(අ)හිමි සිහින -187

වෛද්‍යවරු හමුවන්නට ගිය සෑම අවස්ථාවකදීම මම පොඩි ප්‍රයෝගයක් භාවිතා කළ.මුලදී මට විරුද්ධව සිට පසුව මා සමඟ ඇයිහොඳයිකම් කියාගෙන ආ සුධාරක ගේ බාලම නැගණිය හා ඇගේ සැමියා මම ඒ ගමන් රැගෙන ගියා..නමුත් මම වෙනදා මෙන් ඔවුන්ව හිතට ගන්නට ගියේ නෑ.මට ඒ අවස්ථාවේදී උවමනාව තිබුණේ සුධාරකගේ සමීපතමයෙකු මාගේ පැත්තේ තබා ගැනීම පමණයි.ඒ වනවිට අනුරාධපුරයේදී එකතුවී සිටි ඒ පවුලේ උදවිය සුපුරුදු ලෙස නැවතත් භේද බින්න වී සිටියා.ඒ දේපොල අයිතිකරගන්නට එකතු වුණත් ඔවුන් එකිනෙකා තුළ තිබී ඇත්තේ වෙන වෙන බලාපොරොත්තු වීම නිසා.

දක්ෂ මෙන්ම ප්‍රසිද්ධ  දේශීය වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සුධාරක  සුව කරගන්නට උත්සාහ දැරියහැකි බවත් ඒ සඳහා කාලයක් වෙදකම් කළ යුතු බවත් පැවසුවා. ඒත් තිබූ විශාලම ගැටලුව වූයේ ඒ වෙද මහතුන් අභියසට සුධාරකව ගෙනයෑමේ අපහසුවයි. මෙය දැනට ඔහු ප්‍රතිකාර ගන්නා රෝහල මගින් කර ගැනීමට හැකියාව තිබුණත් පවුලේ අයගේ දැඩි බලපෑම් මත ඒ සියලු දේ ව්‍යර්ථව ගියා.

“මෙන්න මේ තෙල්ටික මේ ලෙඩාගේ හිස්මුදුනේ ගාන්න සතියක්.එහෙම කරලා මට වෙනසක් තිබේනම් කියන්න.එතකොට මං කියන්නම් ඔහු සුව කරන්න පුලුවන්ද බැරිද කියලා”

දෙවියනේ! එවැනි වචනයක් ඇහුවත් හිතට දැනෙන සැනසිලිදායක සතුට ගැන කියන්නට මට වචන නෑ.ඒත් එය ඊළඟ තත්පරයේදීම සුණුවිසුණු වී ගියේ තෙල් ඔහුගේ හිසේ ගාන්නේ කෙසේදැයි සිතුණු නිසා.ඒත් මම මගේ සටන අත්හැරියේ නැහැ.

හමුදා රෝහලේ ගේට්ටුවේ සිට සියලුදෙනා මා හොඳින් දන්නවා.සුධාරක කා අතරත් හොඳ හිත දිනාගත් නිලධාරියෙක් වූ නිසාත් ඔහු මෙන්ම මාද සියලුදෙනා සමග සිනාසී කතා කළ නිසාත් අපට එහි දන්නා අඳුනන බොහෝ අය සිටියා.මා එසේ හිතවත් කිහිප දෙනෙකුගේ උදව් ඉල්ලන්න තීරණය කළා.

“අනේ පුතේ, මට ලොකු උදව්වක් කරලා ඕන.තෙල් ටිකක් තියෙනවා හැමදාම පාන්දරට ඒකෙන් බිංදු කීපයක් සර් ගේ හිස්මුදුනේ ගාන්න ඕනේ.එයාගේ තත්වය ටිකක් හොඳ වෙනවාද කියලා බලන්නත් ඕනේ.මට සර් බලන්න එන්න දෙන්නෙ නැහැනෙ.පුලුවන්නම් මට මේක කරල දෙන්න.පිං සිද්ධ වෙයි”

පවුලේ අයට හැර සුධාරක කෙසේ හෝ සුවකරගැනීම අනෙක් සියලු දෙනාගේ අවශ්‍යතාව වී තිබූ නිසා ඔවුන් අප දෙදෙනාගේ ආදරය ගැන ඇසට දැක කනට අසා තිබූ අය වීම නිස   ඔවුන් එකපයින් එයට කැමති වුණා.

“ඇයි මැඩම් මෙහෙම වෙන්නේ? සර්ට කරන ප්‍රතිකාරයක්වත් කරන්න මේ මිනිස්සු ඉඩදෙන්නේ නෑ..රට ඉන්නවාය කියන ඔය කසාද ගෑණි ලියුම් දිදී ඉන්නේ කෝ හරිනම් මෙලහට ලංකාවට එන්න එපැයි.දරුවන්ට තාත්තා පෙන්නන්න හරි එන්න එපැයි.මැඩම්ට සර්ව බාරදුන්නා නම් සර් කොහොමහරි හොඳකරගන්නවා”

සුධාරක බලන්නට යන්නට නොහැකි වූවාට මම එළියේ සිට ඔහුට පිළිසරණක් වියහැකි කුමක්ද ඒ සියලු දේ කළා.මා නොගියේ කොතැනටදැයි ඔබ ඇසූවොත් මා නොගිය තැනක්, ආයතනයක් සංවිධානයක් පන්සලක් නැති තරම්. මේ අතර මගේ සහ සුධාරකගේ හොඳම යහලුවන් ද ඔවුන්ට කළ හැකි හැමදේම කරන්නට මට උදව් උපකාර කළා.නමුත් මේ වනවිට සුධාරකව බලන්නට යන්නට කිසිවෙකුට ඉඩ ලැබුණේ නෑ.ඒත් ලද අවසරයෙන් නිලධාරීන් හා සෙස්සන් කෙසේ හෝ තම ආදරණීය සර් බලන්නට ගියා.

එක්තරා දිනෙක එසේ ඔහු බලන්නට ගිය කණිෂ්ට නිලධාරියෙක් අට  සුධාරක අමතන්නට ඔහුගේ දුරකථනයෙන් මා වෙතට ඇමතුමක් ගත්තා.

“මැඩම්,මම සර් ලඟ ඉන්නෙ. මම ෆෝන් එක සර්ගෙ කන ළඟට තියන්නම් මැඩම් කතාකරන්න”

මට ඒ වචන කණට මීපැණි බඳු වුණා. සුධාරකගේ කන අසල ඇති දුරකථනයෙන් මම ඔහුව ඇමතුවා.වෙනදා ආදරයෙන් හුරතල් වෙමින් පැය ගණන් කතා කළ අපි දෙදෙනාගේ අතීතය මට සිහි නොවුණායැයි කියන්නට බෑ. දැන් දුරකථනයේ එක් පසක් නිහඬයි.ඒත් ඒ හදවත මගේ උණුසුම සහ මගේ හඬ අඳුනන බව මට ස්ථීරයි. ඒනිසාම දුක්බරව කඩා හැලෙන හදවතකින් මම ඔහුට ආදරයෙන් කතා කළා

“මහත්තයා.ඔයා ඇහැරලා ද ඉන්නේ? ඔයාට මාව ඇහෙනවද.ඔහොම නිදාගෙන ඉඳලා බෑ නේද? දැන් අපි නැගිටින්න ඕනේ නේද.?ඔයා යුද්ධයක් දිනූ සිංහයෙක්.ඔයාට මේ සටනත් දිනන්න පුලුවන් මටයි සුදු බේබිටයි ඔයාව ඕනේ….”

කවුරු කෙසේ කීවත් ඔහුට යම්තාක් දුරකට සිහිය තිබෙන බව මම දන්නවා. එනිසාම ඔහුගේ මනසට අධිෂ්ඨානය දනවන කතා සහ ඔහුට හිතට ශක්තියක් වන දේ කියන්නට මට ඕනෑ වුණා. කිසිවක් වෙනස් වී නැති බවත් අවශ්‍ය ඔහුගේ නැගී සිටීම බවත් කියන්නට මට ඕනෑ වුණා.විනාඩියකුත් තත්පර හතලිහකදී මගේ හදවත පාරවාගෙන දුරකථනය එහා පැත්තෙන් ඔහු මට කතාකරන්නට උත්සාහ කරන හඬ මට ඇසුණා

“ඕ….ඕ….ඕ…ඕ”

ලෙස අදිමින් ඔහු මට යමක් පවසන්නට උත්සාහ කළා.නමුත් මට එය නොතේරෙන බව සිතා ඔහු නිහඬ වුණා. ඒ තමයි හොඳින් ඉද්දීත් සුධාරක ගේ හැටි.ඕනෑම කෙනෙකුට තුන්හතර වතාවක් යමක් පැවසූ පසුත් ඔහුට එය නොවැටහේනම් සුධාරක නිහඬ වෙනවා.ඔහු කලහකාරීව රන්ඩු සාදාගන්නා පුද්ගලයෙක් නොවෙයි.මට නොවැටහෙන බව වැටහෙන විට ඔහු නිහඬ වන්නට ඇති.

ඒ හඬපටය ඒ නිලධාරියා පසුව මට ලබාදුන්නා. අදටත් එය මා ලඟ සුරක්ෂිතව තිබෙනවා.අදටත් එය අසන වාරයක් වාරයක් පාසා කඩා වැටෙන මගේ සිත හැමදාම පතන්නේ එක දෙයක්. ආදරය කරන සහ ආදරය දන්නා කිසිම කෙනෙකුට මෙවන් ශෝචනීය අත්දැකීම් ජීවිතයට නොලැබිය යුතුමයි.මමත් සුධාරකත් ආදරය කරන්නට පටන්ගත් දා පටන් අපට ලැබුනේ සතුට සහනය නොවෙයි.අනේක දුක් කම්කටොලු බාධාවලින් පීඩිත වු ආදරයක් නිසාම අපි දෙදෙනාම එකිනෙකාට  මානසික බැම්මකින් ශක්තිමත් වූ ආදරයක් දැක්වූවා.

ඒ ආදරය රැකගන්නට අනූරාධා හැම ධෛර්යයක්ම යොදවමින් සිටියදී නැවතත් අමුතු සෙල්ලමක් Facebook හරහා සිදු වෙන බවට බවට මට දුරකථන ඇමතුම් එන්නට ගත්තා.

ඒ කුමක්දැයි අපි හෙට බෙදා ගනිමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles