පහු වී ව්‍යාපාරික මිතුරන් සමග මධු විත පුරා ය. ඉරිදාට දවල් වෙන තුරු නිදා ගැනීම වූ කලී වෙනම ම සුවයක් විය. සතියක වෙහෙස නිවා ගන්නට විඩා පත් සිත කය සැදී පැහැදී සිටියේ ය. එදා ට ඔහු අවදි වෙමින් නිදයි. නිදමින් අවදි වෙයි.

මේ ඉරිදා ට ඉන්ද්‍රාණි හා සන්දීපනී වෙනුවෙන් දිවා ආහාරයක් සැපයීමට චාන්දනී කටයුතු කොට තිබිණි. ඇය ඒ කල් ඇතිව ආලෝක ට දැනුම් නොදුන්නේ හිතා මතා ම ය. ඔහු නැති වැඩක් හෝ දමා ගෙන ගෙදරින් පිට මං වී යාමට හැකි බැවිනි.

ඉන්ද්‍රාණි මේ ගැන සිය දරුවන් තිදෙනා ගෙන් බාල ම කෙනා වන සන්දීපනී ට දැනුම් දුන් වෙලාවේ ඇය මේ තීරණයට කැමැත්තක් දැක්වූයේ නැත.

“ඔය කියන විදිහට ආලෝක අයිය එයාගෙ ෆස්ට් ලව් එකත් එක්කම ආයෙ අෆෙයා එකක් පටන් අරගෙනනං මේ මට කැමති වෙනවද අම්ම…එයා කවදත් මං දිහා එහෙම බලල නෑ”

කොහොමටත් කවදටත් සන්දීපනී හිතුවේ තාර්කිකව ය. මීට වඩා අඩු වයසේදී වුව ඇය ආලෝක ගේ ඇඟේ බලයෙන් එල්ලී ගෙන ගොස් නැත. ඔහු ඇසුරු කිරීමට කැමැත්තක් දැක්වූ සීමාවෙන් පවා එපිට රැඳෙන්නට ඇය කැමති වූවා ය.

“ඒක තමයි අපි ඔයාට මේ කියන්නෙ. එයාව ඔයාගෙ පැත්තට හරෝ ගන්න”

ඉන්ද්‍රාණි පෙන්වූයේ මඳ නොරිස්සුමකි. පාද පා මුලට ම පෙරළී ආ පඬුරකට පයින් ගසන්නට තරම් සිය දියණිය මුග්ධ විය යුතු නැතැයි ඇය සිතුවා ය.

“ඒක මාර කතාවක්නෙ. වෙන ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න මනුස්සයෙක්ව මං කොහොමද අනේ මගෙ පැත්තට හරවන්නෙ..අම්ම හිතන්නෙ මං අර කොස්සක් අතේ තියෙන මායාකාරියක් කියලද…”

සන්දීපනී ට දැනුණේ මෙය තනිකර ම හාස්‍ය ජනක නාට්‍යයක් සේ ය.

“කොස්ස අතේ තියෙන මායාකාර ආච්චි මම. මේ සැරේනං මං මේක අත් අරින්නෑ සන්දි. මේක ඔයාට ලැබෙන අන්තිම චාන්ස් එක වෙන්න පුළුවන්. ඒක මිස් කරගෙන දුක් වෙන්න හිතන්නවත් එපා”

“අනේ…මං දුක් වෙන්නෙ මොකටද..”

“ඔයාට නෙවෙයි. අපේ මුළු පවුලටම දුක් වෙන්න වෙයි. පොඩ්ඩක් හිතන්න. අය්යට හරි හමන් රස්සාවක් නෑ. අක්කල තාම ඉන්නෙ කුළී ගෙදරක. ආලෝකව බැන්දොත් ඔයාය පුළුවන් වෙනව ඒගොල්ලන්ටත් උදව්වක් කරං ඉන්න. ළමයෝ…කසාදයක් කර ගන්න ඕන අපි ඉන්නවටත් වඩා අන්ත තැනකට වැටෙන්න නෙවෙයි. අඩියක්වත් ඉස්සරහට තියන්න බලාගෙන”

සන්දීපනී බුම්මා ගත්තා ය. මේ විදිහේ බලෙන් ඇඟේ එල්ලීමකට ඈ නො රිසි වී ද ආලෝක ගැන අකමැති වෙන්නට කාරණයක් ඇය ට නැත. ඇය කුඩා කල ඔහු ලොකු මිනිසෙකි. කොටින් ම කියතොත් ඇය දෙස බලන්නට හෝ හෙතුවක් ඔහු ට නැත. ඇයට අවුරුදු පහළොවක් වන විට ආලෝක අවුරුදු තිහක් සපිරි වැඩුණු තරුණයෙකු ය සිටියේ ය. ඔහු ගේ පෞරුෂය ඒ කාලේ සන්දීපනී ගේ හිරිමල් කෙළි හිත සසල කළ ද, එය ඒ තරම් දුර දිග ගිය හැඟීමක් වූයේ නැත.

ඉරිදා ආලෝක ලා ගේ ගෙදර එන්නට සූදානම් වෙත්දී ද සන්දීපනී ගේ හිතේ විශේෂයක් නොවිණි. අම්මා ඔය තරම් කියනා එකේ, ආලෝක කැමති වෙනවා නම් ඔහු හා විවාහ වන්නට ද ඇගේ අකමැත්තක් නැත.

සන්දීපනී ව දුටු ගමන් චාන්දනී ට සිතුණේ  එදා ඉන්ද්‍රාණි ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ අපරාදේ කියා ය. හැඩට හැඳ පැළඳ උන් යුවතිය කදිම පෙනුමක් මවා පෑවා ය. ඒ දින වල ඇය කිසිදු පිරිපුන් බවක් නැති කෙසඟ කෙල්ලක බව චාන්දනී ට මතක ය. ඇය යෝජනාව ගැන උනන්දුවක් නො දැක්වූයේ ද ආලෝක කඩවසම් යෞවනයෙකු වූ නිසා ය. දායාද නම් ඕනේ ම නැත. ජීවත් වෙන්නට අවැසි දේවල් ආලෝක විසින් උපයා සපයා ගෙන තිබේ. චාන්දනී බලාපොරොත්තු වූයේ ලෝකය ඉසිරියට ගෙන යා හැකි පෙනුමැති යුවතියකි. නමුත් ඇය යකාහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස ආලෝක විවාහයක් කර ගැනීම මග හරින්නට වූයේ ය.

“පුතා. ඉන්ද්‍රාණි ඇන්ටිල ඇවිත්. නැගිටල එන්නකො”

ආලෝක නිදනා කාමරයට ගිය චාන්දනී පුතු ගේ ඇඟට අතක් තබා කතා කළා ය.

“අනේ අම්ම. මට නිදියන්න දෙන්නකො. අද ඉරිදානෙ”

“ඉතින් දැන් දහයත් වෙලානෙ දරුවො. මදැයි නිදා ගත්තා. එන්නකො වොෂ් එකක් දාගෙන. හරි නෑනෙ පුතේ. ඔයාව ඇහුව”

සන්දීපනී කෙනෙකු ගැන චාන්දනී සඳහනක් හෝ නො කළේ හිතා මතා ම ය. එසේ විණි නම් ඔහු දිගට ම නිදන්නට වුව පුළුවන. නමුත් ඉන්ද්‍රාණි ගැන ළෙංගතු කමක් කවදත් ආලෝක තුළ වේ. ඇය ව මග නො හැර ඔහු පහළ මහළට එන බව චාන්දනී ට විශ්වාස ය.

“තාම නිදි. සතියෙම මහන්සිය අරින්නෙ ඉතින් ඉරිදටනෙ. දැන් එයි මං කතා කළා”

චාන්දනී තේ මේසය සූදානම් කළේ සතුටෙනි. සන්දීපනී වන් තුරුණු හැඩකාරියක ළඟ ආලෝක ගේ හිත නතර නොවන්නට විදිහක් නැත. නමුත් සූර්යා මනසේ ඇඳී යත්දී චාන්දනී තිගැස්මක් අත් වින්දා ය. ඇය වෙත වන්නේ අමුුතු ආකර්ෂණයකි. ඒ ඇස් දෙක ටීක් බෝල මෙනි. ඇය, චාන්දනී ඇඟඵම් ක්ෂේත්‍රයේ දී අත පත ගා පුරුදු බෝනිකි ඩමියක් වාගේ ය. හදවතක් වෙලා ගන්නා කාන්දම් බලයක් ඇය වෙත වේ. කෙල්ලකගෙන් දැකිය නොහැකි උතුරා හැලෙනා අමුතු ස්ත්‍රීත්වයකින් ඈ අග තැන්පත් ය. චාන්දනී විපිළිසර වූවා ය.

“ඔයා මට මේ උදව්ව කරන්න ඕන දුව..කසාද බැඳපු ගෑනියෙක්ට අහු වෙලා ආලෝක විනාස වෙලා යන්න ඕන නෑ”

සන්දීපනී ගේ දෑතින් ම අල්ලා ගෙන, සම්ප්‍රදායික අම්මා කෙනෙක් ඒ ඉල්ලීම ද කළා ය.

ආලෝක පහළ මහලට ආවේ තවත් අඩ හෝරාවකට පමණ පසු ය. සන්දීපනී ව දුටු ඔහු ට ප්‍රථම ව නැගුණ සිතිවිල්ල අම්මා ගැන කේන්තියකි. නමුත් හෙතෙම ඒ බවක් නො පෙන්වා අසුන් ගත වූයේ “කොහොමද ඇන්ටි” කියා අසා ගෙන ය.

“ඉන්නව පුතා ඉතිං. ඔයාට නිදා ගන්නත් නෑ නේද මේ අපි ඇවිත්…”

“කොහොමත් නැගිට්ට එක හොඳයි ආන්ටි. මං තව ටිකකින් යන්න ගමනක් දා ගෙනයි හිටියෙ”

ආලෝක ඒ කීවේ මුසාවකි. ඔහු ඒ තීරණය ගත්තේ සන්දීපනී ව දැකීමෙන් පසු මනසේ සනිටුහන් වූ චාන්දනී ගේ සැලැස්ම ගැන ක්ෂණික  අවබෝධයකට පත් වීමෙන් පසු ය.

චාන්දනී නො රිස්සුම් වූවා ය. ආලෝක එවන් කතාවක් කීවේ සන්දීපනී දැකීම නිසා බව ඇය හොඳට ම දැන සිටියා ය.

“කොහෙ යන්නද…යන තැනක යන්න හවසට. මේ ඇන්ටිල දවල් ට කෑම කෑවට එහෙම පස්සෙ”

එවර චාන්දනී මඳක් සැරෙන් කීවා ය.

“අනේ ඉතිං පුතාගෙ වැඩත් පාඩු වෙනව අපි නිසා”

“වැඩ කිය කියා මෙයා තමංගෙ ජීවිතේ අනිත් හැම දේම පස්සට දා ගත්ත එකනෙ අනේ කළේ. සන්දීපනී එක්ක කතා කරන්න පුතා. ඔය දෙන්න එකතු වෙනවට අපි කැමතියි. දෙන්නත් එක්ක ඒ ගැන කතා කර ගන්නකො”

චාන්දනී ආලෝක ව මුළුමනින් කොටු කර ගත්තා ය. නො එසේ විණි නම් ඔහු පැන යනු ඇතැයි ඇයට සිතුණේ ය. පුත්‍රයා ගේ ගති ස්වභාවයන් ගැන අම්මා පමණ දන්නා කෙනෙකු නැත.

“යන්න දුව. ගිහිං ආලෝක අයියත් එක්ක කතා කරන්නකො. ඉස්සරනං යස අගේට එකට සෙල්ලං කරපු ළමයි. ලොකු වෙනකොට පුදුම ලැජ්ජකාරයො වුණානෙ”

ඉන්ද්‍රාණි ද සිය දියණිය ට අනුබල දෙමින් පොළඹවාලූවා ය. අත ළඟට ම ආ මාළුවාට ඇම ගිල්වා ගත නොහැකි වෙනවා කියන්නේ තමන් ගේ දුර්වලතාවය ගැන ප්‍රශ්නයකි. ඉන්ද්‍රාණි ඇසෙන් ද ඉඟි කළෙන් සන්දීපනී අසුනෙන් නැගිටිමින් ආලෝක දෙස බැලුවේ ය. එතැන් හි දී ඔහු ට නො නැගිට බැරි විය. ඔවුහු මේ ගෙදරට අමුත්තෝ වෙති. ඒ ගෞරවය තැබිය යුතු ය. ආලෝක කෝපයට පත් ව සිටියේ අම්මා එක්ක ය.

“කොහොමද නංගි ඉතිං…”

වැරැන්ඩා පුටුවකට බර වෙමින් ආලෝක ම කතාවට මුල පිරූවේ සන්දීපනී තවමත් නිහඬ ව සිටි නිසාවෙනි. ඒ එක ම ඇමතුමෙන් වුව ඇය ආලෝක කෙරේ ආකර්ෂණය වෙමින් සිටියා ය.

“ඉන්නව අයියෙ. අයියව හුඟක් කාලෙකින් දැක්කෙ. අම්ම ආවට මං වැඩිය මෙහෙ ආවෙත් නෑනෙ. ඔෆිස් යනවනෙ ඉතිං. සැටඩේ සන්ඩේ ගෙදරින් හෙල්ලෙන්නෑ රෙස්ට් කරනව”

“ඒක හොඳයි. නංගි. මේ අපේ අම්ම කියන දේවල් ඔයා ගණං ගන්න එපා”

ආලෝක ඉක්මන් කොට මාතෘකාවට බැස්සේ ය. සන්දීපනී ට ලැජ්ජාවක් දැනිණ. එය වූ කලී ආත්ම අභිමානය ගැන ප්‍රශ්නයකි.

“ඔයා මට නංගි කෙනෙක් වගේ. අනික…මට මැරි කරන්න කෙනෙක් ඉන්නව. ඒක නිසා නිකං අපරාදෙ ඔයා මේකට පැටලෙන්න එපා. එයා මීට අවුරුදු විස්කට කලින් මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපිට වෙන් වෙන්න වුණා එයාව අයිති කරගන්න පුළුවන් තත්වෙක මං හිටියෙ නැති නිසා. එයා මැරි කළා කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි…අම්ම ප්‍රශ්නයක් කර ගෙන හිටියට. ඒක නිසා ප්ලීස්…මං ගැන වැරදියට හිතන්න එපා නංගි. ඔයා ගැන මට එහෙම අදහසක් නෑ. සොරි”

ආලෝක අසුනෙන් නැගිට පිය ගැට පෙළ දෙසට ගියේ ය. මඳ වෙලාවකින් සූදානම් ව විත් රියට නැගී නික්ම ගියේ ය. සන්දීපනී මහත් අපහසුවකට පත් ව සිටියා ය.

“දුව කලබල වෙන්න එපා. එයා මැරි කරන්නෙ ඔයාවම තමයි”

චාන්දනී තිර හඬකින් කීවා ය. ආලෝක ගේ පිරිමි පෙනුම ඉදිරියේ කැළඹී සිටි සන්දීපනී කුමක් කියන්නදැයි සිතා ගත නො හැකි ව පසුබෑවා ය. නමුත් ආලෝක සමගින් විවාහ වන්නට ඇත්නම් හොඳ ය යන සිතිවිල්ල ද මුල් ම වරට ඈ තුළ දලු ලමින් තිබිණ.

ආලෝක මගදී ම සූර්යාට දුරකතන ඇමතුමක් දී ඇය ව අපාට්මන්ට් එකේ පිවිසුම් දොරටුව වෙත ගෙන්වා ගත්තේ ය. ඇය පන්සල් යන්නට ඕනේ කියමින් දින කිහිපයක් තිස්සේ ම කියනු ඇසිණ. දළදා මාළිගාවට ඇයත් එක්ක යන්නට ඔහු ක්ෂණික තීරණයකට ආවේ සන්දීපනී එක්ක කතා කොට මතු මහළට යන අතරවාරයේ ය.

“මොකක් හරි වුණාද…”

සූර්යා ආලෝක ගේ කඩවසම් වත දෙස බලමින් ඇසුවේ මඳ දුරක් නිහඬව රිය ඉදිරියට ගිය පසු ය. ඔහු සිනහවකින් ඇදෙස බැලුවේ දඟකාර කොලු ගැටයෙකු ගේ විලාශයෙනි.

“සාස්තර කියන්නත් පුළුවන්ද…”

“හ්ම්…ඔයාගෙ මූණ බලා ගෙන”

“මගෙ මූණ බලාගෙනද කිව්වෙ එදා…අපේ අම්ම මට මගුලක් කතා කරයි කියල…”

“දැං ඒක එහෙම වෙලාද…”

“මීට පස්සෙනං ඒ වගේ භයානක අනාගත වාක්‍ය කියන්න එපා මැණිකේ”

සූර්යා හිනැහී ගෙන ආලෝක ගේ උරහිසට බර වූවා ය. පපුවේ ගැඹුරෙහි රිදුමක් ඇති නොවූවා ය කීවොත් මුසාවකි. නමුත් ඒ සියලු රිදුම් පරයා ඔහු ගැන අසීමිත සෙනෙහසක් සුළි කුණාටුවක් සේ නැගී ආවේ ය.

“දෙන්න මට ලෝබයි දෙයියනේ”

කීවා නොව ඇය ට කියවිණි. එකතකින් රිය පදවන ගමන් ආලෝක අනිත් අතින් සූර්යා ගේ අතක් තද කොට අල්ලා ගත්තේ ය.

“ආයිත් සැරයක්නං අත්ඇර ගන්නෙ නෑ…නෑමයි…තව ආත්ම ගාණකටවත් ඒ මෝඩ වැඩේනං කරන්නෙ නෑ”

ඔහු ඇගේ හිස් මුදුනෙහි ඉක්මන් හාදුවක් තැබුවේ ය.  සූර්යා දෑස් පියාගෙන හෙමිහිට හුස්ම ගත්තා ය. .

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles