ඔබේ සංවේදීකමින් අන් අයට අයුතු ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න එපා.

“මේ ගවුම හරිම ලස්සනයි නේද අසංක?”

දුලී එහෙම අහන්නේ නිමිඇදුම් ප්‍රදර්ශනාගාරයේ ළමා අංශයේ තියෙන ලස්සන ගවුමක් පෙන්නන ගමන්.අසංක හිනා වෙලා ඔලුව වැනුවේ දුලී ඒ ගවුම ගන්න යන්නේ කාටද කියන එක හොඳින්ම දන්න නිසයි.ඊළඟට වෙන දේ අසංක හොඳටම දන්නවා.

“මේ ගවුමම අවුරුදු හතරක විතර බබෙක්ටත් ඕන.”

වෙළඳ සහායිකාව දුලීගේ ඉල්ලීම වෙනුවෙන් වෙහෙසෙන අතර දුලී තවත් ඇඳුම් කිහිපයක්ම තෝරා ගත්තා.මේ ෂොපින් ආවේ දුලීට ඇඳුම් ගන්න වුණාට දැන් දුලිගේ අරමුණ අමතක බව සිහි වෙද්දි අසංකට හිනාවක් එක්ක වේදනාවකුත් දැනෙනවා.

“අම්මා කෙනෙක් වෙන්න තිබුණානම් ඔයා කොච්චර හොඳ අම්මා කෙනෙක් වේවි ද?”

අසංක ඒ හැඟීම වචනවලට පෙරලන්නෙ නැතුව දුලී දිහා ආදරයෙන් බලාගෙන හිටියා.

“ආවේ ඔයාට ඇඳුම් ගන්න.අන්තිමට වුණේ අපේ නංගිගේ කෙල්ලො දෙන්නාට ඇඳුම් ගෝනියක් අයිති වෙච්ච එක.”

බ්ලවුස් එකක් දෙකක් අරගෙන ගෙදර යන්න සැරසෙන දුලී දිහා බලලා අසංක කිව්වේ හිනාවකින්.වියදම් කරන්න සල්ලි අඩුපාඩුවක් නොතිබුණාට දැන් දුලී ඉන්නේ ගෙදර යන තරම් මහන්සියෙන් කියලා අසංකට වැටහුණා.

“මේ ගවුම් වලට හොඳ සපත්තු ,හෙයා බෑන්ඩ්ස් එහෙමත් හොයා ගන්න ඕන.”

දුලී කියන්නේ පුංචි ඇඳුම් පැළඳුම් අතගාන අතර.ඇගේ දෑස් වල තියෙන සන්තෝසෙ කියවා ගන්න අසංක උත්සාහ කළා.

“මොන දේවල් කොහොම තිබුනත් මොකටද?”

අසංකගේ අම්ම නිතරෝම එහෙම කියනවා.ඒ වචන නෑහුනා වගේ ඉන්න උත්සාහ කළත් අසංකගේ හිත නොරිදෙනවාම නෙමෙයි.නමුත් අසංක කවදාවත් දුලීට රිද්දන්න හිතුවේ නැහැ.හොඳ රැකියාවක්,ඒ අතර ගොඩනැඟූ ව්‍යාපාරයක් නිසා මිල මුදල් අඩුපාඩුවක් නැතිව තිබුණත් ගේ ඇතුලෙ තියෙන හිස්තැන ගැන අසංකට ඇත්තටම දුකයි.

“අපේ ඔෆිස් එකේ ගිම්හානි ඉන්නේ.එයාලා අර ඩොක්ට එල්ලාවල ළඟට ගියානෙ.ඔන්න දැන් අපිට ගිම්හානි වෙනුවට අලුත් ළමයෙක් ගන්න වෙලා.ප්‍රෙග්නන්සි එක එන්ජෝයි කරන්න ගිම්හානි රස්සාවෙන් අස් වෙලා.”

අසංක මේ කතා මෙහෙම කියන්නේ අවසාන උත්සාහය දරන්න දුලී  කැමති කරවා ගන්න හිතාගෙන.නමුත් ඇයට තියන කල්පනාව වෙනස් එකක් බවත් ඔහු දන්නවා.

“මම මොකටද එච්චර මහන්සි වෙලා දරුවෙක් හදා ගන්නේ කියලා හිතෙනවා අසංක.අපිට නංගිගෙ බබාලා දෙන්න ඉන්නවනෙ.දැනටත් එයාලගෙ හැම දෙයක්ම බලන්නේ අපිනේ.කෙල්ලො දෙන්න සුදු අම්මට අම්මට වඩා ආදරෙයි.අඩුම තරමේ එයාලා මට නැන්දා කියන්නේවත් නැහැනේ.”

එක කුස උපන් නැගණිය ගැන දුලීට වඩා හොඳින් තමන්ට තේරෙනවා කියන්න අසංකට  හිතුනත් ඒ කිසිවක්ම නොකියා ඉන්න ඔහු තීරණය කළා.

“අපි ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන්න යන්න ඕන නෑ කියලා ඔයාට කියන්නේ නංගි නේද?”

වෙනුවට ඔහු එහෙම ප්‍රශ්නයක් අහනකොට දුලී හිනා උනේ අහිතකින් තොරව.ඇත්තටම ඒ අදහස දුලීට නිතරම කියන්නේ අසංකගේ නංගි වුණු ජයනි.

“නිකං ඇඟට වද දිදී දුක් විඳින්න ඕනේ නෑනේ අක්කේ.මගේ දරුවෝ දෙන්න ඔයාගෙත් දරුවො තමයි.එයාලා මට වඩා ආදරෙත් ඔයාට.”

ඒ ආඩම්බරයෙන් පපුව පිම්බෙන හැම වෙලාවකම දරුවෙක් ලබා ගන්න දුක් විඳින්න උවමනා කියන හැඟීම දුලීට ඇතිවෙනවා.ඒ නිසා අසංකගේ යෝජනාව ඉවත දාන්න දුලී කිසිම වෙලාවක පැකිලෙන්නේ නැහැ.

“ඒ වගේ දේකට වියදම් කරන්න අපට සල්ලි නැත්තෙ නැහැනේ.”

අසංක එහෙම කියද්දී පවා දුලී කිසිම දෙයක් නොකියා හිනා උනේ ඒ නිසා.දරුවෙක් වෙනුවෙන් හඬමින් තැවෙමින් බලා සිටි කාලය නංගිගේ දරුවන් ඉපදීම නිසා මඟ හැරී ගිය අන්දම ගැන ඇය හිතන්නේ සතුටින්.

දුලීගේ සතුට බිඳිලා ගියේ මහ පුදුමාකාර විදියට.

“එන්න එන්න.මගේ රෝස පෙත්තො දෙන්නා.ඉතිං ඔන්න මම ඔයාලට ගවුම් ගෙනාව.”

එදා හවස දුලීගේ නංගි බබාලා දෙන්නත් අරගෙන ගෙදරට ගොඩ වෙනකොට දුලී දියණියන් දෙදෙනාම වැළඳගත්තේ ආදරයෙන්.අසංක ළඟ අම්මා ඉන්න නිසා නංගි එන්නේ අම්මා බලන්න කියලා හිත රවට්ටා ගන්න අසංකගේ අම්මානම් කැමති නෑ.දුලීට වඩා හොඳින් අසංකගේ අම්මා තමන්ගේ දියණියව කියවගන්න දන්නවා.දුලීව රවට්ටගෙන විවිධ හේතු වලට මුදල් කර ගන්න දියණිය ගැන අම්මට තියෙන කේන්තියක්.

“අක්ක බබාලා දෙන්නෙක් විතරක් බලපු කාලේ ඉවර වෙන්න එන්නෙ.”

නංගි ඇස් කරකෝල එහෙම කියනකොට අම්මා නම් ඇය දිහා කේන්තියෙන් බලන බව දුලීට තේරුම් ගියා.ඒ ප්‍රෙහෙලිකාව විසඳ ගන්න හිතාගෙන දුලී නංගි දිහා බලද්දී ඇය බොහෝම පහසුවෙන් තමන් කියපු කතාවෙ තේරුම පහදන්න පටන් ගත්තා.

“මං ආයේ ප්‍රෙග්නන්ට් අක්කේ.”

කොහොම හිත හදාගත්තත් මේ වගේ වෙලාවට හිතේ සිහින් රිදුමක් ඇති වෙනවා.ඒත් මේ ලැබෙන දරුවා තමන්ගේ දරුවෙක් වගේ ඇති දැඩි වෙයි නේද කියලා හිතෙනකොට ඒ රිදුම වහගන්න දුලීට හිතුණා.නංගිව වැළඳගෙන සුබ පතපු දුලී තේ හදන්න මුලුතැන් ගෙට ගියේ  අලුත් බබා ගැන හීන හදවතේ පුරවගෙන.

“ඔයාලට තව ළමයෙක් හදන්න වත්කමක් නෑනෙ චූටි දූ.මොනවද මේ හිතන්නෙ බලන්නේ නැති වැඩ.”

තේ හදාගෙන ආපහු එනකොට අම්මා නංගිට බනින හඬ දුලිගේ කනේ හැපුණා.ඒ කතාවට නංගි දීපු පිළිතුර ඇසෙන තුරුම තමන් ජීවත් වුණේ ෆැන්ටසියක බව දුලීක හිතිල තිබුණේ නැහැ.

“මම ළමයි හැදුවහම මොකද? ඒ ළමයි  බලාගන්නේ අපේ අයියයි නෑනයිනෙ.ඉතිං මට කොහෙද බරක්”

ආදරයට නංගි ළඟ මේ තරමට සිල්ලර පිළිතුරක් ඇති කියලා හිතෙනකොට තේ බඳුන් එක්ක බන්දේසිය වෙව්ලන බව දුලී ට දැනෙන්න පටන් ගත්ත.අනුන්ගේ කතා අහගෙන හිඳීම වැරදි බව අමතක කරපු ඇය හුන් තැනම නැවතිලා නංගි කියන කතා අහගෙන හිටියා.අම්මාගේ බැනුම් නෑහෙන තාලෙට අයියාගේ මුදල් තමන්ගෙ දරුවන්ට හිමිවිය යුතු බවත් ඒ නිසාම දුලී දරුවෙක් හදා ගන්න සල්ලි නාස්ති කරන්න උවමනා නැති බවත් නංගි කියන්නේ ආත්මාර්ථය පිරුණු කටහඬකින්.

මෙච්චර කල් නරි නාවලා නේද?

දුලී තමන්ටම කියා ගත්තේ වේදනාවෙන්.

සාම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක් වෙන්න උත්සාහ නොකරපු අසංකගෙ අම්මා ඕනෑම කෙනෙකුට ඕනෑවට වඩා කරන්න එපා කියලා මෙච්චර දවසක් කියන්න ඇත්තේ තමන්ගේ දුව ගැන හරියටම දන්න නිසා කියලා දුලී හිතුවේ වේදනාවෙන්.ඒ වේදනාව නංගි ආපහු යන තුරුම දුලීගේ හදවතේ තිබුණා.

“අසංක,මට ගිම්හානිගේ ෆෝන් නම්බර් එක දෙනවද? මට එයාට කතා කරලා ඩොක්ටර් එල්ලාවල ගැන විස්තර අහන්න ඕන.”

රෑ කෑම මේසෙදි දුලී එහෙම කියනකොට අසංකගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.තමන්ගේ දුව ආයෙම වතාවක් ගර්භනී වුණු නිසා දුලීට ඊර්ෂ්‍යාවක් ඇති වෙලා වගේ හැඟීම් කවදාවත්ම පහළ නොවෙන අංසකගෙ අම්මා දුලී දිහා බැලුවේ ඊටත් වඩා කාන්තිමත් ඇස් දෙකකින්.

“මට තාම තිස් තුනයිනෙ.අපි පරක්කු නෑ නේද අම්මේ?”

දුලී එහෙම අහනකොට අම්මා හිනා වුණේ ලෝබ නැතුව.

“මොන පරක්කුවක් ද දුවේ? කිසිම සැලසුමක් නැතිව ළමයි හදන අපේ දුවට වඩා ඔයා හොඳම හොඳ අම්මා කෙනෙක් වෙනවයි කියලා මට විශ්වාසයි.”

අසංකගේ අම්මා කියපු ඒ කතාව ඇතුලේ මෙච්චර කාලෙකට ඇය තමන්ට කියන්න උත්සහ කරපු හැම වචනයක්ම ගැබ් වෙලා තියන බව දුලීට තේරුම් ගියා.  

More Stories

Don't Miss


Latest Articles